පළකල දිනය : Tue, Oct 2nd, 2018

බස් එකක පන්ති තියෙන, එළිමහන් පුස්තකාලයක් තියෙන අපුරු ඉස්කෝ‍ලේ !

කිරිගලහේන යනු අදටත් ගැමි සුන්දරත්වය පලා නොගිය ගම් පියසකි. බහුතරයක් ගොවියන් වන මේ ගමේ ඇත්තන්ට තිබූ ලොකුම අඩුව සපුරාලමින් ගුරුගොඩ කනිෂ්ඨ විද්‍යාලය ඉදිවනුයේ අදින් වසර පනහකට හැටකට පෙරය. සරල දිවියක් ගෙව් කිරිගල හේනේ ගැමියෝ තම දූ දරුවන්ගේ ඇස්පාදනු රිසින් ඔවුන් යැව්වේ ගුරුගොඩ විදුහලටය. පළවෙනි කැලෑසියේ සිට සාමාන්‍ය පෙළ දක්වා පන්ති පැවැත්වෙන මේ පාසල පිටිසර බදව පිහිටා තිබුණද එහි සිට හොරණ නගරයට ඇත්තේ දෙහූවක දුරකි.

හොරණ නගරය ආශ්‍රිත තක්ෂිලා, ශ්‍රී පාලි ආදී විදුහල්ද පසුකාලීනව බිහිවූ රාජකීය, ප්‍රජාපතී ආදී විදුහල්ද ශීඝ්‍ර දියුණුවක් ලබන්නට විය. ඒ සමගම අවට ගම් හත අටක දෙමව්පියන් මෙන්ම ගුරුගොඩ, කිරිගල හේන ගැමියෝද තම දූදරුවන් ගමේ ඉස්කෝලයට නොව නගරයේ පාසලකට ඇතුළත් කරන්නට සිහින දුටුවෝය. එනිසා ගුරුගොඩ කනිෂ්ඨ කෙමෙන් වැසීයන පාසලක තත්ත්වයට පත් වන්නට විය.

කෙමෙන් කෙමෙන් ගමේ අවධානයෙන් ගිලිහුණු ගුරුගොඩ කනිෂ්ඨය 2010 වසර එළඹෙන විට සිටියේ මරණයේ එළිපත්තේය. ඒ එම වසරේ පළමුවැනි ශ්‍රේණියට එකදු දූ දරුවෙකු හෝ ඇතුළත් නොවූ නිසාය. මේ අනුව වසර කීපයකින් ගුරුගොඩ කනිෂ්ඨය වැසීයන බව කොයි කාටත් රහසක් නොවීය. මේ වන විට හොරණ අධ්‍යාපන කලාපයේ අධ්‍යක්ෂවරිය වූයේ කේ.කේ.පී.එම්. ජයතිලකය. ඕ ගුරුගොඩ කනිෂ්ඨය මරුමුවින් ගලවා ගැනීමට දැඩි වෙහෙසක් ගත්තාය. ගුරු උපදේශකයෙකුව සිට විදුහල්පති විභාගය සමත් වූ අජිත් ප්‍රේමකුමාරට ගුරුගොඩ පාසල භාරදීමට තීරණය වන්නේ ඇගේ එකී වුවමනාව නිසාය.

අලුත් ලොකු සර් කෙනෙක් එනවලු. ඒත් කොහොමද මේක ගොඩගන්නේ ගැමියෝ එසේ පවසද්දී තවත් පිරිසක් ගුරුගොඩ කනිෂ්ඨය වැසී යනවාට යටිහිතින් සතුටු වූහ. ඒ තම දරුවන් හොරණ නගරයේ පාසලකට ඉල්ලුම් කරද්දී අහිමිවෙන ලකුණු පහ ගුරුගොඩ කනිෂ්ඨය වැසී ගියහොත් ආරක්ෂා කර ගතහැකි බැවිනි. කෙසේ හෝ අලුත් ලොකු සර් පාසලට එනවිට එක වසරෙ ළමුන් සිටියේ නැත. දෙකේ සිට 11 වසර දක්වා ඉගෙනුම ලැබූවේ ළමුන් 53 කි. ඇතැම් පන්තිවල ළමුන් 05,6 වශයෙනි. ගොඩනැගිලි ගරාවැටිලාය. ගුරුවරු තුළ වූවේ බලා‍පොරොත්තු සුන් වූ ස්වභාවයකි. එහෙත් සිය මුල්ම විදුහල්පති පත්වීම වැසෙන්නට යන විදුහලකට ලැබූ අජිත් ප්‍රේමකුමාර විදුහල්පතිතුමන් තුළ වූයේ නැවුම් බලා‍පොරොත්තුවකි. ඒ එක වසරට ළමුන් දෙතුන් දෙනෙකු හෝ බඳවාගෙන පාසල නොවසා තබා ගැනීමය.

