පළකල දිනය : Sun, Aug 19th, 2018

හදවත් ලෙඩවී දිනකට මරණ 150යි – හතලිහ,පනහ වයස්වල අය ප‍්‍රවේශමෙන් !

හදවත නතර වුවහොත් අපේ ජීවිතය ද නැති වන බව අප දන්නා දෙයකි. අපේ ශරීරයේ රුධිර සංසරණයට අත්‍යවශ්‍ය වන ශක්තිය සපයන ප‍්‍රධාන අවයවය වන්නේද හදවතය. මව් කුස තුළ කලලය විකශනය වන අවස්ථාවේ ජීවියත් සමග හට ගන්නා මුල්ම අවයවය වන්නේ ද හදවතයි. යම්කිසි අවස්ථාවක ජීවිතය තොරවන්නේ ද හදවතේ ක‍්‍රියාකාරිත්වය නතරවීම නිසාය. ඒ විතරක් නොව මුළු ශරීරයටම රුධිරය සංසරණය වන්නේ හදවත මගිනි. මුළු සිරුරේ ෙසෙලවලට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැගෙන යන්නේද ෙසෙලවලින් නිකුත් වන අපද්‍රව්‍ය ආපසු රැගෙන එන්නේ ද රුධිරය මගිනි. මේ නිසා කසළ ශෝධකයා වන්නේ ද පෝෂණ සැපයුම්කරුවා වන්නේද රුධිරයයි. රුධිරය ඉදිරියට මෙන්ම පසු පසට රැගෙන යන්නේ හෘදය වස්තුවේ ක‍්‍රියාකාරිත්වය නිසාය. මේ නිසා හෘදය වස්තුවේ මනා ක‍්‍රියාකාරිත්වය ජීවිතය පවත්වාගෙන යෑමට ඉතා වැදගත් වන්නේය.

මේ නිසාවෙන් අපේ ජීවිතය පවත්වාගෙන යෑම සඳහා හදවත සුවපත්ව තබාගත යුතුය. ඒ කොයිහැටි වුවද අපේ රටේ දිනකට හෘද රෝගවලින් රෝගීන් 120ක් 150ක් අතර සංඛ්‍යාවක් මිය යති.. මේ කථාව අපට කියන්නේ ප‍්‍රකට හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වන නාමල් ගමගේ මහතාය. හේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර ඒකකයේ ප‍්‍රධානියාය. විශේෂඥ වෛද්‍යවරයා පවසන ආකාරයට අපේ රටේ ස්වාභාවික මරණ සඳහා ප‍්‍රධානතම හේතුව වන්නේ ද හෘද රෝගී තත්ත්වයන්ය. මෙරට බෝනොවන රෝග නිසා දිනකට 250ක් පමණ මිය යති. ඉන් මරණ 120කට 150කට වගකිව යුත්තා වන්නේ හෘදය ආශ‍්‍රිත රෝගයන්ය.

මෙරට පමණක් නොව ලෝකයේ ඕනෑම රටක ස්වාභාවික මරණ සඳහා ප‍්‍රධාන හේතුව වන්නේ හෘද රෝගයන්ය. නාමල් ගමගේ වෛද්‍යතුමා හෘදය වස්තුවේ ක‍්‍රියාකාරිත්වය ගැන මෙන්ම හෘද රෝග ඇති වන ආකාරය මෙන්ම ඉන් වැළකෙන්නේ කෙලෙසද යන්න පිළිබඳ දිගු විස්තරයක් කළේය. මේ නාමල් ගමගේ වෛද්‍යතුමා ඒ ගැන අපට කි කථාවයි.

