පළකල දිනය : Mon, Aug 6th, 2018

විජේවීර ඝාතනයේ සියලූ රහස් මැගසින් බන්ධනාගාරයෙන් එළියට !

ඇත්ත වශයෙන්ම එදා 2003 පමණ වනවිට චන්ද්‍රිකා ආණ්ඩුව තිබුණේ වැටෙන්න ඔන්න මෙන්න තියෙන තැනක.

ජවිපෙ විතරයි ගැලවුම්කාරයා වෙලා හිටියේ. ජවිපෙ නොහිටියානම් ආණ්ඩුව වැටෙනවා. ඒක නිසා ජවිපෙ ඉල්ලන ඕනම දෙයක් කරන ස්ථාවරයකයි චන්ද්‍රිකා ආණ්ඩුව හිටියේ.

මට ප‍්‍රශ්නය වුණේ එහෙම තත්ත්වයක් තිබියදීත් අපේ නායකයෝ ඒ ගැන ඉල්ලන්නෙ නැතුව නිහඬව මුනිවත රකින්න තීරණය කරපු එක ගැනයි.

ඒ වෙනකොට විජේවීර ඝාතනය පිළිබඳව ඇත්ත ඇති තතු සමාජයට හෙළිදරව් වෙලා තිබුණෙ නැද්ද..?

මොකද නැත්තේ…. සියල්ල හෙළිදරව් කළේ මම නේ…. මම ඒ කතාවත් කියන්නම්.

මර්දනයෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ 1994 දී ප‍්‍රසිද්ධියේ එළියට බැහැලා වැඩ කරන්න පටන් ගත්තා. ඒ වන කොට මම හිටියේ මැගසින් බන්ධනාගාරයේ. පක්ෂයේ වැඩකටයුතු ආරම්භ කරනවාත් සමගම අපේ ‘නියමුවා’ පුවත්පතත් ආරම්භ වුණා මට මතකයි. 1994 නොවැම්බර් මාසේ අපේ නියමුවා පත්තරේ පළමුවෙනි කලාපය එළියට ආවා. එහි මුල් පුවත විජේවීර සහෝදරයාගේ මුහුණේ ලොකු පින්තූරයක් පළ කරලා එතන ලොකු අකුරෙන් මෙහෙම කියලා තිබුණා…

‘විජේවීර ඝාතනයේ ඝාතකයන් හෙළි වේ. අත්අඩංගුවට ගෙන කුරිරු ලෙස ඝාතනය කර අමු අමුවේ පුළුස්සා දමන ලද විජේවීර සහෝදරයගෙ ඝාතනය සම්බන්ධයෙනුත් ලක්ෂයකට අධික මේ රටේ තරුණ තරුණියන්ගේ ඝාතන සම්බන්ධයෙනුත් වගකිව යුතු පුද්ගලයන් අල්ලා ඔවුන්ට නිසි දඬුවම් දීම සඳහා රජයට බලකරමින් පුවත්පත මේ තොරතුරු හෙළිදරව් කරලා තිබුණා. අන්න ඒ පුවත්පතෙන් තමයි මුල්වරට විජේවීර ඝාතනයට සම්බන්ධ වෙච්ච පුද්ගලයන්ගේ නම් ගම් සියල්ල හෙළිදරව් කරලා තිබුණේ… මගේ ළඟ එම පුවත්පතේ මුල් පිටුව මේ මොහොතේත් තියනවා.

ඔබ කොහොමද ඇතුළෙ ඉඳගෙන පුවත්පත මුද්‍රණය කරන්න එළියට තොරතුරු දුන්නේ..?

