පළකල දිනය : Sun, Sep 2nd, 2018

සියවසකට වැඩි කාලයක් කරඩුව වඩම්මන රන්සිවි ගෙය බදින ඇහැලමල්පේ පරපුරේ රහස් !

ඇතාට ඇත් ඇඳුම අන්දනවාටත් වඩා වැදගත්ම දේ රන්සිවිගේ හොඳ පට්ටලේට ඇතාගේ පිටේ බඳින එක. රන්සිවිගේ තියන්න කලින් ඇතගේ පිටේ මෙට්ටයක් තියලා ඒක උඩ වත පුටුව බඳිනවා.වත පුටුව හම්පටි වලින් තද කරලා ඇතාගේ පිට සමබර කරන එක හැමෝටම කරන්න බැහැ. ඒකට හොඳ හුරුවක් තියෙන්නම ඕනෑ. ඇතාගේ බඩ යටින් ගෙන යන බද පටි වෙනමම පදම් කරලා හදලා තියෙන්නේ.

සිරිලංකාව ලොව බැබලවූයේ රාජරාජාධී මහාමාත්‍යයන් සටන් වැද නිදහස් කොට ගත් ඉන්දියන් සාගරයේ මුතු ඇටයකැයි නම් දරමිනි. එයිනිදු කන්ද උඩරට යනු මෙලක අවසන් රාජධානියව පැවත , දළදා මැදුරෙහි වැඩහුන් දළදා හිමියන් වෙත නොකඩවා තේවා සිදුකරමින්ද පෙරහැර පවත්වමින්ද කන්ද උඩරට ජනතාවට ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජ්ජුරුවන් සිය අණසක පතුරුවාලමින් රාජ නියෝග පවරනු ලැබුයේ බුදුන්වහන්සේ පිදීම උදෙසාය. එහි මහා මංගල්‍යයක් වූ දළදා කරඬුව වීථි සංචාරය ඇරඹු දා සිටම දළදා සමිඳුන් ඇතුපිට වැඩමවාලන්නට රන්සිවි ගෙය බඳිනු ලබන්නට රාජඋරුමයෙන් රාජකාරි පැවරුනේ ඇහැලමල්පේ පරම්පරාවටය. ඇසළ පෙරහැර මංගල්‍ය ඇරඹූ දා සිට අද දක්වා සිව්සියවසකට වැඩි කාලයක් දළදා කරඬුව වඩම්මනු ලබන ඇත් රාජයාගේ පිටෙහි රන් සිවි ගෙය බඳිනු ලබන්නේ මේ ඇහැලමල්පේ පරපුරය.

දළදා මැදුරට අයත් වීඅමුණු නවයක කුඹුරු යාය අස්වැද්¥ ඇහැලමල්පේ පරපුර රජදවස පටන් ම ගුරුදෙණියේ පදිංචිකරුවන්ය. දළදා මැදුර ප‍්‍රමුඛ සතර මහා දේවාලයන්හි දී දුරුතු පොහොය දිනට යෙදෙන අලූත් සහල් මංගල්‍යය සදහා සහල් සපයන්නේද ඇහැලමල්පේ පරපුරය. එය ඇහැලමල්පේ අප්පුහාමි ගේ කාලයේ ඇරඹූ චාරිත‍්‍රයකි. කලට වේලාවට වැසි වසින්නා සේ අබමල් රේණුවකද කුහුලක් නොකොට ඔවුහු බුදුපුදට පේව සිටි බැවින් ම

රන්සිවිගෙයි තැනීමේ භාරදුර රාජකාරියද ඇහැලමල්පේ අප්පුහාමි වෙත පැවරිණි. එතැන් සිට පරපුරෙන් පරපුර ඇහැලමල්පේ කිරිබණ්ඩා පරපුර, පුංචිරාළ ඇහැලමල්පේ පරපුර , ජයතිස්ස බණ්ඩාර පරපුර සහ ඔහුගේ පුත් අනුෂ්ක බණ්ඩාර වන වත්මන් පරපුර දක්වාම රාජකාරිය පැවත එන්නේය.

එහි රඟ රස ඇතිව අද අපට බෙදා දෙන්නේ, ජයතිස්ස බණ්ඩාර මහතා සහ ඔහුගේ පුත් අනුෂ්ක බණ්ඩාරය.