හෘදය වස්තුව සමාන්තර ධාරා දෙකක් හැටියට වැඩ කරන්නේ. පෙනහලූවලට දකුණු කෝෂිකාවෙන් එවන රුධිරය පෙනහලූවලදී කාබන්ඩයොක්සයිඩ් මුදාහැරලා ඔක්සිජන් උරාගෙන නැවත වතාවක් වම් කර්ණිකාවට එනවා. වම් කර්ණිකාවෙන් වම් කෝෂිකාව හරහා පීඩනයට පත්වෙලා ඒ පීඩනයෙන් තමයි මුළු ශරිරයේ රුධිර සංසරණය වන්නේ සංස්ථානික සංසරණ පද්ධතිය හරහා. මේ සඳහා ක‍්‍රියාවන් කිහිපයක් හෘදය වස්තුව කරන්න ඕන. රුධිරයට යම්කිසි විභව ශක්තියක් සැපයෙන්න ඕන. ඒ පීඩනයෙන් මුළු ශරීරයේ ලේ කේශ නාලිකා හරහා ගමන් කරවීම සඳහා. දකුණු කෝෂිකාව මෙන්ම වම් කෝෂිකාවත් කරන්න ඕන. රුධිරය එක පැත්තකට විතරක් ගමන් කරන්න ඕන. මේ සඳහා හෘදය වස්තුව සාමාන්‍ය පොම්පයක් වාගේ කපාට නැති නම් වයල් උපයෝගී කරගන්නවා.

කපාට හතරක් සාමන්‍යයෙන් හෘදය වස්තුවේ තියෙනවා. රුධිරයට අවශ්‍ය විභව ශක්තිය සපයන්නේ හෘද මාංශ පේශිවලින්. ඒ දකුණු කෝෂිකාවේ හෝ වම් කෝෂිකාවේ තියෙන මාංශ පේශිවලින් කර්ණිකා වගේ නොවෙයි. කෝෂිකා දෙක මාංශමය වශයෙන් ඝනවෙලා තියෙනවා. හෘදය වස්තුවේ විතරයි විශේෂ වශයෙන් ඒ මාංශපේශිය පිහිටලා තියෙන්නේ හෘද මාංශ පේශිය පිහිටන්නේ හෘදය වස්තුවේ විතරයි. ඒක විශාල වශයෙන් ශක්තිය ජනනය කළ හැකි මාංශ පේශියක්. හෘද මාංශ පේශිය හැකිලීමෙන් තමයි රුධිරයට පීඩනය සැපයෙන්නේ. හෘදයා බාධයක් කියලා කියන්නේ ඔය කියන පද්ධතිවල ප‍්‍රශ්නයක් එක්කො හෘද මාංශ පේශිවල පීඩනය සැපයීමේ ක‍්‍රියාවලිය අවහිරවීම. කපාටවල ක‍්‍රියාකාරිත්වය හරි විදියට නැතිවීම. හෘදමාංශ පේශිය ක‍්‍රියාකරන්න නිසි අයුරින් රුධිරය සැපයෙන්න ඕන. ඒ සඳහා පෝෂණය සැපයෙන්නේ සහ අපද්‍රව්‍ය බැහැර කරන්නේ රුධිරය නියමාකාරයෙන් සැපයීමෙන්.

රුධිරය බැහැරට ගෙනියන්නේ කිරීටක ධමනිය හරහා. කිරීටක ශිරා හරහා තමයි රුධිරය ආපස්සට හෘදය වස්තුවේ දකුණු පැත්තේ කර්ණිකා වෙත ගෙනියන්නේ.. මේ වගේ රුධිර නාල අවහිර වූ විට හෘද මාංශ පේශිය හරියාකාරව වැඩ කරන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවලදී රුධිරයට පීඩන විභවය ශක්තිය සැපයෙන විභවය ජනනය කිරීමට ශක්තිය නොමැතිවීම හෘදයට තියෙන ප‍්‍රශ්නයක්. කපාටවල ක‍්‍රියාකාරිත්වය අඩුවූ විට කපාටයන් ඉදිරියට ලේ ගෙනියන්න ඉඩ නුදුන් විට ඕනෑම පොම්පයක තියෙන කපාටයත් වගේ ඒක හරහා යන කුමක් හෝ තරලයට ඉදිරියට බාධාවක් නැතිව යන්න ඉඩ දෙන්න ඕන. එහෙම රුධිරය ඉදිරියට ගෙනියන්න බාධා කරනවා නම් ඒ කපායට රෝගී කපාටයක්. හෘද කපාටයකට නියම දිශාවට ඇරෙන්න අනික් පැත්තට ලේ යන එක වලක්වන්න බැරි නම් එය රෝගී වූ කපාටයක්. මේ දේවල්වලින් තමයි හෘදයාබාධ හඳුනා ගන්නේ කපාටවල තියෙන ප‍්‍රශ්න. නැති නම් මාංශ පේශිවල තියෙන ප‍්‍රශ්න රුධිර වාහිනිවල තියෙන ප‍්‍රශ්න. මෙවා වැඩිහිටි අවස්ථාවේ ඇති වන හෘද රෝග ඇතිවන්නේ ඔය ක‍්‍රියාකාරකම් දෙකේ ප‍්‍රශ්න නිසා.

