පළකල දිනය : Tue, Sep 18th, 2018

බබාලාගේ සෙල්ලම් බඩු ඇතුලට ගෙනයාමට ඉඩ නොදෙන පේරාදෙණිය උද්භිද උද්‍යානය (වීඩියෝ)

පසුගියදා පේරාදෙණිය උද්භිද උද්‍යානය වෙත සිය පවුල සමග චාරිකාවක ගිය වෛද්‍යවරයෙකුට මුහුණ පාන්නට සිදුවූ අමිහිරි අත්දැකීමක් ඔහු විසින් මුහුණු පොතේ පළ කර තිබේ. උද්භිද උද්‍යානයට ඇතුලු වීමේදී සිය දරුවාගේ කුඩා සෙල්ලම් බඩු රැගෙන යන්නට නොදීමත්

ඩීඑස්එල් ආර් වර්ගයේ කැමරාව ගෙනියනවානම් 5000 ක් අවශ්‍ය බවත් ඇතුළුවීමේ දොරටු නිලධාරීන් දැනුම් දීමත් ඒ සම්බන්ධව තමා ප්‍රශ්න කළ පසු බලධාරීන් මුණගැස්වීමට සිදු කළ රස්තියාදුව පිළිබඳවත් මෙම සටහනෙන් විස්තර වෙයි.

ඒ සමග පළකර තිබෙන වීඩියෝවෙන් දැක්වෙන්නේ දරුවාගේ සෙල්ලම් බඩු කාගේ හෝ ඇගේ වැදී ආරක්ෂක අංශයට පැමිණිලි ලැබේ යයි කියමින් එම නිලධාරියෙකු තර්ක කරන අයුරුය.

බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ එම සම්පූර්ණ සටහන පහත පරිදිය.

බබාලාගේ සෙල්ලම් බඩු ඇතුලට ගෙනයාමට ඉඩ නොදෙන පේරාදෙණිය උද්භිද උද්‍යානය

01 – අද (15 ) උදෑසන පේරාදෙණිය උද්භිද උද්‍යානයට ගියේ අවුරුද්දක් පමණ වයසැති මගේ දරුවා, බිරිඳ , මගේ සහෝදරකුත් සහ ඔහුගේ බිරිඳ සමග යි. දැන් දැන් බාහිර පරිසරයේ සිටීමට පුතා ප්‍රිය කරන නිසා අප ප්‍රදේශයට ආසන්න පේරාදෙණිය උද්භිද උද්‍යානය අප තෝරාගත්තා. එහි දවස ගත කරන අතරේ සහෝදරයාගේ බිරිඳ සතු DSLR කැමරාවෙන් ඡායාරුප ගැනීමටද අදහස් කරගෙන සිටියා. නමුත් උදෑසනම අපට දැක ගත හැකි වුනේ “කිසියම් හෝ ආකාරයක” ඡායාරුප ගත කිරීමකට රුපියල් 5000 ක් අය කරන බවයි. වෙන කළහැකි යමක් නොවුයෙන් එයට එකඟතාව පල කරමින් ගෙවීමක් සහිතව ඇතුලට යාමට අප තීරණය කළා.

02 – ගේට්ටුව අසල ආරක්ෂක නිලධාරීන් සියලුම ගමන් මලු පරික්ෂාවට ලක් කර සමහර භාණ්ඩ පමණක් ඇතුලට රැගෙන යාමට අවසර ලබා දෙන බව දුටු නිසා රුපියල් 5000 ගෙවීමෙන් පසුවත් අවශ්‍ය පරිදි විනෝද වීමට අවස්තාව නොලබේදෝ සැක සිතුන නිසා ඊට පෙර අප සතු ස්ට්‍රොලරය, මැට් එක, පුතාගේ කුඩා සෙල්ලම් බඩු, ආහාර පාන ආදිය රැගෙන යාමේ හැකියාවද විමසා බැලුවා. එහිදී පුදුම හිතෙන කතාවක් අසන්නට ලැබුනේ කුඩා සෙල්ලම් බඩු වලින් රැගෙන යාමට හැක්කේ සීමිත සෙල්ලම් බඩු ප්‍රමාණයක් බවයි. අප සතු වූ වයින් කරන කුඩා සෙල්ලම් බඩු කිසිවක් ඇතුලට ගෙන යාමට වසර නොදෙන බව ඔවුන් පැවසුවා.

03 – ඒ කාරණය පැවසුවේ ආරක්ෂක අංශයේ නිලධාරීන් නිසා අප හට ඒ ගැන පරිපාලන නිලධාරියකුගෙන් ම අසාගන්නට අවශ්‍ය වුනා. නමුත් එහා මෙහා අපව රස්තියාදු කලද පැය භාගයක් පමණ ගතවන තුරු පරිපාලනය සම්බන්ධ නිලධාරියකු හමුවීමට හැකිවුණේ නැහැ. අවසානයේ එක නිලධාරියකු පැමිණ සෙල්ලම් බඩු රැගෙන යාමට අවසර නැති බව පවසා සිටියා. ඔවුන්ගේ ගැටළු විසඳීමේ නිපුනතාව, සේවා ලාභීන් සමග කතා කිරීමේ පුහුණුව අතිශය දුර්වල මට්ටමේ තිබුනා. ප්‍රශ්න විමසන විට මග හැර යාම, කැමති දෙයක් කරන්න වැනි කතා බහුල වුනා (වීඩියෝ සාක්ෂි සහිතයි ).

