පළකල දිනය : Sun, Aug 12th, 2018

රටක් වටින ස්නායු දොස්තර කීතු කීතු හප කළ පේරාදෙණියේ සුනඛ පුත්තු !

අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ ස්නායු ශල්‍ය වෛද්‍ය යොහාන් කෝරලගේ මහතා පසුගිය සිකුරාදා (3) පේරාදෙණිය විශ්වවිද්‍යාලය මැදින් වැටී ඇති පාරෙන් තම රථය පදවාගෙන ඉදිරියට ආවේ සාදාගෙන යන තමාගේ නිවස බැලීමටය. ඒ සැණින්ම ඔහුගේ දුරකථනයට ඇමතුමක් ආවේ අනුරාධපුර රෝහලෙනි. ඒ, තමා ප්‍රතිකාර කළ රෝගියකුගේ තත්ත්වය බරපතළ බව පවසමිනි.

වෛද්‍ය යොහාන් ගමන් ගත් මාර්ගය ඔහුට අමතක විය. පාරේ අයින් කර තම රථය නතර කළ වෛද්‍යවරයා දුරකථනය මගින් රෝගියාට ලබා දිය යුතු ක්ෂණික ප්‍රතිකාරය කුමක්ද යන්න පිළිබඳව වාට්ටුවේ සිටි අනෙකුත් වෛද්‍යවරුන් දැනුවත් කළේය.

ඔහු උපදෙස් දී අවසන් වනවාත් සමග දහ දෙනකුගෙන් පමණ සැදුම් ලත් ශිෂ්‍ය කණ්ඩායමක් පැමිණ ඔහුගේ රථය වට කර ගත්හ. එක් තරුණයෙක් වෛද්‍යවරයාගේ රථයේ දොර විවෘත කර ඔහුව එළියට ඇද බිම දමා පහර පිට පහර එල්ල කළේය.

තමා අනුරාධපුර රෝහ‍ලේ ස්නායු ශල්‍ය වෛද්‍යවරයා බවත් තමා කතා කළේ අසාධ්‍ය වූ රෝගියකු වෙනුවෙන් බවත් දිගින් දිගටම ප්‍රකාශ කළද තරුණයින් දිගට හරහට පහර දුන්නේය. මේ කතාව කියන්නේ වෛද්‍ය යොහාන් කොරලගේ මිතුරෙක් වන අනුරාධපුර රෝහ‍ලේ සේවය කරන වෛද්‍ය තේජාන්ය. ඒ වෛද්‍ය කෝරලගේ පහරදීම්වලින් තරමක් බරපතළ තත්ත්වයේ සිටින බැවින් කතා කිරීමට අපහසු බැවිනි.

වෛද්‍ය තේජාන් පවසන ආකායරටෙ අනුව දැඩි ලෙස තුවාල ලැබූ කෝරලගේ වෛද්‍යවරයා පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ අතර එහි දින දෙකක් ප්‍රතිකාර ලබා නිවස බලා ගියේය. එහෙත් ඔහුට නැවතත් අසාධ්‍ය වී පසුගිය ඉරිදා (5) කොළඹ ජාතික රෝහ‍ලේ ස්නායු ශල්‍ය ඒකකය වෙත ඇතුළත් කළේය.

පාර අයිනේ වාහනය නතර කර දුරකථන ඇමතුම ලබා ගත්තද වෛද්‍යවරයාට පහර දුන්නේ විශ්වවිද්‍යාල භූමිය මැදින් වැටී ඇති පාරේ වාහන නතර කිරීම තහනම් කිරීමේ නීතියක් විශ්වවිද්‍යාල සිසුන් ගොඩනගා ගෙන ඇති හෙයින් යැයි වෛද්‍ය තේජාන් පැවසීය.

වෛද්‍යවරයා මේ බව දැන දැනත් තම වාහනය නතර කළේ රෝගියකුගේ ජීවිතය බේරාගැනීමට අවශ්‍ය සහාය ලබා දීමට යැයිද හෙතෙම අප හා පැවසීය.

“ඔය කියන සිද්ධිය වුණේ ආර්.ඩී.ඒ. එකට අයිති පාරක. ඔය පාර ගලහාට යන ප්‍රධාන මාර්ගයයි. අනුරාධපුර රෝහ‍ලේ ශල්‍ය වෛද්‍යවරයා එයාගේ වාහනය නතර කරගෙන හිටියේ විශ්වවිද්‍යාලයේ හිල්ඩා නේවාසිකාගාරයේ ඉදිරිපිටයි. ඔය පාරේ වාහන නතර කරන්න විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඉඩ දෙන්නේ නැහැ. අපි මේ සම්බන්ධයෙන් පේරාදෙණිය ‍පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක ධර්මරත්න මහතාගෙන් විමසූ කල ඔහු සඳහන් කළේ එවැනි අදහසකි.

