පළකල දිනය : Tue, Aug 14th, 2018

හෙලිකොප්ටර් ගුවන්යානා දාගෙන රටපුරා පොළොව යට කවුද? මොනවද? හොයන්නෙ? (වීඩියෝ)

මෙරට භූමි තලයේ තිබෙන ආර්ථික වශයෙන් වටිනා විකිරණශීලි ඛනිජ නිධි සිතියම් ගත කිරීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් දිවයින පුරාම ආවරණය වන පරිදි මුල් වරට පුළුල් ගවේෂණයක් අරඹා ඇත.

එම ගවේෂණය ගොඩබිමින් සේම ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානාද යොදාගෙන සිදු කිරීමට කටයුතු යොදා තිබිම විශේෂත්වයකි. ‍පොළොව යට සැඟවී තිබෙන විකිරණශීලි ඛනිජ වර්ග අපනයනය කර ඒ සඳහා ආර්ථිකමය වටිනාකමක් ලබාදීම මෙම ගවේෂණය මගින් සිදුකරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

මෙරට විකිරණශීලී ඛනිජ වර්ග අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇත්තේ 19 වැනි සියවසේ මුල් කාලයේදීය. 1904 වසරේදී තෝරියනයිට් සහ තෝරයිට් යන තෝරියම් අඩංගු විකිරණශීලි ඛනිජ වර්ග එවකට ඛනිජ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටි ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා සොයා ගත්තේය.

මෙම සොයා ගැනීම විශේෂත්වයක් වන්නේය. එය නම් ලෝකයේ මුලින්ම තෝරියනයිට් සහ තෝරයිට් යන ඛනිජ සොයා ගැනීමේ ප්‍රථම අවස්ථාව මෙය වීමය. මෙම සොයා ගැනීම ලෝකයේ විකිරණශීලී පර්යේෂණ කටයුතුවලට මහත් උපකාරයක් වන්නට විය. ඒ නිසා මෙරට මෙම විකිරණශීලි ඛනිජ වර්ගවලට ලෝකයේ විශාල ඉල්ලුමක් විය.

1905 සිට 1910 දක්වා කාලසීමාව තුළදී තෝරියනයිට් සහ තෝරයිට් යන විකිරණශීලි ඛනිජ ගවේෂණය මෙරට තුළ සිදු කෙරුණි. අවිස්සාවේල්ල ප්‍රදේශයට ආසන්න මිටි‍පොල, අලුත්ගමට ආසන්න ප්‍රදේශවල සහ රත්නපුර ප්‍රදේශය ආශ්‍රිතවද මෙම ඛනිජ ගවේෂණය සිදු කෙරී ඇත.එමෙන්ම,එම විකිරණශීලි ඛනිජ වර්ග අපනයනය කිරීමද සිදුවී ඇත.

ඒ කාලයේදී විකිරණශීලි විද්‍යාඥයින් මෙරටින් සොයාගත් මෙම විකිරණශීලි ඛනිජ වර්ග යොදාගෙන විවිධ සොයා ගැනීම් සිදු කරනු ලැබුවා. පැටේ‍රා්ල් මැක්ස්වල තිබෙන ගෑස් මැන්ටල් නිෂ්පාදනය සඳහා මෙම විකිරණශීලි ඛනිජ යොදා ගත්තා. මොකද ඒ කාලයේ ලෝකයේ විදුලි සැපයුම අඩු මට්ටමක තිබුණේ යැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (භූ විද්‍යාඥ) උදය ද සිල්වා මහතා පැවසීය.

මොනසයිට් නමැති ඛනිජ වර්ගයද විකිරණශීලි ඛනිජයකි. එහි විරල පාංශු ලෝහ අන්තර්ගතව තිබෙනවා. මෙම ඛනිජය මිලෙන් අධිකය. මෙම විකිරණශීලි ඛනිජ වර්ගය මෙරට බොහෝ ප්‍රදේශවලින් හමුවී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

ඛනිජ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ ඉංග්‍රීසි ජාතික භූ විද්‍යාඥයින් දෙදෙනකු වන වේලන් සහ කෝට්ස් යන දෙදෙනා 1910 වසරේදී කළුතර සිට බෙන්තොට දක්වා වූ මුහුදු තීරයේ සිදුකළ සමීක්ෂණයකදී විකිරණශීලීතාවයෙන් අධික ඛනිජ සොයාගෙන ඇත. ඛනිජ වැලි සමග සියයට 5 සිට සියයට 15 දක්වා ප්‍රමාණයක් ඛනිජ වැලි සමග මොනසයිට් අන්තර්ගත විය.

