පළකල දිනය : Tue, Sep 25th, 2018

අවුරුදු 14 ක් විසිල් ගහන සුගතපාලගේ කතාව !

ජීවිතය වනාහී එක්තරා චාරිකාවක් වැනිය. ඒ අප අසා ඇති අපට නිතර ඇසෙන ජීවිතය පිළිබඳ වූ එක්තරා නිර්වචනයකි. ජීවිතය චාරිකාවකට සම කරනා එකී නිර්වචනයෙන්ම ජීවිතයේ සුවිශේෂ සන්දිස්ථාන නවාතැන්පොළවල් බවට පත් වේ. විඳින විඳවන ජීවිතයන්හි නවාතැන්පොළවල් බොහෝය. එකී නවාතැන්පොළවලදී හමුවන්නාවූ තැනැත්තන් එමටය. ඔවුන්ගෙන් සමහරු ජීවිතය පුරා මතක ගොන්නක් එක් කරති. එය ඉතා සුළු මොහොතකි. එහෙත් ඒ මතක සදාකාලික මතක ගොන්නෙන් එකක් විය හැකිය.

ඒ ජීවිත චාරිකාවේ එහෙමෙහෙ යන අතරමඟ පසුගිය දවසක සදාකාලික මතක ගොන්නක් එක් කළ එක්තරා අපූරු පුද්ගලයෙක් අපට මුණගැසුණි. එහෙත් ඔහු ජීවිතයට දෙන්නේ වෙනස්ම නිර්වචනයකි. ඔහු කියනා පරිදි ජීවිතය එක්තරා නවාතැන්පොළක් පමණි. ඒ නැවතුම අවසන් වූ වහාම අත්‍යන්ත වශයෙන් සියල්ල හැර දමා යන්නට සිදු වේ. ඒ නිසා ජීවිතය නම් වූ නවාතැන්පොළෙහි ගත කරන හැම මොහොතකම සතුටින් ගත කරන්නෙකි ඔහු.

ඒ හරියටම පස්දුන්කෝරළයෙහි මායිමය. කළුතර නිව්මෝනිස් අවන්හලෙහි ඉදිරිපිට කටුක දහවලෙහි අවන්හලට යනෙන රථවාහන හසුරුවන ඔහු කවුරුත් දන්නේ “World happiest man” නමින්ය. යුටියුබ් හි ඔහුගේ විඩියෝපට බොහෝය. ඔහු පිළිබඳව පෙර අසා තිබූ නමුදු ඒ අපූරු මිනිසා හා දොඩමළු වන්නට ලෝකෙන්ම වැඩිපුරම සතුටින් සිටිමේ රහස දැන ගැනීමට තිබුණූ ආශාව නිසාම හදිසියේ නෙත ගැටුණු ඔහු අසල අප නතර විය.

අප ළං වන විටම පළාතම දෙවනත් වන්නට කටින් විසිල් එකක් ගැසූ ඔහු අප පැමිණි වෑන් රථය නවත්වන තැන සංඥාවකින් පෙන්වූවේය.

ප්‍රදේශයේ සියල්ලන්ම පාහේ දන්නා හඳුනන ඔහුගේ විසිල් හඬ අපට නුපුරුදු වුවද අන් අයට බොහෝ හුරුපුරුදු බව පසක් වූවේ ඔහු වාහන හසුරුවන්නට සංඥාවක් ලෙස කිසිදු උපකරණයක් භාවිත නොකර ශබ්ද නගා තවත් විසිල් හඬවල් කීපයක් නිකුත් කළ නිසාය. එයද ඔහුටම ආවේණික වූවකි. විසිල් හඬට පසුව කටින් තවත් “ටක්” හඬක් නිකුත් කරයි. හිනාකටක් මුවඟට නගාගෙන අප වෙත පැමිණි ඔහු සුහදශීලී ලෙස අප සමඟ කතාබහකට මුලපිරුවේය.

ඔහු නමින් වැලිපැන්න විතානගේ සුගතපාල. හැටපස් වියැති ඔහුගේ පදිංචිය සහ උපන්ගම බේරුවල ප්‍රදේශය. නිව්මෝනිස් අවන්හලෙහි මේ ගත වන්නේ ඔහුගේ දාහතර වැනි සේවා කාලයයි. හැම දේටම කලින් අප ඔහුගෙන් විමසුවේ මෙච්චර සතුටින් ජීවිතය ගත කරන රහස ගැනයි.

