පළකල දිනය : Tue, Oct 2nd, 2018

ලොකු පවුලක් හදපු අපේ ආදරණිය ආච්චි අම්මගේ කතාව !

“ඒ කාලෙ මම ඉස්කොලේ යන කෙල්ල, නමුත් මට වයස මතක නැහැ. ලොකු ගංවතුරක් අවා. අපිව යටකරගෙන ගියා. ආධාර දෙනවා එන්න කියලා හැම තැනම ප්‍රචාරය ගියා. අපේ ආච්චි මාවත් එක්කන් ගියා ආධාර ගන්න.

ලොකු පාරුවකින් තමයි ආධාර අරන් ඇවිල්ල තිබුණේ. ඒ පාරුවේ තිබුණේ හාල්. නම කිව්වම ආධාර දුන්නා. ඒ දවස්වල මේ වගේ වැඩකට ගියාම සම්පුර්ණ නම කියන්න ඕනෑ.
අපේ ආච්චි එයාගේ නම කිව්වම නම අහලා අපෝ මෙයා ලොකු පවුලක කෙනෙක් මෙයාට ආධාර නැහැ කිව්වා.”

“අපේ ආච්චිගේ නම මොකද්ද දන්නවද ?…. ශ්‍රී වික්‍රම රාජසිංහ මුදියන්සේලාගේ දෝන එලිසබෙත් කුමාරි හාමි.”

පරම්පරා හතක මතකය අවදි කළ මේ මාතාව මට හමු වුණේ මගේ උපන් ගම වන පානදුරේදීය. මා උපන් ‘කේතුමතිය’ට පේන දුරින් ජීවත් වන ඇය වැලිගමගේ සිදර් ඩයස්ය. කාරණය පෞද්ගලික වුවද මා විශ්මයට පත් කළ තවත් කරුණක් ගැන නොකියාම බැරිය. ඒ ඇයගේ උපන් දිනය මගේද උපන් දිනයම වීමයි. ඇය උපත ලබා ඇත්තේ 1916 වර්ෂයේ උදුවප් මස 14 වන කැලණියේදීය. මේ වන විට ඇගේ වයස අවුරුදු 102කි.

දරුවන් සත්දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා වූ සිදර් මතාවගේ පියා, ඩබ්ලිව්. සූටින් අප්පුහාමි වූ අතර මව දෝන කතිරිනා හාමිය. “මම හත පාස්” ඇය මහත් ආඩම්බරයෙන් පැවසුවාය.

“මම ඉගෙන ගන්න දක්ෂයි. පන්තියේ පළවෙනියා. මට හොදට ගණන් පුළුවන්. මගේ පන්තියේම තමයි මගේ ලොකු නංගි ඇඩ්ලින් හිටියේ. මම එයාට ආදරේට කිව්වේ සුදා කියලා. එයත් මං වගේම සුදුයි. අපි හත පාස් වෙලා අටේ ඉද්දි තමයි මේක වුණේ. අපට හිටියා අලහකෝන් කියල ගුරුතුමියක්. අපි කිව්වේ අලහකෝන් හාමිනේ කියලා. එයා ලස්සනයි. ඒ වගේම වසයි. එයාට හරි බයයි ළමයි ඔක්කොම.

දවසක් එයා අපිට ගණන් වගයක් දුන්නා. මම හැදුවා, නංගිට හදන්න බැරි වුණා ඉස්කෝලේ හාමිනේ කළේ මහා අව්වේ නංගිව දන ගස්සලා, මාව ගෙදර යැව්වා. මම දුවගෙන ඇවිල්ල අප්පච්චිට කිව්වා අප්පච්චි අපිට හරි ආදරෙයි .