ඇත්ත වශයෙන්ම අද ඒ තොරතුරු හෙළිදරව් වුණාට කමක් නැහැ… ඒ දවස්වල මාව බලන්න අපේ පක්ෂයේ සාමාජිකයෝ වගේම මාධ්‍යවේදීන් උපක‍්‍රමශීලීව හිරගෙදර ඇතුළට ආවා. එහෙම ආපු දෙන්නෙක් තමයි මේ තොරතුරු සියල්ල අරගෙන ගිහිල්ලා එදා ඒ නියමුවා පුවත්පතේ එය පළ කරන්න පුරෝගාමී වෙන්නේ… ඒ දෙදෙනා තමයි රෝහිත භාෂණ හා විමල් වීරවංශ. ඔවුන් දෙදෙනා නියමුවා පුවත්පතේ වැඩ කරමින් සිටින බව මම දැනගෙන හිටියා. ඒත් සමගම ඔවුන් පක්ෂයේ ක‍්‍රියාකාරී වැඩ කොටසක් ඉටු කරන්නත් ඇති කියලත් මම හිතනවා.

ඒ පුවත නියමුවා පත්තරේ පළ වුණාට රටේ ලොකු ආන්දෝලනයක් ඇති වුණා කියලා හිතන්න බැහැනේ. නියමුවා කියන්නේ පුළුල්ව ජනතාව අතරට යන ජාතික පුවත්පතක් නෙවෙයි නේද..?

මම හිතන්නේ සහෝදරයගෙ ඒ අදහස වැරදියි. මේ පුවත නියමුවා පුවත්පතේ මුල් පිටුවේ පළ වුණාට පස්සේ රටේ ලොකු ආන්දෝලනයක් ඇති වුණා. අර මොකද විජේවීර සහෝදරයගේ අවසාන මොහොතේ ඇත්තටම මොකක්ද සිද්ධ වුණේ කියන එක මුළු රටටම ලොකු ප‍්‍රහේලිකාවක් වෙලයි තිබුණේ. ඇත්තම කියනවනම් පක්ෂයේ පහළ සාමාජිකත්වය ඒ ගැන හෙව්වා. රටේම මේ ගැන දැඩි තොරතුරු පිපාසයක් තිබුණාය කියන එක කාටවත් බැහැර කරන්න බැහැ.

ඒක හින්ද පත්තරකාරයො පිස්සු වැටිලා වගේ මේ තොරතුරු පස්සේ පන්නමින් හිටියේ. නියමුවා වගේ පක්ෂයක මධ්‍යම පුවත්පතක නෙවෙයි, අත්පත‍්‍රිකාවක ඒ ගැන තිබුණ තොරතුරක් උනත් සමාජයට එදා හරිම වැදගත් වුණා.

නියමුවා පුවත මුල්කරගෙන පත්තර දිගින් දිගටම මේ ගැන හොයන්න පටන් ගත්තා. දිගින් දිගටම ඒ ගැන පත්තරවල ලිව්වා. ඒ දවස් වල පළ වුණු පත්තර ටික අරගෙන බලන්නකෝ.

නියමුවා පුවතේ තිබුණනෙ අපරාධයට සම්බන්ධ සියලූම දෙනාගේ නම් ගම්. ජෙනරාල් සිසිල් වෛද්‍යරත්න, මේජර් තෝරදෙණිය, හෙට්ටිආරච්චි, මුතාලිෆ්, ජානක පෙරේරා…. ඔය වගේ හැම කෙනෙක්ගේම නම් පළ වුණාට පස්සේ හමුදාව අතරේ ඔවුන් පිළිබඳ ලොකු ආන්දෝලනයක් ඇති වෙන්නට පටන් ගත්තා. ඇයි ඒ සියලූම දෙනා එදා ජීවතුන් අතර හිටියා නේ. ඉතින් යුද හමුදාවත් ආරක්ෂක අංශත් හොයන්න පටන් ගත්තා නියමුවා පුවත්පතට මේ පුවත ආවේ කොහොමද කියන එක ගැන.

ඔබ ගැන කවුරුවත් සැක කරේ නැද්ද….?

