පළකල දිනය : Fri, Sep 7th, 2018

පාසල් යනගමන් සියුමැලි දෑතේ ඔයිල් මජං ගාගෙන වැඩ කරන “තනුජා මෝටර්ස්” තනුජා

සිය පියාගේ ගමන් මගට ශක්තියක් වු උසස් පෙළ හදාරණ දිරිය දියණියක් අපට පසුගියදා තන්තිරිමලේ පුජා භූමිය වැද පුදා ගැනිමට යන අතරමදි හමුවිය. අප මේ සම්බන්ධයෙන් සටහනක් එක් කරන්නට සිතුවේ කාන්තාවක් ලෙස ඇයගේ සිව්මැලි දෑතින් සිය පියාගේ ගරාජයේ කුඩා කල සිට වැඩ කරන වීරල කාරණය හා ඒ සඳහා පවතින උනන්දුව නිසායි.

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ තන්තිරිමලේ ප‍්‍රධාන මාර්ගයේ පිල්ලෑව, 15 කණුව, තන්තිරිමලේ නෙළුවිල ග‍්‍රාම සේවා වසමට අයිති ස්ථානයක මෙම වැඩ බිම පිහිටා තිබෙනවා. නමින් ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ වි ඇත්තේ ‘‘ තනුජා මෝටර්ස් ’’ යන නාමයෙනි. මෙහි අයිතිකරුවා වන්නේ උසස් පෙළ ඉගෙනුම ලබන දියණියගේ පියායි. ඔහු නමින් ජී.ඒ. මංජුල සිල්වා (46) ය.එම වාහාන වැඩ පොළ වෙතින් වාහාන ටින්කරින්, වාහාන තීන්ත අලේපනය යනආදිය සිදු කරන්නේ වසර ගණනාවක සිට මහජන විශ්වාසය දිනා ගනිමිනි.

මෙම වැඩ පොළෙහි පිටතින් ගත් සේවක සේවිකාවන් නැති අතර මංජුල ගේ මෙ ගමන් මගට විශාල ශක්තියක් වෙමින් එහි කටයුතු සිදු කරන්නේ 18 හැවිරිදි දියණිය ජි.ඒ. තනුජා නිමේෂිකා සහ ඇයගේ මව වන කේ. එම්. චන්ද්‍රා කුමාරි ඇල්ලේවෙල යි.

අප මෙ ස්ථානය ප‍්‍රධාන මාර්ගයේ ගමන් කරද්දි දකින විටත් මංජුල මහතාගේ වැඩ බිමේ මෙ දිරිය කතුන් ඉතා උත්සාහයෙන් වැඩ කරමින් සිටි අතර 18 හැවිරිදි තනුජා ත‍්‍රීවිල් රථයක තීන්ත අලේපන කටයුතු සිදු කර අතර මව වන චන්ද්‍රා තවත් ත‍්‍රීවිල් රථයක තීන්ත අලේපනය සඳහා වැලි කඩදාසියකින් එය පිරිමදිමින් සිටිනු දැක ගත හැකි විය.

මේ දින වල පවතින් තද හිරු රශ්මිය නොතකා ඔවුන් එකා මෙන් උත්සාහයෙන් වැඩ කරයි. සාමන්‍යයෙන් මෙම වයසේ පසු වෙන උසස් පෙළ පිරිමි දරුවෙක්වත් මෙ අවදියේදි ගීස්, ඔයිල් ගා ගනිමින් මෙවැනි කටයුතු වල නිරත වන්නේ නම් එය කලාතුරකින් සිදු වන්නෙකි. තරුණ දියණියක් ලෙස මෙ රටට ලබා දෙන ආදර්ශය මුළු මහත් සමාජයටම වැදගත්ය. එය අපේ රටේ පාලකයන්ගේ පවා අවදානය යොමු විය යුතු හා අගය කල යුතු කරුණකි. එහි ගිය අපි සමග මුලින්ම කථා බහ කලේ තනුජා මෝටර්ස් ආයතනයේ අයිතිකරු වන ජි.ඒ මංජුල සිල්වාය.

මගේ උපන් ගම වාගේම මාගේ කලින් වැඩ පල තිබුණේ මාතලේ පලාපත්වල. මට ගැහුණු දරුවෝ 3 දෙනෙක් ඉන්නවා එයින් දෙනෙක් බැදලා එක දුවක් මාතලේ අනික් දුව බැන්දේ තන්තිරිමලේ මේ අපි ඉන්න ගමට. තන්තිරිමලේට බැන්ද දුවගේ ගමට යන එනකොට මම දැක්කා වාහාන ගරාජයක් නැහැ කියලා. ඒ අනුව මම තීරණය කලා මෙ පාර අද්දර ස්ථානය කුළියට අරන් මෙහි වාහාන ටින්කරින්, වාහන තීන්ත අලේපනය කරන ස්ථානයක් පවත්වන්න. ඒ අනුව මෙ ස්ථානයට බාල දියණියගේ නම යොදා ගෙන ‘‘ තනුජා මෝටර්ස් ’’ කියාලා නම තිබ්බා.

