පළකල දිනය : Sun, Sep 16th, 2018

අශාන්ති හා රන්ධීර් වෙන්වීම ගැන භාතිය සන්තුෂ්ලා ඇත්ත හෙළිකරයි !

භාතිය, සන්තුෂ්, රන්ධීර්, අශාන්ති කියන්නේ ගී අමර ඒකාලෝක කරන එකම රෑනේ එකට බැඳුණු තරු ‍පොකුරක්. සංගීත ජීවිතයේදී වගේම පෞද්ගලික ජීවිතය තුළත් මේ අය හොඳ යාළුවෝ බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒත් පහුගිය දාක මාධ්‍යය පුරා පැතිර ගිය පුවතක් එක්ක, මේ අය බෙදී වෙන්වී ගිහින්ද කියලා හැමෝම කතා බහ කරන්න පටන් ගෙන තියෙනවා.

මේ පුවතට මුල් වෙලා තියෙන්නේ අශාන්ති එක්තරා මාධ්‍යයකට කළ බව කියන ප්‍රකාශයක්. භාතිය හා සන්තුෂ් එක්ක මින් මතු තමන් හා රන්ධීර් එකම වේදිකාවේ ගී නොගයන බවත්, රන්ධීර් හා තමන් ස්වාධීන ගමනක් යන බවත් ඈ එහිදී පවසා තිබුණා.

මෙතන වෙලා තියෙන්නේ ප්‍රවෘත්තිය වැරදියට පළවීමක්? – භාතිය ජයකොඩි

භාතිය මොනවාද අලුත් තොරතුරු?

සන්තුෂ්ගෙයි මගෙයි සංගීත ජීවිතය ආරම්භ වුණේ 1998 දෙසැම්බරයේ. අපේ සංගීත ජීවිතයට වසර 20ක් පිරීම නිමිත්තෙන් ඇල්බමයක් නිකුත් කරන්න බලා‍පොරොත්තු වෙනවා. ඒ වගේම අලුත් ප්‍රසංගයක් කරන්නත් බලා‍පොරොත්තුවෙන් ඉන්නවා.

කවදා වගේද ඒ දේවල් සිදුවෙන්නේ?

දෙසැම්බර් මාසේ ඇල්බමය නිකුත් කරනවා. ලබන ජනවාරි මාසයේ ප්‍රසංගය පවත්වන්න බලා‍පොරොත්තු වනවා.

අශාන්ති සහ රන්ධීර් දැන් භාතිය සන්තුෂ්ලාගෙන් දුරස් වෙලාද?

”නැහැ. එහෙම කිසිම දුරස්වීමක් නැහැ. මෑතකදී පැවැත්වුණු අශාන්තිගේ අලුත් ගීතය එළිදැක්වීමේ අවස්ථාවටත් අපි දෙන්නා සහභාගි වුණා.

මින් මතු භාතිය සන්තුෂ් සමග අශාන්ති රන්ධීර් එකම වේදිකාවේ ගී ගයන්නේ නැද්ද?

ඉදිරියේදිත් අපේ ප්‍රසංග පැවැත්වෙනවා. මේ වන විටත් ඒ ගැන කටයුතු සංවිධානය කරලයි තියෙන්නේ.

මින් මතු ඔබලා සමග එකම වේදිකාවේ ගී නොගයන බවට අශාන්ති කළ ප්‍රකාශයත් මේ දිනවල බොහෝ අයගේ කතා බහට ලක්වී තිබෙනවා. ඒ කියන්නේ ඒ කතාව බොරුවක්ද?

මම අශාන්තිගෙන් ඔය කාරණය ගැන ඇහුවා. ඒක වැරදි පුවතක්. අශාන්ති කියලා තියෙන්නේ අශාන්ති රන්ධීර් එක්ක අලුත් නිර්මාණ කරන බවයි. එහෙම නැතුව සන්තුෂ් හා මා එක්ක එකම වේදිකාවේ ගී නොගයන බවක් ඇය කියා නැහැ.

පැවැත්ම රැඳෙන්න ස්වාධීන ගමනක් අවශ්‍යයි. මම නම් ඒක අනුමත කරනවා – සන්තුෂ් වීරමන්

අශාන්ති සහ රන්ධීර් කියන්නේ භාතිය සන්තුෂ් සමග එකට බැඳුනු චරිත දෙකක්. දැන් ඒ අය වෙන් වශයෙන් තමන්ගේ ගමන යනවා නේද?