04. එසේ කුඩා සෙල්ලම් භාණ්ඩයක් ගෙනයාමට අවසර දිය නොහැකි බව අදහා ගැනීමට නොහැකිව ඒ ගැන ලිඛිත සාක්ෂියක් අවශ්‍ය බව මම විමසා සිටියා. එවිට වෙනත් ඉහල නිලධාරියකු එතනට පැමිණ එතන තිබු දැන්වීමක් පෙන්නුවා. එහි සඳහන් වුනේ “ක්‍රීඩා භාණ්ඩ” රැගෙන යාමට අවසර නොමැති බවයි. අප තර්ක කලේ ක්‍රීඩා භාණ්ඩ සහ දරුවකුගේ සෙල්ලම් බඩු වෙනස් බවත් ක්‍රීඩා භාණ්ඩ උද්‍යාන පරිපාලනය මගින් අර්ථ දක්වන්නේ කෙසේද කියා යි. එතැනදී ඔහු පැවසුවේ ක්‍රීඩා කරන දෙයක් නිසා අනෙක් අයට හානියක් වනවා නම් එම ක්‍රීඩා භාණ්ඩ රැගෙන යාමට අවසර නොදෙන බවයි. එය අතිශය පුද්ගලානුබද්ධ විනිශ්චයක් නිසා එය තීරණය කරන්නේ කෙසේද කියා අප විමසා සිටියා. එවිට ඔවුන් පැවසුවේ අප සතු සෙල්ලම් බඩු පෙන්වුවහොත් අවසර දිය හැකි ඒවා ගැන පැවසිය හැකි බව යි.

05. අප සතු සෙල්ලම් බඩු පෙන්වූ පසු නිලධාරීන් කිහිපදෙනෙක් අතර සිදු වූ මත ගැටුම් අවසානයේ අපට ඇතුලට ගෙන යා හැකි සෙල්ලම් බඩු මොනවාදැයි තීරණය කෙරුණා. (එක් භාණ්ඩයකට කෙනෙක් අවසර දෙද්දී තවත් කෙනෙක් එයට විරුද්ධ වුනා. සියල්ල සිදු වුනේ එක එක අයගේ මති මතාන්තර අනුව යි. ) අවසානයේ බැලු විට මගේ පුතාට ඇතුලට ගොස් සෙල්ලම් කිරීමට අවසර ලැබුනේ පුළුන් වලින් තනු සෙල්ලම් බඩු සහ එක ප්ලාස්ටික් සෙල්ලම් බඩුවකට පමණි. දරුවාගේ ප්‍රියතම සෙල්ලම් බඩු වූ වයින් කරන කුඩා සෙල්ලම් බඩු වලට අවසරය ලැබුනේ නැහැ.

06- එම තීරණය කිසිදු ප්‍රමිතියක් මත පිහිටා ගත් එකක් නොවුන නිසා එය ලිඛිතව දෙන මෙන් අප ඉල්ලා සිටියා. එසේ ලබා දිය නොහැකි බව නිලධාරීන් පවසා සිටියා. ( වීඩියෝ සාක්ෂි සහිතයි ). පෙරැත්ත කිරීම් රැසක් හමුවේ එම තීරණය ලිඛිතව ලබා ගැනීමට අපට හැකි වුනා. එම තීරණයේ දැක්වුණේ මෙසේයි. #ඉහත සඳහන් භාණ්ඩ අතරින් අනෙකුත් මහජනතාවට අවහිරයක් නොවන භාණ්ඩ ලෙස සැලකිය හැකි ටෙඩි බේයර් සහ සමනලයා සහිත රුකඩ අත්වැසුම හා හෙල්ලෙන සෙල්ලම් බඩුව රැගෙන යාමට අවසර දිය හැකි අතර වයින් කරන භාණ්ඩ අනෙකුත් සංචාරකයන්ට අවහිරයක් විය හැකි නිසා එය ගෙන යාමට දිය නොහැක.“

07 – මහජනයා සඳහා විවෘත උද්‍යානයක් යනු මිනිසුන් නිදහසේ විනෝද වීමට පැමිණෙන තැනකි. යම් යම් නීති රෙගුලාසි තිබීම අවශ්‍යය. නමුත් සිර ගෙදරකට රැගෙන යන බඩු මොනවාද කියා පරික්ෂා කරන පන්නයේ තද නීති රීති අවශ්‍ය නැත. නීති රීති තිබෙන්නේ නම් ඒවා ගැන පැහැදිලි චිත්‍රයක් එහි සේවකයින්ට ලබා දිය යුතුය. සේවා ලාභීන් සමග ගනුදෙනු කරන ආකාරය, මහජන සම්බන්ධතා ආදිය ගැන බින්දුවේ සිට පුහුණුවක් නම් පේරාදෙණිය උද්‍යානයේ සේවක මහතුන්ට අත්‍යවශ්‍යම ය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button