“දැන් මෙ කටයුතු සිදු කරන්න මෙහි පටන් ගෙන අවුරුදු 6 ක් වෙනවා. මම මේ ක්ෂෙත‍්‍රයේ අවුරුදු 25 ක පමණ පළපුරුද්දක් තියෙන කෙනෙක්. මෙ ස්ථානයේ ගරාජය පටන් ගන්නත් කලින් පොඩි දියණිය මෙන්ම බිරිඳත් මාගේ සහාය වෙනුවෙන් වැඩ කරනවා. දැන් මාගේ නෝනාට වඩා දුව ඉතාම දක්ෂයි මේ කටයුතු කරන්න. වාහනයක් තනිවම ගලවලා පේන්ට් වැඩ කරලා හයි කරන්න තරම් දැනුමක් එයාට තියෙනවා. ටින්කරින් වැඩත් පුළුවන් ඒ වාගේම වාහාන එලවන්නත් පුළුවන් මොන දේ කළත් අධ්‍යාපනයටත් එයා හරි දක්ෂයි. ඒ නිසාම තමයි සාමන්‍ය පෙළ ඉහළින් සමත් වේලා දැන් කලා අංශයෙන් උසස් පෙළ කරන්නේ. ඇය අදටත් මට කියන්නේ තාත්තේ මට රජයේ රැකියාවක් කරන්න නොලැබුණත් මම මෙ ගරාජය කරගෙන ඉන්නවා කියනවා. රජයේ රැකියාවක් ලැබුණත් සේවකයන් දාලා හරි ගරාජය කරන්න තරම් ආශාවක් ඇයට තියෙනවා.”

දරුවකුගේ හැකියාව ගැන දෙමාපියෙක් කථා කරද්දි සමහර වේලාවට ඒ සතුට කියා ගැනිමට තරම් සතුටක් ඇති වු විට ඒ සතුටු වචන කියා ගැනිමට නොහැකිව හිර වෙනවා මෙන් මංජුලටත් දියණියගේ හැකියාව අපට කියද්දි සමහර වචන ගොලූ විය. ඒ සමගම ඒ සතුට නිසා උණු කදුළු මුහුණේ ඉරියව් වෙනස් කරන්නට විය. එවැනි ස්රූපයන් අප මංජුලගෙන්ද දැක්කාය සෙනෙහෙබර පියෙක් තම දරුවන්ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් ගැන නිහතමානිව එසේ ආඩම්බර වෙන අතර ඔහුගේ හදවතේ මොන තරම් සතුටක් ඇත්දැයි ඔහු සමග කථා කළ මට සිතුනි.

“මහත්තයෝ ටිකක් හිතලා බලන්නකෝ ගැණු ළමෙයක් වුනාම මෙ වයසේදි මේ වාගේ යකඩ ගොඩවල් එක්ක පොර කයිද ? නැහැ. ගීස් ඔයිල් ගා ගෙන ඉන්නේ නැහැ. කවදාවත් මාගේ දියණිය මෙ කරන රැුකියාව අඩු තක්සේරුවකට ලක් කරලා තාත්තේ අපි වෙන දෙයක් කරමු මට නම් බැහැ මේ වාගේ දේවල් කරන්න කියලා කවදාවත් කියලා නැහැ. එයා මෙ හැම දෙයක්ම කරන්නේ ආශාවෙන් පාසල් ඇරිලා ඇවිත් සවස 4, 5 වෙනකම්ම ගරාජ් එකේ වැඩ කරලා තමයි පාසලේ අධ්‍යාපන කටයුතු කරන්නේ. නමුත් ඇය පාසලේ කටයුතු අතපසු කරගත්තේ නැහැ ඒවාත් හොඳින් කරනවා ඉගෙන ගන්නත් හරි දක්ෂයි. ”

මාගේ නෝනා විවේකිව ඉන්න ඕන කියලා විවේක ගන්නේ නැහැ. එයා හැම වේලාවේම දිවා රාත‍්‍රී මාගේ කටයුතු පහසු කරන්න වැඩ කරනවා. සේවකයෙකුටත් වඩා මෙ දෙදෙනා මට ලබා දෙන සහාය වේලාවකට මට හිතෙන්නේ මාගේ පෙර පිනකින් මට ලැබුණු දෙයක් කියලයි. මම වැඩ කරන දේවල් දිහා බලාගෙන ඉදලා තමයි මෙ දෙන්නාම පුරුදු පුහුණු වුනේ යැයිද ඔහු පැවසීය.

