පළකල දිනය : Wed, Aug 29th, 2018

මාධ්‍යවේදිනියට සත්තමක්‌ දැමු 176 කොන්දොස්‌තරට වැඩ වරදී !

මාර්ග අංක 176 හෙට්‌ටියාවත්ත දක්‌වා ධාවනයවූ එන් ඩී – 5877 දරන පෞද්ගලික බස්‌ රථයේ කොන්දොස්‌තරවරයා ගමනට අදාළ ටිකට්‌ පතක්‌ නොදී තමාට මගීන් ඉදිරියේ අපහාස කරමින් බැණ වැදුණු බව සඳහන් කරමින් ජාතික පුවත්පතක මාධ්‍යවේදිනියක විසින් ඊයේ (28 වැනිදා) ආමර්වීදිය පොලිසියට හා බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියට පැමිණිලි කර තිබේ.

ඇය මෙම සිද්ධියට මුහුණ පා තිබුණේ ඊයේ උදේ රාජකාරි කටයුතු සඳහා මරදානේ සිට ආමර්වීදියට පැමිණෙමින් සිටියදීය.

සිද්ධිය ගැන විස්‌තර කළ මාධ්‍යවේදිනිය කියා සිටියේ ටිකට්‌ පත ඉල්ලූ විට අපහාස කරමින් කොන්දොස්‌තරවරයා තමාට බැණ වැදුනු බවයි.

“මේ බස්‌ එකේ ටිකට්‌ නැහැ” යෑයි කොන්දොස්‌තරවරයා පැවසූ බවත් ඇය කීවාය. මේ ගැන පැමිණිලි කරනවා යෑයි තමා කී විට “පැමිණිල්ලක්‌ කළොත් ඔයා තමයි අමාරුවේ වැටෙන්නේ ” කියා කොන්දොස්‌තරවරයා පැවසු බවත් “ඔයා වැල්ලේ කෙල්ලෙක්‌” යෑයි කියමින් අපහාස කළ බවත් මාධ්‍යවේදිනිය කීවාය. ආමර්වීදියේ දී තමා බසයෙන් බැස යනවිට කොන්දොස්‌තර තමාට අපහාස කරමින් හූ කීවේ යෑයිද ඇය කීවාය.

බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියටත් ආමර්වීදිය පොලිසියටත් සිද්ධිය පිළිබඳව තමා පැමිණිලි කළ බව කී මාධ්‍යවේදිනිය ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මේ බස්‌ කොන්දොස්‌තරවරයාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස යෑයිද කීවාය.

මේ සම්බන්ධයෙන් ආමර්වීදිය පොලිසියෙන් විමසූවිට මාධ්‍යවේදිනියගෙන් ලැබුණු පැමිණිල්ල අනුව විමර්ශන සිදුකරන බව එහි ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.

බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරියේ 0115-559595 යන පැමිණිලි අංශයට ඇමතූ අවස්‌ථාවේ එහි නිලධාරිනියක කීවේ අදාළ මාධ්‍යවේදිනිය විසින් 28 දා පැමිණිලි කළ බවයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button