මේ රාජකාරිය මහානුභාව සම්පන්න රාජකාරියක්. රාජඋරුමයෙන් එන රාජකාරියක් … සතියකට වැඩි කාලයක සිට කිල්ලකට හසු නොවී මාංශ හෝ සත්ත්ව ආහාරයන්ගෙන් ඈත් වී කිරෙන් වතුරෙන් පේවී , යහසිතිවිල්ලෙන් භාවනාවක යෙදෙන්නා වාගේ පැමිණ සිදු කරන පූජාවක්. බුදුන් වහන්සේ වැඩම කරන්නට නේ මම මේ සැරසෙන්නේ කියන චේතනාව මගේ හදවතේ ගැහෙනවා. අපේ පරපුර වාසනාවන්තයි. එයිනුත් අපි පිරිමි ඛාංඩය මොනතරම් පිංවත්තුද.. මේ දෑතින් හැම වසරකම බුදුන් වහන්සේ වෙනුවෙන් ආසනයක් පනවනවා කියන්නේ සුළුපටු කාරියක් නොවෙයි.. මේවා බලගතු වාසනාවල්. මේ බවයට විතරක්ද සසරේ පතා ගෙන ඇවිත් තියෙන්නේ බුදුන් වහන්සේට ආව තේව කරන්න. ..

මංගල හස්ති රාජයා දෑලේ ඇතුන් ඇතුන් සමඟ සධාතුක කරඬුව වැඩම කරත්දී හුන් තැනින් නැගී සිට මහ හඩින් සාදු නාද නොදුන් මිනිසෙකු නැති තරම්ය. ජාති ආගම් කුල මල පමණක් නොව විදෙස් සංචාරකයින් පවා දෑත් එක්කොට සධාතුක කරඬුව වෙත සිය ගෞරවය දක්වන්නේ ඉමහත් හැඟීමෙනි. උඩුවියන් සහිතව මංගල හස්තිරාජයා පාවඩ මතින් ඉදිරියට පා තබද්දී හස්තියාගේ පිටමත බබලන රන්සිවි ගෙයි සමන්පිච්ච මල් ආසනයේ තැන්පත් කොට තිබෙන සධාතුක කරඬුව නරඹන සැම දනන්ගේම හදවත්හි නැගෙන්නේ බුදුන්වහන්සේ දකින්නෙමි යන චේතනාවය. බුද්ධාලම්භන ප‍්‍රීතිය සිතක ඇතිකිරීමේ මහගු පුන්‍යකර්මයට දායක වූ ඇහැලමල්පේ පරපුර මංගල හස්ති රාජයා පිට රන්සිවිගෙය තබන්නේ අභිසම්භාවයක් සහිතවය.. ඒ වග ඔවුහු මෙසේ කියන්නාහුය.

මගේ පියා පුංචිරාළ ඇහැලමල්පේ මිය ගියේ 1974. ඒ වෙද්දි මට වයස අවුරුදු දහඅටයි. ඒ කියන්නේ දැන් මගේ පුතා අනුෂ්කගේ වයසේ. මට වයස අවුරුදු දහයක් වෙන්නත් කලින් මම අප්පච්චිත් එක්ක යනවා රන්සිවි ගේ බඳින්න උදව් කරන්න . අප්පච්චි ගාථා කියනවා දකිද්දි මගේ ඇස්වලට කදුළු උනලා තියෙනවා. පරම්පරා රාජකාරියක් කියන්නේ ඇහින් දැක බලා කනින් අසා දැන අතින් කරනා හුරුවෙන් පවත්වා ගෙන යන්නක්. මම අප්පච්චිගේ අතේ එල්ලිලා යද්දි මං දන්නේ නැහැ ඊළඟට මේ භාරදුර රාජකාරිය පැවරෙන්නේ මට කියලා. නමුත් ජන්මෙන් එන පුරුද්දක් වගේ මම නිතැතින්ම ඒ රාජකාරියට දේවකාරියක් සේ හැඩ ගැහුණා. අවුරුදු දහඅටවෙද්දි මගේ හිත හයියයි. තනියම රන්සිවි ගෙය බඳින්න තරම් ශක්තියක් හයියක් මට තිබුණා. දළදා පෙරහැරට අමතරව මාලිගාවේ වෙසක්,පොසොන් හා කාර්තික මංගල්‍යයට තියෙන පෙරහැර වලදිත් මංගල හස්තිරාජයා සරසලා රන්සිවිගේ ඇතාගේ පිටේ බඳින්නේ මම.

