පළකල දිනය : Tue, Aug 28th, 2018

කොස් මල්ලීගේ හිස කොළඹ ගෙනා අයියා මලෝ ඇල්ලපු පොලිස් මෙහෙයුම !

ආමර්වීදිය කොළ පල්ලිය අසල නතර කර තිබූ යතුරුපැදියක සිටින තරුණයන් දෙදෙනෙකි. වේලාව අලූයම 2.00 පසු වී ගොසින්ය. තරුණයන් දෙදෙනාගේ හැසිරීමෙන් පෙනුනේ ඔවුන් කිසියම් පුද්ගලයකුගේ පැමිණීම අපේක්‍ෂාවෙන් සිටින බව ය.

යතුරුපැදියේ සිටි එක් තරුණයකු පලනි රිමෝෂන් ය. අනෙකා ඔහුගේ සමීපතමයකු වූ සෙල්වින් ය. රිමෝෂන්ගේ ජංගම දුරකථනය දිගින් දිගටම නාද වන්නට වුණේය. ඔහු වටපිට බලමින් ඇමතුම ලබා ගත්තේ කුතුහලයෙන් යුතුවය.

ඇමතුම ලබා දුන්නේ කන්චිපාන ඉම්රාන් ය. ඉම්රාන් ඒ වන විට සිටියේ ඩුබායි දේශයේ ය. ‘‘තව පැය කාලක් යන්න ඉස්සර කළුපාට කාර් එකක් එනවා. අපේ ටීම් එකක් කොස් මල්ලිගෙ ඔලූව ගේනවා.”

තව සුළු වේලාවකින් කොස් මල්ලිගේ සිරුරෙන් වෙන් කළ හිස කොටස ආමර්වීදිය කොළ පල්ලිය අසලට රැගෙන එන බව කන්චිපාන ඉම්රාන් ඩුබායි හි සිට රිමෝෂන්ට දැනුම් දුන්නේය.

‘‘ඉම්රාන් අයියා අපි කොහෙටද මේක ගෙනිහින් දාන්න ඕනෙ…

රිමෝෂන් ඉම්රාන්ගෙන් පෙරළා විමසුවේය.

‘‘රිස්කාන් මරපු පලිය ගන්න තමයි අපි කොස් මල්ලිව මැරුවෙ. අලූත්කඬේ උසාවිය ළඟට කොස් මල්ලිගෙ ඔලූව දාල පලයන්. උඹලගෙ ඩියුටිය එතනින් ඉවරයි……

කන්චිපාන ඉම්රාන් කීවේය.

වැඩි වේලාවක් ගත වුණේ නැත. කළු පැහැති හයිබි‍්‍රඞ් වර්ගයේ මෝටර් රථයක් ආමර්වීදිය කොළ පල්ලිය අසල නතර කළේය.

එහි සිටි කිසිවකුත් රිමෝෂන් හඳුනන්නේ නැත. මෝටර් රථයෙන් බැසගත් එකකු රිමෝෂන් අසලට ආවේය.

‘‘ඉම්රාන් අයියා පණිවිඩයක් කිව්වද?..

නාඳුනන තරුණයා රිමෝෂන්ගෙන් විමසුවේය.

‘‘ඔව්… ඔව්… ඉම්රාන් අයියා තමයි අපට මෙතන ඉන්න කිව්වේ…

රිමෝෂන්ගේ ප‍්‍රතිචාරය අනුව නාඳුනන තරුණයා ආපසු මෝටර් රථය වෙත ගොස් එහි ඩිකියේ තිබූ කළු පැහැති බෑගයක් ඉවතට ගත්තේය. එහි තිබුණේ කොස් මල්ලිගේ හිස කොටසය. එය රිමෝෂන් වෙත භාර දුන් නාඳුනන තරුණයෝ අඳුරු මාවතක් ඔස්සේ මෝටර් රථයේ නැඟී ගියහ.

