පළකල දිනය : Thu, Aug 23rd, 2018

“මම හිතුවේ විශාරද කියන්නේ සනත්ගේ නම කියලා”

යුතුකම්වලට ඔබ මුල්තැනක් දෙනවා නේද…?

ඔව්.. අනිවාර්යයෙන්ම. මම යුතුකම් කියන දේ නිසියාකාරව කරන ගැහැනියක්. සමහරු මගේ ගැන, මම අඳින පළඳින විදිහ ගැන හිතද්දී මේ තරම් යුතුකම් ඉෂ්ඨ කරන ගැහැනියක් කියලා හිතන්නෙ නැහැ. නමුත් මම කවදාවත් යුතුකම් මඟහරින කෙනෙක් නෙමේ. මංගල්‍ය කටයුත්තකදී අපිට බුලත් දෙන්න එනවානම් ඒ අය ගෙනාවත් නැතත් මම බුලත් ලෑස්ති කරගන්නවා. ඉතින් ගෙදර මගේ සැමියාට මගේ දරුවන්ට මගෙන් විය යුතු යුතුකම් ඒ අයුරින්ම ඉටුකරනවා වගේම මම මගේ හිතවතුන්ට මගෙන් විය යුතු යුතුකම්ද ඒ අයුරින්ම ඉටුකරන්නෙ හරිම කැමැත්තෙන්. සුබ මොහොතවලදී විතරක් නෙමේ අපේ ජීවිතෙන් සමුගත්තු කවුරුහරි කෙනෙක් වෙනුවෙන් වුණත් මම කොහොමහරි වෙලාවක් හොයාගෙන ගිහින් ඒ කෙනා වෙනුවෙන් අවසන් කටයුතුවලට සහභාගි වෙනවා.

අපි ඔබේ ළමා කාලය ගැන මතකය අවදි කළොත්…?

ඔව්… මම ඒ ළමා කාලයට හරිම හරි කැමතියි. හරිම සුන්දර ළමා කාලයක් මට තිබුණේ. අද ජීවත්වෙන දරුවන්ට වඩා අපේ ළමා කාලය හරිම වෙනස්. ඒ කාලෙදී අපිට විඳින්න ළමා කාලයක් තිබුණා. මගේ තාත්තගේ ගම මොරටුව. මගේ අම්මා ලංකාවේ ඉපදුණු කෙනෙක් නෙමේ. එයා සිංහල කාන්තාවක්. හැබැයි ඉපදුනේ පර්සියාව කියන රටේ. මගේ ආච්චි පර්සියන් කාන්තාවක්. මගේ සීයා මහ කළු සිංහලයෙක්.

සීයාට ඒ පර්සියානු ආච්චි මුණගැහුණු විදිහ ඔබ දන්නවද…?

ඔව් ඔව්.. ඒක මම අම්මාගෙන් අහලා තියෙනවා. මගේ සීයා ඒ රටේ රුකියාවට ගිහින් තියෙනවා. සීයා එහෙදී ලෙඩවෙලා එක්තරා සුන්දර පර්සියානු තරුණ කාන්තාවක් තමයි සීයාට හෙදකම් කරලා තියෙන්නෙ. ඒ හෙදකමෙන් හොඳ වුණාට සීයාගේ හිතේ ඇය ගැන ආදරයක් ඇතිවෙලා. නමුත් සීයාට ඒ තරුණ කාන්තාව පොඩ්ඩක්වත් කැමතිවෙලා නැහැ. ඇය “ඔබ යක්කුන්ගෙ මනුෂ්‍යයෙක්” කියලා තමයි කියලා තියෙන්නෙ. නමුත් ඒ වෙලාවේදී අපේ සීයා කරේ බැඳ තිබුණු කුරුසය පෙන්නලා තියෙනවා. එතකොට ඒ ලස්සන තරුණ කාන්තාව පුදුමවෙලා සීයා එක්ක කතා කරලා තියෙනවා. ඒ ආගමේ දේ පොඩි කාලේ ඉඳන් මට ඇහුණු නිසා වෙන්න ඇති මම පොඩි කාලේ ඉඳන් මගේ ආගමට හරි ආදරෙයි. ඒ වගේම මම අනිත් ආගම්වලටත් ඉතාම ගරු කරනවා. කොහොමහරි සීයයි ඒ පර්සියානු තරුණ කාන්තාවයි ඒ රටේදී විවාහවෙලා තියෙනවා.