මොනසයට් බහුල ඛනිජ එම ප්‍රදේශයේ තිබෙන බවට එම භූ විද්‍යාඥයෝ පසුව සිදුකළ පරීක්ෂණවලදී තහවුරු කර ගත්හ. මොනසයිට් ඛනිජ වැලිවලින් නිස්සාරණය කිරීම සඳහා ඔවුන් කුඩා නියාමන කර්මාන්තශාලාවක්ද ආරම්භ කරන ලදී. 1918 සිට 1921 කාලයේදී මෙරට තිබෙන මොනසයිට් ජපානය ආදී රටවලට අපනයනය කර ඇත. පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව එම ඛනිජයට තිබූ ඉල්ලුම අඩුවූ අතර, 1925 පමණ වන විටදී එම නියාමන කර්මාන්තශාලාව නතර කෙරිණි. එම කාලයෙන් පසුව මතෛක් විකිරණශීලි ඛනිජ අපනයනය කර නැත.

එක්දහස් නවසිය පනස් ගණන් සහ හැට ගණන්වලදී කැනේඩියානු රජයේ ආධාර ඇතිව එකල පැවති ඛනිජ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විකිරණශීලි ඛනිජ ගවේෂණයක් සිදු කරන ලදී. මෙම සමීක්ෂණය ගොඩබිමෙන් සහ ගුවන්ගතවද සිදු කෙරුණි. නමුත්, එම සමීක්ෂණ කටයුතු නිරිතදිග කලාපයට පමණක් සීමාවී තිබුණි. ඒ කාලයේදී වැඩි වශයෙන් විකිරණශීලි ඛනිජ වර්ග සොයාගෙන තිබුණේද නිරිත දිග කලාපයෙනි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල සහ අධ්‍යක්ෂක ජනරාල් සිරිවර්ධන යන මහත්වරු රජයේ තීරණයක් මත දිවයින පුරාම පිහිටි විකිරණශීලි ඛනිජ පිහිටි ස්ථාන හඳුනා ගැනීමට ගුවන්ගත සමීක්ෂණයක් සිදු කිරීමට තීරණය කරන ලදී.

මෙහිදී ගුවන්ගත චුම්භක ලක්ෂණ සහ ගුවන්ගත විකිරණශීලි ලක්ෂණද සොයා ගන්න පුළුවන්. ඊට විශාල වියදමක් යනවා. ඒවා තවදුරටත් අධ්‍යයනය කරලා විකිරණශීලි ඛනිජ නිධි හඳුනා ගන්න පුළුවන් යැයි ‍‍‍ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ (භූ විද්‍යා) උදය ද සිල්වා මහතා පැවසීය.

මෙම ගවේෂණයේදී කඳුකර ප්‍රදේශවල විකිරණශීලි ඛනිජ නිධි ඇති ස්ථාන පරීක්ෂා කිරීම සඳහා ගුවන්යානාද, උතුරුමැද ආදී තැනිතලා ප්‍රදේශවල විකිරණශීලි ඛනිජ නිධි ඇති ස්ථාන පරීක්ෂා කිරීම සඳහා හෙලිකොප්ටර් යානාද යොදා ගැනීමට නියමිතය.ලබන වසරේ මැද භාගයේ ආරම්භ කෙරෙන මෙම ගවේෂණය අවසන් කිරීමට වසර දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.