ඇත්තටම මම ගැන සැක කළා. සැක කරපු නිසානේ අවුරුදු ගණනාවක් මට අපා දුක් විඳිමින් මහඋළුගෙදර තපින්න වුණේ. නමුත් කෙලින්ම මේක කළේ මමය කියලා නිශ්චිත නිගමනයක් ඔවුන්ට තිබුණෙ නැහැ.

අනිත් එක ඒ වෙනකොට රටේ තත්ත්වයත් හරි වෙනස්. 17 අවුරුදු යූ.ඇන්.පී. ආණ්ඩුව බිඳ වැටිලා චන්ද්‍රිකාගේ ආණ්ඩුව රට පාලනය කරන්න පටන් ගත්ත කාලෙනෙ මේ. මේ කාලේ හමුදාව ඇතුළේ වුණත් බලතුලනය වෙනස් වෙලයි තිබුණේ. පේ‍්‍රමදාස යුගයේ බලවතුන් ව සිටි සමහර හමුදා නායකයෝ ඇද වැටිලා, වෙනත් හමුදා බලවතුන් මතු වෙලයි තිබුණේ. සියල්ලටම වඩා උතුරේ යුද්ධය තව තවත් දරුණු වෙලා තිබුණා.

හමුදා නිලධාරීන්ගේ අවධානය උතුරට හැරිලයි තිබුණේ. 88 – 89 කාලේ හමුදාවේ හිටපු අළුගෝසුවෝ, ගහලයෝ, වධකයෝ ඊට පස්සේ උතුරේ යුද්ධය පැත්තට යොමුවෙලා ටිකෙන් ටික රණවිරුවෝ බවට පරිවර්තනය වෙන්න පටන් ගත්ත කාලේ තමයි මේ මම කියන්නේ. විශේෂයෙන්ම මුතාලිෆ්ලා ජානක පෙරේරාලා වගේ අය.

හොඳයි… නියමුවා පුවත්පතේ මේ පුවත පළ වුණාට පස්සේ ඔබට මොනවද දැනෙන්න පටන් ගත්තේ..?

ඇත්තවශයෙන්ම මට ලොකු බලාපොරොත්තුවක් ඇති වුණා. විජේවීර සහෝදරයාට කරපු සාහසික අපරාධය ගැන පරීක්ෂණයක් කරලා අපරාධකරුවන්ට නිසි දඬුවම් දෙන්න මට ලොකු වුවමනාවක් තිබුණා. ඒක මගෙ හිත ඇතුලෙ තදින් ක‍්‍රියාකරපු බලාපොරොත්තුවක්, සිතුවිල්ලක්, විතරක් නෙවෙයි. ඊට වඩා ලොකු දෙයක් කියලයි මට හිතෙන්නේ. මම ඒ බලාපොරොත්තුවත් එක්ක ජීවත් වුණා.

ඇත්තම කියනව නං චන්ද්‍රිකා ආණ්ඩුව පොරොන්දුවක් දීලයි තිබුණෙ විජේවීර ගැන කොමිසමක් දාලා අපරාධකරුවන්ට දඬුවම් දෙනවා කියලා. ඒක ජනතාව ඉදිරියේ දීපු පොරොන්දුවක්. යම් හෙයකින් අපේ පක්ෂය ඒ ගැන ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා නම් නිසැකවම ආණ්ඩුව කොමිසමක් දාලා ඒ ගැන හොයන්න පටන් ගන්නවා කියලා මම හිතුවා. නියමුවා පුවත්පතේ මේ පුවත පළ වුණාට පස්සෙ මට හිතුනා පක්ෂය ඔන්න දැන් වැඬේ ආරම්භ කරලා තියෙනවා කියලා. මම හිරේ ඇතුළේ හිටියේ කොයි වෙලාවක හරි මාව සාක්කි ගන්න කැඳවයි කියලා බලාපොරොත්තුවෙන්.

