පළකල දිනය : Tue, Sep 18th, 2018

බුදු දහම පිළිබඳ පළමු ශ්‍රී ලාංකික එම්.ඒ. උපාධිය දිනූ මුස්ලිම් උපාධිධරයා (වීඩියෝ)

සාමය හා සංහිඳියාව පිළිබඳ මේ දිනවල අපි බොහෝ කතා අසන්නෙමු. එහෙත් ඊට පදනම විය යුත්තේ ජාතීන් අතර ගොඩනැගිය යුතු සංස්කෘතික සහ ආගමික අවබෝධය බව අපි බොහෝ විට අමතක කරන්නෙමු. එවන් පසුබිමක් පවතින වර්තමානයේ රටක් වටිනා කතාවක් පසුගියදා අපට අසන්නට ලැබුණේ. වයඹ පළාතේ මාදම්පේ ප්‍රදේයෙනි. ඒ ඉස්ලාම් ආගමික මවුලවිවරයෙකු බෞද්ධ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය දිනා ගැනීමය.

විවිධ ආගම් ජාතීන් අතර සැකය, සහ නොරුස්සනා බව වඩවන පුවත් සිය දහසක් අසන්නට ලැබන වර්තමානයේ ඉස්ලාම් මවුලවී වරයකු බෞද්ධ දර්ශනය හදාරා ඉන් ශාස්ත්‍රපති උපාධියක් දිනීම වූ කලී මෑත භාගයේ අප ඇසූ දුට හොඳම සංහිඳියා පාඩමය. සහජීවනයේ ඉහළතම ප්‍රායෝගික අත්දැකීමය. එහෙයින් අල්ලා දෙවියන් සෙවණේ සිට බුදු සමය හදාරන මවුලවී මොහොමඩ් අසාත් සිරාස් අපට කතා කරන්නට යමක් ඉතිරි කර ඇත්තේය. මේ මවුලවි මොහොමඩ් සිරාස් පවසන කතාවයි.

“මම වෘත්තියෙන් මාදම්පේ ඉස්ලාහියා ඉස්ලාමී උසස් අධ්‍යාපන ආයතනයේ කථිකාචාර්යවරයෙක් මේ රටේ ජීවත්වන මුස්ලිම් ජාතිකයෙක් වශයෙන් බෞද්ධ දර්ශනය හදාරන එක වැදගත් බව මම පුංචි කා‍ලේ ඉඳලාම හිතපු දෙයක්.”

උසස් අධ්‍යාපනය දෙමළ බසින් හදාරන මොහොමඩ් අසාත් පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා තෝරාගනු ලබන්නේ බෞද්ධ දර්ශනයය. ඒ සඳහා ඔහු බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නේය. 2017 වසරේ දෙසැම්බර් මස පැවැති ශාස්ත්‍රපති විභාගය මහ ඉහළින් සමත් වන මොහොමඩ් අසාත් සිරාස් කිසිවෙකුටත් බිඳලිය නොහැකි වාර්තාවක්ද තබන්නේය. ඒ බෞද්ධ දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධියක් ලද පළමු මුස්ලිම් ජාතිකයා ලෙසිනි.

තමුන් බෞද්ධ දර්ශනය පිළිබඳ හැදෑරීමට උනන්දු කළ සිදුවීම් මෙසේ පෙළ ගස්වන්නේය.

මෑත කාලයේදී අප දන්නවා සමහර ප්‍රශ්න නිසා මුස්ලිම් ජනතාව හා සිංහල ජනතාව අතර යම් කිසි පරතරයක් දුරස්කමක් ඇතිවුණා කියලා. ඉතින් මේක නැති කරන්න නම් අපිට අවබෝධය ඉතා වැදගත් අන්න ඒ කාරණාව නිසා තමයි බෞද්ධ අධ්‍යයනය පිළිබඳව මගේ අවධානයට යොමු වුණේ. මෙසේ යහපත් තිර අදිටනින් බෞද්ධ දර්ශනයට යොමු වුණත් ආසත් දෙමළ මාධ්‍යයෙන් උගත් විද්‍යාර්ථියෙක් වීම හේතුවෙන් මහත් අභියෝගයකට ලක්විය.

තාක්ෂණයේ දියුණුවත් සමග රටක් තුළ මුල් බැසගත් ආගමික දර්ශන පවා එහි සෘජු බලපෑමකට ලක්වී ඇත. වත්මන වන විට සමාජ ජාල හා විද්‍යුත් මාධ්‍යයන් ආගම දහම ප්‍රචාරණය කරන්නා වූ නිල බලවේගයන් බවට පත්වෙමින් තිබෙයි. එවන් කාලයක තම සහෝදර රටවැසියන්ගේ ආගමික වටපිටාව දැන සිටීම වැදගත් බව ආසත් සෘජුව පවසා සිටින්නේ.
“ආගමක් දහමක් වටහා ගත්තා නම්, ඒ දහම ඒ ආගම අධ්‍යයනය කරන්න ඕනේ, ප්‍රධාන ග්‍රන්ථ මූලාශ්‍ර අපි කියවන්නට ඕනේ. එහෙම නැතුව ජනමාධ්‍ය ඔස්සේ හෝ සමාජ මාධ්‍ය ජාලවලින් ඒ ආගම පිළිපදින අයව බලල ආගමක් දහමක් ගැන පුළුල් වැටහීමක් ගන්නට බැහැ.” මොහොමඩ් අසාක් පවසන්නේය.

