පළකල දිනය : Wed, Aug 8th, 2018

දානෙ ගෙදර ගිය ගමනින් මරණ තුනක් – කුඹුක්‌කන මාරක අනතුර මෙන්න !

යමෙක්‌ මනුසත් බව ලබා මෙලොව උපදින්නේ තමන්ට උරුම වුණ එකම සම්පත වූ මරණය ද දෝතින් රැගෙනය.

උපන්නොත් යම් කෙනෙක්‌ මෙලොවේ මරණයත් කොටා ඇත නළලේ…

මරණයක්‌ ඇයිද මේ කෙටුවේ… මහ බඹා මනුසතා නළලේ..

පැරණි ගීතයක එසේ සඳහන් වචන පෙළ ජීවිතයේ සත්‍ය බව තහවුරු කිරීමක්‌ වැනිය. එය එසේ වුවත් එකම පවුලක්‌ එකම මොහොතක මෙලොව හැරයයි නම් එය කෙතරම් ශෝචනීයද?

එවැනි ශෝචනීය පුවතක්‌ අපිට අසන්නට ලැබුණේ ඉකුත් 04 වැනිදා රාත්‍රියේ මොනරාගල, කුඹුක්‌කන ප්‍රදේශයේ දී සිදුවුණ බිහිසුණු ත්‍රිරෝද රථ අනතුරත් සමගය.

ජෝතිරත්නගේ කුමාරසිරි මූලික පාසල් අධ්‍යාපනය ලැබුවේ විලඔය ශ්‍රීපාලි මහා විද්‍යාලයෙනි. අපොස සාමාන්‍ය පෙළ දක්‌වා අධ්‍යාපනය ලැබූවත් ඉන් එතෙරවීමට නොහැකි වීම නිසා පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කියන්නට ඔහුට සිදුවිය. ආර්ථික අපහසුතා අතින් පීඩිත වී සිටි දරුවන් හතරදෙනෙකු සිටින පවුලක තුන්වැනි දරුවා වූ කුමාරසිරි 22 හැවිරිදි වියේ පසුවිය. කුමාරසිරි රැකියාවක්‌ කරන්නට තීරණය කරන්නේ මේ ආර්ථික අපහසුතාවලින් ගොඩ එන්නටය. ගමේ ඉඳලා වැඩක්‌ නැහැ. පිට පළාතකට ගිහින් රස්‌සාවක්‌ කරලා කීයක්‌ හරි හොයා ගන්න ඕනි. කුමාරසිරි සිය මෑණියන් වූ මවුලින් මාතාවට පවසා ඇගේ දෙපා නැමඳ ගෙදරින් පිටවිය.

කුමාරසිරිගේ රැකියා ස්‌ථානය වූයේ රත්නපුර කලවාන ප්‍රදේශයේ පිහිටි තේ කර්මාන්ත ශාලාවකි. වසර දෙකක්‌ පමණ තේ කර්මාන්ත ශාලාවේ රැකියාව කළ කුමාරසිරි ඉතිරි කරගත් මුදලින් ත්‍රිරෝද රථයක්‌ මිලට ගන්නේ කරමින් සිටි රැකියාවට ආයුබෝවන් කියා ගමට ගිහින් දෙමාපියන් සහ බාල සහෝදරයත් රැකබලා ගෙන ඔහුගේ අධ්‍යාපන කටයුතුවලටත් උදව් උපකාර කරන බලාපොරොත්තු වෙනි.

ත්‍රිරෝද රථය රැගෙන ගමට ආවත් කුමාරසිරි සිය හදවත තේ කර්මාන්ත ශාලාවේ තබා ආවේය. ඔහුට එහි වැඩ කරමින් සිටියදී අනාගත සහකාරිය හමුවන්නේය. 20 හැවිරිදි වියේ පසුවූ කන්දසාමි ශිව කුමාරි කලවාන රත්නපුර ප්‍රදේශයේ පදිංචිකාරියකි. ශිව කුමාරි සමග ඔහු නොබිඳෙන පෙමක පැටලී සිටියේය. ශිව කුමාරි දුටුවන් මනබඳින ඕනෑම අයෙකුට දෙපාරක්‌ හැරී බලන්නට තරම් රූ සපුවක්‌ ඇයට හිමිවිය. කුමාරසිරිගේ සහ ශිව කුමාරිගේ ආදර අන්දරය තේ පැක්‌ටරියේ මතකයන් අතරින් ගලා ගියේය.

