පළකල දිනය : Thu, Sep 13th, 2018

“රේල් පාර අයිනේ සිටි පුද්ගලයා එක පාරටම කෝච්චියට පැන්නා”

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රි තැපැල් දුම්රිය රාත්‍රි 7.05 ට විතර මම මුර කරමින් සිටි බෝඅත්ත දුම්රිය ගේට්‌ටුව පසුකරගෙන යැමට එමින් තිබුණා. ඒ වෙලාවේ කෝච්චියේ ප්‍රධාන ලාම්පු එළියෙන් මම දැක්‌කා කෝච්චියට මීටර් 120 ක්‌ දුරින් රේල් පාර අයිනේ කවුදො කෙනෙක්‌ හිටගෙන ඉන්නවා. මම හිතුවා ඒ පුද්ගලයා ඒ අසල තිබෙන කඩේකට බඩු ගන්න ගිහිල්ලා එන කෙනෙක්‌ කියලා. මම මගේ මුර කුටිය ළඟ ඉඳලා කෝච්චිය එන දිහා බලාගෙන ඉන්න කොට මම දැක්‌කා රේල් පාර අයිනේ හිටගෙන හිටපු පුද්ගලයා කෝච්චිය මීටර් 20 ක්‌ විතර ළං වනවිට එක පාරටම රේල් පාර මැදට පැන්නා.

පොලොන්නරුව, වැලිකන්ද බෝඅත්ත ප්‍රදේශයේදී ඉකුත් 10 වැනිදා රාත්‍රි මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙන් මියගිය වැලිකන්ද, බෝඅත්ත, සුන්දර මහා දේවි ගම්මානයේ පදිංචිව සිටි 39 හැවිරිදි තිදරු පියකු වන කදිරවේළන් විඡේසූරිය සහ ඔහුගේ පුතුන් දෙදෙනකු වන විඡේසූරියගේ සංජය සඳරුවන් (අවු. 10) හා විඡේසූරියගේ විදත් සන්සිදු (අවු 4 1/2) යන තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් 11 වැනිදා පොලොන්නරුව මහ රෝහලේ පැවති මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දුන් බෝඅත්ත දුම්රිය හරස්‌ මාර්ගයේ දුම්රිය ගේට්‌ටු මුරකරු වන වැලිකන්ද බෝඅත්ත අංක 275 ලිපිනයේ පදිංචි පතිරණ මුදියන්සේලාගේ ගුණරත්න බණ්‌ඩා (56) යන අය එසේ කියා සිටියේය.

වැලිකන්ද කොට්‌ඨාසයේ හදිසි මරණ පරීක්‍ෂක සාම විනිසුරු විමලරත්න යාපා බණ්‌ඩාර මහතා ඉදිරියේ පැවති මෙම මරණ පරීක්‍ෂණයේදී තවදුරටත් සාක්‍ෂි දුන් සාක්‍ෂිකරු මෙසේ ද කීය.

මේ සිද්ධිය වුණු දිනයේ එනම් පසුගිය 10 වැනිදා මට රාජකාරි වෙලාව තිබුණේ සවස 2.00 සිට රාත්‍රි 10.00 දක්‌වායි. මම නියමිත වෙලාවට සේවයට වාර්තා කළා. එසේ වාර්තා කර බෝඅත්ත දුම්රිය හරස්‌ මාර්ගයේ මුර කුටියේ සිටින විට රාත්‍රි 7.05 ට විතර මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රි තැපැල් දුම්රිය මම මුර කරමින් සිටි බෝඅත්ත දුම්රිය ගේට්‌ටුව පසුකරගෙන යැමට එමින් තිබුණා. ඒ වෙලාවේ කෝච්චියේ ප්‍රධාන ලාම්පු එළියෙන් මම දැක්‌කා කෝච්චියට මීටර් 120 ක්‌ විතර දුරින් කවුදොa කෙනෙක්‌ රේල් පාර අයිනේ හිටගෙන ඉන්නවා. මම හිතුවා ඒ පුද්ගලයා අසල තිබෙන කඩේකට බඩුගන්න ගිය කෙනෙක්‌ වෙන්න ඇති කියලා. මම මගේ මුර කුටිය ළඟ ඉඳලා කෝච්චිය එන දිහා බලාගෙන ඉන්නකොට මම දැක්‌කා රේල් පාර අයිනේ හිටගෙන හිටපු පුද්ගලයා කෝච්චිය මීටර් 20 ක්‌ විතර ළං වනවිට එක පාරටම රේල් පාර මැදට පැන්නා. මම හයියෙන් කෑගහලා කිව්වා පනින්න එපා, පනින්න එපා කියලා. ඒ සමඟම ඔහු කෝච්චියේ හැපුණා. කෝච්චිය හරස්‌ පාර පසුකරගෙන ගියාට පස්‌සේ මම දෙපැත්තේ වහලා තිබුණු ගේට්‌ටු දෙක ඇරියා. පසුව ගිහින් බලන විට තුන් දෙනෙක්‌ වැටිලා හිටියා. මම වැලිකන්ද පොලිසියට මේ බව දැනුම් දුන්නා.

