පළකල දිනය : Wed, Sep 26th, 2018

අද රටම යන්නෙ රුවිතෙට !

වේදිකාව සිනමාව ටෙලිනාට්‍ය යන ක්ෂේත්‍ර තුනම නියෝජනය කරන ඔහු විවිධ දක්ෂතාවලින් ‍පොහොසත් ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඔහු නමින් රොඩ්නි වර්ණකුලයි. ඒ නිසාම අලුත් තොරතුරු දැන ගන්න අපි මේ ඉඩ ඔහුට වෙන් කළා.

ඔබ වැඩි කාලයක් යොදවන්නේ වේදිකාවට නේද?
ඔව්, නාට්‍ය පුහුණුවීම්වලට වැඩි කාලයක් යොදවලා තියෙනවා.

ඇයි පුංචි තිරයේ වැඩියෙ පේන්නෙ නැත්තෙ?
ටෙලි නාට්‍යවලට මම රංගනයෙන් දායක වෙන්නෙ නැහැ. චිත්‍රපටවලට රංගනයෙන් දායක වෙනවා. මම ටෙලි නාට්‍යවලට එකතු නොවන්නේ මේ මෙගා රැල්ලට අකමැති නිසයි.

ක්ෂේත්‍රයට එකතු වෙලා වසර කීයක් වෙනවද?
මම 1981 වර්ෂයේ ලූෂන් බුලත්සිංහලගේ තාරාවෝ ඉගිලෙති නාට්‍යයෙන් තමයි මම රංගනයට යොමු වෙන්නේ. මේ වෙනකොට වසර 37ක් වෙනවා.

ඒ කාලය තුළ ඔබ නිර්මාණය කළේ එක් වේදිකා නාට්‍යයක් පමණයි නේද?
ඔව්. සාරංගා නැවෙන් ඇවිත්. 2003 පටන් ගත්තේ ඒ නාට්‍යය. ආපහු එම නාට්‍ය නැවත නිෂ්පාදනය කරලා ඔක්තෝබර් දෙවැනිදාට වේදිකාගත කරනවා.

වසර තිස්හතක කාලය ගැන ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නෙ?
වේදිකාවට මම හැමදාම ආදරය කළා. ඒ ආරම්භය ගැන මට ලොකු සතුටක් තියෙන්නේ වේදිකාවේ. අඩු වැඩි වශයෙන් හොඳ නිර්මාණ බිහි වුණා. ඒ දේවල්වලින් රටේ මිනිස්සු දෙයක් ගත්තද කියන ගැටලුව තියෙනවා. නාට්‍ය විතරක් ‍නෙවෙයි සුභාවිත ගීතය, ‍පොතපත සිනමාව යන සියල්ලෙම සමාජ දැනුවත් කරන හොඳ නිර්මාණ තිබුණා. ඒ දේවල්වලින් සමාජයේ කිසිම වෙනසක් වෙලා නැහැ කියලා හිතද්දී දුක හිතෙනවා.

වේදිකාවේ ඔබ කැමැතිම වේදිකා නාට්‍ය මොනවාද?
තාරාවෝ ඉගිලෙති, නරි බෑනා, වසර විසිපහක්ම නරියා ලෙස රඟපාන්නේ. මම ඒ අතර තව නාට්‍ය තියෙනවා.

ඉදිරියේදී නිර්මාණකරණයේ නියැළෙන්න අදහසක් නැද්ද?
තව අලුත් වේදිකා නාට්‍යයක් කරනවා. මට පුළුවන් දේ වේදිකා නාට්‍යය. ඒ නිසා වේදිකා නාට්‍ය නිර්මාණය කරනවා.

චිත්‍රපට ටෙලිනාට්‍ය නිර්මාණකරණයට යොමු වෙන්න අදහසක් නැද්ද?
එහෙම වුවමනාවක් නැහැ. රංගනයෙන් දායක වෙනවා විතරයි. පුළුවන් දේවල් විතරයි මම කරන්නේ.