ඔබේ මවත් ඉපදුනේ ඒ රටේද…?

ඔව්.. ඒ රටේ විවාහවෙලා කාලයක් ගියාට පස්සෙ ආච්චියි සීයයි නැවෙන් ලංකාවට එද්දී ආච්චිට දරුප්‍රසූතිය ඇතිවෙලා. ඊටපස්සෙ තමයි ආයෙත් ආච්චිව ඉස්පිරිතාලෙකට ඇතුළත් කරලා මගේ මමී ඉපදිලා තියෙන්නෙ. ඒ දරුවා තමයි මාස තුනෙන් ආයෙ ලංකාවට අරන් ඇවිත් තියෙන්නෙ.

ඒ ඔබේ මවගේ ජීවන පසුබිමනෙ. දැන් අපි පියාගේ ජීවිතය ගැනත් ටිකක් මතකය අවදි කරමු…?

ඔව්.. මගේ පප්පා ඉතා ශාන්ත පුද්ගලයෙක්. ඔහු පෑනට හුරුවුණු කෙනෙක්. ඔහු වැඩ කළේ කතෝලික මුද්‍රණාලයේ. ‘කැතලික් මෙසෙත් ජර්’ කියන පුවත්පතේ ප්‍රධාන කර්තෘ තනතුර ඔහු දැරුවා. මගේ පියාගේ නම හැරිසන් පීරිස්. ඔහු හොඳ ඉංග්‍රීසි කවියෙක්. හොඳ ලියන්නෙක්. පොත් හතක් ඔහු මුද්‍රණය කරලා තියෙනවා. මගේ පප්පා ගැන මම හරියට ආඩම්බර වෙනවා. ඔහු ඒ රුකියාව හරි කැපවීමෙන් කරපු කෙනෙක්. ඔහුගේ වැඩ කටයුතුවලට සියලුම සහයෝගය ලබලා දුන්නේ පර්සියාවේ ඉපදුණු සිංහලකමට හැදුණු කතෝලික ආගම හිස මුදුනින් පිළිගත්තු මගේ ආදරණීය මමීයි.

රෙජිනාටත් හැරිසන්ටත් දරුවන් හයදෙනෙක් හිටියනෙ. එයින් වැඩිමලා වුණේ මල්කාන්ති පීරිස් වුණු ඔබයි…?

ඔව්… සුදු හුරුබුහුටි සුන්දර කාන්තාවක් වුණු මගේ මමී දරුවන් හයදෙනෙක්ගෙ අම්මා කෙනෙක් වුණා. ඇත්තම කිව්වොත් මමීයි පප්පයි දරුවන් අටදෙනෙක්ගෙ මව්පියෝ වුණාට අවාසනාවන්ත විදිහට ඔවුන්ගෙන් දරුවන් දෙන්නෙක් මියගියා. ඒ නිසා අවසානයේදී අපේ පවුලේ හිටියෙ දරුවන් හයදෙනයි. ඉතින් මම පවුලේ වැඩිමලා. ඊටපස්සෙ ලොකු මල්ලී කුමාර්, ඊළඟට නිර්මලාත්, නිරංජලා, සකුන්තලා සහ අවසානයේදී මනෝජ් මල්ලිත් පිළිවෙළින් අපේ පවුලට එකතු වුණා. ඒ කාලේ අපි සියලු දෙනාම කුරුලු කැදැල්ලක වගේ තමයි හැදුණේ වැඩුණේ. මගේ මමීයි පප්පයි පුදුමාකාර විදිහට තම දරුවන්ට යුතුකම් ඉෂ්ඨ කරපු මව්පියෝ දෙන්නෙක්. ඒක මට මගේ ජීවිතේට අමතක කරන්න බැහැ. අපි ආර්ථික මට්ටමින් ඉහළින්ම හිටපු අය නෙමේ. හැබැයි අපි අමාරුවෙන් ජීවත්වුණු අයත් නෙමේ. අපි සාමාන්‍ය මධ්‍යම පැලැන්තියේ අයයි. මගේ පප්පා හොඳ රුකියාවක් කළේ. අපිට අවශ්‍ය දේ අපිට දුන්නා. අපිට ලස්සනට ඇන්ඳුවා. හොඳ ආහාරපාන අපිට දුන්නා. ලස්සන සුන්දර පොඩි ගෙදරක් අපිට තිබුණා. ඒ ගෙදර හරි අපූරුවට පිළිවෙළට තියාගත්තේ අපේ මමීයි. අර කුඩා කාන්තාව මොනතරම් යුතුකම් කොටසක් කළාද කියලා අද මට හිතෙනවා. ඇයගේ ලෝකය වෙලා තිබුණේ සැමියා, දරුවන් සහ තම ආගමයි. ඇය හරියට ආගමට ගරු කරපු කාන්තාවක්. අපි වගේ සමාජ ආශ්‍රයක් මගේ අම්මාට එකල තිබුණේ නැහැ.

