පළකල දිනය : Sat, Sep 22nd, 2018

දුටුගැමුණු රජුටත් බෙහෙත් කරපු කපුරුරාල වෙද පරපුර !

දුටුගැමුණු රජු ඉදිකරන ලද රුවන්වැලි මහා සෑය දෙස් විදෙස් බෞද්ධ ජනතාව මහත් භක්ත්‍යාදරයෙන් වැඳුම් පිදුම් කරන ස්ථානයකි. දුටු ගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය ඉදිකිරීමට තෝරාගත් භූමියේ විශාල වෘක්ෂයක් විය. ඊට අරක්ගත් දේවතාවක් එහි විය. එම වෘක්ෂය ඉවත් කිරීම නිසා එම දේවතාවා නයකුගේ වෙස් ගෙන රජුට දෂ්ට කළේය.

එම අවස්ථාවේ රජුට ප්‍රතිකාර කරනු ලැබුවේ කපු රාළනැමති වෙදැදුරෙකු විසිනි. ඔහුගේ පරම්පරාවෙන් පැවත එන්නන් අද ද එප්පාවල ප්‍රදේශයේ පදිංචිව සිටින්නේය. එප්පාවල, ගනේවැව වත්ත පදිංචිව සිටින තිලකරත්න වෙද මහතා ඉන් එක් අයෙකි. සිය පරම්පරාවෙන් උරුම වූ දැනුමෙන් ඔහු අද වන විට අසාධ්‍ය රෝගීන් රැසක් සුවපත් කර ඇත්තේය.

යූ. බි. තිලකරත්න නම් ඔහු කුඩා අවදියේ සිටම ඔහු පාරම්පරික වෙදකමට මහත් ආසාවක් දැක්වූවේය. ඒ නිසාම සිය මුතුන් මිත්තන්ගෙන් උරුම වූ දේශීය වෙදකම ඉදිරියට ගෙන යන්නට ඔහු තීරණය කළේය. එප්පාවල, කෝන්වැව, ගනේවැව වත්ත ප්‍රදේශයේ පදිංචි තිලකරත්න වෙද මහතා පිළිබඳව බොහෝ දෙනකු නොදැන සිටියද ඔහුගේ දෑතින් සුවපත් වූ රෝගීන් සිය ගණනකි.

එප්පාවල ප්‍රදේශයේ එක්දහස් නමසිය පනස්පහ වසරේදී උපන් තිලකරත්න මහතා එප්පාවල මහා විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලැබුවේය. ඔහුට සහෝදර සහෝදරියන් පස් දෙනෙකි. ඔහුගේ පියා වන උක්කුබණ්ඩා මහතාද පාරම්පරික වෛද්‍යවරයෙකි. සර්ප විෂ වෙදකමට දක්ෂයකු වූ ඔහු එම වෙදකමට සේම සර්වාංග රෝගවලටද ප්‍රතිකාර කළේය. ඔහුගේ අතින් විශාල පිරිසක් ප්‍රතිකාර ලබාගෙන සුවපත් වී ඇත. උක්කුබණ්ඩා මහතාගේ පියා වන ඩිංගිරි අප්පුද පාරම්පරික වෙදෙකි. මේ නිසා තිලකරත්න මහතා කුඩා අවදියේ සිටම දුටුවේ සිය පියා රෝගීන්ට වෙදකම් කරන අයුරුය. මේ නිසා ඔහු පියාගේ කටයුතුවලට උදව් කළේය. කැලයට ගොස් බෙහෙත් වර්ග සොයාගෙන ආවේය. බෙහෙත් වට්ටෝරු සකස් කළේය. රෝගීන්ට බෙහෙත් බැන්දේය. මේ නිසා ඔහුට දේශීය වෙදකම පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබුණි.

සිය පියාගේ ඇවෑමෙන් තිලකරත්න වෙද මහතා තනිවම ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදු කළේය. තිලකරත්න මහතාගේ සහෝදර සහෝදරියන් කිසිවකු පාරම්පරික වෙදකමට සම්බන්ධ නොවූහ. තිලකරත්න මහතා මින්නේරිය ආයුර්වේද රෝහ‍ලේද වෛද්‍යවරයකු ලෙස 2011 වසර වනතුරු සේවය කළේය.