ඒ වනවිටත් පාස‍ලේ ගොඩනැගිලි ගරා වැටෙමින් පැවැතුණි. ඒවා අලුත්වැඩියා කර කලඑළි කරගතහොත් ළමුන්ගේ අවධානය දිනාගත හැකි වෙතැයි අලුත් ලොකු සර් තුළ වූයේ ලොකු බලා‍පොරොත්තුවකි. එහෙත් කටයුත්ත එතරම් පහසු නොවන බව දින කීපයකින්ම වටහා ගන්නට අලුත් ලොකු සර් සමත්වන්නේය. ඒ අඩු සිසු පිරිසක් සිටිනා පාසල්වලට භෞතික සම්පත් සැපයීමේදී එක්වරක් නොව දෙතුන්වරක්ම වගකිව යුත්තෝ සිතා බලන නිසාය. මේ එවැනි අඩුපාඩු ජයගත් ආකාරය ගැන විදුහල්පති අජිත් කරන ආවර්ජනයකි.
අපේ කාර්යාලයට ටයිල් ඕන වුණා. ඒත් ආණ්ඩුවෙන් ගන්න අමාරුයි. පස්සේ අපි ගිහින් ටයිල් ෆැක්ටරියෙන් කැඩිලා අයින්කරන ටයිල් තොගයක් ගත්තා. ඒවා කපලා කාර්යාලයට ඇල්ලුවා. එපමණක්ද නොව කාර්යාලයේ තබා ඇති පුටුද එසේමය. මේ එකී මේස පුටු කාර්යාලයට පැමිණි ආකාරයය.

මේ පුටු අධ්‍යාපන කාර්යාලයකින් අයින් කරපුවා. එහෙ සේවකයෝ මට ඒ බව දැන්වූවා. අපි ලොරියක ගිහින් පටවං ආවා. ඒ අජිත්.. සර්ගේ හඬය. විදුහල්පතිවරයා වුවත් ඔහුද මේ පුටු මේස කරගසාගෙන විත් ඇත. මෙලෙස පාස‍ලේ අඩුපාඩු එකින් එක සපිරෙන කළ අවට දෙමාපියෝද වඩාත් ගෞරවයකින් පාසල දෙස බැලුවෝය. මේ වන විට අලුත් ලොකු සර් සිය පෞද්ගලික හිතවත්කම් සියල්ලද පාස‍ලේ දියුණුවට යොදාගනිමින් සිටියේය. ඒ අනුව අවට කම්හල් හිමියෝද, ව්‍යාපාරිකයෝද ගුරුගොඩ කනිෂ්ඨය ගොඩනගන්නට අත හිත දෙන්නට පටන් ගෙන තිබුණි. එහෙත් ගොඩනැගිලි හිඟය බලවත් ගැටලුවක් විය. ආණ්ඩුවේ රෙගුලාසිවලට අනුව ගොඩනැගිල්ලක් ලබාගැනීම යනු කල් ඇදෙනා වැඩකි. එහෙත් අලුත් ලොකු සර්ට ඕනෑ ටක් ගාලා බිල්ඩිමක් හදාගන්නටය. නමුත් එය කරන්නට එතරම් ‍ලේසි නොවේ. දස අතේ කල්පනා කරමින් සිටි විදුහල්පති අජිත්ට ප්‍රේමකුමාරට හරි පුදුම ඉස්කෝ‍ලේ ‍පොතේ කෝච්චි පෙට්ටියක පවත්වාගෙන යන පාසල එකවරම සිහියට එන්නේය. කෝච්චි කොහොම වුණත් බස් එකක්වත් සොයාගන්න පුළුවන්නං ඔහු තමාටම කියා ගත්තේය.

යා බද හොරණ ඩි‍පෝවේ අතහැර දමා ඇති බස් රථ තිබුණද ඒවා ආවාට ගියාට ලබා ගත නොහැක. ඊට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවසරය ගත යුතු විය. එවකට ප්‍රවාහන ඇමැතිවරයා වූයේද අසල්වැසියෙකි. හේ කුමාර වෙල්ගමය. ගුරුගොඩ කනිෂ්ඨයේ ලොකු සර් ඊට පසුදා පානු පැයේම ගොස් ප්‍රවාහන ඇමැති මුණ ගැසෙන්නේය. අනතුරුව ඔහුව ලංගමයේ තවත් වගකිව යුත්තෙක් වෙත යොමු කරවන්නේය. කෙසේ හෝ දෙතුන් දිනක වෙහෙසකර ක්‍රියාදාමයකින් පසු ධාවනයෙන් ඉවත් කළ දොර දෙකේ ‍ලේලන්ඩ් බස් රථයක් ලබා ගන්නට විදුහල්පතිවරයා සමත් වන්නේය.

