පළකල දිනය : Tue, Aug 14th, 2018

කොළඹ හතේ කුඩු මාලිගයට දේශපාලනඥයෝ පෝලිමේ එති !

ඉහළම දේශපාලනඥයන් ඇසුරු කරමින් සමාජයේ ප්‍රභූවරයකු ලෙස වැජඹුණු සියාම් තමාට ඇති බලයේ තරම සෙසු මත්කුඩු ජාවාරම්කරුවන්ට පෙන්වීමට නිරන්තරයෙන් සිහින මැව්වේය. අපූරු අදහසක් ඔහුට පහළ වන්නේ ඒ සිහිනය සැබෑකර ගැනීමට මගක් කල්පනා කරමින් සිටියදීය. ඒ කොළඹින් තමාටම කියා නිවසක් ඉදිකර ඒ නිවසට ගෙවදීමට උත්සවයක් සංවිධානය කරමින් සියලුම දේශපාලනඥයන් එහි ගෙන්වීමටය.

කොළඹ හතේ වෝඩ් පෙදෙසෙන් පැරණි නිවසක් සහිත පර්චර්ස් 38 ක ඉඩමක් ඔහු මිලදී ගන්නේ ඒ අනුවය. රුපියල් ලක්ෂ 280 කට මිලදී ගත් ඒ ඉඩමේ පිහිටි පැරණි නිවස කඩාබිඳ දමන ඔහු එහි සුවිසල් සුඛෝපභෝගී නිවසක් ඉදිකළේය. මාලිගාවක් බඳු ඒ නිවස ඉදිකිරීමට පමණක් ඔහු ලක්ෂ 350 ක් වැයකර තිබුණේය.

නිවසට අවශ්‍ය සියලුම ගෘහ උපකරණ මෙන්ම අභ්‍යන්තර සැරසිලි පවා ඔහු ගෙන ආවේ විදේශයන්ගෙනි. ඒ සැරසිලි සඳහා පමණක් ඔහු රුපියල් ලක්ෂ 100 කට වැඩි මුදලක් එකල වැයකර තිබුණි. ඒ සියල්ලක් ගැනම ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිටියේ දැඩි විමසිල්ලකිනි.

හෝර්ටන් පෙදෙසේ කුලී නිවසේ සිට වෝඩ් පෙදෙසේ නිවසට ගෙවැදීමේ උත්සවය ඔහු සංවිධානය කරන්නේ මහත් ඉහළින්ය. රටේ ඉහළම දේශපාලනඥයාගේ පටන් මැති ඇමැතිවරු ගොන්නක්ම එදා එහි පැමිණ සිටියෝය. ව්‍යාපාරික වෙස්ගත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත දැවැන්තයෝද අඩුවක් නොමැතිව සිටියෝය.

සමාජයේ ඉහළ පැළැන්තියේ ප්‍රභූ ව්‍යාපාරිකයෙක් ලෙස දැවැන්ත දේශපාලන බලයක් සහිතව සිටි සියාම් කොටුකර ගැනීම ඒත් සමගම එතරම් පහසු කටයුත්තක් නොවන බව ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ඒ වන විටත් වැටහී තිබුණේය. ඔහුව අත්අඩංගුවට ගැනීම එක්තරා විදිහකට අතපුච්චා ගැනීමකි. එහෙත් කිසිසේත්ම ඔහු අතහැර සිටින්නට ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට සිත් නොවීය. ඒ ඔහු ඒ වන විට මෙරට මත්කුඩු ජාවාරමේ ඒ ගණයේ ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටියෙක් වූ නිසාය.

‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුවක් නිරන්තරයෙන් යාවත්කාලීන කරමින් පවත්වාගෙන යන්නේය. ඒ ගණයේ සහ බි ගණයේ යැයි කියා ප්‍රධාන ජාවාරම්කරුවන් එහි ලැයිස්තුගත කර ඇත්තේ ඉතා රහසිගත විමර්ශනවලින් හෙළිකරගන්නා තොරතුරු පදනම් කරගෙනය. එකල ඒ ගණයේ ලැයිස්තුවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 33 දෙනෙක් සිටි අතර බි ගණයේ ලැයිස්තුවේ සිටියේ 20 දෙනෙකි. ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් ලැයිස්තුගත කරනු ලැබුවේ ඒ ගණයේ ලැයිස්තුවේය.