කොස් මල්ලීගේ හිස සහිත පාර්සලය රැගෙන රිමෝෂන් සහ සගයා කෙලින්ම ගියේ අලූත්කඬේ අධිකරණය අසලටය. අධිකරණ සංකීර්ණය ආසන්නයේ පාළු මාවතක කසළ ගොඩක් අසල කොස් මල්ලීගේ හිස සහිත පාර්සලය තැබූ රිමෝෂන් සහ සගයා තම රාජකාරිය අවසන් කර පිටව ගියහ.

මීට මාස කීපයකට උඩදී කොටහේනේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ මොහොමඞ් රිස්කාන් වෙඩිතබා ඝාතනය කළේ කඩුවෙල ක‍්‍රියාත්මක වන පාතාල කල්ලියක් විසින් ය.

රිස්කාන් යනු ඩ්‍රොප් මී නමැති මෝටර් රථ කුලියට ලබා දෙන ආයතනයේ හිමිකරුය. මෙරට පාතාලයේ ගෝර්ඞ් ෆාදර් යැයි කියා ගන්නා මාකඳුරේ මධුෂ්ගේ සමීපතම සගයා වන රිස්කාන් ධනවත් ව්‍යාපාරිකයෙකි. ඩ්‍රොප් මී ව්‍යාපාරය සඳහා මාකඳුරේ මධුෂ් රුපියල් කෝටි ගණනක මුදලක් ආයෝජනය කර තිබුණේය.

මධුෂ්ට විරුද්ධ පාතාල කල්ලියක් විසින් රිස්කාන් ඝාතනය කරන්නේ ඔහුට රිදවීමේ අරමුණෙන් ය. රිස්කාන් ඝාතනය ඇසීිමෙන් දැඩි ලෙස කෝපයට පත් වූ මධුෂ් තම පාතාල සගයන් යොදවා මේ ඝාතනයට සම්බන්ධ වූ සියලූදෙනා ඝාතනය කරන්නට පටන් ගත්තේය.

කොස් මල්ලී ඝාතනය වන්නේ ද එහි ප‍්‍රතිඵලයක් ලෙසය. මධුෂ්ගේ සගයන් විසින් කොස් මල්ලී අඟුණකොලපැලැස්ස ප‍්‍රදේශයට රැගෙන ගොස් ඔහු ඝාතනය කර හිස කඳෙන් වෙන් කර කොළඹට රැගෙන ආහ.

තම පාතාල බලය පෙන්වීම සඳහා කොස් මල්ලීගේ හිස අලූත්කඬේ අධිකරණය අසලට ගෙනැවිත් දැමීමට මාකඳුරේ මධුෂ්ට අවශ්‍යව තිබුණේය. කොස් මල්ලීගේ හිස අලූත්කඬේ අධිකරණය අසලට ගෙන ගොස් දැමීමේ කාර්ය භාරවන්නේ පලනි රිමෝෂන් වෙතය.

පලනි රිමෝෂන් මෙහෙයවීමේ කාර්ය භාර වී තිබුණේ කන්චිපාන ඉම්රාන් වෙතය. ඉම්රාන් යනු මාකඳුරේ මධුෂ්ගේ සමීපතම සගයාය. මොවුන් දෙදෙනා ඩුබායි දේශයේ සිටින්නේ එකටය. මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නේ ද එකටය.

මධුෂ්ට අයත් හෙරොයින් තොග කොළඹ නගරය පුරා බෙදාහැරීමේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන්නේ කන්චිපාන ඉම්රාන් ය.

ඉම්රාන් මාලිගාවත්ත මහල් නිවාස ප‍්‍රදේයේ හැදී වැඩුණු පුද්ගලයෙකි.