අප්පච්චි ඉස්කෝලෙට දුවගෙනම ගියා ඒ ගිහින් නංගිට දඩුවම් කළා කියලා අපි දෙන්නවම ඉස්කෝලෙන් අස් කරගෙන ආවා. මටත් එදා හිතුණේ නැහැ. අප්පච්චි වැරදියි කියලා. එකෙන් තමයි මගේ ගුරුවරියක් වීමේ සිහිනය බොඳ වුණේ. ඉස්කෝලේ හාමිනේට දඬුවමක් දෙන්න හිතාගෙන අපි දෙන්නව ඉස්කෝලෙන් අස් කළාට දඩුවම් විදින්න වුණේ අපට” ඒ ගුරුවරිය හා සිය පියා හේතුවෙන් පාසල් ගමන නතර කිරීමට සිදු වුවත් අපේ කතා නායිකාවට මේ දෙදෙනා පිළිබදවම තරහක් නොතිබිණි. ඇය තම ගුරුවරිය පිළිබදව අදත් කතා කරන්නේ ගෞරවය හා ආදරය මුසු බියකිනි.

පව් හා පිං
අවුරුදු හැත්තෑ හයක කාලයක් නොකඩවා පෝය දිනයට සිල් සමාදන් වූ මාතාවකි සිදර් හාමිනේ. පාසල් ගමනට අකමැත්තෙන් වුවද ආයුබෝවන් කීමෙන් පසු ඇයට සිදුව ඇත්තේ සිය මවගේ කඩයප්පන් රැකියාවට සහය වීමටයි. කඩයප්පන් සෑදීම සදහා උදේ රැයින් නැගිටින මවට අත්උදව් දීමටත් එසේ හදන ලද කඩයප්පන් කඩවලට දැමීමත් සිදර් හාමිනේට පැවරුණු රාජකාරි වී තිබේ. මේ කාලය තුළ ඇය දහමින් පෝෂණය වෙමින් පිං දහම් කර තිබේ. ඇයගේ පියකරු මුහුණ දකින කිසිවකුට, ඇය සියවස සපිරූ කෙනෙකු යැයි නොසිතේ. ඊට හේතුව ඇයගේ පිවිතුරු හදවත විය යුතුය.

“අවුරුදු දහ හතරෙන් විතර තමයි මට මේ රාජකාරි පැවරුණේ. සුදා එක්ක මට කේන්තියක් තිබුණත් මම ඒ කේන්තිය නිවා ගත්තේ පන්සලට ගිහින්. මම ඊට පස්සේ හැම පෝයකටම සිල් ගන්න පුරුදු වුණා. අවුරුදු දහ හතරේදී පටන් ගත්ත මේ සිල් සමාදන් වීම මට අවුරුදු අනූව වෙනකම් එක දිගටම කළා. කොටින්ම මම කසාද බැඳලා ගෙදර ආවේ පෝය දවසක එදත් සිල් ගත්තා. මම කරපු එකම පව් වැඩේ කුකුල්ලු හදපු එක තමයි. එකත් කළේ නැති බැරි කමට. දැන් අවුරුදු දහයක ඉදලා මම ඉන්නේ ලොකු දුවගේ පානදුරේ ගෙදර. දැන් පුළුවන් වෙලාවට එයා මාව පෝයට පන්සලට එක්කන් යනවා.

කොස් සහ ආයුෂ
ලෝක යුද්ධය ආරම්භ වූ අවස්ථාවේ මෙරට ජනතාව විශාල ආහාර හිඟයකට මුහුණ පෑවේය. එදා බත් වෙනුවට විකල්ප අහාර සෙවූ හැටි දිගාසිරි ලැබූවන්ගෙන් අපට බොහෝ වතාවක් අසන්නට ලැබිණි.

සිදර් හාමිනේ ජීවත් වන පානදුර ප්‍රදේශයේ එදා ජීවත් වූ ආතර් වී. දියෙස් මහතා අහාර හිගයට පිළියමක් ලෙස පානදුර නගරයේ බොජුන් හලක් ආරම්භ කළබවද ඉතිහාසයේ සඳහන් වෙයි. මීට අමතරව කොස් ගස ආරක්ෂා කිරීමේ හා වගා කිරීමේ ව්‍යාපාරයක්ද ආරම්භ කැරිණි. මේ සමයේ කොස් ගස, බත් ගස ලෙසද හැදින්විණි.