ඇතාට ඇත් ඇඳුම අන්දනවාටත් වඩා වැදගත්ම දේ රන්සිවිගේ හොඳ පට්ටලේට ඇතාගේ පිටේ බඳින එක.රන්සිවිගේ තියන්න කලින් ඇතගේ පිටේ මෙට්ටයක් තියලා ඒක උඩ වත පුටුව බඳිනවා.වත පුටුව හම්පටි වලින් තද කරලා ඇතාගේ පිට සමබර කරන එක හැමෝටම කරන්න බැහැ.ඒකට හොඳ හුරුවක් තියෙන්නම ඕනෑ. ඇතාගේ බඩ යටින් ගෙන යන බද පටි වෙනමම පදම් කරලා හදලා තියෙන්නේ. ඒවා හොඳ ශක්තිමත්. වෙන කොහේවත් ඒ හම්පටි දකින්න නැහැ. ඇත් හැට්ටය දාලා තමයි රන්සිවිගේ තියන්නේ.ඒක ඇතුළේ විශේෂ ආසනයක තමයි සධාතුක කරඬුව තැනපත් කරන්නේ.. රන් සිවි ගෙය ඇතුළු කට්ටලයේ බර කිලෝ ග්?ම් හාරසිය පනහක් පන්සියයක් පමණ වෙනවා. මේ බර ඇතා උඩ තබන්නේ නොසෙල්වී නොගැලවී හැතැප්ම තුන හතරක ගමනක් යා හැකි පරිද්දෙන්. වත පුටුව , මෙට්ටය , ඇත්සගල , නෙත්තිමාලය , කන්චාමර , කන්වැහුම්, බඳපටි , සහ රන්සිවි ගෙය කියන කට්ටලය මිලකළ නොහැකි වටිනාකමකින් යුක්තයි. රන්සිවි ගෙය තනා තිබෙන්නේ තනිකර රත‍්‍රං සහ රිදියෙන් . ඒවායෙහි සියුම් කැටයම් කැපූ ශිල්පියාගේ ශිල්පීය ඥානය ගැන සිතාගන්නවත් බැහැ.

දින දහයට නැකැත් දහයක් තියෙනවා රන්සිවි ගෙය තැන්පත් කරන්න. නැකතට අනුවයි දළදා වහන්සේ වැඩ සිටින කුටියෙන් පෙරහැර කරඬුව වැඩම කරන්නේ. ඒ වෙනකොට ඇතා සරසලා රන්සිවිගේ තැනපත් කරලා සියල්ල අවසන් කරලා තියෙන්නත් ඕන. දළදා මාලිගාවේ වාහල්කඩින් ඇතුළුවූ ගමන් දකුණු අත පැත්තට හැරෙන තැන තමයි ඇතා සරසන මණ්ඩපය තිබෙන්නේ. කරඬුව වැඩම කරවන ඇතා නාවලා ගෙනාවට පස්සේ , මට ඇතා සරසලා,වත පුටුව බැඳලා,රන්සිවිගේ තැන්පත් කරලා,ලයිට් සේට් කරලා වැඩ ඔක්කොම ඉවර කරන්න පැය එකහමාරක් විතර යනවා.රන්සිවිගේ පිච්ච මල් වලින් සරසලා ඇත්දළ වලට පිච්ච මල් මාලා පළඳවන්නේත් මගේ අතින්මයි . දැන් පුතාත් ඒවා ට උදව් වෙනවා. උඩමාලේ සිටි නිළමේ තුමන් අතින් වැඩම කරන කරඬුව රන්සිවිගේ තිබෙන ආසනයේ තැන්පත් කරන්නේ කාරියකරවන කෝරාළ විසිනුයි. කරඬුව වැඩම කරන ඇතා දළදා මාලිගාවේ ප‍්‍රධාන වාහල්කඩින් ගමන් ආරම්භ කරලා යළි එම ස්ථානයට එනකල්ම මම ඇතා එක්ක හැමදාම පෙරහැරේ යනවා… පෙරහැර නරඹන මිනිස්සු සාධු නද නගද්දී මට දැනෙන්නේ මම මේ බුදුන් වහන්සේ වඩින මගෙහි ගමන් කරනවා යි කියන හැඟීම විතරයි.

රන්සිවි ගෙය හොඳින් තැන්පත් කරන්න නම් කරඬුව වැඩම කරන ඇතාට හොඳ පැතලි පිටක් තියෙන්න ඕන..අනාදිමත් කලක් සධාතුක කරඩුව වඩම්මපු රාජා ඒ වගේ ඇතෙක්. දැන් ඉන්න ඇත්තුන් ගෙන් ඒ වගේ ඉන්නේ දළදා මාලිගාවේ ඉන්දි රාජායි.නඳුන් ගමුවේ රාජා උස වැඩියි. කරඬුව බඳින්න ගොඩක් මහන්සි වෙන්න ඕන. ඇතාගේ සිරුර ලොකු වැඩි නිසා පෙරහැරේ යනකොට හොඳ හිරියක් ඇරියොත් රන්සිවිගේ ඇද වෙනවා. ඉන්දි රාජා මේ වැඬේට දැන් හොඳට පුරුදු වෙලා ඉන්නේ . මම අත යටින් බඳ පටිය දාන කොට ඉන්දි රාජා දන්නවා ඊළඟට මම මොකද කරන්නේ කියලා. ඉස්සර රාජා ඇතත් ඒ වගේ.