පසුව කෝච්චිය නතර කරලා දෙදෙනෙක්‌ කෝච්චියේ දාගෙන මනම්පිටිය රෝහලට රැගෙන ගියා. අනෙක්‌ ළමයා වැලිකන්ද රෝහලට ගෙන ගොස්‌ තිබුණා. මම එවේලේ දැනගෙන හිටියේ නෑ මේ කෝච්චියට හැපිලා හිටියේ කවුද කියලා. පසුව මම දැනගත්තා මේ මියගොස්‌ සිටි අය සුන්දර මහා දේවි ගම්මානයේ පදිංචි ඡේන් මල්ලි යන අය බව සහ ඔහුගේ දරුවන් දෙදෙනකු කියලා.

වැලිකන්ද, බෝඅත්ත අංක 45 ලිපිනයේ පදිංචි සිවිල් ආරක්‍ෂක බළකායේ නියාමකවරයකු වන වැලිකලගේ නිශාන්ත පෙරේරා (33) යන අය ද සාක්‍ෂි දෙන ලදී.

මියගිය කදිරවේළන් විඡේසූරිය යන අයගේ බිරිඳ වන කදිරවේළන් ඉන්ද්‍ර කුමාරි (36) යන අය සාක්‍ෂි දෙමින් මෙසේ කියා සිටියාය.

මේ මියගොස්‌ සිටින්නේ මාගේ සැමියා සහ දරුවන් දෙදෙනකුයි. මගේ සැමියාට දාව මට දරුවන් තුන් දෙනෙක්‌ සිටිනවා. වැඩිමහල් පුතායි වයස අවුරුදු 17 යි. දෙවැනි පුතා සහ තුන්වැනි පුතා මියගොස්‌ සිටින්නේ. සැමියා රැකියාව ලෙස කළේ ධීවර කර්මාන්තයයි. මම කාලයක්‌ පොලොන්නරුව මහ රෝහලේ කම්කරු රැකියාවක්‌ කළා. පසුව කොළඹ සිසිල් බීම සමාගමක කම්කරු රැකියාවක්‌ සඳහා ගියා. මගේ ලොකු පුතාත් මමත් දෙදෙනාම එහි රැකියාව කළා. මම විවාහ වෙලා දැනට අවුරුදු 18 ක්‌ විතර වෙනවා. හැමදාම අපි දෙදෙනා අතර අඬදබර ඇතිවුණා. සැමියා ධීවර කටයුතුවලින් ලැබෙන මුදලින් අරක්‌කු බීලා ඇවිත් මා සමඟ රණ්‌ඩු කරනවා. මම කුලී වැඩ කරලා ගන්න මුදලුත් ඉල්ලාගෙන අරක්‌කු බොනවා. මේ කරදර ඉවසාගන්න බැරිම තැන මම වතාවක්‌ වැලිකන්ද පොලිසියේ පැමිණිල්ලකුත් දැම්මා. පොලිසිය අවවාද කළාම දින 02 ක්‌ 03 ක්‌ හොඳට ඉන්නවා. නැවතත් පුරුදු ලෙස රණ්‌ඩු කරනවා.

