පළකල දිනය : Sat, Aug 25th, 2018

“කෝටිපතියෝ – සිල්ලර සමනල්ලු” හි වැඩ දාන ඇලකන්ද රන්ජිගේ කැම්පස් ආදරය !

ඔහු නමින් රොහාන් විජේතුංග. නමුත් කවුරුත් ඔහුව හඳුනන්නේ ‘ඇලකන්ද වත්තේ රංජි’ නමින්. ඒ තරමට රංජිව මිනිස්සුන්ට සමීප වෙලා.

මේ දවස්වල ජනප්‍රිය ‘කෝටිපතියෝ’ නිසාද? ‘සිල්ලර සමනල්ලු’ නිසාද?
එහෙම එකක් කියලා කියන්න බෑ. මුලින්ම ආවේ කෝටිපතියෝ. නමුත් මේ නිර්මාණ දෙකම එක වගේ මිනිස්සු අතරට ගිහින් තියෙනවා.

කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ලංකාවේ කොහෙ ගියත් මාව දන්න, මට කතා කරන, මට ආදරය කරන ආදරණීය ප්‍රේක්ෂක පිරිසක් මට ඉන්නවා. ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කියන්නෙම ඔවුන්ගේ ආදරයට. ඉතින් ගොඩක් සතුටුයි.

මම හිතන්නේ ඇලකන්ද වත්තේ රංජි තමයි රොහාන් විජේතුංගව මිනිස්සු අතරට අරන් ආවේ?
ඔව්, මම මීට පෙරත් චරිත කළා. නමුත් මේ චරිතය ඒ චරිත එක්ක බලනකොට සුවිශේෂී විදිහට මිනිස්සු අතරට ඇවිත් තියෙනවා.

රස්තියාදු චරිතයකට වුණත් ඔහොම තාත්වික වෙන්න හැමෝටම බෑ. ඔබ කොහොමද ඒ චරිතයට හැඩ ගැසුණේ?
මම රත්නපුරේ. ඉතින් මට මේ වගේ පරිසරයක් ගැන අත්දැකීමක්වත් නෑ. නමුත් මට මේ පිටපත ලැබුණම නාගරික පරිසරයේ මේ හා සමාන චරිත මම අධ්‍යයනය කළා. ඒ වගේම අධ්‍යක්ෂතුමාත් මගේ අනිකුත් සහෝදර රංගන ශිල්පීනුත් එකතුවෙලා තවත් දේවල් මේ චරිතයට එකතු කරලයි චරිතය ගොඩනැගීම කළේ.

ඔබ හිතනවද ඔබේ හැකියාවට ඇගයීමක් ලැබිය යුතුයි කියලා?
සම්මානයක් හෝ කිසියම් ඇගයීමක් අත්‍යවශ්‍යම නෑ. විවිධ මත පළ කරන්න පුළුවන්. නමුත් මම එහෙම ඇගයීම් බලා‍පොරොත්තු වෙන්නේ නෑ.

අපේ රටේ සම්මාන දෙන විදිහ ගැන ඔබට ප්‍රශ්නයක් නැද්ද?
මට නම් ගැටලුවක් නෑ. යම්කිසි ක්‍රමවේදයකට අනුවනේ සම්මාන ලබාදෙන්නේ. ඒ ක්‍රමවේදයට අභියෝග කරන්න මට පුළුවන්කමක් නෑ.

ඔබව මේ විදිහට සරලව දැක්කට ඔබ උපාධිධාරියෙක්. උපාධියෙන් ප්‍රයෝජනයක් ගන්න අදහසක් නැද්ද?
උපාධියක් කියන්නේ රස්සාවක් ගන්න සුදුසුකමක් ‍නෙවෙයිනේ. එහෙනම් උපාධියට වඩා වටිනවා යම්කිසි වෘත්තීය පුහුණු පාඨමාලාවක් කළා නම්. මටත් රැකියා ලැබුණා. ගුරු පත්වීම් කිහිපයක්ම ලැබුණා. බලමු ඉදිරියේදී ඒ ගැන සලකා බලන්න බලා‍පොරොත්තුවක් තියෙනවා. උපාධිධාරියෙක් රඟපාන එකත් ඔහු නළුවෙක් වෙන එකත් ප්‍රශ්නයක් ‍නෙවෙයි.