“අපේ වත්තේ කොස් ගස් 18 ක් තිබුණා. මේ කොස් ගස් 18 ටම නම් තිබුණා . හරියට ළමයින්ට වගේ…. බෙට්ටි ගහ, පැණි වරකා, කැකිරි වැල, හීන් මදුළු, ආච්චිගේ ගහ, අප්පච්චිගේ ආදරේ, ඇපල් වරකා මේ වගේ නම් තමයි තිබුණේ. අපි අවුරුද්දේ වැඩි කාලයක් කොස් එක්ක ජිවිතේ ගත කළා. තම්බලා කෑවා , මලවලා කෑවා, ඉදවලා කෑවා, වේළලා කෑවා, අටු කොස් කෑවා, මේ විදිහට කොස් ගෙඩියයි ඇටයි විවිධාකාර විදිහට ආහාරයට ගත්තා. අද නම් කොස් ගණන් ගන්නේ නැහැ. නමුත් මම බත් නොකා කොස් කෑවා කියල මගේ අඩුවක් තියනවද? ලස්සන හරි ආයුෂ හරි?

අටුව හා මුල්ල
දුර්භික්ෂයක හෝ වෙනත් අාපදා තත්වයක පෙර නිමිති පළ වූ විට අටු කොටු රැස් කිරීම පැරැන්නන්ගේ සිරිත විණි. අද මෙන් බැංකු එදා නොතිබූ හෙයින් කැටයක හෝ පොළොවේ වළ දමා මුදල් රැස් කිරීම මෙන්ම අටුවේ හා කොටුවේ රැස් කිරීමද, ගෙයි මුල්ලේ රැස් කිරීමද සිදු විණි. සිදර් හාමිනේද මෙලෙස ඉතිරි කළ කාන්තාවකි.

“අටු කොස් කියන්නේ අටුවේ දාලා හරි අව්වේ දාලා හරි කොස් මදුළු වේළගෙන හදා ගන්න කෑමකට. හොඳට කොස් මදුළු වේළුනාම වංගෙඩියේ දාලා කොටාගන්නවා. පස්සේ සිනි හරි හකුරු හරි මිශ්‍ර කරලා කෑමට ගන්නවා. මුල්ල දානවා කියන්නේ කොස් අවාරෙට ගන්න පුළුවන් විදිහට කොස් ඇට කල් තියාගන්න එක. මේකෙදි කරන්නේ කොස් ඇට වළ දාන එකයි. මේ වළ දාපු කොස් ඇට කොස් ආවරේදී අරගෙන බැදලා කොටලා හකුරු දාලා ගුළි කරලා කෑමට ගන්නවා.”

එතකොට සල්ලි ඉතුරු කළේ කොහොමද ? ඒ දවස්වල ළමයි කැටවල තමයි සල්ලි ඉතුරු කළේ. මට හොඳට මතකයි මම කුඩා කාලේ මැටිවලින් හදපු කැටත් තිබුණා , කිරි ටින්වලින් හදා ගත්තු කැටත් තිබුණා. ඒ වගේම තමයි මම කසාද බැඳලා ආවම සල්ලි ඉතුරු කළේ පොළොටව යට වළ දාලා. මහත්තයා මට ලොකු කාසි තමයි දුන්නේ. මම ඉතින් ඒ කාසි ගෙයි වළක් හාරලා වළ දාලා ඊට උඩින් යමක් තියනවා. නැතිම වෙලාවකට මේක ගන්නවා. සමහර වෙලාවට ගෙයි කීප පොළකම මේ විදිහට සල්ලි වළ දාලා තිබුණා.