ඔබ ඉගෙන ගත්තෙ මොන පාසලේද…?

මම මුලින්ම නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයට තමයි ගියේ. එක වසර සිට හයවැනි ශ්‍රේණිය දක්වා මම ඒ පාසලෙන් ඉගෙන ගත්තා. මම ටිකක් ඉගෙනීමට දක්ෂ දරුවෙක්. ඒ කාලේ ඒ පාසලේ විද්‍යාගාරයක් තිබුණේ නැහැ. ආගමට ළැදි ගෙයක් නිසා පල්ලිවල පියතුමන්ලාගේ ඇසුර මගේ තාත්තාට තිබුණා. ඒ නිසා මගේ පප්පා ඒ පියතුමන්ලා මාර්ගයෙන් කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් වුණා. ඒකට ප්‍රධානම හේතුව වුණේ එහි විද්‍යාගාරයක් තිබීමම තමයි. මගේ ජීවිතේ හොඳම කාලය ගෙවුණේ ඒ පාසලේදීයි. ඒක මිශ්‍ර පාසලක්. හැබැයි හරි අපූරු සහෝදර බැඳීම් ඒ පාසලේදී ගොඩනැගුණා. අද පාසල්වල තියෙන ප්‍රේමණීය බැඳීම්වලට වඩා ඒ කාලේ තිබුණු ඒ සහෝදර බැඳීම් හරි අපූරුයි.

ඔබට ගීත ගැයීමේ හැකියාව ඇතිවුණේ පාසල් කාලෙදිමද…?

පාසලේදී ඒ හැකියාව වැඩිදියුණු වුණාට මට ඒ හැකියාව මුලින්ම ඇතිකළේ මගේ ගෙදරිනුයි. අපේ ගෙදර ඒ කාලේ රේඩියෝ ග්‍රෑන් සෙට් එකක් තිබුණා. හැබැයි ඒක අපිට ඇල්ලීම තහනම්. ඒක අපිට දාලා දෙන්නෙ අපේ මමී හරි පප්පා හරි විතරයි. හැබැයි අපේ කුස්සියේ රේඩියෝ ෆියුෂන් කියලා යන්ත්‍රයක් තිබුණා. ඒ කාලේ ඒක හුඟාක් ගෙවල්වල තිබුණා. මාසයකට ගෙවන්න තිබුණේ රුපියල් පහළොවක් විතරයි. ඉතින් අපේ මමී නැඟිටපු ගමන් ඒක දානවා. ආයේ නිදාගන්නෙ රූ නින්දට යද්දී විතරමයි. ඒ නිසා අපිට නිතරම ඒ රේඩියෝ එක ඇහුණා. ඒක ඉබේ අපිට ඇහුණු දෙයක්. ඒ රේඩියෝ එක ළඟ මමී පොඩි පොතක් තියාගෙන තිබුණා. රේඩියෝ එකෙන් එක එක ප්‍රශ්න ඇහුවා. ඒවා අපේ මමී ඉක්මනට ලියාගත්තා. සති අන්තයේදී මමී ඒවාට උත්තර පෝස්ට් කාඩ්වල ලියලා තැපැල් කළා. මට මතක හැටියට ඒ තරගවලින් අඩුම ගාණේ අපේ අම්මාට මාසෙකට එක තරගයකින්වත් දිනලා තෑග්ගක් ලැබුණා.

එතකොට ඔබ සංගීතයට යොමුවුණේ කොහොමද…?