මාලිගාවත්ත පාතාලයේ කෙරුම්කාරයන්ව සිටි ෆාජි” ආනමාළු ඉමිටියාස්” බයියා” ලී මෝලවත්තේ රිස්වාන් වැන්නවුන් සමීප ලෙස ඇසුරු කළ ද ඉම්රාන් එකල පාතාල අපරාධවලට සම්බන්ධ වුණේ නැත. ‘ඩ්‍රොප් මී. වාහන කුලියට දෙන ආයතනයේ හිමිකරු වූ රිස්කාන්ගේ ද සමීපතම මිතුරකු වූ ඉම්රාන් ඩුබායි දේශයට පලා යන්නේ පසුගිය රජය සමයේ පාතාල මර්දන මෙහෙයුම් ආරම්භ කිරීමත් සමගය.

පලනි රිමෝෂන් සහ පලනි කෛට්සේවන් සොහොයුරන් ය. මේ දෙසොහොයුරන් උපන්නේ කොටහේන ජම්පටා වීදියේ ය. පලනි සොහොයුරන්ගේ මව වූයේ ජම්පටා වීදියේ සෙල්ලීය. සෙල්ලී යනු කොටහේනේ මහා පරිමාණ හෙරොයින් ජාවාරමේ ප‍්‍රධානියාය. සෙල්ලී පදිංචිව සිටියේ ජම්පටාවීදිය 131 වත්තේය. ඇය මේ වත්තේ චණ්ඩි රැජින ලෙස නම්දරා සිටි නිසා 131 වත්ත සෙල්ලිගෙවත්ත ලෙස ප‍්‍රසිද්ධියට පත් වුණේය.

සෙල්ලී මුළු කොටහේන පළාතම තම අණසකට යටත් කරගෙන මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරම කරගෙන ගියාය. හෙරොයින් ජාවාරමට අමතරව පාතාල බලය තිබුණේ ද ඇය සතුවය. සෙල්ලිගේ වත්තේ නඩු ඇහුවේ ද ඇය විසින් ය. නඩු තීන්දු ලබා දීම මෙන්ම වැරදිකරුවන්ට දඬුවම් ලබා දුන්නේ ද ඇය විසින්ම ය.

සෙල්ලිගේ ප‍්‍රධානම ප‍්‍රතිවාදියා වූයේ පූගුඩිකන්නාය. මහා පරමාණ හෙරොයින් ජාවාරමේ යෙදුණු පූගුඩිකන්නා ද කොටහේනේ පාතාල බලයක් ගොඩනඟාගෙන සිටියේය. හෙරොයින් ආධිපත්‍යය තමන් සතු කර ගැනීමට සෙල්ලී සහ පූගුඩිකන්නා නිතර සටන් වැදුණෝය.

රෙක්ස්රීගන් පූගුඩිකන්නාගේ කල්ලියේ සමීපතමයකු විය. සෙල්ලීගේ බලය බිඳ දැමීමට පූගුඩිකන්නා යොදා ගත්තේ් රෙක්ස්රීගන්ය. හෙරොයින් ජාවාරම් සහ මිනී මැරුම් රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි රෙක්ස් රීගන් සෙල්ලීගේ පවුලේ සාමාජිකයන් සමඟ නිතර පැටලූණේය. සෙල්ලීගේ සොහොයුරකු ඇතුළු සගයන් කීපදෙනෙකු රෙක්ස්රීගන් අතින් ඝාතනය වන්නේ මේ ගැටුමේ ප‍්‍රතිඵලයක් ලෙසය.

රෙක්ස්රීගන්ගෙන් ගැලවීමක් නැත. කොයි මොහොතක හෝ මොහු තම පවුල් පිටින් සුන්නත්ධූලි කර දමන බව හොඳාකාරව දැන සිටි සෙල්ලිගේ පුත‍්‍රයන් දෙදෙනා රෙක්ස්රීගන් ඝාතනය කළහ. ඒ සඳහා සෙල්ලිගෙ සැමියා ද සහාය වුණේය.