“අපි හරි වාසනාවන්තයි මිස්, අපට අංග සම්පූර්ණ උත්පත්තියක් ලැබිලා තියෙනවා. ඒ අපි වාසනාවන්ත නිසා. ඒක අපි තවත් වාසනාවන්ත කරගන්න ඕනේ. එකට තමයි යහපත් දේවල් කරන්න ඕනේ. ජීවිතය වාසනාවන්ත කරගැනීමත් අවාසනාවන්ත කරගැනීමත් අපේ අතේ තියෙන්නේ. අපි ඉන්නේ නවාතැන්පොළක. සුළු කාලයයි අපි ජීවත් වෙන්නේ.
ඒ සුළු කාලේ කා එක්කත් සන්තෝසෙන් හිනාවෙලා විනෝදෙන් ඉන්න ඕනේ අපි.”

අද කාලේ මිල මුදල් ධනය බලය කොතෙක් තිබුණද ගොඩ වැඩි කර ගැනීමට ජීවිතය අතහැර බලය ධන ලුහුබැඳ එයින් සෑහිමකටද හිතේ සැනසීමකටද පත් නොවෙන්නන්ටත් ආර්ථික අපහසුතා මැද, දුක්ඛ දෝමනස්සයන් සමඟ ජීවිතේ ගත කරන ලබා උපන් හැටි යැයි කියමින් තමන් ලද ජීවිතය ගැන පසුතැවෙන්නන්ටත් මේ මිනිසා ගත කරන ජීවිතය පුදුමයක් වන්නට පුළුවනි. එහෙත් සැබෑ ජීවිතයේ අරුත කිත් යසස් කිසිවක් නොමැතිව ඔහු පසක් කරගෙන ඇති අන්දම අපූරුය.

බොහෝ දෙනාට ජීවිතය චාරිකාවක් වූවාට ඔහුට ජීවිතය නවාතැන්පොළකි. ඒ නවාතැන්පොළේ ගත කරන සුළු කාලය ඔහු විනෝදෙන් ගත කරයි. සතුට සහ සැබෑ සතුට යනු දෙකක් ය. බොහෝ දෙනා සතුටින් යැයි පෙන්වූවාට සතුටු වන්නේ සැබෑවටම නොවේ මෙසේ කියන්නේ අපේ කතානායකයා වන සුගතපාලය.

“හැමෝම හිනා වුණාට ඒ අය හදවතින් නෙමෙයි හිනා වෙන්නේ. ඒ නිසා හදවතින් කතා කරලා හදවතින් හිනා වෙන්න ඕනේ.
අපි මැරෙන මිනිස්සු. කවදා හරි මැරෙනවා කියලා ජීවත් වෙනවා නම් අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන්.
ජීවිතය අනියතයි මරණය නියතයි කියලා කතාවක් තියෙනවානේ. ඒත් දැන් ඉන්න මිනිස්සු ජීවත් වෙන්නේ ජීවිතය නියතයි මරණය අනියතයි කියලා හිතාගෙන. බලයෙන් ධනයෙන් මුසපත් වෙලා ජීවත් වෙන්නේ”

එසේ කියූ ඔහු රථගාල වෙත පැමිණි වාහනයක් පසුපස විසිල් හඬ නගමින් හනික දිව්වේය.
ඔහු කියූ දෑ අතරින් එක් තැනක සිත නතර වූයේ එය ඒ තරමට ගැඹුරු බැවිනි.
ඔහු කියූ පරිද්දෙන් ඉපිද මැරෙන මිනිසුන් වුවද ගත කරන්නේ සදාකාලික ජීවිතය.

ඒ ජීවිත අර්ථාන්විතව ගත කරනවා වෙනුවට කරන්නේ ධනයෙන් බලයෙන් මුසපත් වීමට මාන බලන එකය. එසේ නොවුණහොත් හිතට නිවනක් නැත. ඒ සියල්ල අතහැරුණු විගස ඔබට ජීවිතය හමුවනු ඇත. මෙසේ පවසන අපූරු මිනිසාගේ පෞද්ගලික තොරතුරු ඇසීමට ද අප අමතක නොකළමු.

“මට ඉන්නේ නෝනයි දුවයි, පුතයි. පුතා තාම ඉගෙන ගන්නවා. දුවගේ වෙඩින් එක ලබන මාසේ. මේ දවස්වල අපේ ගෙදර හරි හරියට වැඩ.” එසේ කියූ විගසින් මට සිහි වූයේ ඔහුගේ වේතනය පිළිබඳවය. “මෙතන ලැබෙන පඩියෙන් ජීවත් වෙන්න පුළුවන්ද?” මේ පැනයට ඔහු පිළිතුරු දුන්නේ අපූරු කවි දෙකකින්ය.