තිලකරත්න වෙද මහතා සර්ප වෙදකමට අමතරව දියවැඩියාව, අර්ශස්, පීනස, ඇදුම, කුඩා දරුවන්ගේ සෙම් රෝග, ලිංගික බෙලහීනතාව, දරුපල නොමැතිවීම, ආතරයිටීස්, උඳුගොව්වන් කෑම, කුෂ්ට රෝග ආදී රෝග තත්ත්වයන්ටද, සියලුම වාත රෝග ආදියටද ප්‍රතිකාර කටයුතු කරන්නේය. ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් වැඩි පිරිසක් රෝහල්වලින් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබා සුව නොවූ රෝගීන්ය. ඔවුන් බොහෝ දෙනා රටේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

කුඩා කාලයේ පටන්ම මම තාත්තාට උදව් කළා. ලොකු වෙද්දී තාත්තාත් එක්ක එකතු වෙලා බෙහෙත් කළා. අපේ පියාගේ පරම්පරාවේ හැමෝම පාරම්පරික වෙද්දු. දුටුගැමුණු රජතුමාට නයෙක් දෂ්ට කරපු වෙලාවේ ප්‍රතිකාර කළේ කපුරු රාල ගුරුන්නාන්සේයි. අපේ වෙදකම පැවත එන්නේ කපුරු රාල ගුරුන්නාන්සේගේ පරපුරෙන්. ඒ නිසා අපේ තාත්තලා වැඩිපුරම කළේ සර්ප වෙදකමයි. සර්පයෝ දෂ්ට කරලා මැරෙන්න ඔන්න මෙන්න වගේ හිටපු විශාල පිරිසකට අපේ තාත්තා බෙහෙත් කරලා සුවපත් කළා. යැයි යූ. බි. තිලකරත්න වෙද මහතා කියන්නේය.

මම ඕනෑම රෝගයක්, තුවාලයක් හොඳ කරනවා. මම මුලින්ම තුවාලය පරීක්ෂා කරනවා. සිංහල ඖෂධවලින් තමයි හොඳ කරන්නේ. ගුලි, කල්ක ආදිය රෝගීන්ට ලබා දෙනවා. දියවැඩියාව තියෙන රෝගීන්ගේ තුවාල සුව කරන්න අපහසු බවයි බටහිර වෛද්‍යවරු කියන්නේ. නමුත්, මම ඒ රෝගීන්ට දියවැඩියාවට බෙහෙත් ලබාදෙන ගමන් තුවාලයත් සම්පූර්ණයෙන්ම සුව කරනවා. රෝගියාට සීනි තිබ්බත් එකයි. නැතත් එකයි. ගණන් කරන්න බැරි තරමටම රෝගීන් මම සුවපත් කරලා තිබෙනවා. මගේ මූලික බලා‍පොරොත්තුව රෝගියාව සම්පූර්ණයෙන්ම සුවපත් කිරීමයි. තිලකරත්න වෙද මහතා කියන්නේය.

මම මින්නේරිය ආයුර්වේද රෝහ‍ලේ වැඩ කරද්දී අතක තුවාලයක් තියෙන දියවැඩියා රෝගියෙක් හිටියා. ඔහුගේ තුවාලය දැඩි ලෙස නරක් වෙලයි තිබුණේ. ඔහුට බටහිර වෛද්‍යවරු කියලා තිබුණේ මේ තුවාලය සුව කරන්න බැරි නිසා අත කපන්න වෙනවා කියලායි. මම ඔහුව මින්නේරිය ආයුර්වේද රෝහ‍ලේ නවත්වාගෙන මාස දෙකහමාරක් දේශීය බෙහෙත් ලබා දුන්නා. ඔහු සුවපත් වුණා. යැයි තිලකරත්න වෙද මහතා සිය පාරම්පරික වෙදකමේ දස්කම් පිළිබඳව උදාහරණයක් එලෙස ගෙනහැර පෑවේය.

වසර විසිපහකට අධික කාලයක් තිස්සේ කොපමණ ප්‍රතිකාර කළද සුව නොවූ කාන්තාවකගේ පාදයක තිබූ විශාල තුවාලයක් සම්පූර්ණයෙන්ම සුව කිරීමට තිලකරත්න මහතාට හැකි විය.