මේ කල්ලි දෙක අතර එකිනෙකා මරා ගැනීම උත්සන්න වන්නට පටන්ගන්නේ මෙම සිදුවීමෙන් පසුවය. රීගන් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබූ සෙල්ලිගේ පුත‍්‍රයන් දෙදෙනා සහ සැමියා බන්ධනාගාරගත කෙරිණි.

ඒ වන විට සෙල්ලි නිවසේ සිටියේ තනිවමය. අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් පූගුඩිකන්නා සෙල්ලී මරා දමා කොටහේනේ හෙරොයින් ආධිපත්‍යය මෙන්ම පාතාල බලය ද තමන් සතු කර ගැනීමට සැලසුම් කළේය.

සෙල්ලී ඝාතනයට ඔහු යොදාගත්තේ කෙනඩි නොහොත් ‘බුම්මා. ය.

මීට වසර තුනකට පමණ පෙර එක්තරා දිනකදී ජම්පටාවීදියේ පිහිටි නිවසකට කඩාවැදුනු කෙනඩි ඇතුළු පාතාල සගයන් පිරිසක් සෙල්ලීට වෙඩි තබා ඝාතනය කර පලා ගියහ. සෙල්ලීගේ ඝාතනයෙන් කොළඹ පාතාලය හෙල්ලී ගොස් තිබිණි.

තම මව මරා දැමීම සැලවන විට සෙල්ලීගේ පුත‍්‍රයන් සිටියේ බන්ධනාගාරගතවය. මව මරා දැමූ පුවත ඇසීමෙන් ඔවුන් දැඩි ලෙස කෝපයට පත්වූහ.

‘‘අම්මව මරපු උන් හැම එකාවම පරලොව යවනවා. එහෙම නොකළොත් අපි සෙල්ලිගේ පුත්තු නෙවෙයි..

ඒ වන විට බන්ධනාගාරයේ සිටි පලනි රිමෝෂන් සහ පලනි කෙට්සේවන් දිවුරා පොරොන්දු වූහ.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී පලනි සොහොයුරන්ට විවිධ අපරාධකාරයන් දැන හඳුනාගන්නට ලැබුණේ ය. විවිධ අපරාධකාරයන් ඇසුරු කිරීමෙන් පාතාල අපරාධ පිළිබඳව ගෞරව උපාධියක් ලබාගැනීමට ලාබාල පලනි සොහොයුරන්ට හැකි විය. ඒ වන විට මේ සොහොයුරන් දෙදෙනා වයස අවුරුදු 20 – 22 වයස් සීමාවල පසු වූ ලාබාල තරුණයන් වූහ.

මාකඳුරේ මධුෂ්ගේ මෙන්ම අංගොඩ ලොක්කාගේ පාතල කල්ලියේ සාමාජිකයන් කීපදෙනෙකුම සමීපව ඇසුරු කිරීමට පලනි සොහොයුරන්ට අවස්ථාව ලැබුණේ වැලිකඩ බන්ධනාගාරය තුළ සිටියදී ය.

ඔවුන් හරහා මාකඳුරේ මධුෂ් සහ අංගොඩ ලොක්කා සමඟ සබඳතා ගොඩනඟාගන්නට පලනි සොහොයුරන්ට හැකි විය.

‘‘උඹලා දෙන්නා අපිත් එක්ක වැඩ කරපල්ලා. උඹලගෙ ඔනෙම වැඩකට අපි උදව් කරනවා..

මාකඳුරේ මධුෂ් දුරකථනයෙන් කථාකර පලනි සොහොයුරන්ට සිය පාතාල කණ්ඩායම සමඟ එක්වන ලෙස ඇරයුම් කළේය. කොටහේනේ පාතාල යුද්ධයට මැදි වී සිටි පලනි සොහොයුරන්ට මධුෂ්ගේ ඒ ඇරයුම මහා මෙරක් විය. ඔවුන් දෙවරක් නොසිතාම මධුෂ්ගේ කල්ලිය සමඟ සම්බන්ධවීමට තීරණය කළහ.

