පළකල දිනය : Tue, Oct 2nd, 2018

සනත්ට හදිසි හෘද සැත්කමක් !

දෛවය කියන්නේ හරිම පුදුමාකාර බලවේගයක්. දෛවය අපි හැමෝගේම ජීවිතවලට සතුට වගේම කඳුළත් එකතු කරන්නේ පුදුමාකාර විදියට. සිනමාකරුවන් වගේම සම්මානනීය චරිතාංග රංගන ශිල්පියෙකු විදියට සිංහල සිනමාව ‍පෝෂණය කරන්න අනුපමේය සේවයක් ඉටු කළ ප්‍රවීණ නළු සනත් ගුණතිලකගේ රංගන දිවිය අළලා මාධ්‍යවේදිනී හේමාලි විජේරත්න ලියූ “ලාංකේය මහා නළු පරපුරේ අවසන් සුපිරි තරුව“ නමැති ග්‍රන්ථය එළි දැක්වීමේ උළෙල යෙදී තිබුණේ පසුගිය 21 වැනිදාටයි. සැලසුම් කර තිබූ පරිදි උත්සවය එදින පැවැත්වුණත් ඒ අවස්ථාවේ සනත් ගුණතිලක එතැන සිටියේ නැහැ. ඒ වෙද්දී සනත් හිටියේ නවලෝක රෝහ‍ලේ.

“සනත් හදිසියේ අසනීප වෙලා. 20 වැනිදා එයාට බරපතළ හදවත් සැත්කමක් කරලා..”

මේ කියන ආරංචිය ඒ වනවිටත් කලාලොව තුළ පැතිර ගිහින් තිබුණු හින්දා ඒ මොහොත වනවිටත් සනත් උත්සවයට නොපැමිණීමට හේතුව බොහෝ අය දැන සිටියා. සනත් ගුණතිලක කියන්නේ වේලාවට වැඩකරන අයෙක් බව කලාලොවේ හැමෝම දන්නවා. ඒ වගේම ඔහු තමන් කරන කවර කටයුත්තක් වුවත් නිසි පිළිවෙළට කරන අයෙක්.

“මට අසනීපයි කියලා උත්සවය කැන්සල් කරන්න එහෙම එපා. නියම වෙලාවට. යොදා ගත්තු විදියට වැඩේ කරන්න…”

සනත් කතුවරියට එහෙම දන්වලා තියෙනවා. ඒ අනුව තමයි උත්සවය නියම වේලාවට. යොදාගත්තු ආකාරයටම පැවැත්වුණේ. අදාළ අවස්ථාවේ ‍පොත මුල්වරට පිරිනැමුණේ ප්‍රේම් දිසානායකටයි.

සනත්ගේ අසනීප තත්ත්වය ගැන දැනගත්තු හැටියේම ඒ ගැන තොරතුරු හොයලා බැලුවත් ඒ වෙද්දී ඔහු හිටියේ මාධ්‍යය අමතන්න පුළුවන් මට්ටමක නොවෙයි. ඒ නිසා පසුගිය දවසක අපි නැවතත් සනත්ට කතා කළේ ඇති වූ තත්ත්වය ගැන විමසන්න වගේම ඔහුගේ සැපදුක් අහන්නයි.

“දොස්තරලා උපදෙස් දීලා තියෙන්නේ සර්ට විවේක ගන්න කියලා. ඒ හින්දා මේ වෙලාවේ කතා කරන්න අපහසුයි“.

සනත්ගේ උපස්ථායක ඒ විදිහට අපට පැවැසුවා. සනත් ගුණතිලක කියන්නේ හැමදාම මාධ්‍යයත් එක්ක සුහදව ගනුදෙනු කළ කලාකරුවෙක්. දුරකථන ඇමැතුම මගෙන් බව දැනගත්තු සනත් උපස්ථායකට පැවැසුවේ වැඩිදුර තොරතුරු ඔහු පිළිබඳ ග්‍රන්ථය ලියූ ‍ලේඛිකා හේමාලි විජේරත්නගෙන් දැනගන්නා ලෙසටයි. ඒ අනුවයි අපි සනත්ගේ රෝගී තත්ත්වයේ සුලමුල දැනගත්තේ.

“සනත් පසුගිය දිනවල සූදානමින් හිටියේ ඔහුගේ අලුත්ම චිත්‍රපටයේ කටයුතු සිදු කරන්නයි. එහි තිර රචනය වගේම අධ්‍යක්ෂණයත් සනත් ගුණතිලක විසිනුයි සිදුකරනු ලබන්නේ. ඔය අතරේ තමයි සනත් හදිසියේම පසුගිය 19 වැනිදා රෝහල්ගත වී තිබෙන්නේ. ඊට හේතුව හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් නමෛයි. තමන්ගේ සෞඛ්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා සුපුරුදු පරිදි රෝහලට ගිය අවස්ථාවක තමයි වෛද්‍ය නිගමනය අනුව රෝහල්ගත වෙලා අදාළ සැත්කම සිදුකරගෙන තියෙන්නේ.

මේ වනවිට සාර්ථක ලෙස සැත්කමට මුහුණ දීලා සනත් ගුණතිලක විවේකී සුවයෙන් පසුවෙනවා. එය ඔහුගේ රසික හිතවතුන්ට බොහෝම සතුටුදායක ආරංචියක් බව අපි දන්නවා.

ඒ වගේම සුවවෙලා ඇවිත් ඔහු තමන්ගේ නවතම චිත්‍රපටයේ කටයුතු ආරම්භ කරන්න සූදානමින් සිටින බවත් මේ මොහොතේ අපි සනත්ගේ රසික පිරිසට කියන්නේ ඉතා සතුටින්. ඉක්මනින් සුවවෙලා යළිත් සුපුරුදු කලා කටයුතුවලට එක්වීමට සනත් ගුණතිලකට ශක්තිය හා වාසනාව උදාවේවා කියලා “රිද්ම” තුළින් අපි ප්‍රාර්ථනා කරනවා.

– ආරියවංශ කුලතිලක

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button