“ලැදි පමණට සතුටු වෙන්න පළමුව ඔබ හිතාගන්න
කොපමණ බාධා ආවත් ඉවසීමෙන් කල් ගෙවන්න
පුංචි ප්‍රශ්න මහමෙර මෙන් ලොකුවට නොසිතා සිටින්න

ඔබේ හිතට වංචා නොකර ඔබෙ ජීවය තනා ගන්න”
“ඉරිසියාව වෛර ක්‍රෝධ හදවතින්ම තුරන් වෙන්න
කරුණා, මෛත්‍රි, දයාව හදවත තුළ තුරුළු වෙන්න
හදවතින්ම කතා කරලා හදවතින්ම සිනා වෙන්න

අද හෝ හෙට නවාතැනින් පිටත් වෙන්න වෙයි සිතන්න”

පුදුමයක් නැත. නිසැකවම ලෝකයෙන්ම සතුටින්ම සිටින මිනිසා ඔහු විය හැකිය. මිහිසුන් ජීවත් විය යුත්තේ මෙසේය. ජීවිතය අවබෝධ කරගත යුත්තේ මෙසේය.
සුගතපාල සතුටින් ජීවත්වීමේ රහස සියල්ලන්ටම කියාදෙන්නේ එසේය. මෙවැනි මිනිසුන් ලෝකයටම සිටින්නේ අතිශය සුළුතරයක් විය හැකිය.
සුගතපාල නිව්මෝනිස් අවන්හලෙහි සේවය කරමින් මේ ගත කරන්නේ දාහතර වැනි වර්ෂයයි.
නානා විධ මිනිසුන් නිතර එන යන එහිදී සුගතපාලට හමුවන ඇතැම් මිනිසුන් ගැන ඔහුගේ අදහස මෙබඳුය.

“සමහර මූණු තියෙනවා හිනා වෙන්නේ නෑ මළාට. අබ මිටක් දැම්මොත් ඒ මූණුවලට පට පට ගාලා පුපුරයි. ඒ තරම් හිනා නොවෙන මූණු තියෙනවා. මම හිනා වෙනවා. එයාලා හිනා වෙන්නේ නැහැ. වෙලාවකට හිතෙනවා මේ මිනිස්සුන්ට හිනාවෙන්න අමතක වෙලාද කියලා.
එහෙම නැත්තං කවුරුත් හිනාවෙන්න කියලා දීලා නැද්ද කියලා. මිනිස්සු හිනා වෙන්න බැරි තරම් ප්‍රශ්නවලද ඉන්නේ? ජීවත් වෙන්න හරි ලේසියි. ඒත් ඒ ක්‍රමේ දැනගන්න ඕනේ.”
හිනා මාත්‍රාවක් මුවග නොරැඳුණු, හිනාවෙන්නට අමතක වුණු මිනිසුන් අතරේ හිනාවෙවී ජීවත් වන්නෙකු තමන් දකිනා ලෝකය ගැන කරන පාපොච්චාරණය එසේ විය හැකිය.

මිනිසුන් ජීවත් වීමට කොතෙක් වෑයම් කරනවාද? ඒ වෑයම කොයි තරම් බැරෑරුම්ද? ජීවිතය ගත කිරීම ඒ තරම් අපහසුද?
මේ තරම් හිනා වෙලත් ඔවුන් හිනා නොවෙන්න හේතුව මොකක්ද? මේ සියල්ල ඔහුට ගැටලුය. ලෝකයා එසේ වූවත් ඔහු සියල්ලන්ටම සංග්‍රහ කරන්නේ සුපුරුදු සිනහවෙන් සහ දසත දෙවනත් කරනා ඔහුගේ විසිල් හඬින්ය.

මිනිසුන් නිරන්තරයෙන් සිතන්නේ තමන්ගේ සුඛවිහරණය ගැන පමණි. අනෙක් මිනිසුන් ගැන අංශුමාත්‍රයකුදු ඔවුන්ට කම් නැත.
තමන් ජීවත් වුණොත් ඒ හොඳටම ප්‍රමාණවත්ය. ඒ තරම් ආත්මාර්ථයෙන් කුරුවල් වුණු ලෝකයක අපි හුස්ම ගනිමින් සිටින්නෙමු.
තමන්ට රථගාලේදි හමුවන ඇතැම් පුද්ගලයින් අමතා ඔහු පරාර්ථය කියා දෙන්නේ මෙසේය.
“නොයෙක් තරාතිරම්වල උදවිය මෙතනට එනවානේ. එයාලා කවුරු වුණත් මට එකයි.