පලනි සොහොයුරන් මෙහෙයවීමේ කාර්ය භාර වී තිබුණේ කන්චිපාන ඉම්රාන් වෙතය. කොස් මල්ලිගේ හිස අධිකරණ සංකීර්ණය අසලට ගෙනැවිත් දැමීමේ මුල්ම කාර්ය මධුෂ් විසින් පලනි සොහොයුරන් වෙත භාර දෙන්නේ ඉන් අනතුරුවය.

‘‘ඉම්රාන් අයියා අපිටත් ලොකු ගේමක් තියෙනවා කොටහේනේ සෙට් එකක් එක්ක. අපි දෙන්නගේ ජීවිත අනතුරේ. පූගුඩිකන්නගේ සෙට් එකට ගැහුවේ නැත්නම් උන් අපි සේරම මරලා දානවා… පලනි රිමෝෂන් ඉම්රාන්ට දුරකථනයෙන් කීවේය.

‘‘උඹලා කිසි දේකට බය වෙන්න එපා. අපි ඔය සෙට් එකම අයින් කරලා දෙන්නම්. ගහන්න ඕන උන්ගෙ විස්තර හොයලා දෙන්න. වැඩිකල් යන්න ඉස්සර කොටහේනේ අන්ඩර්වර්ල්ඞ් එක ලීඞ් කරන්නේ උඹලා……

ඉම්රාන් පලනි සොහොයුරන්ට කීවේය. මධුෂ්ගේ කල්ලිය සමග සබඳතා

ගොඩනඟා ගැනීමම පලනි සොහොයුරන්ට විශාල ශක්තියක් විය. තම මව මරා දැමූ පූගුඩිකන්නා ඇතුළු පාතාල සගයන් සමූහ ඝාතනය කිරීම ඔවුන්ගේ අරමුණ විය.

ඒ වන විට සෙල්ලී ඝාතනය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි කෙනඩි නොහොත් ‘බුම්මා. ඇප පිට නිදහස ලබා කොටහේනට පැමිණ සිටියේය. බන්ධනාගාරයෙන් පිටතට පැමිණෙන දින කෙනඩි ඝාතනය කිරීමට පලනි රිමෝෂන් සහ ඔහුගේ සොහොයුරා සැලසුම් කර ගෙන සිටියහ. එහෙත් ඒ සැලසුම ක‍්‍රියාත්මක කිරීමට ඔවුන්ට ඉඩ ලැබුණේ නැත.

සෙල්ලීගේ දරුවන් දෙදෙනා තමා ඝාතනය කිරීමට සැලසුම් කර ගෙන සිටින බව කෙනඩි ද දැන සිටියේය. ප‍්‍රමාදය පසුතැවිල්ලට හේතු වන බව කෙනඩි විශ්වාස කළේය. පලනි සොහොයුරන් තමා ඝාතනය කිරීමට පෙර ඔවුන් විනාශකර දැමිය යුතු බව සිතූ කෙනඩි ඊට සැලසුම් සකස් කළේය.

පලනි සොහොයුරන් ඒ වන විට සැඟවී සිටි නිසා ඔවුන් ඝාතනය කිරීමට කෙනඩිට අවස්ථාවක් ලැබුණේ නැත. පලනි සොහොයුරන්ගේ පියා වන ගනේෂ් ජම්පටාවීදියේ නිදහසේ සැරිසරන බව සොයාගත් කෙනඩි ඔහු මරා දැමීමට සැලසුම් සකස් කළේය.