මේ අවුරුදු 20ට අපිත් එක්ක හිටපු හැමෝම කාලයත් එක්ක තම තමන්ගේ ස්වාධීන ගමන් ආරම්භ කළා. එය සාමාන්‍ය දෙයක්. එහි කිසි වරදක් නැහැ. අශාන්තිත් දැන් වසර කිහිපයක ඉඳලා තමන්ගේ ස්වාධීනත්වයක් ගොඩනගාගන්න උත්සාහ කරනවා. අපිත් ඊට උදව් කළ අවස්ථා තියෙනවා. අශාන්ති රන්ධීර් ස්වාධීනව අලුත් නිර්මාණ කරයි. ඒ සඳහා අපෙන් උදව් ඉල්ලුවොත් අපිත් ඒ සඳහා උදව් කරනවා.

ඒත් මින් මතු ඔබ දෙදෙනා සමග ඔවුන් දෙදෙනා එකම වේදිකාවේ ගී ගයන්නේ නැති බවට රාවයක් පැතිර යනවා?

එය බොරුවක්. අපි දෙදෙනා කරන ප්‍රසංග වගේම ඔවුන් දෙදෙනා සහභාගි වන ප්‍රසංගත් තියෙනවා. ඒ වගේම අපි සියලු දෙනා එකතුවන ප්‍රසංගකුත්් තියෙනවා. මින් ඉදිරියටත් ඒවා නවත්වන්නේ නැහැ.

එහෙනම් අශාන්ති එබඳු ප්‍රකාශයක් කරන්නට බලපෑ හේතුව මොකක්ද?

මම ඒ ගැන අශාන්තිගෙන් ඇහුවෙත් නැහැ. ඔය පුවත වගේම එයට වැඩි ප්‍රචාරයක් ලබාදුන් අඩවි බැලුවෙත් නැහැ. අපි හතර දෙනාගේ යාළුකමත් තවමත් එදා වගේමයි. අශාන්ති ඔය කාරණය ගැන අපිට දැනුම් දීමක් කළොත් ඒ ගැන විමසනවා.

අපිට වෙන් වෙන්න බැහැ – රන්ධීර්

මොකක්ද රන්ධීර් මේ කතාවේ ඇත්ත නැත්ත?

සමහර මාධ්‍ය සාකච්ඡාවලදී අපි කියන දේවල් වැරදියට වටහා ගැනීම හින්දා හෝ ඒ ලිපියට අවධානය වැඩි කර ගැනීමට අවශ්‍ය නිසා හෝ අපේ ප්‍රකාශ වලට වැරදි අර්ථකථන දීලා ලියැවෙනවා. තවත් සමහර අවස්ථාවල පුවත්පත් වල පළවන ලිපි වලට ට්ධඵඪන වබේ අඩවි විසින් වැරදි අර්ථකථන ලබාදෙනවා. මෙතන සිදුවෙලා තියෙන්නෙත් ඒ වගේ දෙයක්.

අශාන්ති ඒ වගේ ප්‍රකාශයක් කළේ නැහැ කියලාද රන්ධීර් කියන්නේ?

ඒක ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක්. ඒ බව මම වගේම අශාන්ති දන්නවා.

ඒ කිව්වේ?

පෞද්ගලිකව ගත්තාම අපි හොඳ යාළුවෝ. අපේ කිසිම අමනාපයක් නැහැ. සංගීතය පැත්තෙන් ගත්තත් අපිට දෙස් විදෙස් ප්‍රසංගවලට එකට යන්න වෙනවා. නිතර එකම වේදිකාවේ ගී ගයන්න සිදුවනවා. ඒ වගේ පසුබිමක භාතිය සන්තුෂ් ඉන්න වේදිකාවක අපි නැති වන්න විදියක් නැහැ.

ඒත් ඔබ දෙදෙනා මේ වන විට අලුත් ගමනක් යන්න සූදානම් වෙන බව ඇත්තක් නේද?

ඔව්. අපි වෙනත් නිර්මාණ කරනවා. ඉදිරියේදීත් අපි දෙන්නගේ ගීත නිර්මාණය කරනවා. හැබැයි එහෙම වුණා කියලා අශාන්තියි මමයි ඉදිරියේදීත් භාතිය හා සන්තුෂ් සමග එකම වේදිකාවේ ගී ගයන එක නවත්වන්නේ නැහැ.

– ආරියවංශ කුලතිලක

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button