වැඩිහිටි අවස්ථාවේදී නතුකරගත් හෘද රෝග සඳහා වන හේතු කිරීටක හෘද රෝග. කිරීටක ධමනි අවහිරවීම නිසා ඇති වන හෘද රෝග. කේශනාලිකාවලට බෙදිලා හෘද මාංශ පේශිවලට රුධිරය සැපයෙන්නේ රුධිර නාලිකා මගින්. මේවා මත කොලෙස්ටරොල් නිධි වශයෙන් තැන්පත් වෙලා අවහිර වෙන්න පුළුවන් කොලෙස්ටරෝල් තැන්පත් වන රුධිරවාහිනිය මත කැල්සියම් තැන්පත් වෙනවා කැල්සියම් ඝනීභවනය වෙලා ක‍්‍රම ක‍්‍රමයෙන් ඒ හැදෙන නිධිය වර්ධනය වෙලා වර්ධනය වෙලා යම් කිසා අවස්ථාවක රුධිර නාලයේ විෂ්කම්භයෙන් සියයට 70ක් විතර අවහිරවූ විට තමයි රෝගියාට හෘද මාංශයට රුධිරය නිසි අයුරින් නොසැපයීම නිසා තමයි පපුවේ වේදනාව ඇති වන්නේ. මෙයට ඇන්ජයිනා කියලා කියනවා. යම්කිසි අයෙක් වැඩකරන විට ඇවිදින විට අහාර ගන්නා විට හෘදයේ ක‍්‍රියාකාරිත්වයට රුධිර සැපයුම වැඩියෙන් අවශ්‍ය වෙනවා ශරීරයේ යම් යම් කොටස්වලට මේ වගේ අවස්ථාවලදී පපුවේ වේදනවා පටන්ගන්නවා.

රුධිර නාලය සියයට 70ක් දක්වා අවහිර වන තෙක් රෝගියාට මේ ගැන කිසිදු දැනීමක් නැහැ. නමුත් රෝගය හටගෙන වසර ගණනාවක් වෙනවා. ඒ නිසා රෝගී තත්ත්වය මූලික අවස්ථාවේ හඳුනා ගන්න බැහැ. රෝගියා කියන කථාව අහලා මේක හඳුනා ගන්න බැහැ. සමහරක් අයට හිටපු ගමන් පපුව අමාරු හැදෙනවා ඒක එළිදකින්නේ හෘදයාබාධයක් හැටියට මාංශ පේශීන්ට රුධිරය සැපයීම අඩුවීම නිසා ඇති වන වේදනාවට තමයි ඇන්ජයිනා කියලා කියන්නේ. සමහර රෝගීන්ට ඇවිදින විට පපුවේ වේදනාව ඇති වෙනවා නිශ්චිත ප‍්‍රමාණයක් වැඩ කරන විට තමයි ඇති වන්නේ. ඒ ක‍්‍රියාව නතර කළ විට ඒක පහවෙලා යනවා. නැවත ඒ ක‍්‍රියාව කරන විට ආපසු වේදනාව ඇති වෙනවා. කරන ප‍්‍රමාණය එක ප‍්‍රමාණයක් කරන විට මේක ක‍්‍රම ක‍්‍රමයෙන් වැඩිවෙනවා. වැඩි දුරක් ඇවිදින්න බැරිවෙනවා. මේ රුධිර නාලය සියයට සීයයක් අවහිරවෙන්නත් පුළුවන්.