කෙනඩිගෙන් මෙන්ම පූගුඩිකන්නාගෙන් දිගින් දිගටම තර්ජන එල්ල වීම නිසා පලනි සොහොයුරන් සැඟ වී සිටිමින් තම වාරය එනතුරු බලා සිටියහ. එහෙත් තර්ජන ගර්ජනවලට බිය නොවූ පලනි සොහොයුරන්ගේ පියා ගනේෂ් තම උපන් භූමියට වී කාලය ගත කිරීමට පුරුදුව සිටියේය. ගනේෂ්ගේ හැසිරීම පිළිබඳ සියලූ තොරතුරු තම ඔත්තුකරුවන්ගේ මාර්ගයෙන් ලබාගත් කෙනඩි ජම්පටාවීදියට කඩා වැදුණේ තනිවමය. ජම්පටාවීදියේ වෙළෙඳසලක් අසල සිටි ගනේෂ්ට වෙඩි තැබූ කෙනඩි නිරුපද්‍රිතව පලා යන්නේ තම ඉලක්කය සාර්ථක වූවා යැයි සිතා ගෙනය. එහෙත් ගනේෂ්ට තවදුරටත් ජීවත්වීමේ වාසනාව උරුමව තිබුණේය.

බරපතළ තුවාල ලැබුවද ගනේෂ්ගේ ජීවිතය බේරා ගැනීමට හැකි විය. තම මව මරා දැමූ සතුරා පියාට ද වෙඩි තැබූ බව ඇසීමෙන් පලනි සොහොයුරෝ යක්‍ෂාවේෂ වූහ.

කෙනඩි මැරුම් කන්නේ මගේ අතින්. අපේ තාත්තට වෙඩි තියන්න හවුල් වෙච්ච හැම එකාවම නැති කරලා දානවා.

පලනි රිමෝෂන් ජම්පටාවීදියේ තම සගයන් මෙන්ම ඥාතීන්ට ද දැනුම් දුන්නේය.

ජම්පටාවීදියේ ළඟඳීම මහා යුද්ධයක් ඇති වන බව එහි පදිංචිකරුවන් හොඳාකාරව ම දැන සිටියහ. තම පියාට වෙඩි තැබීම සඳහා ඔත්තු ලබා දුන්නේ ජම්පටාවීදියේ මාලූ ව්‍යාපාරයක් කරගෙන යන රාජා සහ ඇගේ බිරිඳ වන ගීතා බව හොයාගත් පලනි සොහොයුරන් ඔවුන් ඝාතනය කර තම වෛරය පිරිමහා ගන්නට සැලසුම් කළහ.

ජුනි මස 24 වැනිදා රාත‍්‍රියේ ජම්පටාවීදියම ගිනි ගත්තේය. ටී 56 ගිනි අවිවලින් සන්නද්ධව කඩාවැදුනු පලනි රිමෝෂන් සහ ඔහුගේ සමීපතම සගයකු රාජාට සහ ඔහුගේ බිරිඳ වූ ගීතාට වෙඩි තබා ඝාතනය කර පලා යන්නේ කොටහේන කුඩුපුරයම භීතියට පත් කරමින් ය.

ලෙයට ලෙයින් පළි ගැනීම ක‍්‍රියාත්මක වී තිබුණේය. පාතාල කල්ලි දෙකට සම්බන්ධ වූ තෝරුන් මෝරුන් පමණක් නොව හාල්මැස්සන් පවා අමු අමුවේ ම ඝාතනය කර දමන තත්ත්වයට ඔවුන් පත්ව සිටියහ.

කෙනඩි සහ පූගුඩිකන්නා පලනි සොහොයුරනගේ ප‍්‍රධානම ඉලක්කය බවට පත්ව සිටියහ. එහෙත් පූගුඩිකන්නා ඒ වන විට සැඟව සිටියේ කොයි මොහොතක හෝ මාරයා තමා සොයා පැමිණෙන බව හොඳාකාරවම දැන සිටි නිසා ය. පූගුඩිකන්නා සොයා ගැනීමට නොහැකි වු තැන ඔහුට සමීප පුද්ගලයන් මරා දැමීමට පලනි සොහොයුරන් සැලසුම් කළහ.