කිසිදු ආගමක් වෙත උස් පහත් භාවයක් නැත. උස් පහත් භාවය වැනි අවිධිමත් තිරශ්චීන අදහස් පහළ වනුයේ ආධ්‍යාත්මය දියුණු නැති මිනිස් සිත් තුළය. ශාස්ත්‍රපති උපාධි අධ්‍යයනය තුළ ඇසූ දුටු දෙය තමාගේ දැනුම දියුණු කළ බව ඔහු නිබඳව පවසන්නේය.

“සාමය වෙන්න පුළුවන්, සහජීවනය වෙන්න පුළුවන් මෛත්‍රිය වෙන්න පුළුවන්, කරුණාව වෙන්න පුළුවන් මේවගේ කරුණු එක හා සම්බන්ධ වෙනවා.”

දහමකටම ‍පොදු වූ වටිනාකම් රැසක් පවතින බවට ඔහු තරයේ විශ්වාස කරන්නෙ උසස් අධ්‍යාපනයෙන් ලත් පන්නරය හේතුවෙනි. එවන් හරයාත්මක ‍පොදු කාරණා සිය සංස්කෘතියෙන් විතැන්ව ලබා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරිය යුතුමය.

“ඉතින් අපි හැමෝටම ‍පොදුවේ බෙදා හදා ගන්නා ඒ කාරණයක් කුමක්ද, ඒවා සාදා ගැනීම සිදු කිරීමයි මගේ අරමුණ වුණේ.”

බෞද්ධ දර්ශනය හැදෑරීමේදී බොහෝ අය ඔහුගෙන් විමසූ දෙයක් විය. ඒ ඉස්ලාම් ආගම මෙලෙස හැදෑරීමට ඉඩ ප්‍රස්ථාවක් පවතීද යන්නයි. “ඇත්තටම ඉස්ලාම් ආගම හදාරන්න කිසිදු බාධාවක් නෑ. අපේ රටේ ඊට අවස්ථා අඩුයි. ප්‍රමාණය වැඩි කළ යුතුයි.” අසාත් පවසන්නේය.

මීට පෙරාතුව පවා කිසිදු බාධාවකින් තොරව වෙනත් ජාතිකයන්ද බෞද්ධ දර්ශනය පිළිබඳව ශාස්ත්‍රපති පාඨමාලාව හැදෑරූ බව ශ්‍රී ලංකාව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ගල් ලෑල්‍ලේ සුමනසිරි හිමියෝ ප්‍රකාශ කර සිටියහ.

වැඩිදුරටත් අසාත් සිරාස් බෞද්ධ දර්ශනය ඉගෙනීමට යොමු වීම පිළිබඳව සිය අදහස් දැක්වූ සුමනසිරි හිමියන් පැවසුවේ, “අපි මේ හැම ආගමක්ම ඉගෙන ගන්න ඕනේ. මේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන්නේ ආගම් ගැන ඇති අනවබෝධය නිසා, මින් පෙර කතෝලික පියතුමන්ලා, දෙමළ ජාතිකයන් මේ පාඨමාලාව කරලා තිබ්බත් මුස්ලිම් ජාතිකයෙකු අපේ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිය ගත් පළමු අවස්ථාව මේක.”

ශ්‍රී ලංකාව වැනි පහළ මැදි ආදායම් රටවල තෙවන වර්ගයේ යුදමය තත්ත්වයන් වන ජාතිවාදී ගැටුම් හටගනුයේ ජාතීන් අතර නිසි අවබෝධයක්, විශ්වාසයක් හා අන්තර් බැඳියාවක් නොමැති වීම හේතුවෙනි. මුලධර්මවාදීන් ඕනෑම ආගමකින් මතු විය හැක. සර්ව ශුභවාදීන් පහළ වන්නේ නිරතුරුව ඔප මට්ටම් වන උසස් චින්තනයෙන් පමණි.
ජාතියක් වශයෙන් එක් වීම සඳහා තවමත් අප ප්‍රමාද නැත. සාම්ප්‍රදායික ජන මත අතික්‍රමණය තුළින් උසස් චින්තනයක් අත්පත් කරගත් මෙම තරුණයා පිළිබඳව සමස්ත ශ්‍රී ලාංකීය ජනී ජනයා ආඩම්බර විය යුතුය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button