පළකල දිනය : Sun, Oct 7th, 2018

“මම ශිෂ්‍යත්වය අසමත් දරුවෙක්. දැන් මම රෝගීන්ට සේවය කරනවා”

පළමු පසුබෑම මගේ ජයග්‍රහණයට මඟ පෑදුවා..අපේ ජීවිතවල මේ මේ තැන්වලට එනවා කියලා ඉලක්ක තිබුණෙත් නැහැ.

මම ශිෂ්‍යත්වය අසමත් දරුවෙක්. සාමාන්‍ය පෙළ විභාගයෙනුත් මට විශිෂ්ට සාමාර්ථ තිබුණේ නැහැ.

මං මගේ අම්මව නිතර මහනුවර රෝහලට එක්ක එනවා. මං රෝගීන්ට සේවය කරන හැටි දකින අම්මා හරිම සතුටට පත් වෙනවා.

වෛද්‍ය පීඨයට ගිහින් සායනික පුහුණුවේ යෙදිලා හවසට කොටුපවුරට වෙලා යාළුවොත් එක්ක ක්‍රිකට් ගහනවා.

ඉතාම නොබෝ දිනකදී මහනුවර රෝහලේ පෙණහලු බද්ධ කිරීමේ සැත්කම් පටන් ගන්නවා.

මෙරට ප්‍රථම හදවත් බද්ධයට මුල පිරූ විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම.

*****************************

ලොව පළමු හදවත් බද්ධය සිදු වන්නේ, මීට දශක පහකට පමණ ඉහතදී ය. ඒ 1967 වසරේ දකුණු අප්‍රිකාවේදී ය. එය සිදු වී දශක පහකට ආසන්න කාලයක් ගෙවී ගොස් තාක්ෂණික විද්‍යාත්මක පහසුකම් අතින් ලංකාව කොපමණ දියුණු වුවද ඔහු නොවන්නට තවමත් අප රටේ හදවත් බද්ධයක් සිදු නොවන්නට ඉඩ තිබුණි. වෘත්තියෙන් වෛද්‍යවර‍යකු වුවද ඉතාම සරල චාම් දිවිපෙවෙතක් ගත කරන, හදවත් බද්ධය මෙරටට ගෙන එන්නට මහත් මෙහෙයක් සිදු කළ හෘදය හා උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රමයන් පිළිබඳ කතා කළම යුතු යුගයකි මේ. මන්ද ඔහුගේ සරල දිවි පැවැත්ම අප දිවියට ද වටිනාකම් රැසක් එක් කරන බැවිනි.

මුලින්ම ඔබ ගැන හඳුනා ගන්නට කැමැතියි?

මම වෛද්‍ය අනිල් අබේවික්‍රම. මගේ කුඩා ම කාලෙ ගෙවී ගියේ මොරවක අලපලාදෙනිය කියන සුන්දර ගම්මානයේ. එහෙ තමයි අපි පදිංචිව හිටියේ. පළමුවන ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තේ අලපලාදෙනිය මධ්‍ය මහා විද්‍යාලයෙන්. ඉන්පසුව දෙවැනි පන්තියේ සිට පාසල් ගියේ ගාල්ල මහින්ද විද්‍යාලයට. මම ශිෂ්‍යත්වය අසමත් දරුවෙක්. සාමාන්‍ය පෙළ විභාගයෙනුත් මට විශිෂ්ට සාමාර්ථ තිබුණේ නැහැ. උසස් පෙළ සඳහා මම තෝරා ගත්තේ විද්‍යා විෂයන්. විද්‍යාවට මට තිබුණේ සාමාන්‍ය සාමාර්ථයක්. නමුත් ගණිතයට සම්මාන තිබුණා. විදුහල්පතිතුමාගේ විශේෂ අවසරය මත, ඊළඟ විභාගයෙන් විද්‍යාවට විශිෂ්ට සම්මාන සාමාර්ථයක් ලබාදෙන පොරොන්දුව පිට මම විද්‍යාව තෝරා ගත්තා. ඒ තෝරා ගැනීම සිදු වුණෙත් මගේ මිතුරන් විද්‍යාව හදාරන්නට පටන්ගත් නිසයි. ඒ ඇරෙන්න විද්‍යාව හදාරන්න විශේෂ කැමැත්තක් තිබුණෙ නැහැ. අපේ ජීවිතවල මේ මේ තැන්වලට එනවා කියලා ඉලක්ක තිබුණෙත් නැහැ.

ඔබේ මවුපියන් ගැනත් කතා කරමු?