රේඩියෝවෙන් ප්‍රචාරය වුණු තරගයකට අම්මා මාව එක්කරගෙන ගියා. ඒකෙ නම ‘ආධුනික පැය’ කියලයි. එතකොට මට වයස අවුරුදු එකොළහයි. එදා තමයි මුලින්ම මම ගුවන්විදුලි සංස්ථාවට පය තියන්නෙ. මට සින්දුවක් කියන්න කිව්වා. මාත් ගිරවියක් වගේ සින්දුවක් කිව්වා. අවුරුදු එකොළහක පුංචි කෙල්ලෙක් වුණු මම එදා රුක්මණී දේවි‍ගේ ‘මා ඔබේ සුදා’ කියන සින්දුව කිව්වා. අපේ මමීලාට ළමා ගීතයක් උගන්වන්නවත් එහෙම සංගීතය ගැන දැනුමක් තිබුණේ නැහැ. හැමවෙලේම අපි ඇහුවේ රුක්මණී දේවිගේ ගීත විතරමයි. ඉතින් මම ගැයුවේ ඒ ගීතයි. හැබැයි ඒ තරගයෙන් මම පළමු ස්ථානය ගත්තා. අවසන් මහා තරගයට මගේ මමී පරණ දෙමළ ගීතයකට සිංහල වචන දාලා මට උගන්වලා තරගයට යැව්වා. ඒකෙනුත් මම ජයග්‍රහණය කළා. ගුවන්විදුලිය ආවට පස්සෙ මට කරුණාරත්න අබේසේකර මහතා, සරත් විමලවීර මහතා වැනි දැවැන්තයන් හඳුනාගන්න අවස්ථාව ලැබුණා. ඔවුන් මාර්ගයෙන් මට ‘ළමා මණ්ඩපයට’ සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

ඒ කියන්නෙ ළමා මණ්ඩපයෙන් පසුව ඔබේ ජීවිතයම සංගීතය වුණා…?

ඔව්… ඉස්කෝලෙ ගිහින් ටයි එක පිටින් ගුවන්විදුලියට ගිය කාලයක් මට තිබුණා. අවුරුදු දාසයක් දාහතක් විතර වෙද්දී මට ඒ කාලේ හිටපු ගායකයෝ සරල ගීවලට යුග ගායනාවලට ආරාධනා කළා. නමුත් කරු අයියා “ළමා මණ්ඩපයේ ඉන්නකම් ලොකු අයත් එක්ක ගීත ගායනා කිරීම තහනම්” කියලා නියෝගයක් දැම්මා. ඒ නිසා ළමා මණ්ඩපෙන් අයින්වෙලා තමයි මම සරල ගී ගායනාවලට යුග ගායනයෙන් එකතු වුණේ. මට ළමා මණ්ඩපයේදී ගායනා කළ අවසාන ගීතයත් අද වගේම මතකයි. ඒක මට නිර්මාණය කරලා දුන්නේ කරු අයියගේ මල්ලියි. ඔහු ගාමිණී අබේසේකර අයියා.

නැවතී බලමි හැරී මා ආ මඟ කොයිද කියා
පවතී පියසටහන් වැලි තලයේ ඉගිල නොයා
සමුගෙන යමි අද දින සිඹ කරු අයියගේ දෙපා
සෙවණට සිටිය ගසේ අතු ඉති නොම දමමි කපා

ඒ මුල් පේළි ටිකයි. ඉතින් අවුරුදු දාහතේදී මම ළමා මණ්ඩපයෙන් සමුගත්තා.

ළමා මණ්ඩපයෙන් සමුගත්තාට පසුව ඔබට අපූරු තැනැත්තෙක් මුණගැහෙනවා නේද…?