ත්‍රිරෝද රථයත් සමග ගමට පැමිණි කුමාරසිරිට කලක්‌ ගතවන විට ඉන් සැලකිය යුතු ආදායමක්‌ උපයාගන්නට උත්සාහ දැරුවද ලැබෙන සොච්චම් මුදල පවුලක්‌ නඩත්තු කිරීමටත්, තමන්ගේ විය හියදම් සොයා ගැනීමටත්, ලීසින් වාරික ගෙවීමටත් ප්‍රමාණවත් නොවීමත්, ලීසිං වාරික කිහිපයක්‌ ගෙවීම අතපසු වීමත් නිසා කුමාරසිරි දස අතේ කල්පනා කරන්නට විය. අවසානයේ ඔහු තීන්දුවක්‌ ගත්තේය. සිය මවට හෝ පවුලේ ඥාතීන්ට නොදැනෙන්නට ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳීමට තීරණය කළේ ආර්ථීක අපහසුතා එන්න එන්නම වැඩිවූ නිසාය. යුද හමුදාවට බැඳීම සඳහා සියලු කටයුතු සූදානම් කරගත් කුමාරසිරි අවසානයේ යුද හමුදාවේ 2 වන ශ්‍රී ලංකා රයිපල් බළකායට එක්‌වී පුහුණුව ලබා ගම්පොළ පිහිටි කඳවුරේ සේවය කරමින් සිටියේය.

හමුදා සේවයට එක්‌වුවද කුමාරසිරිගේ ආදර කථාව අතරමඟ නොනැවතී ගලාගෙන ගියේය. හැකි ඉක්‌මනින් කැදැල්ලක්‌ තනන්නට සිහින දකිමින් සිටියත් කුමාරසිරිගේ හමුදා රැකියාව ඊට හරස්‌ විය. ඒ විවාහ වීමට හමුදාවෙන් අවසර නොලැබීම නිසාය. ඒ සඳහා තව කාලයක්‌ ඉවසා සිටින්නට සිදුවිය. එහෙත් කුමාරසිරි සහ ශිව කුමාරි ඉන් සැලුණේa නැත. පෙම්වතුන් යුවළ කුමාරසිරිට නිවාඩු ලද මොහොතේ මොනරාගල, විලඔය, පහතඅරාව ප්‍රදේශයට පැමිණ සිය මව්පියන් ඥාතීන් සමග කාලය ගතකර ඔවුන්ගේ ඕනෑ එපාකම් සොයාබලා යුතුකම් ඉටු කළහ.

කුමාරසිරි නිවාඩු ලද සැණින් ගමට පැමිණීමට තවත් කාරණාවක්‌ හේතුවිය. ඒ ඔහුගේ වැඩිමහල් සහෝදරියගේ පුත්‍රයා වන නිම්සර ප්‍රභාත්ය. මේ පුංචි පුතුට පවුලේ උදවිය සුරතලයට ඇමතුවේ සංජු කියාය. සංජු ඉගෙන ගත්තේ විලඔය ශ්‍රීපාලි මහා විද්‍යාලයේ තුන්වන ශේ්‍රණියේය. සංජුගේ ප්‍රියතම පුද්ගලයා වූයේ සිය දෙමාපියන්ටත් වඩා කුමාරසිරි මාමාය. කුමාරසිරි මාමාත් සංජුත් අතරත් තිබුණේ ගහට පොත්ත මෙන් බැඳීමකි. මෙය නම් සංසාරගත බැඳීමක්‌ යෑයි පවුලේ ඥාතීහු කියන්නට වූහ.

