පළකල දිනය : Sun, Sep 2nd, 2018

ආණ්ඩුවට තිබෙන සල්ලි ආකරයක් හින්දන්න වලිකන R.M.V. පල් හොරු !

හොරකම, දූෂණය, වංචාව පිටුදැකීම සහ හොරු අල්ලා දඬුවම් දීම පිළිබඳ ‍පොරොන්දුවලින් ජනතා ඔළු පුරවා බලයට පැමිණි යහපාලන රජයට වසර තුනක් සපිරීමට තව ඇත්තේ මාස කිහිපයක් පමණි.

ගතවූ කාලය තුළ හොරු ඇල්ලීම හෝ රජයේ ආයතන තුළ තිබුණ වංචා දූෂණ අඩු කිරීමට හෝ අසමත් වූ ආණ්ඩුව එම වංචා දූෂණ දඩමීමා කරගනිමින් එම ආයතන පෞද්ගලීකරණය කිරීම සඳහා මාන බලමින් සිටියි.

රජයේ ආයතන පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළේ අලුත්ම ගොදුර බවට පත්වන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවයි.

වාහන අංක තහඩු නිකුත් කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම වැනි ප්‍රධාන කරුණු රැසක් පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ බරපතළ අක්‍රමිකතා සිදුවන බව පෙන්වා දෙමින් එම ආයතනය පෞද්ගලිකරණය කිරීම සඳහා වත්මන් රජය උත්සාහ දරන බවට මෝටර් වාහන පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ලිපියක් යොමු කරමින් චෝදනා කර සිටියි.

වාහන අංක තහඩු නිකුත්කරනු ලබන පෞද්ගලික ආයතනය කිසිදු කුලී මුදලක් නොගෙවා දෙපාර්තමේන්තු පරිශ්‍රයේම රැඳී සිටින අතර ඔවුන් විදුලි බිල හෝ ජල බිල හෝ ගෙවීමට තරම්වත් කාරුණික වී නැත.

අංක තහඩු සඳහා මුදල් අයකිරීම, විගණනය කිරීම මුදල් පෞද්ගලික සමාගමකට ගෙවීම යන පරිපාලන කටයුතු සිදුකරනු ලබන්නේ දෙපාර්තමේන්තුවේ වියදමිනි.

භාවිතයෙන් ඉවත් කෙරෙන අංක තහඩු කැපීම සඳහා කොන්ත්‍රාත්කරුවකුට කිලෝවක් සඳහා රුපියල් 5ක් ගෙවන අතර එම ඇලුමීනියම් තහඩු කිලෝවක් රුපියල් 50ක් වැනි සුළු මුදලකට විකුණා දමයි. නව අංක තහඩු ලබාගැනීමේදී කාර්, වෑන්, බස්, ලොරි වැනි වාහන සඳහා රුපියල් 3300ක් ද ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2800ක්ද මෝටර් සයිකල් සඳහා රු. 2400ක් ද අයකරගන්නා නමුත් අංක තහඩුවක් නිපදවීම සඳහා ලබාගන්නා මුදලෙන් 30ක් වත් මෙම පෞද්ගලික ආයතනය ඒ සඳහා වැය කරන්නේ නැත.

2005 ජුනි මස 06 වැනි දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් අංක තහඩු මුද්‍රණය පෞද්ගලික ආයතනයකට පැවරූ අතර වත්මන් අංක තහඩු මුද්‍රණ ආයතනයේ ටෙන්ඩරයේ කාලය අවසන්වී කලක් ගතවී තිබේ. නීති විරෝධී ලෙස ටෙන්ඩර් පටිපාටියකින් තොරව අදාළ පෞද්ගලික ආයතනය තවදුරටත් අංක තහඩු මුද්‍රණය කිරීම නිසා මසකට රුපියල් කෝටි දහයක මුදලක් රජයට අහිමි වන බව මෝටර් වාහන පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

රියැදුරු බලපත්‍රය ලබාදීමේ දී ද මීට වඩා දැවැන්ත වංචාවක් සිදුවන බව පෙනි යයි. රියැදුරු බලපත්‍රයක් ලබාදීම සදහා එක් අයැදුම්කරුවකුගෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අයකරනුු ලබන මුදල රුපියල් 1700කි. එයින් රුපියල් 1340ක මුදලක් කාඩ්පත මුද්‍රණය කරනු ලබන පෞද්ගලික සමාගම වෙත ගෙවනු ලබන අතර දෙපාර්තමේන්තුවේ වියදම් සහ රජයේ ආදායම් සඳහා ඉතිරි වන්නේ රුපියල් 360ක් තරම් සුළු මුදලකි.