ජාත්‍යන්තර පරමාණු ශක්ති ඒජන්සිය, ශ්‍රී ලංකාවේ පරමාණු ශක්ති මණ්ඩලය සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය එක්ව විකිරණශීලි ඛනිජ නිධි සොයා ගැනීම සඳහා 2000 වසරේ සිට ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. ජාත්‍යන්තර පරමාණු ශක්ති අධිකාරිය විසින් මෙම කටයුතු සඳහා ජර්මනියේ නිෂ්පාදිත ජංගම ගැමා කිරණ විකිරණ මාන පද්ධතියක්ද ලබාදී ඇත. එම පද්ධතිය අධි සංවේදක පද්ධතියකින් සහ පාලක පද්ධතියකින් සමන්විතය. විකිරණශීලි සහිත ප්‍රදේශයකින් මෙම පද්ධතිය සහිත වාහනය ගමන් කරන අවස්ථාවන්හිදී ඒ අවස්ථාවේම ස්වයංක්‍රීයව තත්පරයෙන් තත්පරයට ප්‍රස්ථාර, වගු ආකාරයෙන් පෙන්නුම් කෙරෙන බව පර්යේෂණ නිලධාරි චන්දන රුක්මල් මහතා පැවසීය.

මීටර් 50-100 අතර ප්‍රදේශයක පිහිටි විකිරණශීලි ඛනිජ සහිත ස්ථාන එහි පරිඝනකය හරහා මෙම පද්ධතියෙන් පෙන්නුම් කෙරේ. මීට අමතරව අතේ ගෙනයා හැකි කුඩා ප්‍රමාණයේ ගැමා කිරණ විකිරණ මාන පද්ධතියක් යොදාගෙන විකිරණශීලිතාව වැඩිපුර ඇති ප්‍රදේශවල වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි. වෙරළ කලාපයේ විකිරණශීලි ඛනිජ ඇති ස්ථාන සොයා ගැනීම සඳහා යොදා ගනු ලබන්නේද මෙම උපකරණයමය. අධි විකිරණශීලිතාව සහිත ප්‍රදේශවල භූ විදුම් කටයුතුද සිදු කෙරේ.

ලංකාවේ භූ විද්‍යා සිතියම 1ඃ100000 සිතියම් 21 කට වෙන්කර තිබෙන්නේ. ගුවන්ගත සිතියම් ලබා ගන්නා තුරු ජංගම ගැමා කිරණ විකිරණ මාන පද්ධතිය භාවිත කරලා ‍පොළොව මත තිබෙන විකිරණශීලි ඛනිජ නිධි සොයා ගන්නවා. දැනට දඹුල්ල, පල්‍ලේගම සහ මාත‍ලේ යන ප්‍රදේශවලත් හඟුරන්කෙත, මහනුවර සහ මහියංගනය යන ප්‍රදේශවලත් ආවරණය වන සිතියම් දෙකක් සකසා අවසන් කර තිබෙනවා. ඉන් මාත‍ලේ ප්‍රදේශයෙන් විකිරණශීලි ඛනිජ නිධි තුනක් සොයාගෙන තිබෙනවා. එහි ආර්ථිකමය වටිනාකම සොයන්න වැඩිදුර සමීක්ෂණ කටයුතු සිදුකරගෙන යනවා යැයි උදය ද සිල්වා මහතා කීවේය.

මාත‍ලේ අමන, නාඋල සහ කවුඩුපැලැල්ල යන ප්‍රදේශ වලින් මෙම විකිරණශීලි ඛනිජ නිධි සොයාගෙන තිබේ.
ගාල්ල-ඇල්පිටිය ප්‍රදේශය ආශ්‍රිතව මේ දිනවල විකිරණශීලි ඛනිජ ඇති ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා සමීක්ෂණයක් අරඹා ඇත. මෙම ප්‍රදේශයේ මූලික ගවේෂණ කටයුතු සඳහා මාස තුනක පමණ කාලයක් ගතවේ. භූ විද්‍යාඥ කේ.ඒ.ජී. සමීර මහතා එම කටයුත්තට සම්බන්ධ වී සිටී.

විකිරණශීලි ඛනිජ ඇති ස්ථාන හඳුනා ගැනීමෙන් පසු එහි සාම්පලයක් ලබා ගන්නවා. ඒවා විද්‍යාගාරයට යවා වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා යැයි සමීර මහතා කීවේය.