පූගුඩිකන්නාගේ පියා මෝදර තැපැල් කාර්යාලය අසල සිටින බව දැනගත් පලනි රිමෝෂන් තම සගයකු ද සමග ගොස් ඔහුට පන්න පන්නා වෙඩි තැබූහ. පූගුඩිකන්නාගේ පියා අවසන් ගමන් ගියේ තම දරුවන්ගේ පාපකර්මවලට කර ගසමින්ය.

‘‘අපි උඹලගෙ හැම වැඩකටම උදව් කරනවා. අපේ වැඩ කීපයක් තියෙනවා ඒවත් කරගන්න ඕනෙ…

කන්ච්පාන ඉම්රාන් පලනි සොහොයුරන්ගේ සහාය ඉල්ලා සිටියේ තම විරුද්ධවාදීන් කීපදෙනෙකු පරලොව යැවීම සඳහා ය.

‘‘ඉම්රාන් අයියා ඕනෙම උදව්වක් ඉල්ලන්න. අපි ඕනෙම දේකට රෙඩි. අපිට දැන් උලේ හිටියත් එකයි” පිලේ හිටියත් එකයි… පලනි රිමෝෂන් කීවේය.

‘‘කොටහේනේ කුඩු බිස්නස් එකට හොම්බ දාන එකෙක් ඉන්නවා. ඌ ළඟදී හිරේ ඉඳලා ආවේ. ඌව දැන්ම අයින් කරලා දැම්මේ නැත්නම් ඉදිරියේදී ලොකු ප‍්‍රශ්නයක් වෙනවා.

ඉම්රාන් පලනි රිමෝෂන්ට කීවේය. ඇන්ටන් රාජි නමැත්තා කලක් හෙරොයින් ජාවාරමේ නිරත වී සිටි අයෙකි. හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගත වී සිටි ඇන්ට න් රාජි ඇප මත නිදහස ලබා ආවේ මීට මාස කීපයකට උඩදීය.

කොටහේනට පැමිණි ඇන්ටනි රාජි නැවතත් හෙරොයින් ජාවාරමට අත ගැසුවේය. ඇන්ටනි රාජි පරලොව යැවීමේ සැලසුම පලනි රිමෝෂන් වෙත භාර කළ ඉම්රාන් ඊට අවශ්‍ය පාතාල සගයන් මෙන්ම අවි ආයුධ ලබා දුන්නේය. ඇන්ටනි රාජි සිය බිරිඳ සමඟ මෝටර් රථයෙන් යද්දී ඒ පසුපස පන්නාගෙන ගිය පලනි රිමෝෂන් සහ තවත් පාතාල සගයකු ඔහුට වෙඩිතබා ඝාතනය කර පලා යන්නේ මහ දවල් දෙනෝදාහක් දෙනා බලා සිටියදී ය. කොටහේන ප‍්‍රදේශය ඒ වන විට චිකාගෝවක් බවට පත්වෙමින් තිබුණේය.

මේ ප‍්‍රදේශය කේන්ද්‍ර කරගෙන සිදුවන මිනිස් ඝාතන සහ පාතාල ක‍්‍රියාකාරකම් දිනෙන් දිනම ඉහළ යද්දී පොලිසිය වෙත එල්ල වී තිබුණේ ද දැඩි පීඩනයකි.

නොනවතින පාතාල ඝාතන රැල්ල නතර කිරීමේ අභියෝගය බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ” කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක” ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක” අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ නිශාන්ත සොයිසා ඇතුළු නිලධාරීන් වෙත පැවරී තිබිණි.

පූගුඩිකන්නා මෙහෙයවන පාතාල කල්ලිය සහ කුඩු සෙල්ලීගේ පුත‍්‍රයන් දෙදෙනා නායකත්වය දෙන පාතාල කල්ලිය අතර පවතින බද්ධ වෛරය ලෙයට ලෙයින් පළිගන්නා තත්ත්වයට පත්ව තිබුණේය.