මෙම ස්මාර්ට් කාඩ් පත බැංකු කාඩ්පතකට සමාන එකක් වන බැවින් එය නිකුත් කිරීම සඳහා වැයවන්නේ රුපියල් 150ක් පමණ සුළු මුදලක් බව මෝටර් වාහන පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

රජයට ඉතිරිවන රුපියල් 360ක මුදලින් රියැදුරු බලපත්‍ර අයැදුම්පත්‍ර නිකුත් කිරීම, ඡායාරූප ගැනීම ට්‍රයල් බැලීම, කාර්යාල නඩත්තුව වැනි සියලු කාරණා ඉටුකිරීමට දෙපාර්තමේන්තුවට සිදුව තිබේ.

මෙහි දී අවධානය යොමුකළ යුතු තවත් කරුණක් වන්නේ කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව පැවති ගිවිසුම කඩකරමින් කාඩ්පත් මුද්‍රණය සඳහා එම පෞද්ගලික ආයතනයට තවුදරටත් ඉඩ ප්‍රස්ථාව ලබාදී තිබිමයි.

මසකට අවමයෙන් රියැදුරු බලපත්‍ර 50000ක් පමණ නිකුත් කරනු ලබන අතර මෙම කාඩ්පත් නිකුත් කිරීමේ අක්‍රමිකතාව නිසා වසරකට රජයට අහිමි වන මුදල රුපියල් බිලියනයකට ආසන්න වෙයි.

යෝජනා වී තිබෙන නව පෞද්ගලීකරන වැඩපිළිවෙළ තුළදී දැනට ලබාදෙන මුදලම කාඩ්පත මුද්‍රණය කිරීම සඳහා එම පෞද්ගලික ආයතනයටම ලබාදිය යුතු අතර ඉතිරි මුදල රියැදුරු පරීක්ෂණ සිදුකරන බාහිර පාර්ශවයක් වෙත ලබාදීමට අමාත්‍යවරයා යෝජනා කොට තිබේ.

මෙම පරීක්ෂණ ක්‍රියාවලියම දෙපාර්තමේන්තුවේ පලපුරුදු මෝටර් වාහන පරීක්ෂකවරුන් ලවා සිදු කිරීමේදී එක පරීක්ෂණයක් සඳහා දැරීමට සිදුවන පිරිවැය රු. 15ක් පමණි.
මතෛක් රියැදුරු බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව පැවති අතර එහිදී විශේෂයෙන්ම අයදුම්කරුවකුගේ අනන්‍යතාව, යෝග්‍යතාව සහ ප්‍රවීණතාව දෙපාර්තමේන්තුව විසින්ම පරීක්ෂාවට ලක්කොට බලපත්‍රය නිකුත් කිරීම සිදුකරනු ලැබිය. නමුත් වර්තමානයේ රියැදුරු බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය දූෂණ සහිත බව, රිය අනතුරු සංඛ්‍යාව ඉහළ බව සහ රියැදුරු බලපත්‍ර ඉල්ලුම්කරුවන්ගේ ප්‍රමාණය ඉහළ යන බව පවසමින් මෙම අනන්‍යතාව, යෝග්‍යතාව සහ ප්‍රවීණතාව පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළ බාහිර පාර්ශ්වයකට භාර දීමට කැබිනට් අනුමැතිය ලබාදී ඇත.

මෙම ක්‍රියාවලිය පෞද්ගලීකරණය ක්‍රියාවලියේ මුල් පියවරක් වන අතර දැනට පෞද්ගලීකරණය කරනු ලැබූ කොටසවල සිදුවන අක්‍රමිකතාවයන් අවම කිරීමට නොහැකිව තිබියදි තවදුරටත් දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමට උත්සාහ දැරීම හාස්‍යයට කරුණකි.