සංජු පුතාට මාමා නැතුව මොහොතක්‌ ඉන්න බැහැ. මල්ලි නිවාඩුවට ගෙදර ආව ගමන් හොයන්නේ සංජු පුතාව. ඒ තරම්ම පුතාට ආදරෙයි. සංජු පුතා කුමාරසිරි මල්ලිගේ පපුව උඩ තමයි නිදාගන්නේ. ගෙදර ආවොත් නිතරම බයිසිකලයක්‌ ඉල්ලලා මල්ලිට කරදර කරනවා. හොදට ඉගෙන ගෙන ශිෂ්‍යත්ව විභාගය පාස්‌ වුණොත් මම බයිසිකලයක්‌ අරගෙන දෙනවා කියලා කුමාරසිරි පැවසුවා යෑයි ඔහුගේ ඥාති සහෝදරියක්‌ අප සමග කීවාය. ඒ නිසා වෙන්ම සංජු පුතා ඉගෙන ගැනීමට දැඩි උත්සාහයක්‌ උනන්දුවක්‌ දැක්‌වීය. සංජු පුතාව හැමදාම පාසලට වඩාගෙන එක්‌ක යන්නේ පුතාගේ කිරි අම්මා. පුතා එයාගේ අම්මට වඩා ආදරෙයි කිරි අම්මට. කිරි අම්මා තමයි හැදුවේ වැඩුවේ යෑයි ඥාතිවරිය පැවසුවාය.

සංජුගේ කිරි අම්මා දිවුල්ගහගෙදර මවුලින්ය. ඕ සංජුට පණමෙන් ආදරය කළාය. ඇය යන යන තැන සංජුව රැගෙන ගියාය. අවසාන වතාවට සංජුව රැගෙන යන්නේ මාරයාගේ අභිමුවට බව ඇයට සිතුනි නම් කිසිම දිනෙක එම ගමන නොයන්නට ඇය තීරණය කරනු ඇත. එහෙත් සංජු මුණුබුරා මාරයාගෙන් ගලවා ගැනීමට ඇයට නොහැකි විණි. සංජුගේ කිරි අම්මා මවුලින් මාතාව අද වනවිටත් මොනරාගල දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටී. ඇයට සිදුව ඇති කිසිවක්‌ පිළිබඳ අවබෝධයක්‌ නැත. නිවාඩු ලද සැණින් කුමාරසිරි ගමට දන්වා එවූයේ බුත්තල යුදඟනාව ප්‍රදේශයේ පැවත්වෙන දානෙ ගෙදර යන්නට එන බවය. ඒ බුත්තල ප්‍රදේශයේ ඥතිවරියකගේ වියෝවූ දරුවකුගේ වර්ෂ පූර්ණ පිංකමට සහභාගි වීමටය.

දෙපාර්ශ්වයේම ඥාතින්ගේ ආශිර්වාද ලබා සිටි කුමාරසිරි වෙනදා මෙන් ගමට පැමිණියේ සිය පෙම්වතිය වන ශිව කුමාරි සමගය. සිය මව, පෙම්වතිය සහ සොයුරියගේ පුත්‍රයා සමග ඉකුත් 04 වැනිදා බුත්තල ප්‍රදේශයට ගියේ දානමය පිංකමට සහභාගිවීමටය. ත්‍රිරෝද රථයේ රියදුරු වූයේ කුමාරසිරිය. පිංකමේ කටයුතු සියල්ල අහවර වීමෙන් පසු සියලු දෙනාගෙන් සමුගෙන ආපසු සිය නිවසට පැමිණීමට සූදානම් වූ කුමාරසිරි ත්‍රිරෝද රථය ළඟටත්, නිවසටත් කිහිප වරක්‌ ආගිය බවත් ඥාති සහෝදරිය පැවසුවාය. සිතේ යම්කිසි කුකුසක්‌ ඇතිවුවත් එය මොහොතකට අමතක කර තවත් ඥාති කණ්‌ඩායමක්‌ සමග ත්‍රිරෝද රථ දෙකකින් මෙම පිරිස ආපසු නිවෙස්‌ බලා එන්නට වූයේ රාත්‍රි 10 ට පමණය.