විදුහලට ගෙන ආ බසයළමා මනසට ගෝචර ලෙස පින්තාරු කොට, මහගම සේකර, එදිරිවීර සරච්චන්ද්‍ර ආදී මහා කලාකරුවන්ගේ සිතුවමින් අලංකාර කර පන්ති දෙකක් නිර්මාණය කර ගන්නට හැකි විය. දැන් ගුරුගොඩ ඉස්කෝ‍ලේ බස් පන්තියක්ද ඇත්තේය. එහි පිටුපස වීදුරුවේ මෙසේ ලියා ඇත්තේය.
මේ බස් රථය නවත්වනු ලබන්නේ, විශ්වවිද්‍යාල, අධ්‍යාපන විද්‍යාපීඨ, නීති විද්‍යාලය, කාර්මික විද්‍යාලය, බහු තාක්ෂණික ආයතන, උසස් අධ්‍යාපන අසල පමණි. බසයට ගොඩ වන කිසිම කෙනෙකුට අතරමගදී බැස යෑමට කිසිම අවකාශයක් නැත. බොහෝ පාසල්වල ලොකුවට ප්‍රදර්ශනය කරන දැක්ම සහ මෙහෙවර ප්‍රකාශන කුඩා දරුවන්ට එතරම් ගෝචර නැත. ‍පොඩි එවුන්ට ඒවා අල්ලලා යන්නේද නැත. එහෙත් අජිත් සර් පැරණි බස් රථයේ පිටුපස වීදුරුවේ සඳහන් කළ පෙරකී පාඨය නම් ‍පොඩිවුන් මතු නොව දෙමව්පියන්ටද කදිම උත්තේජනයකි.

බස් පන්තිය ලැබි කෙටි කලකින් අජිත් සර් ශ්‍රී ලංකා ප්ලෑන් ආයතනය මගින් පාසලට ගොඩනැගිල්ලක් ඇතුළු භෞතික පහසුකම් රැසක්ම ලබා ගත්තේය. ඒවා අතර ඇතැම් ඒවා වැඩිහිටියන් වූ අපටද පාසල් යන්නට හිතෙන තරම්ය. බොහෝ පාසල්වල ගුවන් විදුලි සමාජ මෙන්ම තාවකාලිකව පවත්වාගෙන යන ගුවන් විදුලි සේවාද ඇත්තේය. එහෙත් ගුරුගොඩ කනිෂ්ඨයේ රූපවාහිනී සේවයක්ද ඇත්තේය. එම නාලිකාව නම් කර ඇත්තේ ගුරුගොඩ ටී.වී. නමිනි. එය පාසල මෙන්ම හරි පුදුම රූපවාහිනී සේවයකි. එහි ඇති දැවැන්ත රූපවාහිනිය අමුතුම එකකි. එහි වැඩසටහන් ඉදිරිපත් කරන්නෝ රූපවාහිනිය තුළට ගොස් රඟති, ගයති, වයති, ඊට හේතුව රූපවාහිනිය දැවැන්ත කොන්ක්‍රීට් නිර්මාණයක් වීමය.

පාස‍ලේ එළිමහන් පුස්තකාලයද හරි අමුතුය. එහි ‍පොත් රාක්ක වෙනුවට ඇත්තේ ‍පොත් කූඩය. ඒවා සියල්ල ගස් දෙකක් අතර බැඳි ලීයක එල්ලා ඇත. ඒ අවට ඇති විසල් තුරු සෙවණේ තබා ඇති ඉබිකටු සදිසි ගල්ගෙඩිවල වාඩි වී ළමෝ පත‍පොත කියවති. ඒ අපූරු පුස්තකාලය ඉදිරිපස ඇත්තේ වැඩ බැංකුවයි. රැළි සහිත රවුමක් ආකාරයෙන් ගොඩනගා ඇති වැඩ බැංකුව ළමුන්ට කෙම්බිමකි.
ලංකාවේ තරගකාරී ප්‍රාථමික අධ්‍යාපනයට කේන්ද්‍රගතව ඇත්තේ තරග විභාග වුවද සැබැවින්ම එය සැකසිය යුත්තේ සෞන්දර්ය සහ ක්‍රීඩාව වැනි ළමා මිතුරු ක්‍රියාකාරකම් මුල් කරගෙනය. ගුරුගොඩ කනිෂ්ඨය ඊට අපූරු පිළියමක් යොදා ඇත. එහි දරුවන්ට නිදහසේ රඟන්නට වේදිකාවක් ඉදිව ඇත්තේය. එය නම්කර ඇත්තේ රැඟුම් කමත යනුවෙනි. සැබැවින්ම එය සුදුසුම නම් තැබිමකි. ඊට හේතුව අතීතයේ ගම්මැදිවල කොලු කෙල්ලන්ට කෙළිසෙල්ලම් කරන්නත් නටන්නත් ගයන්නත් තිබූ සුදුසුම වේදිකාව කමත වූ බැවිනි.