මගේ අම්මා ගුරුවරියක්. තාත්තා සමූපකාර දිස්ත්‍රික් නිලධාරීවරයෙක්. මට නිවුන් සහෝදරයෙකුත්, සහෝදරියන් දෙදෙනකුත් ඉන්නවා. අයියා ඇමෙරිකාවේ භෞතික විද්‍යා පශ්චාත් උපාධිධරයෙක් එහි රැකියාව කරනවා. නංගී ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක ලෙස සේවය කරනවා. අක්කා මේ වන විට ස්වාධීන රූපවාහිනී ආයතනයේ සේවය කරනවා. මං මගේ අම්මව නිතර මහනුවර රෝහලට එක්ක එනවා. මං රෝගීන්ට සේවය කරන හැටි දකින අම්මා හරිම සතුටට පත් වෙනවා.

ඔබේ ළමා විය ගෙවුණු අන්දම ගැන කතා කරමුද?

මම පුංචි කාලෙ ඉඳන් ම ඉගෙනීමට වඩාත් දක්ෂතාවය දැක්වූ දරුවෙක් නෙවෙයි. සාමාන්‍ය පෙළ, උසස් පෙළ කරන අවදියේ සිට වගේ ම රුහුණු වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුවෙක් ලෙස අධ්‍යාපනය හදාරන අවදියේත් මගේ අධ්‍යාපනයට වඩා වැඩි නැඹුරුවක් තිබුණේ සෙල්ලම් කරන්න ක්‍රිකට් ගහන්න තමයි. ඒ කාලෙ අද වගේ නෙවෙයි. අපේ ජීවිත හරි සැහැල්ලුයි. රේස් එකක් අධ්‍යාපනය වෙනුවෙන් තිබුණෙ නැහැ. අපේ ගෙදර තියෙන්නේ ගාල්ල කොටුවෙ. මේ කොටු පවුර උඩට හවස් වෙන‍කොට යාළුවො ටික එකතු වෙනවා. ඇති වෙනකම් ම රෑ බෝවෙනතුරුම ක්‍රිකට් ගහනවා. මොකද ගාල්ලෙ ඉන්න වගේම විවිධ ජනතාව මෙතැනට එනවා. සෙල්ලම් කරනවා. ඉතින් ගෙදරින් අම්මා හැම තිස්සෙම පාඩම් කරන්න උනන්දු කරවනවා. සෙල්ලම් කරමින් තමයි අධ්‍යාපන කටයුතුත් කරගෙන ගියේ. මම පළමු වරට උසස් පෙළ විභාගය ලිව්වා ම මට ලැබුණේ සාමාන්‍ය සාමාර්ථ හතරක්. දෙවන වරත් උසස් පෙළ ලිව්වා. ඒ ගමන සාමාන්‍ය සාමාර්ථ තුනක් විතරයි ලැබුණ්. භෞතික විද්‍යාව ෆේල් වුණා.‍

ඔබට මොකද හිතුණේ?

ඒත් ඒ ගැන ගාණක් තිබුණෙ නැහැ. මේ අතර මගෙ යාළුවො බහුතරයක් විශ්වවිද්‍යාලයට තේරිලා. මගේ අම්මයි තාත්තයි නිතර මා දිරිමත් කළා. “ඔයා නැවත විභාගය ලියන්න. ඔයාට පුළුවන් පුතා” කියන වචන මට නිතර ඇහුණා. ඒ වෙනකොට මං ළඟ මගේ විද්‍යා සටහන් මොනවත් ම නැහැ. ‘බයෝ’ හදාරමින් සිටි මගේ නංගිගේ සටහන් පොත් කියවා මේ පාර නම් විභාගය සමත් වෙනවා කියන අධිෂ්ඨානයෙන් පාඩම් කර උසස් පෙළ ලිව්වා. සෙල්ලම් ජීවිතයෙන් අත් මිදිලා හිත එක අරමුණකට අරගෙන විභාගයට සැලැස්මක් සහිතව සූදානම් වෙලා හොඳින් මුහුණ දුන්නා. විශිෂ්ට සාමාර්ථ දෙකකුත් බී සාමාර්ථ දෙකකුත් ඇතිව සමත් වී විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා.

පරාජය ඔබේ දිවිය ජය මාවතට ගෙන ආවා?

ඔව්. මා ලැබූ පරාජයත් එක්ක තමයි මගේ අනාගතය මම ජය ලැබුවේ. පාඩම් නොකර සෙල්ලමට වැඩිපුර සිත යොමු කළ නිසා මට පසුකලෙක තේරුණා යාළුවොත් නැහැ යන්න එන්න තැනකුත් නැහැ. අම්මයි තාත්තයි තමයි මා දිරිමත් කරමින් මා ළඟ හිටියේ.