මිළගට අපි කථා කලේ මංජුල මහතාගේ බිරිඳ වන චන්ද්‍රා කුමාරි ඇල්ලේවෙල සමගින්ය. ” දුවට සහජයෙන්ම හිතලා වැඩ කිරිමේ පුදුම හැකියාවන් උනන්දුවක් තමයි තියෙන්නේ. කවදාවත් කම්මැලි නැහැ. මවක් හැටියට මට කියන්න තියෙන්නේ මෙ වාගේ දියණිවරුන් අද අපේ රටේ හරිම අඩුයි කියලා විතරයි. අපි වාහානයක් ගත්තානම් අපි තුන්දෙනාගෙම ඉලක්කය එක ප‍්‍රමාද නොකර ඉක්මනින් ඒ අයට දෙන එකයි.

අපි අවසාන වශයෙන් කථා කළේ තනුජා නිමේෂිකා සමගය. ” මම සාමන්‍ය පෙළ දක්වාම අධ්‍යාපන හැදෑරුවේ බිල්ලෑව මහා විද්‍යාලයේය. සාමන්‍ය පෙළ විෂයන් හතකින් සමත් වෙලා හතරක් සම්මාන ලබා ගත්තා. පස්සේ උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය හදාරන්න මම තන්තිරිමලේ විමල ඥාණ මහා විද්‍යලයට ගියා. පාසල් ගිහින් ඉගෙන ගන්න දේවල් කරන මම මේ කටයුතු කරන්නේ ලොකු ආශාවනින් ඒ වාගේම මම කිසි වේලාවක හිතන්නේ නැහැ.

මේ වැඩ කාන්තාවක් ලෙස මම නොකර යුතුයි කියලා. අපේ රටේ ඉන්න මගේ වයසේ ඉන්න අනික් අයටත් කියන්නේ මොනවා හරි වෘත්තියක් පුරුදු පුහුණු වෙනවා නම් අද කාලේ හැටියට එක වටිනා කමක් තියෙන දෙයක් කියලයි. මට නම් මෙ කරන සමහර දේවල් වලින් මාගේ පාසලේ කටයුතු වලට අවශ්‍ය දැනුමත් හිතන්න පුළුවන් බුද්ධියක් මට ලැබෙනවා. අධ්‍යාපන කටයුතු සාර්ථකව කරලා විශ්ව විද්‍යාලයේ යන්න තමයි මාගේ ඉලක්කය ඒ ගිහින් මෙ වාගේ අංශයකින් ඉදිරියට යන්නත් කැමැතියි නමුත් ඒ සඳහා අවශ්‍ය ක‍්‍රම වේද තියෙනවාද කියලා මම දන්නේ නැහැ කාන්තාවන්ට නමුත් එහෙම යන්න බැරි වුනත් මට කියලා අද මෙ වෘත්තිය කරන් නිදහසේ ඉන්න පුළුවන්.”

ඇයි ඔබට මෙ වාගේ වෘත්තියක් කරන්න කියලා හිතුනේ ?

තාත්තා මෙ වැඩ කලා අපි පොඩි කාලේ ඉදලා ඒවා දැක්කා පොඩි පොඩි දේවල් වලට උදව් කලා බලා හිටියා පස්සේ පස්සේ පොඩි පොඩි දේවල් වලට උදව් කරමින් ඉඳලා මේ වෙන කොට මට තනිවම වැඩ කරන්න තරම් හැකියාවක් ලැබුණා. ඒ මම ඇත්තෙන්ම මේ කටයුතු වලට ලොකු ආශාවක් තිබුණු නිසා. තාත්තාගෙන් වාගේම අම්මාගෙනුත් මට ලොකු සහායක් ලැබෙනවා. මාගේ අම්මා තාත්තා දුක් විදලා කරන රැකියාවට මටත් පොඩි කාලයේ ඉදලාම ශක්තියක් ලබා දිමට ලැබිම ගැන මම ලොකු සතුටකින් තමයි ඉන්නේ.

පාසලේ යාළුවෝ මේ බව දන්නවාද ?

ගොඩාක් අය දන්නවා නමුත් ඒ අය මෙ ගැන අවතක්සේරුවකින් කථා කරන්නේ නැහැ. ඒ වාගේම මෙ පැති වල මිනිස්සු ජිවත් වන්නේ ටිකක් අපහසුවෙන් දුක් විදලා ඒ අය දන්නවා ඒ ජිවිතය කොයි තරම් අමාරු කටයුත්තක්ද කියලා.

අනාගත බලාපොරොත්තු මොනවාද ?

රජයේ හෝ මෙ වෘත්තියෙන් ඉදිරියට ගිහින් මෙ කටයුතු වැඩි දියුණු කරලා අම්මාටයි තාත්තාටයි සලකන්න තමයි මාගේ අදහස.
මෙම අභිමානවත් කාන්වන් දෙපොළට මෙන්ම මා මංජුලට සමුදි එයින් පිට වුයේ ඔහුන්ගේ අනාගතවය සාර්ථික වි තව තවත් මෙ ස්ථානය දියුණු වේවායි යනුවෙන් ප‍්‍රාර්ථනා කොට මෙ ආදර්ශමත් ක‍්‍රියාව නොබෝ දිනකින් රටටම කියන අදහසිනි.

– සමන් විජය බණ්ඩාර

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button