පාවඬේ එලනකල් කරඬුව වඩමවා ගෙන ඉස්සරහට යන්නේත් නැහැ. පාවඬේ එලන්න ප‍්‍රමාද වුණොත් ඇතා කකුළ උස්සගෙන ඉන්නවා.ඉන්දි රාජාත් ඒ වගේ. හරියටම පාවඬේ මතින් ම යනවා.ඉන්දි රාජා තමයි දැන් අවුරුදු විස්සක් තිස්සේ කරඬුව වැඩම කරන්නේ. 2009 අවුරුද්දේ පෙරහැර දහයම කරඬුව වැඩම කළේ ඉන්දි රාජා. 2014 අවුරුද්දේ කොටුගොඩැල්ල වීදිය කෙළවරේදී දෑලේ ඇතෙක් ඉන්දි රාජාට ගැහුව්වා. ඒ මොහොතේ ඉන්දි රාජා ඉවසුවා කියලා මට තේරුණා . මොකද ඇස්පිල්ලන් ගහන වාර ගනන වැඩි වුණා. කරඩුව වඩම්මන වෙලාවේ සාදුකාරය නතර වෙන්නේ නැහැනේ. හැම ඇත් අඩියක් ඉස්සෙන වාරයකදීම සාදු නාදය අලූත් වෙනවා. ඇතාට මේවා තේරෙනවා.

ඉස්සර රාජා ඇතා දවසක් පෙරහැරේ ගමන් ගනිද්දි දළදා වීදියේදි එකවරම එක තැන නතර වුණා ඉද්ද ගැහුවාක් වගේ . මොනවා කරලාවත් ඇතාව හොලවාගන්න බැරිවුණා. අප්පච්චි ත් කලබල වෙලා එහෙ මෙහෙ බැලූවා. නෙරංජන් නිළමේ තුමා ඇතා ළගට ආවා. දැන් පෙරහැර ඇතාට ඉදිරි කොටස හිස්. ඒත් ඇතා නෙවෙයි හෙළවුණේ. නිළමෙතුමා ආවත් ඇතා හෙලවුණේ නැහැ. ඒ පාර අප්පච්චි රන්සිවි ගේ බඳ පටිය පරික්ෂා කළා. බලද්දි එක වරයක් බුරුල් වෙලා. ඇතාට දැනෙන්න ඇති රන්සිවි ගේ බිම වැටෙයි කියලා. ඒ නිසා තමයි නොසෙල්වී ඉඳලා තියෙන්නේ. තද කොට ගැට ගැහුවාට පස්සේ මෙන්න ඇතා බොහොම ගරු ගාම්භීර බවෙන් මිනිසුන්ට නොදැනෙන්න තරමක් වේගෙන් ගිහින් පෙරහැර සම්පූර්ණ කළා.

මේවා අතීත සැමරුම් වගේ. පෙරහැරේ යනකොට අලියා කුලප්පු වෙන්න පුළුවන්. කරඬුව ආරක්ෂා කිරීමේ වගකීම මටත් පැවරෙනවා. සමහර අලි ටික දුරක් ගිහින් ඇෙඟ් හිරි අරිනවා. එතකොට රන්සිවිගේ පැතතකට ඇල වෙනවා.එහෙම වුණාම පෙරහැරේ සදාතුක කරඩුව වෙනත් හැඩයක් ගන්නවා එය ගැලපෙන්නේ නැහැ. අපි කරන කාර්යය හරියට කරන්න ඕනෑ. බුද්ධ පූජාවක් කියන්නේ සසර මගට පින් පෙත් රැස් කිරීමක් විතරක් නෙවෙයි. පෙර භවයන්හි ලද පින පළදීමක් බවත් අපි දැනගන්න ඕනෑ…

පෙරපින මහා බලගතු බව හැෙඟන්නේය. බුදුන් වඩින මග මල් ඉසින්නට හෝ පෙර පින් අවැසිය. බුදුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නට නොව අසන්නට පවා පෙර පින් අවැසිය. අබුද්දස කාලයක සැරිසරන අපට අද ඒ වග හොඳින්ම වැටහෙන්නේය. ඇහැලමල්පේ පරපුර පින් ඇත්තෝය. ඔවුහු අදටත් බුදුන්වහන්සේ වඩම්මවාලන්නට රනින් රිදියෙන් අසුන් පනවන්නේ එහෙයිනි.

– සමන්තී වීරසේකර

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button