රංගනය ගැන ඔබට තියෙන දැනුම තවත් කෙනෙක්ට ලබාදෙන්න ඔබ සූදානම්ද?
රංගනය ගැන වුණත් මට ඒ හැටි ලොකු දැනුමක් නෑ. නමුත් මං ළඟ තියෙන දැනුම මම දැනටමත් මට හැකි සීමාවේ ඉඳලා දරුවන්ට ලබාදෙනවා. රංගන වැඩමුළු, පාඨමාලාවලට සම්බන්ධ වෙලා මම ඒ දැනුම දැනටමත් ලබාදෙනවා.

වේදිකාවේ මොනවද මේ දවස්වල වෙන්නේ?
මේ දවස්වල ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා එක්ක ‘මමයි ආණ්ඩුව’ වේදිකා නාට්‍ය එක්කයි වැඩ කරගෙන යන්නේ. දැන් ආපහු වේදිකාවට ටිකක් වැඩි ඉඩක් දෙන්න ඕන. ඉදිරියේදී තවත් නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වීමට නියමිතයි.

සිනමාව ඔබට තරමක් මගහැරිලා නේද?
සිනමාවෙන් මට තාම ලොකු ගමනක් යන්න හැකියාවක් ලැබිලා නෑ. නමුත් සිනමාව කියන්නෙත් මම වේදිකාව, ටෙලි නාට්‍ය වගේම ගොඩක් ආදරේ කරන ක්ෂේත්‍රයක්.

ඔබ කරන චරිත ගැන ඔබට තියෙන තක්සේරුව මොකක්ද?
මට ඇත්තටම මගේ චරිත ගැන සතුටුයි. රංජිව දකිනකොට වුණත් මට හිතෙනවා එහෙම පරිසරයක අත්දැකීම් නැතුව මම ඒ පරිසරයේම කොටස්කාරයෙක් වෙලා නේද කියලා.

හැමදාම මේ දැන් දකින විදිහේ චරිත තුළින්මද අපට ඔබව දකින්න ලැබෙන්නේ ඉදිරියේදිත්?
නෑ, මම ඉස්සර මිනිස්සු අතරට ආවේ ගැමි චරිත හරහා. එතකොට බොහෝ දෙනා මට කියපු දෙයක් තමයි මට නාගරික සමාජයේ චරිතවලට හැඩගැහෙන්න බැරිවෙයි කියලා. නමුත් දැන් ඒ මතය වෙනස්වෙලා තියෙනවා. මම තාම චරිත තෝරන්න යන්නේ නෑ. එකම ආකෘතියකට සීමා නොවී විවිධ පරාසයන් ස්පර්ශ කරන කෙනෙක් මම.

පෞද්ගලික ජීවිතේ විස්තර ගැනත් කියමු?
මගේ ගම රත්නපුරේ. පවු‍ලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මමයි, අක්කයි. ඒ වගේම මම තවම අවිවාහකයි. විවාහය ගැන නම් තාම සැලසුම් කරලත් නෑ.

ඒ කියන්නේ තාම විවාහ වෙන්න අදහසක් එහෙමත් නැද්ද?
මට පෙම්වතියක් ඉන්නවා. ඇය මගේ විශ්වවිද්‍යාල කාලයේ සිටම මං ළඟින් ඉන්නවා. ඉතින් විවාහය ගැන නම් තාම සැලසුම් සකස් කරලා නෑ.

මොනවද ඉදිරි වැඩ කටයුතු?
මේ දවස්වල කෝටිපතියෝ, සිල්ලර සමනල්ලු, නීල පබළු එක්ක වගේම වේදිකාව එක්කත් තරමක් කාර්යබහුලයි. දැනට නම් මේ නිර්මාණ එක්කමයි කාලය ගතවෙන්නේ. ඉදිරියේදී ලැබෙන ආරාධනා අනුව නිර්මාණ තුළින් මාව දැකගන්න හැකියාව ලැබේවි.

නඳුනි ආරියවංශ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button