බටහිර වෙදකම පිළිබඳව අපිට දොස් කියන්න බෑ. ඒ වෙදකමෙන් හොඳ කරන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරපු ලෙඩ්ඩු අපි හොඳ කරනවා. කැඩුම් බිඳුම් වෙදකම් කටයුතුවලදී බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාරවලින් රෝගීන් සුවපත් කරන්න අමාරුයි. දියවැඩියාව නිට්ටාවටම සුව කරන්න බෑ. ඒ අය කරන්නේ දියවැඩියාව නිසා තුවාලයක් සෑදුණු පසුව අත හරි කකුල හරි කපලා ඉවත් කරන එකයි. දේශීය වෙදකම ඒ තැනට යන්නේ නෑ. ලෙඩා ගැන බලලා කොහොම හරි රෝගියා සුවපත් කරනවා. යැයි තිලකරත්න වෙද මහතා පැවසුවේය.

වර්තමානයේ තරුණ පිරිස දියවැඩියා රෝගයට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩි බව තිලකරත්න වෙද මහතා කියන්නේය. පැණි බිම, පැණි රස ආහාර වැඩි වශයෙන් භාවිතය ආදී කරුණු ඊට බලපා ඇතැයිද ඔහු කියන්නේය. නිසි ආහාර රටාවක් පවත්වාගෙන යන්නේ නම් දියවැඩියා රෝගයෙන් ගැලවිය හැකි බවද හෙතෙම කියන්නේය.

සර්පයෝ දෂ්ට කරපුවාම ගොඩක් රෝගීන් දැන් ගෙනියන්නේ ඉස්පිරිතාලයටයි. හේතුව සර්ප දෂ්ටනයට බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර තිබෙන නිසා. දැන් අපි ළඟට ගේන්නේ ඉස්පිරිතාලවලින් හොඳ කරන්න බෑ කියපු රෝගීන්.

රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය බෙහෙත් වර්ග සකස් කරනු ලබන්නේ තිලකරත්න මහතා විසින්මය. මේ බෙහෙත් වර්ග රැසක් සැකසෙන්නේ සිය පරම්පරාවෙන් උරුම වූ රහස් බෙහෙත් වට්ටෝරුවලට අනුවය. රෝගීන් සුවපත් කිරීම සඳහා ඖෂධ රැසක් සිය ගම් ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශවලින් සොයා ගන්නේය. තිලකරත්න වෙද මහතාගේ ගෙවත්තේද ඖෂධ සැකසීම සඳහා අවශ්‍ය ඖෂධ වර්ග රැසක් වගා කර ඇත. සොයා ගැනීමට අපහසු ඇතැම් ඖෂධ දේශීය ඖෂධ වෙළෙඳසල්වලින් මිලදී ගන්නා බවත්, ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවන බවත් තිලකරත්න වෙද මහතා පැවසුවේය. ඔහු සිය ප්‍රතිකාර කටයුතු සඳහා රෝගීන්ට මිලක් නියම නොකරන්නේය.

අපි හිතමු සර්පයෙක් දෂ්ට කරලා පුද්ගලයෙක් ගෙනාවා කියලා. අපි ලෙඩාව හොඳ කරන්න ලොකු ලොකු බෙහෙත් වට්ටෝරු ගන්නේ නෑ. අපි රෝගියා සුවපත් කරන්නේ කෙම් ක්‍රමවලට අනුවයි. ඒවා අපිට පරම්පරාවෙන් උරුම වුණු දේවල්. මේ කටයුතුවලට අපි මන්ත්‍ර ශාස්ත්‍රයත් යොදා ගන්නවා. පුරාණ ‍පොත් පත් අධ්‍යයනය කරලා අපි පාරම්පරික වෙදකම පවත්වාගෙන යනවා. යැයි තිලකරත්න මහතා කියන්නේය.

තිලකරත්න මහතාගේ වෙදකම් කටයුතුවලට ඔහුගේ බාල දියණිය වන ආශා කුමාරිද සහයෝගය දක්වන්නීය. ඇය පාරම්පරික වෙදකම පිළිබඳව සිය පියාගෙන් ඉගෙන ගන්නීය. තිලකරත්න මහතාගේ වෙදකම් කටයුතුවලට ඔහුගේ බිරිඳද සහයෝගය දෙන්නීය.

– සාලිය කුමාර ගුණසේකර
(රිවිර)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button