පළකල දිනය : Fri, Aug 31st, 2018

“තුන්වේලටම කහට තේ එකයි විස්කෝතුයි විතරක් කකා හිටිය කාලයක් මටත් තිබුණා”

යුරේනි නොෂිකා කියන්නේ ක්ෂේත්‍ර යේ හැමෝගෙම ආදරය දිනාගත්ත දඟකාර යුවතියක්. මේ ඇය පුවත්පතක් සමග කළ සාකච්ඡාවක්.

මෙවර ඔබේ පරපුරේ ශිල්පීන්ට සරසවිය සම්මාන රැසක් වෙන් වුණා?
හරිම සතුටුයි. මොකද ම හැමදාම දුටු දුර්වලකමක් තමයි ලංකාවේ සිනමාවේ හැම උලෙළකම නවකයන්ට දුන් තැන හරිම අඩුයි. ප්‍රවීණයන්ට අප ගරු කරන අතරම නවකයන් මේ සිනමාව ඉදිරියට ගෙනයන බවත් මතක තබා ගත යුතුයි.

මොකද හිතෙන්නේ ‘නිනෝ ලයිව්’ ගැන?
ඇත්තෙන්ම මම හරිම ආසාවෙන් කළ චිත්‍රපටයක්. අනෙක මගේ පළමුවැනි සිනමා රංගනය. මෙය රූපගත කළේ මම මගේ පළමුවැනි ටෙලි නාට්‍යය රඟපාන කාලේ. ඒ කියන්නේ 2009 විතර. ඒ චිත්‍රපටය ඒ කාලේම ආවා නම් දැවැන්ත නිර්මාණයක් බවට පත් වෙනවා. අවාසනාවකට තිරගත වීම ප්‍රමාද වුණත්, අවුරුදු දහයකට පස්සේ හරි තිරගත වීම ගැන සතුටුයි.

ඔබ රංගනය හදාරනවාද වැඩිදුරටත්?
නැහැ. ඇත්තටම අපේ වයසත් එක්ක රංගනය ඉගෙන ගන්න කාලයක් දැන් නෑ. ඒත් අන්තර්ජාතික නිෂ්පාදනායතන තිබෙනවා, කාස්ටිං ඒජන්සීස් තිබෙනවා. ඒවා සමඟ සම්බන්ධතා පවත්වමින් පිටරටවල ඔඩිෂන්වලට සහභාගී වනවා. උත්සාහය අතහරින්නේ නෑ. බොලිවුඩ් හෝ හොලිවුඩ් තමයි ඉලක්කය.

ඔබ චරිතයකට ආරූඪ වන්න මොනවගේ ක්‍රම ද යොදා ගන්නේ? කොහොමද හදාරන්නේ?
සමහර දේවල් තිබෙනවා මට මගේ ජීවිතේ අවස්ථා මතක් වෙනවා. සමහර විට මට නැරඹූ චිත්‍රපටයක් මතක් වෙනවා. ඒ වගේ අපේ ජීවිතේ අත්දැකීම් ලබද්දී, විවිධ සමාජ පරිසරයන්ට, අවස්ථාවලට නිරාවරණය වුණාම තමයි විවිධ චරිත නිරූපණය කරන්න අපට හැකියාව ලැබෙන්නේ. අමතරව අපි පිටපත කියවද්දි මැවෙන චරිතය සමඟ අප පෙර දුටු චරිතයක් සැසඳෙන්න පුළුවන්. ඒ කිසිම දෙයක් නැත්නම් අධ්‍යක්ෂවරයා අවබෝධ කර දෙන ආකාරය අනුව තේරුම් ගන්න.

හැබැයි මම වඩාත් කැමති නිදහසේ රඟපාන්න. මේ දෙබස කියද්දි අතන්ට යන්න ඊළඟ දෙබසෙදි කෝප්පය මෙසෙන් තියන්න කියලා සීමා කරනවාට වඩා අපේ නිදහසේ රඟපාන්න දීලා අපි චරිතෙන් පිට පනිනවා නම් ආපසු පීල්ලට දාන එකටයි මම එකඟ. කේශාන්තයේ සිට පාදාන්තය දක්වා චරිතයේ ජීවත් වෙන්නයි මම කැමති. හැබැයි අද ශිල්පීන්ට සීමා පැනවෙනවා මූල්‍යමය සාධකය නිසා. දවසකට සීන් මෙපමණ ඉවර කළ යුතුයි කියන තැනට ආවාම කිසිම රසඥතාවයකින් තොරව රඟපාන්න වන අවස්ථාත් තිබෙනවා.

තවත් හීන තිබෙනවාද ඔබට?
ඔව්. ඔව්. (සිනාසී) මගේ ජීවිත කතාව චිත්‍රපටයකට නඟන්න මට ලොකු හීනයක් තිබෙනවා.

සහය නිළියගෙන් මිදිලා ප්‍රධාන චරිතයක් කළා ඔබ?
නයට් රයිඩර් – එය වාණිජ සහ කලාත්මක මිශ්‍ර නිර්මාණයක්. ලස්සන චිත්‍රපටයක්. වැඩේ ඉතින් කවදා තිරගත වෙයිද කියන එක තමයි.