බුත්තල සිට කුඹුක්‌කන අන්දරමණ්‌ඩිය ප්‍රදේශයට කිලෝමීටර් 07 ක පමණ දුරක්‌ ඇත. වේලාව රාත්‍රී 10.45 ට පමණ ඇත. නොහික්‌මුණු රියදුරෙක්‌ මොනරාගල දෙස සිට මාරාවේශයෙන් ආ ලොරි රථයක්‌ ධාවනය කරගෙන ආවේය. නිමේෂයක්‌ තුළදී කිසිවක්‌ සිතා ගැනීමටවත් ඉඩ නොතබා ප්‍රදේශයම දෝංකාර දෙමින් කුමාරසිරිගේ ත්‍රිරෝද රථයේ ගැටිනි. ත්‍රිරෝද රථය පොඩිපට්‌ටම් විය. ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ ඥාතීන් රැගත් අනිත් ත්‍රිරෝද රථය ඇතිවූ ශබ්දය කුමක්‌දැයි විමසන්නට විය. දුටු සිද්ධියෙන් අතිශය කම්පාවට පත් ඥාති පිරිස එසැණින්ම තුවාලකරුවන් මොනරාගල දිස්‌ත්‍රික්‌ මහ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළහ. එහෙත් කුමාරසිරි, ඔහුගේ පෙම්වතිය සහ පණමෙන් ආදරය කළ සංජු පුතා රෝහලේ දී අවසන් හුස්‌ම හෙලූහ.

එහෙත් ඊළඟ පරිච්ඡේදයෙන් කියෑවෙන්නේ කුමාරසිරිලාගේ ජිවිතයේ ඇතුල් පැත්තය.

විලඔය, පහතඅරාව, නුගගහබැද්ද ගම්මානය සියඹළාණ්‌ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ඉතාම වියළි කර්කශ ප්‍රදේශයක පිහිටි ගොවිතැනින් ජීවිතය ගැටගසා ගන්නා ජනතාවක්‌ සිටින ප්‍රදේශයකි. මේ ප්‍රදේශයේ දුක්‌ත ජීවිත ගෙවන පවුල් ගණන බොහෝය. කුමාරසිරිලාගේ පවුලේ තත්ත්වයද එසේමය. අඩුම තරමින් තමන් ඉපදී හැදුන වැඩුණ නිවසේ අවසාන මොහොතේ දේහය තබා ගැනීමටවත් ඉඩක්‌ හෝ සුදුසු වටපිටාවක්‌ නොමැතිවීම ඔවුන්ගේ දුප්පත්කම මොනවට කියාපාන්නකි. අවසානයේ මියගිය තිදෙනාගේ දේහයන් කුමාරසිරිගේ මහප්පාගේ නිවසේ අවසන් ගෞරව දැක්‌වීම සඳහා තැන්පත් කරන්නට තීරණය විය.

කුමාරසිරිගේ දුප්පත් නිවස වෙනුවට නව නිවහනක්‌ ඉදි කරන්නට ඔහු උත්සාහයක්‌ ගෙන තිබූ බව දක්‌නට ඇත. කපන ලද කොන්ක්‍රීට්‌ ගල් තැන තැන ගොඩ ගසා ඇත. තවත් තැනක ගොඩගසන ලද වැලි ගොඩක්‌ය. එහෙත් කුමාරසිරිගේ සිහින සියල්ලම දෑස්‌ පනාපිටම සුණු විසුණු වී ගියේය.

ඔහු සමඟ ඔහු දැඩිව ඇළුම් කළ, ආදරය කළ සදාදරණීය පෙම්වතිය ශිව කුමාරි, ආදරණීය පුතු සංජු, මහප්පාගේ ගෙයි මැද සාලයේ එක පෙළට වැතිර සිටිති. කුමාරසිරිගේ දේහය අසල ඔහු සේවය කළ රයිපල් බළකායේ සෙබළුන් මාරුවෙන් මාරුවට සීරුවෙන් සිටින්නේ සිය මිත්‍රයාට අකාලයේ සිදුවූ විපතින් කම්පිතවූ සිත් ඇතුවය.

අද (08 දා) දින මළහිරු බසිනා සැන්දෑයාමේ මේ සියල්ල හැරපියා කුමාරසිරි පැතූ ලෝකය සොයා පවුලේ සුසාන භූමියේ දී මිහිදන් වන්නේ ආදරණීය පෙම්වතිය සහ සංජු පුතණුවන් සමගය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button