මං එයාලාට සංග්‍රහ කරන්නේ එකම මනුස්ස කමෙන්. ඒත් සමහර අය ඇවිත් තවත් වාහනයක් හරස් කරලා තමන්ගේ වාහනේ නතර කරනවා ලේසියට.
මම එතකොට එයාලට ‘මහත්තයා ඔයා ඔතන වාහනේ නතර කළාම මේ වාහනේ අයිති මහත්තයාට මොකද හිතෙන්නේ? මේ මහත්තයාගේ තැන ඔය මහත්තයා හිටියා නම් ඔය මහත්තයාට මොකද හිතෙන්නේ? අපි ඔක්කොම මිනිස්සු නේද? කියලා දෙනවා. එතකොට එයාලා වාහනේ අයින් කරගන්නවා.”
ආත්මාර්ථයෙන් ඉදිමුණු මිනිසුන්ට ඔහු පරාර්ථය කියාදෙන්නේ එසේය. එය හැමෝටම ලේසියෙන් පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ.

මිනිසුන්ගේ තත්ත්වය තරාතිරම සුගතපාලට අවශ්‍ය නැත. ඔහුට අවශ්‍ය වන්නේ මනුස්සකමෙන් යුතු මිනිසුන්ය. මෙසේ තමන්ගේ ආත්ම භාෂණය අපි සමඟ කියාගෙන යන සුගතපාලගේ එසේත් නැත්නම් World happiest man ගේ කුඩා කල මතක හාරවුස්සන්න පටන්ගත්තා.

” මම අටපාස් වෙනකං ඉගෙන ගත්තේ. මගේ තාත්තා මේසන් බාස් කෙනෙක්. පොඩි කාලේ තාත්ත එක්ක අත්උදව්වට ගියා. ඊටපස්සේ රස්සා කීපයක් කළා. වෙළඳාම් කළා, ගල්කිස්සේ නූල් හදන තැනක වැඩ කළා ඊටපස්සේ තමයි මෙහෙට ආවේ. මගේ පවුලේ සහෝදර සහෝදරියෝ ඔක්කොම මැරිලා. මම විතරයි දැන් ඉන්නේ. ඒ හැමෝම මැරුණත් මං එක කඳුළු බිංදුවක් හෙළුවේ නැහැ. මම අඬන එක හරියට ඉරයි හඳයි ඉල්ලනවා වගේ වැඩක්. ඒක කවදාවත් වෙන්නේ නැහැ.”

අනියත ජීවිතේ නියත සත්‍යය ඔහු අවබෝධ කරගෙන ඇත්තේ එසේය. මිනිසුන් ඉපදෙන මැරෙන ලෝක යථාර්ථය ඔහු අවබෝධ කරගෙන ඇත්තේ එසේය. එපමණක් නොව සියල්ල හරි ලේසියෙන් ඔහුට අත් හැරීමට හැකිය. ඒ තරම් ජීවිතය දෙස සැහැල්ලුවෙන් බලන අපූරු මිනිසෙකි සුගතපාල.

“මෙතන කොච්චර කල් ඉන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මෙතනින් අයින් කළොත් වෙන රස්සාවක් හොයාගන්නවා. ජීවත්වෙන්න රස්සාවක් හොයා ගන්න එපැයි.”
ජීවිතය එහෙමය. සකල විධ සැප සම්පත් තිබුණද කිසිවෙකුට ඒ තරම් සැහැල්ලුවෙන් ජීවත් විය නොහැකිය. එහෙත් සුගතපාල මෙසේ හැමෝටම කියාදෙන්නේ ජීවිතය සැහැල්ලුවෙන් ගත කරන හැටිය. දහවලේ අව් කූටකේ කර වෙමින්ද තනිකම රජයන රාත්‍රියේ නොමිනිසුන්ගේ රැවුම් එරවුම් මැද ද ඔබට ඉදිරියටත් ඔහුගේ සවන් දෙවනත් වන විසිල් හඬ ඇහේවි. මනුස්සකමේ සුවඳත් එක්කම.

උපුටා ගැනීම – රැස පුවත්පත

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button