නිෂ්පාදකයන් පිළිබඳ ප්‍රශ්නයකුත් තිබෙනවා?
ඇත්තටම අපේ නිෂ්පාදකයන් රැක ගන්නත් අපේ අධ්‍යක්ෂවරුන් දැන ගන්න ඕනා. ඒ අයගේ තිබෙන වත්කම් ඉවර කරලා පාරටම ඇදලා දැම්මාම කොහොමද අනෙක් අය බය නොවී ඉන්නෙ. ඒ නිසා ලැබෙන මුදල් හරි ආකාරව කළමනාකරණය කරලා විශ්වාසය රැකෙන පරිදි කටයුතු කරන්නත් වගකීම තිබෙන්නේ අධ්‍යක්ෂවරුන්ටම තමයි. එතනත් ප්‍රශ්න තිබෙනවා.

ඔබ රංගනය වෙනුවෙන් ඕනෑම අභියෝගයක් බාර ගන්නවාද?
ඔව්. එතැනදි අභියෝගය කියන දෙයත් සමඟ නිරුවත කියන ප්‍රශ්නයක් තිබෙනවා. ලංකාවේ නිරුවත කියන දේ හරි වෙනස්. බටහිර චිත්‍රපටවල අපි ඕනෑ තරම් නිරුවත දකිනවා හැබැයි එතැන අපි දකින්නේ කලාවක් මිස ‘වල් කමක්’ හැටියට නොවෙයි. නිළියකගෙ ශරීරය ගැන කතා වෙන්නේ ඒ චරිතයට කෙතරම් සාධාරණයක් ඉටු කළාද කියන දේ පමණයි. ඒත් අවාසනාවකට ලංකාවේ අපට රිසි සේ එහෙම චරිතයකට පණ පොවන්න බෑ. අනෙක කැමරාකරු නිළිය හසු කර ගන්නා කෝණය සහ අධ්‍යක්ෂවරයා යොදා ගන්නා අවස්ථාව අනුව ඔවුන්ගේ ඇසින් බලන විදිහ පළමුකොට වැරදුණොත් ප්‍රේක්ෂකයාත් එය දකින්නේ වැරදියටමයි. ඒ නිසා එවැනි චරිතයකදී අධ්‍යක්ෂවරයා සහ කැමරාකරු පිළිබඳ අවබෝධයක් තිබීම වැදගත්.

සමහරු කියනවා අද කලාකරුවන්ට ශිල්පීය වටිනාකමක් නෑ කියලා?
තමන් ඇති කර ගන්නේ නැත්තේ ඇයි ඒ දේ… ඒ ගැන කාටවත් දොස් කියලා වැඩක් නෑ. රටේ ශිල්පීය වටිනාකමක් ඇති කර ගන්න තමන් ඒ විදිහට කටයුතු කරන්න ඕනා. සමහර කලාකරුවන් අතිදක්ෂයි. එත් ඔවුන් ඔවුන්ගේ දක්ෂතා ගැන විශ්වාස කරන්නේ නෑ. මම අහන්නේ කලාවේ නාමයෙන් දුක් විඳීන්නේ ඇයි මේ අය? සමහරු රැඩිකල් කියලා හිතලා ප්ලේන්ටියට වඩේ එකට රඟපානවා. මම ඉන්නේ ඊට වඩා වෙනස් තැනක. අපේ යාළුකම් වෙනයි. වෘත්තියේදී එකිනෙකා අනෙකාගේ වෘත්තීය ගෞරවය රකින්න ඕනා. ඒ සඳහා නියම වටිනාකම ගෙවන්න ඕනා.

අනෙක තමන්ට තමන් ගැන නිසි තක්සේරුවක් ඇතිව කොන්ද පණ තියාගෙන තමන්ගේ වටිනාකම තියාගන්න දැන ගන්න ඕනා. කලාකරුවන් කියන්නේ දෙවියනේ යාචක පිරිසක් නම් නො වේ. දැක්මක් ඇතිව වැඩ කරනවා නම් ඒ තත්ත්වයට වැටෙන්නනේ නැතිව ඉතා හොඳීන් ජීවිතේ ගෙවන්න කලාකරුවන්ට අපේ රටේ අවස්ථාව තිබෙනවා. පෞද්ගලික ජීවිතේ තමන් මොනවා කළත් එය තමන්ගේ වෘත්තියට කලාවට ගෙනෙන්නේ නැතුව විනයකින් කටයුතු කරනවා නම් ඔය දේ වෙන්නේ නෑ. අනෙක හදිසියේ මේ ගමන යන්නත් බෑ. තුන්වේලටම කහට තේ එකයි විස්කෝතුයි විතරක් කකා හිටිය කාලයක් මටත් තිබුණා. හැබැයි ඒ කටු කද්දිත් මට විශ්වාසයක් තිබුණා කවදා හරි මේ කැපවීමට ලැබීමකුත් තිබෙයි කියලා. මම මේ සම්මානය දිනා ගන්නේ වසර 11ට පස්සේ. මගේ ගමන හෙමින් හැබැයි ස්ථාවරයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button