සාහසික ලෙස විජේවීර සහෝදරයා ව මරපු හැටි බලාගෙන හිටපු අය අතර, ඒ සිද්ධිය දෙස බොහොම වේදනාවෙන් බලා හිටපු තුන් දෙනෙක් හිටියා. එක්කෙනෙක් තමයි මම. අනිත් එක්කෙනා එදා ඒ බොරැල්ල කනත්තේ ආදාහනාගාරය භාරව හිටපු පුද්ගලයා. මම කලින් කිව්වනෙ ඔහු මුලදී මේ වැඬේට තදින් විරුද්ධ වුණා කියලා. අන්තිමේ ඔහුට කරගන්න දෙයක් නැතුව බලාගෙන හිටියා. තුන්වැන්නා තමයි මගේ ප‍්‍රධානියා. මගේ ප‍්‍රධානියා කර්නල් දසනායකගේත් මේ සිද්ධිය ගැන පොඞ්ඩක්වත් කැමැත්තක් අනුකූලතාවක් නොතිබ්බ බව පමණක් මම දන්නවා.

එදා ඒ බියකරු රාත‍්‍රියේ හැම තප්පරයක් තුළම සිද්ධ වෙච්ච සිදුවීම් මට හොඳට මතක තිබුණා. මම ඒ සිදුවීම් එකිනෙක පෙළගස්වලා රටේ ජනතාවට ඇත්ත කියන්න බලාගෙන හිටියා. පක්ෂය අපේ පුවත්පතේ මේ පුවත පළ කිරීමෙන් විජේවීර සහෝදරයා ගැන හොයන්න මෙහෙයුම දැන් ආරම්භ කරලා තියනවා කියන පණිවිඩය මට ලැබුණා. ඒත් ඊට පස්සෙ මොකද වුණේ කියන එක ගැන තමයි මට තියන ප‍්‍රශ්නය.

විජේවීර ඝාතනය ගැන සෙවීමට පක්ෂය ලොකු උනන්දුවක් දැක්වූ බව නියමුවා පත්තරේ පුවතින් මුලදී රටට අනාවරණය වුණා. පසුව ඒ උනන්දුව නැති වෙලා

ගියා. මේ වෙනස් ඔබට කොහොමද දැනුණේ…?

94 දී සිදුවූ දේ හෙළිදරව්ව සමගම රටේ ලොකු ආන්දෝලනයක් විජේවීර ඝාතනය ගැන ඇතිවුණ බව ඇත්ත. අපි රටේ ලොකු පෙරළියක් බලාපොරොත්තු වුණා. නමුත් හිරේ ඉන්න අපට දැනුණා කිසි දෙයක් රට තුළ වෙන්නෙ නැති බව. ඇත්තටම මට දැඩි කළ කලකිරීමක් ඇති උනා. පක්ෂය මේ ගැන උනන්දු වුණා නම් රජය මේ ගැන ලොකු පරීක්ෂණයක් කරන බව අපි දැනගෙන හිටියා. එහෙම වෙන්න හේතුව කුමක්ද? මම හිරේ හිටිය දීත් ඒ ගැන දිගින් දිගටම හොයන්න පටන් ගත්තා…

මම විස්තර කළා මීට කලින් 1997 සැප්තැම්බර් මාසේ මම නිදහස් වෙලා ඇවිල්ලා විජේවීර ඝාතනය ගැන සොයන්න සම්මේලනයේදී යෝජනාවක් කරපු බව… මගේ යෝජනාව ආපු වෙලාවේ පක්ෂයේ අපේ සහෝදරවරු අතර විශාල උනන්දුවක් මේ ගැන ඇති වුණා… ඒත් මොන හේතුවක් නිසාද මම දන්නෙ නෑ ඊට පස්සෙ කිසි කෙනෙක් ඒ ගැන කතා කරන්න පවා උනන්දු වුණේ නැහැ. ඇත්තටම එදා මේක මට ලොකු ප‍්‍රශ්නයක්…

මම හිතුවේ අපේ පක්ෂයේ එවකට නායකයා වන සෝමවංශ අමරසිංහ සහෝදරයා ලංකාවේ නැති නිසා මේ කිසි දෙයක් ගැන කවුරුවත් නිවැරදි තීන්දුවක් ගන්නේ නැහැ කියලයි….