රෝගියාගේ ජානමය ස්වාභාවය තෙල් සහිත ආහාර ගැනීම, කොලෙස්ටරෝල්, දියවැඩියාව, රුධිර පීඩනය ව්‍යායම මදිකම, මානසික ආතතිය යන හේතු කිරීටක හෘද රෝගවලට බලපානවා යැයි හෘද රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා කියන්නේය.

විශාල වශයෙන් නිවාරණය කරගත හැකි හෘද රෝගය වන්නේ කිරීටක හෘද රෝගයන්ය.. මේ සඳහා බයිපාස් සැත්කම් කළ යුතුය. සැබවින්ම බයිපාස් සැත්කම්වලට ලක්කළ යුතු රෝගීන් පසුවන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවෙමිනි. මෙකී හෘද

රෝගීන්ගේ එකම බලාපොරොත්තුව වන්නේ කඩිනමින් බයිපාස් සැත්කමකරවා ගැනීමටය. ඒ ජීවිත දානය ලබා ගැනීම සඳහාය. බයිපාස් සැත්කම පමා වුවහොත් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවන බව ඔවුහු හොඳින් දනිති. කොටින්ම කිවහොත් මේ අයගේ ජීවිත විදුලි බල්බයක් මෙනි. කොයි මොහොතේ හෝ නිවී යා හැකිය නාමල් ගමගේ වෛද්‍යතුමා විසින් මේ වන විට සිදුකොට ඇති බයිපාස් සැත්කම් සංඛ්‍යාව දහඅටදහසකටත් අධිකය.. මේ ගැන නාමල් ගමගේ වෛද්‍යතුමා කීවේ මෙවැනි කථාවකි.

කිරීටක හෘද රෝගය නිවාරණය කරගැනීම සඳහා හෘද සැත්කම් කළ යුතු වෙනවා. ස්ටෙන් දමන්න වෙනවා. මේ සඳහා ඉල්ලූම හා සැපයුම අතර විශාල පරතරයක් තියෙනවා. අපේ රටේ දිනකට හෘද සැත්කම් කළ යුතු රෝගීන් 50ක් 60ක් විතර ඉන්නවා. නමුත් රජයේ හා පුද්ගලික රෝහල්වල දිනකට හෘද සැත්කම් 12ක් පමණ තමයි කරන්නේ. ඒ නිසා තමයි පොරොත්තු ලේඛනය වැඩිවෙලා තියෙන්නේ. මගේ පොරොත්තු ලේඛනයේ හෘද සැත්කම් කළ යුතු රෝගීන් 3000 ක් විතර ඉන්නවා. මම හිතන්නේ කරාපිටිය රෝහලේ හෘද හා උරස් කුහර ඒකකයේ එක් රෝගියකුගේ හෘද සැත්කමක් කරන්න රජය මගින් රුපියල් ලක්ෂ 14ක් පමණ වැය කරනවා. හෘද රෝගියකුගේ ඩයි පරීක්ෂණය කරලා වසරක් ඇතුළත හෘද සැත්කම් කළ යුතුයි. එක හෘදරෝගියාගේ අයිතිවාසිකමකි. දෙවැනි හෘදයාබාධය ඇතිවීම වලක්වා ගැනීමට තමයි බයිපාස් සැත්කම කරන්නේ. නාමල් ගමගේ වෛද්‍යතුමා කියන්නේය.

කෙසේ වුවද අපේ රටේ හෘද රෝගියකුට ඩයි පරීක්ෂණයක් සිදුකොට රජයේ රෝහලක හෘද සැත්කම කිරීම සඳහා වසරක් නොව වසර දෙක තුනක් බලා සිටීමට සිදුවෙති. දැනට මෙරට හෘද සැත්කම් කරනු ලබන්නේ කරාපිටිය, කොළඹ, ශ‍්‍රී ජයවර්ධනපුර හා නුවර යන රෝහල්වල පමණි. හෘද ශල්‍ය වෛද්‍යවරු සිටිය ද හෘද සැත්කම් කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් මෙන්ම උපකරණ නැත. ඒ ගැන සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුව ඇත.

– ලලිත් චාමින්ද

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button