ඔව්නෙ.. ඒ කාලෙදී මම ජනප්‍රියම ගායිකාවක්. මම ඒ කාලෙදී යුග ගීත කිහිපදෙනෙක් එක්ක ගායනා කළා. සරල ගී ගායනයේදී මම බී ශ්‍රේණියේ ගායිකාවක් වුණා. ඔය කාලෙදී වෙසක් වැඩසටහන්වලට, ප්‍රසංගවලට එහෙම මට ආරාධනා ලැබුණා. මම මුලින්ම ඒ ප්‍රසංගවල ගායනා කළේ රුක්මණී දේවි මහත්මියගේ සුජාතා අත්තනායක මහත්මියගේ ගීතයි. ඔය කාලෙදී මම සුගතපාල ද සිල්වා නම් දැවැන්ත නාට්‍යකරුවාගේ “නිල් කටරොඩු මල්” වේදිකා නාට්‍යයෙන් රංගනයට එකතු වුණා. ඔය කාලෙදී ගුවන්විදුලියේ නාට්‍ය පරීක්ෂණයටත් මම සම්බන්ධවෙලා ලංකාවේ විශිෂ්ට ශ්‍රේණියේ නාට්‍ය ශිල්පිනිය බවට පත්වුණා. ඔය කාලෙදී ශ්‍රීමතී කියන මගේ යහළුවෙක් “මම බඳින්න යන පිරිමි ළමයා වෙසක් ගීත නාටකයක් කරනවා. ඒකෙ සින්දුව කියන්න ඔයාට පුළුවන්ද..” කියලා ඇහුවා. ඉතින් මාත් කැමතිවෙලා අම්මයි ලොකු මල්ලියි එක්ක ඒ ගීතය පුහුණුවෙන තැනට ගියා.

ඒ ගිය වෙලාවේ ඔබට ලොකු අකරතැබ්බයක් වුණා කියලයි ආරංචිය…?

ඒකනම් හිනායන වැඩක් තමයි. ඔන්න දැන් අපි ශ්‍රීමතීගේ ගෙදර ගියා. කාපට් එහෙම දාලා බිම වාඩිවෙලා සර්පිනාව, වයිලිනය, සිතාරය එහෙම තියාගෙන කට්ටිය ලෑස්තිවෙලා. මම ආවේ මමීත් එක්ක. ගේ ඇතුළට ඇතුළු වුණා. ඒ කාලේ අපි වැඩිපුරම ඇන්ඳේ අර නෙට්බෝල් ගහද්දී අඳින ඩිවයිඩස්කට් (කොට සාය) එකයි. ඉතින් මම ඇඳගෙන ගියෙත් ඒ වගේම කොටම කොට සායක්. ඉතින් අර කට්ටිය ඉස්සරහ වාඩිවෙද්දී දැනිච්ච ලජ්ජාව… මොනවා කරන්නද.. ඉතින් සර්පිනාව ළඟ හරි අපූරු කෙනෙක් වාඩිවෙලා හිටියා. ඉන්දියාවේ ඉඳන් ආපු මහ ප්‍රතාප යෝධයෙක් වගේ කෙනෙක් එතන වාඩිවෙලා හිටියා. එයා තමයි සනත් නන්දසිරි. එදා ගීත තුනක් පටිගත කරලා අපි ගෙදර ආවා.

ඊටපස්සෙ ආයෙ ඔහුව මුණගැහුණේ කවදද…?

ඊටපස්සෙ ආයෙ මුණගැහුණේ වේදිකා නාට්‍ය පෙන්වන දවසෙයි. එදා සනත් ඉස්සරහ පේළියෙම වාඩිවෙලා හිටියා. මට අද වගේ මතකයි මෙයා මට කඩල ගොට්ටක් ගෙනත් දුන්නා. ඉතින් අපි ඔක්කොම කඩල කකා නාට්‍ය බැලුවා. හැබැයි විශ්වාස කරන්න… මම මෙයාගේ නම විදිහට හිතාගෙන හිටියේ ‘විශාරද’ කියලයි. ඒ තරමට සංගීතය ගැන ලොකු දැනුමක් මට තිබුණේ නැහැ. මම හිතුවේ එයා ඉන්දියාවේ ‘විශාරද’ කියලයි. බලද්දී එයාගේ නම සනත් නන්දසිරි. ඉතින් ඊට කාලයකට පස්සෙ ඔහු හා මම විවාහ වුණා. අපිට මුලින්ම පුතෙක් ලැබුණා. නමුත් අවාසනාවන්ත විදිහට ඒ දරුවා අපිට නැතිවුණා. දින කිහිපයකින් ඔහු මියගියා. ඊටපස්සෙ අපේ ලෝකය පිරෙව්වේ අපේ දූ අනුරාධා නන්දසිරි. අද අපි දෙන්නාගේ ලෝකය තමයි ඒ.

Text – Dishani

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button