සෝමවංශ අමරසිංහ සහෝදරයා ළඟදීම ලංකාවට පැමිණෙන බව ඒ වනවිටත් පක්ෂයේ ඉහළ නායකයින් අපට දන්වා තිබුණා… ඇත්තටම මම ඔහු ලංකාවට එනතුරු මඟ බලාගෙන හිටියා…. ඔහු ලංකාවට ආවට පස්සේ ඔහු මාව ගෙන්නවලා එදා ඒ කාලකන්නි රාත‍්‍රියේ මොනවද වුණේ කියලා මුල ඉඳලා අගට අකුරක් පාසා මගෙන් විමසල අහවි කියලා මම බලාපොරොත්තුවෙන් හිටියා…ඊට පස්සේ නිසැකවම විජේවීර සහෝදරයාගේ ඝාතනය පිළිබඳව ඔහු රජයෙන් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලාවි කියලා මට ලොකු විශ්වාසයක් තිබුණා.

ඔබ ඔබේ නායකයා වන සෝමවංශ අමරසිංහ සහෝදරයාව ඊට පෙර පටන් දැනගෙන සිටියාද..?

අපි හමු වෙලා තිබුණෙ නැහැ… නමුත් මම ඔහු ගැන බොහෝ වර්ණනා අසා තිබුණා… ඉතාම හොද සංවේදී මහත්මයෙක්… රටේ ලෝකේ ඇසූ පිරූ තැන් ඇති හසල බුද්ධිමතෙක්….අසාමාන්‍ය දක්ෂතාවලින් පිරිපුන් නායකයෙක් කියලා මම අසා තිබුණා.

මතකද සෝමවංශ අමරසිංහ සහෝදරයා, ඔබලාගේ නායකතුමා කාලයක් ලංකාවෙන් පිට ජීවත් වෙලා නැවත ඇවිල්ලා ලංකාවේ දේශපාලනය පටන් ගත්ත හැටි..?

ඔව්… මට මතක විදිහට 2001 ඔක්තෝම්බර් මාසයේ 25 ත් 30 ත් අතර දවසක තමයි ඔහු ලංකාවට ඇවිල්ලා අපිත් සමග දේශපාලන වැඩ කටයුතු පටන් ගත්තේ. ඔහු ලංකාවට පැමිණියායින් පසු මුලින්ම කළේ ලංකාව පුරාම ඉන්න දිස්ත‍්‍රික් ලේකම්වරු ගෙන්වලා ඔවුන් සමග විශේෂ සාකච්ඡුාවක් පවත්වපු එකයි… පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ලේකම්වරයා විදියට මටත් ඒ

රැස්වීමට නිල වශයෙන් සහභාගි වන්නට අවස්ථාව ලැබුණා. අපි උපේක්ෂා සහගතව ඔහු දෙස බලාගෙන හිටියා. ඔහු දැන් මොනවා කරයිද කියලා…. ඒත් මට කියන්න කණගාටුයි….. අවුරුදු ගාණක් තිස්සෙ මම මග බලාගෙන හිටපු කිසිම දෙයක් ඔහුගෙන් නම් ඉටු නොවන බවට මට හොඳ විශ්වාසයක් ඇති වුණා, එම රැස්වීමේ වැඩකටයුතු අවසන් වනවාත් සමගම…ඇත්ත වශයෙන්ම මට විශාල කලකිරීමක් ඇති උනා සෝමවංශ අමරසිංහ සහෝදරයා පිළිබඳවත්…

එදාමයි ඔබට ඔහුව මුලින්ම හමුවන්නේ…. බලාපොරොත්තු වුණ කිසිම දෙයක් ඔහුගෙන් සිද්ධ වෙන්නේ නැහැ කියාලා ඔබ කොහොමද එකවර නිගමනය කරන්නේ…. ඔය තරමට කලකිරෙන්න හේතුව මොකක්ද..?

