පළකල දිනය : Thu, Aug 23rd, 2018

කොළඹ පිල අන්දමන්ද කළ මාලිගේ සුපිරි ඕවරය මෙන්න (වීඩියෝ)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස මහනුවර කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (22 වැනිදා) පැවැති තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට කොළඹ කණ්ඩායම සමත් විය. දෙපිලේම ලකුණු සමවීම නිසා එහිදී සුපිරි ඕවරයක් ක්‍රීඩා කිරීමට සිදුවූ අතර සුපිරි ඕවරයේ ලකුණු සංඛ්‍යාවද සමවීමෙන් තරගය නිමාවට පත්විය.

තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා කණ්ඩායම් දෙක ලබාගත් හයේ සහ හතරේ පහර සංඛ්‍යාවේ එකතුව ගණනය කර බැලීමට සිදුවිය. එහිදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 19 ක් (එකතුව 26) ලබාසිටි කොළඹ කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමි වූ අතර හයේ පහර 8 ක් සහ හතරේ පහර 17 ක් (එකතුව 25) පමණක් ලබා සිටීම නිසා මහනුවර කණ්ඩායම පරාජයට පත්විය. ජීවන් මෙන්ඩිස් යැවූ සුපිරි ඕවරයේදී මහනුවර කණ්ඩායමට පන්දු 5 කදී කඩුලු 2 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි.

මහනුවර නායක දසුන් ශානක සහ තික්ෂිල ද සිල්වා මහනුවර කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළහ. තරගය ජයගැනීම සඳහා ලකුණු 6 ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි කොළඹ කණ්ඩායමේ ආරම්භක පිතිකරු උපුල් තරංගට සුපිරි ඕවරයේ පළමු පන්දුවේදී ලකුණු ලබාගැනීමට ඉඩක් ලබානොදුන් ලසිත් මාලිංග, දෙවැනි පන්දුවේදී තරංගගේ කඩුල්ල බිඳ දැමීය. තෙවැනි පන්දුව වයිඞ් පන්දුවක් බවට පත්වුවද, ඉන් අනතුරුව යැවූ පන්දු හතර ලකුණු 4 කට (0,1,2,1) සීමා කිරීමට මාලිග සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 188 ක් රැස්කළේය.අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 189 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 188 ක් ලබාගනිමින් කොළඹ කණ්ඩායම හා සම තත්වයට පැමිණියේය. මාලිංගගේ සුපිරි ඕවරය පහතින් නරඹන්න

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button