ඔබ හඬකැවීම් ශිල්පියෙක් ලෙසත් වැඩ කළා. දැන් ඒ අංශයෙන් ඈත් වෙලාද?
අතුල රන්සිලාල් මහත්තයාගේ වැඩසටහන්වලට විතරයි දායක වුණේ. ඒ ඇරෙන්න මම හඬකැවීම් කරලා නැහැ. දැන් තියෙන කොරියානු ඉන්දියානු නාට්‍යවල හඬ කවන්න මම යන්නෙ නැහැ.

 වේදිකාව පුංචි තිරය, රිදී තිරය යන තුනම ඔබ නියෝජනය කරනවා. ඒ අත්දැකීම මොන වගේද?
මම කැමැතිම වේදිකාව සජීවී මාධ්‍යයක් ලෙස වේදිකාවෙන් කළ හැකි දේ බොහොමයි. අනෙක් ඒවා වැරදුණත් නැවත හරිගස්සවලා කරන්න පුළුවන්. නොවරදින තැනට හරියටම කරන්න ඕන වේදිකා නාට්‍ය කලාව.

ක්ෂේත්‍රයට එකතු වන අලුත් පරම්පරාව ගැන මොකද හිතෙන්නෙ?
කලාවට ලැදි දක්ෂයෝ ගොඩක් ඉන්නවා. වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ බොහොම ටික දෙනයි.

වර්තමානයේ බිහිවෙන බොහෝ හාසේ‍යා්ත්පාදක නාට්‍යවල අරමුණක් තිනෙවා කියලා හිතෙනවාද?
ඒක නරක කලාවක් ‍නෙවෙයි. ගුණාත්මකභාවයේ අඩුවැඩිකම් ඇති මිනිස්සු ජෝක්වලට පුරුදු වෙලා කියලා හිතනවා. මුළු රටේම ඉහළ පහළ පන්තිවල ඉන්න ඔක්කෝම ඉල්ලන්නේ කොළ තමයි. අද කවුරුත් සුභාවිත ගීත අහන්න කැමැති නැහැ. අහන්නේ සම්පප්ප්‍රලාප ගීතයන්. හුදු විනෝදය පමණක් මූලික කරගෙන නිර්මාණය කරන නාට්‍ය තියෙනවා. නිර්මාණවලින් සමාජය යහපත් තැනට ගන්න පුළුවන්.

රංගන ශිල්පියෙක් ලෙස ලැබෙන වටිනාකම තෘප්තිමත්ද?
අපේ රටේ දක්ෂයන්ට මිලක් නැහැ. මේ මිල ලැබිලා තියෙන්නේ බාල වැඩවලට. රටේම වැරැද්ද. මගේ යාළුවෙක් ළඟදී මට කිව්වා කැත සිංදුවලටනේ අන්තර්ජාලයේ විශාල ඉල්ලුමක් තියෙන්නේ කියලා. බලන කොට අද රටම යන්නේ රුවිතෙට. අපිට තෘප්තියක් නැහැ.

දූ දරුවන් ඇයි ඔබේ අඩිපාරේ යමින් කලාවට එකතු නොවුණේ?
දුවලා දෙන්නයි පුතයි මට ඉන්නවා. මම ඒ අයට කවදාවත් බලපෑම් කළේ නැහැ මේක කරපන් කියලා. නමුත් ඔවුන්ට මට හොඳ රසවින්දනය පැත්තට යොමු කරලා තියෙන්නේ.

විවේකයක් ලැබුණහම කොහොමද කාලය ගත කරන්නෙ?
විවේකය නම් අඩුයි. විවේකයක් ලැබුණහම ගෙදරට වෙලා ඉන්න කැමැතියි. කොහේවත් යන්නෙ නැහැ. ගෙදර තමයි සතුට තියෙන්නේ.

ඉඩ ලැබෙන හැම වෙලාවකදීම රසවත් නිර්මාණ රස විඳිනවද?
රූපවාහිනියෙන් බලන්න නිත්‍ය වැඩසටහනක් නැහැ. ගෙදර විවේකයක් ලැබුණහම තියෙන එකක් බලනවා.

– තිළිණි කරුණාරත්න

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button