ඔහු එදා රැස්වීමේදී ලේකම්වරු අමතා ලොකු පාපොච්චාරණයක් කළා. ඔහු හරිම ප‍්‍රියමනාපයි..ඒ වගේම හරිම සංවේදීයි කියලා අපට හිතුණා… හරියට සුදු මහත්තයෙක් වගේ අපිට පෙනුනේ… ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි වගේ නිර්ධන පාන්තික පක්ෂයක නායකයෙක් කියල හිතන්නවත් බැහැ… මම හිතන්නේ දීර්ඝ කාලයක් යුරෝපයේ ගත කරපු නිසා ඔහුට ඒ වගේ මටසිලිටි පෙනුමක් ලැබෙන්න ඇති….

ඔහුගේ කතාවේ දී ඔහුට විජේවීර සහෝදරයගෙ මතකය අවදි වන හැම අවස්ථාවකම සංවේදී වී අඬන්න පටන් ගත්තා… අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ ඔහු එදා කතා කරපු හැටි…

ඔහු විජේවීර සහෝදරයා වගේ කෙනෙක් රටට අහිමි වීම ගැන කිව්වා… මම ඒ වෙලාවේ පුලපුලා බලා සිටියා ඔහු ඒ ගැන මගෙනුත් යමක් විමසා බලාවි කියලා… නමුත් ඔහු මං ගැන කිසිදු සඳහනක් කළේ නැහැ…

විජේවීර සහෝදරයාගේ මරණය පිළිබඳව මම හෙළිදරව්

කරපු තොරතුරු ඔහු දැනගෙන සිටියත් ඔහු ඒ ගැන කතා කළත් මා ගැන තැකීමක් වත් කළේ නැහැ…

ඔහු හැඟුබරව සංවේදීව හිටියා කියා ඔබ කිව්වා… එදා එම අවස්ථාවේ ඔබ ගැන කතා කරන්න හෝ ඔබගෙන් විස්තර අහන්න ඔහුට මගහැරුණා විය නොහැකිද..?

එහෙම වෙන්න පුළුවන්…. එදා මමත් මගේ මිතුරනුත් හිත හදා ගත්තේ ඒ විදියට කල්පනා කරලා තමයි.. ඒ උනාට එතනින් පස්සේ හරි මගෙන් ඒ ගැන වචනයක්වත් විමසුවේ නැහැ… විජේවීර සහෝදරයා ගැන ඔය තරම් ළෙන්ගතුව ඔය තරම් සංවේදීව කතා කරපු එම නායකයාට එම සිදුවීම් මාලාව පිළිබඳව සජීවීව බලාසිටි මගෙන් අසා දැනගන්න මොනම ආකාරයේ වත් කරුණක් නැද්ද… අපි ඊට පස්සේ දිගින් දිගටම එකට වැඩ කළා… ඔහු මා ගැන හොඳට දන්නවා… ඒත් මොකක්ද පුතා එදා එතන උනේ කියලා… ඔහු මගෙන් විමසුවේ නෑ… ඊට පස්සේ අවුරුදු කීයක් පක්ෂයේ නායකයා විදිහට අපිත් එක්ක වැඩ කළාද. ඔහු මිය යනතුරුම මගෙන් ඒ ගැන එක වචනයක් වත් ඇහුවේ නෑ….ඒකයි මට තියන ප‍්‍රශ්නය….

– බුලිත ප‍්‍රදීප් කුමාර

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button