බැරිම තැන මම දැනට මාස 05 කට පමණ පෙර කොළඹ රැකියාවකට ගියා. පසුව මගේ ලොකු පුතාටත් එහේ රැකියාව ලැබුණා. පසුගිය මාස 05 ට ළමයි දෙන්නාගෙත්, සැමියාගේත් වියදමට රුපියල් 35,000 ක මුදලක්‌ එව්වා. විවේක තිබෙන සෑම වෙලාවකම ළමයි දෙන්නාටත් සැමියාටත් දුරකථනයෙන් කතා කරනවා. ඒ කතා කරන සෑම වෙලාවකම මට කියන්නේ රස්‌සාව දාලා ගෙදර වරෙන් කියලා. නමුත් මා ගත්තු ණය ගෙවන්න ඕන නිසා මමත්, පුතාත් දුක්‌ විඳලා මුදල් හම්බ කළා. සැමියා මට ගෙදර එන්න කියා කීවත් මා ඒ ගැන වැඩි කැමැත්තක්‌ දැක්‌වූයේ නැත්තේ සැමියාගෙන් ගුටිකන්න බැණුම් අහන්න බැරි නිසයි.

පසුගිය 10 වැනිදා දහවල් 12.00 ට විතර සැමියා දුරකථනයෙන් කතා කරලා කිව්වා උඹ ගෙදර එන්නේ නැති නිසා මම වැලිකන්ද පොලිසියේ පැමිණිල්ලක්‌ දැම්මා කියලා. මම කිව්වා ලබන මාසේ 10 වැනිදා ගෙර එන්නම් කියලා. එදිනම මගේ ළමයි දෙන්නාත් කතා කරලා කිව්වා අම්ම කවදාද ගෙදර එන්නේ කියලා. ආපසු මගේ දුක සැප ගැනත් විමසුවා. මා එවිට දරුවන්ටත් කීවා මේ මාසේ එන්න සල්ලි නෑ කියලා. ඒ කතා කළාට පසුව කවුරුවත් කතා කළේ නෑ. පසුව මම එදින සවස බෝඩිමේ සිටින විට මගේ තාත්තා මට කතා කරල කිව්වා පුතේ පණිවුඩය ආරංචි ද කියලා. මම කිව්වා මොකක්‌ද මම දන්නේ නෑ කියලා. තාත්තා කිව්වා විඡේසූරිය දරුවෝ දෙන්නත් එක්‌ක කෝච්චියට පැනලා කියලා. මම බොරුවක්‌ වෙන්නැති කියලා සැමියාගේ දුරකථනයට ඇමතුමක්‌ ගත්තා. නමුත් කතා කළේ නැහැ. පසුව ගමේ අයගෙන් අහලා දැනගත්තා මේ සිද්ධිය ඇත්ත ද කියලා. මට මගේ දරුවන් දෙදෙනාගේ සහ පුරුෂයාගේ මරණය ගැන සැකයක්‌ නෑ. මගේ සැමියා මා සමඟ අමනාපයෙන් පසුවූ නිසා සහ මා නිවසට නොපැමිණි නිසා මගේ අහිංසක දරු දෙදෙනා සමඟ කෝච්චියට පැන දිවි හානි කරගෙන තිබෙන බව මට විශ්වාසයි.

පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඒ. ඩී. පී. බණ්‌ඩාර මහතා විසින් මියගිය තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කරන ලදී. ඔවුන්ගේ මරණවලට හේතුව මොව බලයකින් සිදුවූ බහුවිධ තුවාල බවට නිගමනය කරනු ලැබීය.

අනතුර සිදුවන අවස්‌aථාවේ ධාවනය වෙමින් තිබූ දුම්රියේ රියෑදුරුගේ සාක්‍ෂි සටහන් කර ගැනීම ඊයේ 12 වැනි දින සිදු කිරීමට නියමිතව තිබිණි. මේ මරණ සම්බන්ධයෙන් නිගමනය ලබාදීම හදිසි මරණ පරීක්‍ෂකවරයා විසින් පසුවට කල් තබනු ලැබීය.

වැලිකන්ද පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ලසන්ත බණ්‌ඩාර මහතාගේ උපදෙස්‌ පරිදි වැලිකන්ද පොලිසියේ පොලිස්‌ සැරයන් තිලකසිරි මහතා මෙහි සාක්‍ෂි මෙහෙයවීය.

– කරුණාරත්න ගමගේ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button