”වෛද්‍යවරයා වාහනය ටික වේලාවක් නතර කරගෙන ඉඳලා තියෙන්නේ එයාගේ ගෙදර ඉදිකරන බාස්ලා එනකම්. විශ්ව විද්‍යාල සිසුන් කීපදෙනෙක් ඇවිල්ලා වාහනය එම ස්ථානයෙන් ඉවත් කර ගන්න කියලා. හැබැයි නගර සභාවෙන් වත් ආර්.ඩී.ඒ. එකෙන්වත් එම පාරේ වාහන නතර කරන්න එපා කියලා නියෝග කර සංඥා පුවරු සවි කරලා නැහැ. වෛද්‍යවරයත් ඔය විශ්වවිද්‍යාලයේම තමයි අධ්‍යාපනය ලබලා තියෙන්නේ. ඒ නිසා එම වෛද්‍යවරයා ශිෂ්‍යයින්ගෙන් ප්‍රශ්න කරලා තියෙනවා ඇයි වාහනය නතර කරන්න බැරි කියලා. ඔය වෙලාවේ තමයි පහර දීම වෙලා තියෙන්නේ. සිසුන් පිරිස වෛද්‍යවරයාට පහරදීම ගැන සාක්ෂි අපිට ලැබුණා. ඒ අනුව සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කළා. ඒ අය දැන් රිමාන්ඩ් කරලා ඉන්නේ. ඔවුන් කලා අංශයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෝ. තවත් සිසුන් කීහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත යැයි” ඔහු පැවසීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ “සෙනට්” ගොඩනැගිල්ල තුළ ශිෂ්‍යයින් සිය ගණනක් බලෙන් රැඳී සිටින අතර ඔවුන් අතර වෛද්‍යවරයාට පහර එල්ල කර සිසුන් සිටින බැවින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම ‍පොලීසිය මේ වන විට උත්සාහ කරමින් සිටින්නේය.

මේ අතර ජාතික රෝහ‍ලේ ස්නායු ශල්‍ය ඒකකය වෙත මාරු කර තිබෙන වෛද්‍ය කෝරලගේ මහතාගේ දකුණු අත හිරි වැටී පණ නැති වන අතරම වමනය, කරකැවිල්ල හා සිහි මඳ ගතිය නිතර නිතර ඇති වන්නේය. ඔහු එම්ආර්අයි ස්කෑන් පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතව ඇත. කොළඹ ජාතික රෝහ‍ලේ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් හය දෙනකු මේ වන විට වෛද්‍ය කෝරලගේ මහතාට ප්‍රතිකාර ලබා දෙමින් සිටිති. ඔහුගේ ගෙල ප්‍රදේශයේ ස්නායුවලට ආබාධයක් සිදුව ඇද්ද යන්න පිළිබඳව වෛද්‍යවරුන් සොයා බලමින් සිටින්නේය.

කෙසේ නමුත් වෛද්‍යවරු සඳහන් කරනුයේ වෛද්‍ය කෝරලගේට යළිත් සැත්කම් කිරීමට නම් මාසයක පමණ කාලයක් ගත වනු ඇති බවයි.

එහෙත් රෝගී වී සිටින වෛද්‍යවරයා තම හිතවත් වෛද්‍යවරුන් සමග පවසා ඇත්තේ සිදු වී තිබෙන මෙම අනතුර හේතුවෙන් තමා දක්ෂතාවන්හි අඩුවක් විය හැකිදැයි යන්නයි. එසේ අඩුවක් සිදු වුවහොත් තමා අතින් සුව කළ හැකි පිරිස ක්‍රමයෙන් අඩුවීම දුකක් යැයිද ඔහු සඳහන් කර ඇත්තේය.

කෙසේ නමුත් වෛද්‍යවරයා මෙම සිදුවීමත් සමග මානසික කඩාවැටීමකට පත්ව ඇති බව කොළඹ ජාතික රෝහ‍ලේ වෛද්‍යවරයෙක් අප හා පැවසීය.

කෝරලෙගේ මහතා අනුරාධපුර රෝහ‍ලේ ස්නායු ශල්‍ය වෛද්‍යවරයා ලෙස සතියකට ස්නායු ශල්‍යකර්ම 35ක් පමණ සිදු කරන්නේය. ඔහුගේ සේවාව අනුරාධපුර රෝගීන්ට පමණක් සීමා වූවක් නොව වවුනියාව, මන්නාරම, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, මාත‍ලේ හා ‍පොළොන්නරුව යන ප්‍රදේශවල රෝගීන් දක්වා විහිද යන්නකි.

වෛද්‍ය කෝරලගේ මහතා රෝගී ඇඳට වැටීම හේතුවෙන් මෙම ප්‍රදේශවල සිට පැමිණෙන ස්නායු රෝගීන් සිය ගණනකගේ ජීවිත අනතුරට පත්ව ඇත්තේය. මෙම රෝගීන් කොළඹ ජාතික රෝහල වෙත හෝ නුවර රෝහල වෙත මාරු කර හැරීමට සිදු වන්නේය.

හදිසි අනතුරකට පත්ව ඉතාමත් ඉක්මනින් සැත්කම් කිරීමට සිදුවන පුද්ගලයින්, කොළඹ ජාතික රෝහලට හෝ නුවර රෝහලට ගෙන ඒමට සැලකිය යුතු කාලයක් ගත වන්නේය. මෙය රෝගීන්ගේ ජීවිත අනතුරට පත් කිරීමට හේතුවක් විය හැකිය.

ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු අප රටට සම්පතකි. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය සතු ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 13කි. මෙම 13 දෙනාගෙන් එක් අයකු මේ වන විට රෝගී ඇඳේය. කොළඹ ජාතික රෝහ‍ලේ සිටින ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් හයදෙනාගේ අධීක්ෂණය යටතේ වෛද්‍ය කෝරලගේ මහතා ප්‍රතිකාර ලබන්නේය. ඉතිරි ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් නුවර, කරාපිටිය, යාපනය, කුරුණෑගල, බදුල්ල රෝහල්වල සේවය කරති.

ශ්‍රියානි විජේසිංහ
(රිවිර)

Comments පලකිරීමට පහතට යන්න


Displaying Comments 2
Have Your Say
  1. e p l mendis says:

    Where is GMOA please speak about in your press conference !

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button