මෙම ගවේෂණයේදී තවත් කටයුත්තක් සිදු කෙරේ. එය නම් ඒ ඒ ප්‍රදේශවල පරිසරයට සම්බන්ධ විකිරණශීලිතාවයද පරීක්ෂාවට ලක් කෙරේ. මිනිස් වාසයන් සහිත ප්‍රදේශවල මිනිසුන්ට අහිතකර තත්වයේ විකිරණශීලි ඛනිජ නිධි පිහිටා ඇත්නම් ඒ සම්බන්ධව පරමාණු ශක්ති බල මණ්ඩලයට දැනුම් දෙනු ලබයි. වැඩිදුර කටයුතු සිදු කරනු ලබන්නේ එම මණ්ඩලය මගිනි. රජයේ නිවාස ව්‍යාපෘතියක් මාත‍ලේ, අමන ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වූ අතර, එම ප්‍රදේශයේ විකිරණශීලි ඛනිජ මිනිසුන්ට අහිතකර බවට ඛනිජ නිධි ගවේෂණයේදී අනාවරණය වීම නිසා එම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන ලෙසද නිර්දේශ කර ඇත.

විකිරණශීලි ඛනිජ ජීර්ණය වෙලා රට වටේම ගංගා හරහා ගලාගෙන ගොස් මුහුදේ තැන්පත් වෙනවා. එහිදී කොටසක් වෙරළබඩ කලාපයේ තැන්පත් වෙනවා. ඛනිජ වැලි සමග තමයි මේ විකිරණශීලි ඛනිජ තැන්පත් වෙලා තියෙන්නේ. අපි ලංකාව පුරාම වෙරළ බඩ කලාපයේ සමීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මීට වසර තුන හතරකට ඉහතදී නැගෙනහිර වෙරළ තීරයේ සමීක්ෂණය අවසන් කළා. කෝකිලායි සිට පානම දක්වා එම සමීක්ෂණ කටයුතු සිදු කළා. එහිදී විකිරණශීලි ඛනිජ නිධි නවයක් හඳුනාගනු ලැබුවා. මේ දිනවල ඒවායෙහි සාම්පල නිරීක්ෂණය කරනවා යැයි උදය ද සිල්වා මහතා පැවසීය.

මේ වසරේදී මන්නාරමේ සිට ගාල්ල හරහා කිරින්ද දක්වා වෙරළ තීරයේ සමීක්ෂණ කටයුතු අරඹා තිබේ. භූ විද්‍යාඥ දර්ශන මහතා එම කටයුත්ත සිදු කරනු ලබයි. බොල්ගොඩ ගඟ, කළු ගඟ සහ බෙන්තොට ගඟෙන් මුහුදට එකතුවන විකිරණශීලි ඛනිජ යළි වෙරළ තීරයට එකතු වී ඇති ස්ථාන මෙහිදී ගවේෂණය කෙරේ. මෙම ප්‍රදේශ විකිරණශීලි ඛනිජ වර්ග බහුල ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත.

1997 වසරේදී නාරා ආයතනය සහ කැනඩාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය එකතුවෙලා පානදුර සිට බෙන්තොට දක්වා නොගැඹුරු මුහුදු තීරයේ සමීක්ෂණයක් සිදුකර ඇත. එහිදී සියයට 1.1 ක විකිරණශීලි ඛනිජයක් වන විරල පාංශු ලෝහ සහිත මොනසයිට් ප්‍රතිශතයක් නොගැඹුරු මුහුදේ මීටර් දෙකක් ගැඹුරට තිබෙන බව මූලික සමීක්ෂණවලදී හඳුනාගෙන ඇත. එය ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් මිලියන ගණනකි. අනාගතයේදී එහි කැණීම් කටයුතු සිදු කිරීමට නියමිතය. ටර්බයින, ඉලෙක්ටේ‍රානික පරිපථ සඳහා මොනසයිට් යොදාගනී. එමගින් දේශීය ආර්ථිකයට විශාල දායකත්වයක්ද ලබාදිය හැකිය.

– සාලිය කුමාර ගුණසේකර
(රිවිර)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button