පළකල දිනය : Tue, Sep 18th, 2018

මගේ ඉල­ක්කය හොඳම රංගන ශිල්පි­යා­ වී­මයි !

පසුගියදා ලැබුණු සම්මානය ගැන කියමුද?

23වැනි සුමති සම්මාන උලෙළේදී වසරේ ජනප්‍රියම රංගන ශිල්පියාට හිමි සම්මානය මට හිමි වුණා. එය ලැබුණේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන අනුහස්ගේ චරිතයටයි .

සම්මානය ලැබුණු මොහොතේ දැනුණු සතුට

ගොඩක් සතුටුයි. අවස්ථා කිහිපයකදීම සම්මාන උලෙළ කිහිපයකම ජනප්‍රිය රංගන ශිල්පියාට මගේ නම නිර්දේශ වුණා. නමුත් ජනප්‍රිය රංගන ශිල්පියාට හිමි සම්මානය ලැබුණේ මෙවරයි. තවම මම රංගනයට ආධුනිකයි.

වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ කලා ලෝකයේ මා ලැබූ මෙම ජයග්‍රහණය මට හිමි කර දුන්නේ ප්‍රේක්ෂක ජනතාව. ඔවුන් තමයි මා මේ තැනට ඔසවා තැබූවේ. ඔවුන්ට කියන්න තියෙන්නේ මට ලබා දුන් කිරුළට වටිනාකමක් මම අනාගතයේදි ලබා දෙනවා කියන එකයි.

රවීන් කලාවට එන්නේ දෙරණ නාළිකාවේ රියැලිටි වැඩසටහනකින්..

දෙරණ සීසන් 4 රියැලිටි වැඩසටහන තමයි කලා ජීවිතයේ පටන් ගැන්ම. ඉන්පසුව ලැබූ හැම ජයග්‍රහණයක්ම ලැබුණේ එම වැඩසටහන නිසයි. ඒ නිසා එය මෙහෙයවු සියලු දෙනාම මා ලබන සියලුම ජයග්‍රහණවල කොටස්කරුවන්.

රවීන් කොහොමද දෙවෙනි ඉනිමට සම්බන්ධ වෙන්නේ..

ඇත්තම කියනවනම් ඒක අහම්බයක්. මම රඟපාන්න හීනෙන්වත් හිතපු කෙනෙක් නෙමෙයි. මම දෙරණට සම්බන්ධ වුණේ රංගන ශිල්පියෙක් වෙන්න නෙමෙයි, ගායකයෙක් වෙන බලාපොරොත්තුවෙන්. කෙසේ හෝ රංගනය පැත්තට සම්බන්ධ වෙන්න වාසනාව උදාවුණා.

දැන් ජනතාව අතර ජනප්‍රිය රවීන්ට වඩා අනුහස් නේද?

ඒක ඇත්ත. ඒ ගැන දෙවෙනි ඉනිම අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් හා පිටපත ලියන සමන් එදිරිමුණි දෙදෙනාට ස්තූතිවන්ත විය යුතුයි. ඔවුන්ගේ කැප කිරීම හේතු වුණා අනුහස් මේ තරම් ජනප්‍රිය වීමට.

විශේෂයෙන් කියන්න ඕනෑ අනුහස්ට කැමැති තරුණියන් විතරක් නෙවෙයි. පුංචි දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා ප්‍රේක්ෂක සමූහයක් අනුහස්ට ආදරය කරනවා. ඒ බව මඟ තොටේදි ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලින් පේනවා.

රවීන් කියන ගායකයා යටපත් වී, රංගන ශිල්පියා ඉස්මතු වුණා කිව්වොත්?

අපෝනෑ. හැමදාමත් ගායකයාට තමයි මගේ ජීවිතයේ පළමු තැන හිමිවන්නේ. රංගන ශිල්පියා දෙවනුව. ඒ නිසයි දැනටත් සංගීතය හදාරන්නේ. ඉදිරියේදි වැඩිදුර සංගීතය හදාරන්න ඉන්දියාවට යෑමේ බලාපොරොත්තුවක් තිබෙනවා. දැනටමත් මගේ ගීත කිහිපයක් යූ ටියුබ් එකේ අහන්න පුළුවන්.

ගායනයට පළමු තැන දුන්නාට රංගනයෙන් නේද ගොඩක් දේවල් හිමි වුණේ?

මම මේ වනතුරු රඟ පා ඇති එකම ටෙලි නාට්‍ය දෙවෙනි ඉනිම විතරයි. මගේ වාසනාවකට එම ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණා. පළවෙනි ටෙලිනාට්‍යයෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියා වෙන්න ලැබුණා.

ඒ වගේම රංගන ශිල්පියකු වීම නිසා දැනට ලෝකෙ රටවල් දහ අටක සංචාරය කළා. බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසක් මාව හඳුනාගත්තේ රංගනය නිසයි. ඒ නිසා රංගන ශිල්පියකු වීම මගේ ජීවිතයට ලැබුණු වාසනාවක්. ඒ නිසා මට බොහෝ දේ හිමිවුණා.

රවීන්ගේ මීළඟ බලාපොරොත්තුව..

ජනප්‍රිය රංගන ශිල්පියා සම්මානයට එහා ගිය හොඳම රංගන ශිල්පියා සම්මානය හිමිකර ගැනීම. ඒ වගේම පුංචි තිරයට පමණක් සීමා නොවී සම්භාව්‍ය සිනමාවට අවතීර්ණ වීමත් මගේ හීනයක්. ඒ සඳහා අවශ්‍ය හැදෑරීම්, පුහුණුවීම් දැනටමත් කරනවා.

ඇත්තද රවීන් රඟපානවාට ගෙදරින් කැමැති නැහැ කියන්නේ..

මගේ අම්මා මම රඟපානවාට පමණක් නෙවෙයි සින්දු කියනවාටත් කැමැති කෙනෙක් නෙමෙයි. ඒ නිසයි මට උසස් පෙළට වාණිජ විෂයන් කරන්න සිදුවුණේ.

දැන්නම් ඒ අය තේරුම් අරන් ‍තියෙන්නේ මේ වෘත්තිය ගැන. මගේ තාත්තා ග්‍රාම නිලධාරිවරයෙක්. අම්මා සහ නංගි ගුරුවරියන්. මල්ලී ජපානයේ වැඩිදුර අධ්‍යාපනය හදාරනවා.

මේ සියලු දෙනාගෙන්ම මගේ ජීවිතයට විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මම පාසල් ගිය කුලියාපිටිය සුභාරතී කනිෂ්ඨ විද්‍යාලය සහ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ මට සිප් සතර ඉගැන්වූ සියලු ගුරුවරුන්ව සිහි කරනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button