පරපුර හා සතුට
සිදර් මාතාව දැන් දිවි ගෙවන්නේ ඇගේ හතරවන පරම්පරාව සමගයි. ඇය සහ ඇගේ දරුවන් එකට සිටින ජයරූපයක් ඇය වර්තමානයේ ජීවත් වන නිවසේ තබා ඇති අතර එහි වමේ සිදර් මාතාවද පිළිවෙළින් ඇගේ වැඩිමහල් දියණිය මියුරින් අමරසිංහ, ඇගේ දියණිය වසන්තා ගීතාන්ජලි , ඇගේ දියණිය සලුකා නිමාෂි ,හා ඇගේ දියණිය හා පුත්‍ර රත්නය වන දහම්යා හා නේතන සිටිති. මා මේ ඡායාරූපය මගේ කැමරාවේ සටහන් කරගන්නා අයුරු දුටු ඇය, ‘අනේ මගේ මහත්තයත් ඉන්න එකක් ගන්න‘ යැයි ඉල්ලා සිටියාය. ඇය සිය ස්වාමියා වන යෝතන් මල්ලිකාරච්චි මහතා සමග ගෙන ඇති ඡායාරූප හිඟ වීම පිළිබදවද කතා කළේ කනස්සල්ලෙනි. ස්වාමියා මියගොස් වසර ගණනාවක් ඉක්ම ගොස් ඇතත් ඇගේ ආදරයේ අඩුවක් නොවූ බව, ඇය ඊළඟට කියූ දෙයින්ද තහවුරු විය.

“දන්නවද මට මහත්තයා හම්බ වුණේ කොහොමද කියලා? ඇය තම ආදරවන්තයා හමු වූ අයුරු ස්වේච්චාවේන්ම කීමට ඉදිරිපත් විණි. “මම මුලින් කිව්වේ කඩයප්පන් කඩවලට අරන් ගියා කියලා. මහත්තයටත් තිබුණා කඩයක්. මම ඒ කඩේටත් ඉඳි ආප්ප අරන් ගියා. ඒ ගිහින් තමයි දෙන්න මුණ ගැහුණේ. ඊට පස්සේ මහත්තයා ගෙදරින් ඇහුවා. ගෙදරින් අකමැති වෙන්න හේතුවක් තිබුණේ නැහැ. මහත්තයා ඒ තරම් හොඳ කෙනෙක්. වයස් අවුරුදු 17දී මම කසාද බැන්දා. ළමයි පස් දෙනෙකුත් හැදුවා.”

සිදර් මාතාවගේ වැඩිමලා දියණියකි. ඇය මේ වන විට ඇය සමග තනි නොතනියට ජීවත් වෙයි. දෝන මියුරින් අමරසිංහ නම් ඇය මේ වන විට අසූ හතරවන වියහි පසු වෙයි. ඇය විභාග දෙපාර්තුමේන්තුවේ දත්ත සකස් කිරීමේ නිලධාරිනියක ලෙස සේවය කර ඇත. ඇයගේ එක් පුත්‍රයෙක් යුද්ධයේදී දිවි පුදා ඇති අතර තවත් පුත්‍රයෙක් යුධ හමුදාවේ ඉහළ නිලයක සිටි. සිදර් මාතාවගේ දෙවැනි පුත්‍රයා වූ දොන් ධර්මදාස අමරසිංහ මේ වන විට ජීවතුන් අතර නොමැත. තෙවැන්නා නිමලදාස අමරසිංහ මහතා මහා බැංකුවේ සේවය කර විශ්‍රාම ලබා සිටී. ආරියදාස අමරසිංහ මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කර ඇති අතර මේ වන විට ජීවතුන් අත. චන්ද්‍රාවති අමරසිංහ පවුලේ බාල දියණියි.

“මම තාම රජයට බරක් වෙලා නැහැ . ආණ්ඩුවෙන් අවුරුදු සියය ඉක්මවුවන්ට දෙන රුපියල් විසිපන්දාහස වත් මට ලැබුණේ නැහැ . එක ලැබුණේ නැහැ කියලා මගේ දරුවෝ මට නොසලකා හැරලා නැහැ ඒ අය මාව බලාගන්නේ රැජිනක් වගේ. ඇත්තටම මම රැජිනක්”

– ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button