නිර්දේශ

  • අවසාන රියැදුරු බලපත්‍රය මුද්‍රණය කිරීමේ කාර්යය දෙපාර්තමේන්තුවට පවරාගෙන කරගෙන යාම පිළිබඳ අධ්‍යයනයක් සිදුකර ඒ අනුව කටයුතු කිරීම.
  • දැනට රියැදුරු බලපත්‍රයේ ඇතුළත් කර ඇති ඉලෙක්ටේ‍රානික චිපයේ ප්‍රයෝජනවත් භාවය පිළිබඳව අධ්‍යයනයක් කර අදාළ විෂය මගින් බලා‍පොරොත්තු වූ අරමුණු විශේෂ ජංගම දුරකතන ඇප් එකක් නිර්මාණය කර ඒ තුළින් ‍පොලිස් නිලධාරීන්ට හා අනෙක් නිලධාරීන්ට රියැදුරු බලපත්‍ර පරීක්ෂා කිරීමේ අවස්ථාව ලබාදීම.
  • පැරණි රියැදුරු බලපත්‍ර ක්‍රමයේ දත්ත නව රියැදුරු බලපත්‍ර ක්‍රමයට ඇතුළත් කිරීමට කටයුතු කිරීම.
  • කොන්ත්‍රාත්කරු විසින් සපයනු ලබන රියැදුරු බලපත්‍රවල ගුණාත්මක භාවය හා ප්‍රමිතිය පිළිබඳව නිරන්තර පරීක්ෂණ සිදු කිරීම.
  • ස්මාට් කාඩ් රියැදුරු බලපත්‍රයක් මුද්‍රණය කිරීමට කොපමණ මුදලක් වැය වන්නේද යන්න පිළිබඳව විශේෂ කමිටුවක් පත්කර ඒ හරහා වාර්තාවක් ලබා ගෙන එමගින් තීරණය වන මිල පරිදි වර්තමාන කොන්ත්‍රාත්කරු විසින් අනාගතයේ සපයනු ලබන ස්මාට් කාඩ් රියැදුරු බලපත්‍ර සඳහා ගෙවීම් කිරීමට කටයුතු කිරීම.
  • ආර්ථික විද්‍යාත්මකව රියැදුරු බලපත්‍ර ඉල්ලුම දෙස බැලූ විට ඒ සඳහා ඇත්තේ දිනෙන් දින වර්ධනය වන ඉල්ලුමකි. එමෙන්ම එය රජය සතු ඒකාධිකාරයකි. මෙහි මිල නියම කිරීමේ තනි අයිතිය රජය සතුවේ. එම නිසා රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම රජය සතු ස්වර්ණමය ආයෝජන අවස්ථාවකි. එමෙන්ම රියැදුරු බලපත්‍රයන් නිකුත් කිරීමට අවශ්‍ය සියලුම අනුමත කිරීම්, පරීක්ෂා කිරීමේ කාර්යයන් සිදු කරනුයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනි. පෞද්ගලික සමාගම විසින් සිදු කරනුයේ අනුමත කරනු ලැබූ රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම හා ඒවා නිවැරදිව වර්ග කර තැපැල් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට භාර දීම පමණි.

මේ සඳහා වූ කාර්ය මණ්ඩලයක් කොන්ත්‍රාත්කරු සේවයේ යොදවා තිබුණි. දැනට පවතින ව්‍යාපාරික වාතාවරණය යටතේ පහත සඳහන් පරිදි රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කාර්යය රජයට පවරාගෙන කරගෙන යාම අතිශයින් ලාභදායී කාර්යයක් බව විගණනයේදී නිරීක්ෂණය කර තිබේ. මෙම විගණන වාර්තා නිර්දේශ නිසි අයුරින් ක්‍රියාත්මක කරන්නේ නම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දූෂණයෙන් වංචාවෙන් හා හොරකමින් යම් තරමින් හෝ මුදාගනු හැකිව තිබේ. මේ සම්බන්දයෙන් විමසීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වරයා සම්බන්ද කර ගැනීමට අප උත්සාහ කලද එම උත්සාහය අසාර්ථක විය.

– නෙරංජලා වික්‍රමසිංහ
– භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්
(රිවිර)

  • 1.2K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button