මේ සංවිධානාත්මක කල්ලි දෙකට නායකත්වය දෙන පුද්ගලයන් මෙන්ම එහි සාමාජිකයන් අත්අඩංගුවට ගන්නා තුරු මේ ඝාතන රැල්ල නොනවතින බව පොලිසිය හොඳාකාරවම දැන සිටියහ.

කොළඹ උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායම් කීපයක් මේ පාතාල ප‍්‍රබලයන් සොයා මෙහෙයුම් ක‍්‍රියාත්මක කරද්දී කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ නිශාන්ත සොයිසා මහතාගේ නායකත්වයෙන් තවත් පොලිස් කණ්ඩායම් කීපයක් සිය විමර්ශන ක‍්‍රියාත්මක කරගෙන ගියහ. පොලිසිය දිගින් දිගටම සිය මෙහෙයුම් ක‍්‍රියාත්මක කරද්දී පලනි සොහොයුරන් පූගුඩිකන්නා කෙනඩි ඇතුළු පාතාල සාමාජිකයන් කොළඹ නගරය අතහැර වෙනත් ප‍්‍රදේශවලට පලා ගියහ.

කොළඹින් අතුරුදන් වූ පාතාල ප‍්‍රබලයන් සොයාගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. පාතාල ප‍්‍රබලයන් පාවිච්චි කරන ජංගම දුරකථන ඔස්සේ මෙන්ම ඔත්තුකරුවන් මාර්ගයෙන් ඔවුන් සැඟ වී සිටින ස්ථාන සොයා ගැනීමට පෙලිසිය දැඩි වෙහෙසක් ගත්හ. සති කීපයක් තිස්සේ පොලිසිය කළ අපමණ වෙහෙස මහන්සියේ ප‍්‍රතිඵල අවසානයේදී නෙළා ගැනීමට හැකි විය. වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ ආරක්‍ෂිත නිවස්නයක පලනි සොහොයුරන් සැඟ වී සිටින බවට තොරතුරු අපරාධ කොට්ඨාසය වෙත ලැබී තිබිණි.

අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති නෙවිල් සිල්වා” උප පොලිස් පරීක්‍ෂකවරුන් වන ජගත්සිරි දුණුසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් කැඳවූ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක මහතාගේ අධීක්‍ෂණයෙන් විමර්ශන පැවැත්වූ පොලිස් කණ්ඩායම වෙත ද පලනි සොහොයුරන් සැඟවී සිටින ස්ථානය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් ලැබී තිබිණි. ඒ තොරතුරු සියල්ල ද කොළඹ අපරාධ කොට්ඨාශය ලබාගෙන පලනි සොහොයුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක‍්‍රියාත්මක කෙරිණි. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වැල්ලම්පිටියේ පිහිටි රහසිගත නිවස්නයක් වටලා පලනි සොහොයුරන් අත්අඩංගුවට ගත්හ.

‘‘සර් අපේ අම්මව මරල දාපු” තාත්තට වෙඩි තියලා බරපතළ තුවාල කරපු උන් සේරම පරලොව යවනවා. අපිව අහුවෙච්ච නිසා උන්ට තව ටික කාලයක් ජීවත්වෙන්න වාසනාව තියෙනවා… පලනි සොහොයුරන් පොලිසිය හමුවේ කීවේ කිසියම් දිනක තම විරුද්ධවාදීන් සියලූදෙනා ඝාතනය කරන බවය.

ඒ වන විටත් ඔවුන් කෙනඩි සහ පූගුඩිකන්නා මරා දැමීමට සැලසුම් සකස් කරනෙ සිටියහ. කොටහේනේ පාතාල යුද්ධය නිමක්වන්නේ නැත. හෙට දිනයේදීත් මොවුන් එකිනෙකා මරා ගනු ඇත.

– හේමන්ත රන්දුණු

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button