සියාම්ගේ නම සටහන්ව තිබුණේ එම ලැයිස්තුවේය. සියාම්ගේ නමට පහළින් තිබුණේ සියාම් මත්කුඩු ජාවාරමට අත‍පොත් තබන විට ඉහළින්ම සිටි ජාවාරම්කරුවන්ගේ නම්ය. ඒ අය ඒ වන විට පත්ව සිටියේ සියාම්ගෙන් මත්කුඩු තොග වශයෙන් ලබාගන්නා සියාම්ගේ ගෝලයින් බවටය. ඒ තරමට සියාම් කෙටි කාලයක් තුළදී මත්කුඩු ජාවාරමේ හිනිපෙත්තටම නැග සිටියේය.

මාව කවදාවත්ම ‍පොලිසියට අල්ලන්න බැහැ. ඇල්ලුවත් බඩුත් එක්ක අල්ලනව බොරු සියාම් සිය ගෝලබාලයින් හමුවේ එකල පුරසාරම් දෙඩුවේ එසේය. ඒ තරමටම ඔහුට ඒ ගැන පැවතියේ දැඩි විශ්වාසයකි.

එකල ඇතැම් ඇමැතිවරු විවේකය ගත කරන්න පවා සියාම්ගේ වෝඩ් පෙදෙසෙට එන්න යන්නට පටන් ගත්තේය. එක්තරා ඇමැතිවරයෙක් සියාම් සමග රෙදි ව්‍යාපාරයක්ද ආරම්භ කළේය. තවත් ඇමැතිවරයෙක් සියාම්ගේ නිවසට පැමිණ දරුවන්ව සිය පිටෙහි තබාගෙන අලියා පිටේ ක්‍රීඩාව කළේය. ඒ තරමට සියාම්ගේ පවුල දේශපාලනඥයන් සමග බද්ධ වී සිටියේය. ඒ සියාම්ගේ මුදල් බලයට වඩා සියාම්ට පැවැති ඉහළ දේශපාලන සම්බන්ධකම නිසාය.

ඒ වන විට සියාම් සතුව පර්ජෝ, ප්‍රාඩෝ වැනි එකල මිල අධිකම මෝටර් රථ හතක්ම තිබුණේය. ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ හලාවත මුහුදු තීරයට ගෙන එන මත්කුඩු කොළඹට ගෙන ආවේත් බෙදා හැරියේත් එම සුඛෝපභෝගී වාහනවලිනි. ඒ එවන් වාහන නතර කරන්නටත් පරීක්ෂා කරන්නටත් ‍පොලිසිය දැඩි බියක් දක්වන නිසාය.

2003 වසරේ නොවැම්බර් 23 වැනිදා ඉන්දියාවෙන් පටවන ලද හෙරොයින් තොගයක් හලාවත මුහුදු තීරයෙන් ගොඩබෑවේය. සුපුරුදු ලෙස එම හෙරොයින් තොගය හලාවත සිට කොළඹට ගෙන එන්නේ සියාම්ය. ඒ ඔහුට අයත් පර්ජෝ රථයෙනි. එම හෙරොයින් තොගය සඟවන්නේ වෝඩ් පෙදෙසේ නිවසේය. ඉන් කොටසක් පසුදිනම ඔහු විකුණා දැම්මේ සුපුරුදු ගනුදෙනුකරුවෙක්ටය. ඒ ගැන තොරතුරක් ලැබෙන්නේ ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සැරයන්වරයකුටය.

ඔහු ඒ බව ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින එකල මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක අමරජිත් සිල්වාට කීවේය. කාලයක් තිස්සේ සියාම් ගැන ඇස ගසාගෙන සිටි අමරජිත් සිල්වා ඇතුළු ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිතන්නේ සියාම්ව කොටුකර ගැනීමට මේ තමන්ට ලැබි ඇති එකම සහ අවසාන අවස්ථාව බවය.

ඒ බව අමරජිත් සිල්වා පැහැදිලි කර දෙමින් සියාම්ව කොටුකර ගැනීමේ මෙහෙයුමට අවසර ඉල්ලා සිටින්නේ එවකට ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාව සිටි වත්මන් ‍පොලිස්පති පූජිත් ජයසුන්දරගෙනි. ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට නවකයෙක් වූ පූජිත් ජයසුන්දර මහතා ඒ වන විට සියාම් කවුරුන්දැයි දැන සිටියේ නැත. ඒ ගැන පැහැදිලි කිරීම් පවා කරන්නට එකල මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ගියේද නැත. ඒ ඔහුට ඇති දේශපාලන බලය ගැන දැනගත්විට මෙහෙයුම අසාර්ථකවේවි යැයි සිතාය.

– රිවිර

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button