ලංකාවේ සියලුම පාසල්වල පාහේ ඇත්තේ ළමුන් සිටින පන්තියට ගුරුවරයා පැමිණීමේ න්‍යායය. ඒ අනුව ළමුන් දවසපුරා එක්ව පන්තියේ ඉඳගෙන සිටිය යුතුය. නමුත් ගුරුගොඩ කනිෂ්ඨයේ ඊට ඉඳුරාම වෙනස්ය. 6 වසරෙන් ඉහළ දරුවන්ට ඇත්තේ ඉගැන්වුම් ඒකකය. ගුරුවරයා සිටින්නේ එහිය. එහි ඉගැන්වීමට අදාළ සියලු උපකරණ පිළිවෙළට තබා ඇත්තේය. දරුවන් එහි ගියපසු ගුරුවරයා නිදහසේ ඉගැන්වීම සිදු කරයි. ගණිතාගාරයේ ගණිතය හදාරන සිසුවෝ ඊළඟ විෂය සිංහල නම් භාෂාගාරය වෙත යන්නෝය. අනතුරුව ඇත්තේ විද්‍යාව නම් ඔවුහු සියලු දෙනා ලහිලහියේ විද්‍යාගාර වෙත යති.

මෙම පාස‍ලේ ඇති තවත් අපූරු ලක්ෂණයක් ලෙස කප්රුක දොරටුව දැක්විය හැක. එය විවර කරගත හැක්කේ සිසු සිසුවියෝ කරනා යහපත් ක්‍රියාවන් අනුවය. 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පසිඳු රශ්මිකට කප්රුක් දොරටුව විවරකරගත හැකිවූයේ ඔහු පාස‍ලේ බෞද්ධ කොඩිය හා ජාතික කොඩිය නිවසට ගෙන ගොස් සෝදා පිරිසිදු කොට නැවත රැගෙන ඒම වෙනුවෙනි. මේ ක්‍රියාව අගයමින් පන්තිභාර ගුරුතුමිය තැබූ සටහන රැගෙන ගොස් කප්රුක් දොරටුව විවර කර පසිඳුට හිමි ත්‍යාගය ලබාගත හැකි විය. පාස‍ලේ බුදුගෙය සහ බෝධි මලුවේද අපූර්වත්වයක් ඇත. ඒ දෙකම පාසල සහ ගම්මානයේ ඇත්තන් හවු‍ලේ භාවිත කිරීමය.

විදුහ‍ලේ පන්ති කාමරද එලෙසින්ම අපූරුය. එක පන්ති කාමරයක සිවිලිමේ රාත්‍රී අහස සහ දහවල් අහස අපූරුවට සිතුවම් කර ඇත්තේ දරුවන්ට විෂය නිර්දේශයේ එන කරුණුවලට අනුවය. ගුරුගොඩ කනිෂ්ඨයේ මේ මොන දේ තිබුණද එහි එක දෙයක් නැත්තේය. ඒ ගේට්ටුවකි. ගේට්ටුවක් අවශ්‍ය නැත්තේ ගමේ පාසල ගමේ පන්සල මෙන්ම ‍පොදු ස්ථානයක් බැවිනි.
මේ වන විට ගුරුගොඩ කනිෂ්ඨයේ පළවෙනි වසරට කැඳවාගත හැකි මුළු පිරිසට වඩා ඉල්ලුම්පත් ලැබි ඇත්තේය. ඒ අනුව ලබන වසර සඳහා සම්මුඛ පරීක්ෂණයක් පවා පවත්වනු අත. එහෙත් ඒ සම්මුඛ පරීක්ෂණයට නායකත්වය දෙන්නේ අප මෙතුවක් කතාබහ කළ විදුහල්පති අජිත් ප්‍රේමකුමාර නොවේ. ඊට හේතුව ඔහු මීට දෙසතියකට පෙර ස්ථාන මාරුවක් ලබා වෙනත් පාසලකට ගිය බැවිනි. ඒ අනුව මෙවර සම්මුඛ පරීක්ෂණය නව විදුහල්පති සජින්ද්‍ර ඉන්දික පවත්වනු ඇත. එහෙත් ඒ පිළිබඳ වඩාත් සතුටු වනුයේ හිටපු විදුහල්පති අජිත් ප්‍රේමකුමාරය.

– අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button