පළකල දිනය : Sat, Sep 15th, 2018

මෛත්‍රී – ගෝඨා මරන්න ඩී.අයි.ජීට කොන්ත්‍රාත්තුව දුන්නේ කවුද ?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ව පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සහායෙන් ඝාතනය කර එය එල්.ටී.ටී.ඊ.ය විසින් කළ ඝාතනයන් බවට පත් කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය ‍පොලිස්පති නාලක සිල්වා විසින් කළ බව කියන කුමන්ත්‍රණය යට ගැසීමට සැලසුමක් ක්‍රියාත්මක වන බව ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය.

එම කුමන්ත්‍රණය පිටුපස තවත් ඉහළ ‍පොලිස් ලොක්කෙක් ඇතුළු පිරිසක් සිටින බැවින් ඒ අය ගැන හෙළිවීම වැළැක්වීමට පරීක්ෂණ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා නැති බවට චෝදනාවක් ‍පොලිසිය ඇතුළෙන්ම එල්ල වී තිබේ.

රටේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම බරපතළ සිද්ධියක්. එය සුළුවෙන් තකන්නට බැහැ. පුළුල් විමර්ශනයක් ඒ සම්බන්ධයෙන් කළ යුතුයි. ඒ සඳහා පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදිය යුතුයි. එසේ නොමැතිව ‍පොලිසිය අභ්‍යන්තරයේ ප්‍රශ්න විසඳන්න තිබෙන ‍පොලිස් විශේෂ විමර්ශන ඒකකයට එම විමර්ශනය භාරදීම විහිළුවක්. ජනාධිපතිවරයාව හෑල්ලුවට ලක් කිරීමක් යැයි උසස් ‍පොලිස් නිලධාරියෙක් රිවිර ඉරිදා සංග්‍රහයට සඳහන් කළේය. එබැවින් ජනපති ඝාතන කුමන්ත්‍රණය සහ නාලක සිල්වා ගැන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙසට ජනාධිපතිවරයාගෙන් සහ ජාතික ‍පොලිස් කොමිසමෙන් ඉල්ලීමට ඉහළ ‍පොලිස් නිලධාරීන් පිරිසක් රහසිගතව එක්වෙමින් සිටින බව එම නිලධාරියා වැඩිදුරටත් කීය. (ගයාන් කුමාර වීරසිංහ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ප්‍රභූවරුන් ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර ජාලය අලුතින්ම කළ සැලසුමක් හා එම ප්‍රහාර සඳහා අවි ආයුධ ස්ථානගත කරන ආකාරය හමුදා බුද්ධි අංශය මගින් අනාවරණය කර දුන් පසු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය ‍පොලිස්පති නාලක ද සිල්වා විසින් එය සම්පූර්ණයෙන්ම වසන් කොට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ ආරක්ෂක මණ්ඩලයම නොමග යවා ඇතැයි අනාවරණය වී ඇත. හමුදා බුද්ධි අංශ මගින් අනාවරණය කර දුන් මෙම එල්.ටී.ටී.ඊ. ජාලය සොයාගනු වෙනුවට බුද්ධි අංශ විසින් සූක්ෂ්ම ලෙස එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර ජාලයට රිංගවා තිබූ සුවිශේෂ ඔත්තුකරුවකුද පාවා දී මෙම විමර්ශන යට ගසා ඇතැයි හෙළි වී ඇත.

හමුදා ඔත්තුකරු ගැන හෙළි කරමින් මෙම පරීක්ෂණ යට ගැසීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය උත්සාහ ගැනීමත් සමග කොටින්ගේ ජාත්‍යන්තර ජාලය මෙහෙයවූ මෙරට සිටි කොටි ප්‍රබලයන් රැසක් රටින් පැන ගොස් ඇතැයි අනාවරණය වී තිබේ. හමුදා බුද්ධි අංශ මගින් වසරක කාලයක් තිස්සේ යළි නැගිටින කොටි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් හා අවි ආයුධ රැස් කරන ස්ථාන ගැන සාක්ෂි සහිතව ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ පසුව ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමේ බලතල ‍පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ඇති බැවින් එම ඒකකයට මෙම විමර්ශන භාර කර තිබි ඇත.

ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වන විනයාකම් නමැති කොටි නායකයකුගේ මෙහෙයවීමෙන් යළි නැගිටින කොටි ත්‍රස්ත කණ්ඩායමට අවශ්‍ය සී-4 වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝ හතළිහක් ඇතුළු අවි ආයුධ මන්නාරමින් මෙරටට පැමිණි වගද බුද්ධි අංශ හෙළි කරගෙන තිබිණ. කොටින්ගේ මෙම ඝාතන සැලසුමට මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, එම්.ඒ. සුමන්තිරන්, විනයාගමුර්ති මුරලිදරන් කරුණා අම්මාන්) ඉලක්ක වී ඇති බවත් එම ඝාතන සඳහා ක්‍ලේමෝ බෝම්බ මෙන්ම නැගෙනහිර පළාතේදී ඉලක්කයක් ගැනීමට ස්නයිපර් (ඉලක්ක වෙඩි තබන අවියක්) අවියක් පවා වන්නියේ කූමාන්කුලම් සිට රැගෙන විත් ඇති බවත් හමුදා බුද්ධි අංශ සාක්ෂි සහිතව ආරක්ෂක මණ්ඩලය දැනුවත් කර තිබිණි.
කොටින්ගේ යළි නැගිටීම යහපාලන ආණ්ඩුවට බලපෑමක් වේ යැයි පෙන්වා දෙමින් රජයෙන් ලකුණු දමා ගැනීමට උත්සාහ කිරීමට නියෝජ්‍ය ‍පොලිස්පති නාලක සිල්වා කළ සැලසුමට අනුව හමුදා බුද්ධි අංශ ඔත්තුකරුවන් පාවාදී ආරක්ෂක මණ්ඩලයට වැරදි චිත්‍රයක් මවා පා ඇතැයිද දැනට හෙළි වී ඇත.

කොටින්ගේ යළි නැගිටීම හමුදා බුද්ධි අංශ මත පටවා සත්‍ය තොරතුරු වසන් කරමින් විමර්ශන වෙනතකට යොමු කරන නියෝජ්‍ය ‍පොලිස්පති නාලක සිල්වා විසින් වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගේ සහායෙන් කළ ඝාතන සැලැස්මක් දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ජාතික ‍පොලිස් කොමිසම හමුවේ අනාවරණය කළේ පසුගිය බ්‍රහස්පතින්දාය.

කොටි ත්‍රස්තයන් නැගෙනහිරට යවා ඇති ස්නයිපර් අවිය ගැන හමුදා බුද්ධි අංශ පැහැදිලි තොරතුරු ලබා දී ඇතත්, එම අවියට සිදුවූ දෙයක් මතෛක් ත්‍රස්ත විමර්ශන ඒකක මගින් හෙළි කර නොමැත. මෙම සමයේදී ටී 56 ගිනි අවියක් සමග කොටි ත්‍රස්තයකු කිලිනොච්චි ප්‍රදේශයේදී අල්ලා ඇතත් එයද වසන් කර ඇත.

ප්‍රභූ ඝාතනයකට කොටි ත්‍රස්තයන් නැගෙනහිරට ස්නයිපර් ගිනි අවිය ගෙන ගිය ආකාරය පවා වසන් කරන ත්‍රස්ත විමර්ශන ප්‍රධානියා වත්මන් ජනාධිති හා හිටපු ආරක්ෂක ‍ලේකම්වරයා මඩකලපුවේදී ඝාතනය කිරීමට සැලසුම් කරන්නැයි නාමල් කුමාර නමැති අයට දැනුම් දී තිබි ඇත. හිතාමතාම කොටින්ගේ ජාත්‍යන්තර ජාලයේ ක්‍රියාකාරකම් යට ගසමින් අදාළ ‍පොලිස් ප්‍රධානියා ජාත්‍යන්තර ඔත්තු සේවාවක වුවමනාවට රටේ ජාතික ආරක්ෂාව බිඳ දමන මෙහෙයුමක නිරත වී කොටි ජාත්‍යන්තර ජාලයේ හිත දිනා ගැනීමට කටයුතු කළ බවට සැක සංකා පහළ වී ඇතැයි බුද්ධි නිලධාරිහු පෙන්වා දෙති. මෙම කොටි ත්‍රස්ත ජාලයේ නැගිටීම හෙළි කළ ඔත්තුකරු මත චෝදනා රැසක් නගමින් ඔහු කොටින්ගේ මහ මොළකරු බවට පෙන්වා දීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වවුනියා අධිකරණයට පවා වැරදි තොරතුරු ඉදිරිපත් කර ඇතැයි මේ වන විට අනාවරණය වී ඇත.

– තිස්ස රවීන්ද්‍ර පෙරේරා
(රිවිර)

  • 4.1K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button