විභාග ජීවිතයට අමාරු ද?

අමාරු දෙයක් නෙමෙයි කිසිසේත් ම. එයට ඉලක්කයක් ඇතිව අනුගත වුණාම පහසුවෙන් ජය ගන්න පුළුවන්. එය මම අත්දැකීමෙන් දන්නවා.

වෛද්‍ය සිස‍ුවෙක් ලෙස ඔබ ගෙවූ දිවිය?

ඉතාම තෘප්තිමත්. සාමාන්‍ය පෙළ, උසස් පෙළ සමයේ සිටි කෙළිලොල් කොලු පැංචා ආයෙත් ඉස්මතු වුණා. අපේ ගෙදර තිබුණෙ කරාපිටිය වෛද්‍ය පීඨයට කිලෝමීටර් හතරක් පමණ දුරින්. මමත් සුපුරුදු විදිහට වෛද්‍ය පීඨයට ගිහින් සායනික පුහුණුවේ යෙදිලා හවසට කොටුපවුරට වෙලා යාළුවොත් එක්ක ක්‍රිකට් ගහනවා. හුඟක් වේලාවට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයන් කළේ පාඩම් කරන එකනෙ. මම එහෙම නැහැ. මම ටිකක් පාඩම් කරනවා. වැඩිපුර ක්‍රිකට් ගහනවා. මොනවා කළත් විභාගය ළං වෙන කොට හොඳින් පාඩම් කරනවා. හිතට අරගෙන ඒ වෙනුවෙන් කැපවී පාඩම් කරනවා. මේ නිසා විභාග සියල්ල හොඳින් සමත් වෙනවා. විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙනකොට මට පන්ති සාමාර්ථ තිබුණෙ නැහැ.

ඔබ වෛද්‍යවරයෙකු ලෙස පත්වීම ලබන්නේ?

සීමාවාසික පුහුණුව ලබන්නේ පළමු වරට රිජ්වේ ආර්යා ළමා රෝහලේ මහාචාර්ය ඒකකයේ. ඉන්පසුව, දෙවන පුහුණුව කාසල් රෝහලේ දී ලබනවා. ඉන්පසුව අනුරාධපුරේ මහ රෝහලට අනුයුක්ත වෙනවා. ඒ ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයකු යටතේ සේවය කිරීම උදෙසා.

ඒ කාලෙ ඔබට කොහොමද දැනුණේ?

එතකොට ලංකාවේ දරුණු ලෙස යුද්ධය පැතිරී යන සමය. හුඟක් වෙලාවට වෛද්‍ය ශිෂ්‍යයන් ශල්‍ය වෛද්‍ය අංශය තෝරා ගන්නේ, එයින් පශ්චාත් උපාධිය කරන්න බලාගෙන. නමුත් මම එහෙම නැහැ. මට වැඩ කරන්න ලැබුණේ එවකට අනුරාධපුර රෝහලේ සිටි ජ්‍යෙෂ්ඨ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා වූ පී.කේ. හරිශ්චන්ද්‍ර වෛද්‍යවරයා සමඟයි. මට ආසාව තිබුණේ ශල්‍ය වෛද්‍ය අංශයේ වැඩ කරන්නයි. ඒ ආශාව නිසා ම මම ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නාරි වෛද්‍ය අංශයට අයදුම්පත් යොමු කරනවා. එයට මම ‍තෝරා ගන්නවා. නමුත් මම එයට ගියේ නැහැ. අනුරාධපුරයේ ම ඉන්න තීරණය කළා.

ඒ වෙනකොට යුද හමුදවේ ජයසිකුරු මෙහෙයුම ක්‍රියාත්මක වෙන අවදිය. යුද්ධය නිසා තුවාල ලැබූ සොල්දාදුවෝ දවසකට සීයක් දෙසීයක් අනුරාධපුර රෝහලට එවනවා. මට හිත දුන්නේ නැහැ ඔවුන් දමා යන්නට. සමහර දවසට පැය හැත්තෑ දෙකක් පමණ (දින තුනක් පමණ) එක දිගට නිදි නොලබා තුවාල ලද සොල්දාදුවන්ට ඔපරේෂන් කරන්න වුණා. ඔවුනට ජීවිතය දෙමින් ඔවුන් සුවපත් කරමින් එයින් අපි පුදුමාකාර මානසික සතුටක් ලැබුවා. එනිසා සොල්දාදුවන් වෙනුවෙන් ම ඔවුනට සේවයකරමින් රටට දැයට සේවයක් කරන්නට ලොකු ආසාවක් ඇති වුණා. හමුදා සෙබළුන්ගේ ජීවිත බේරා ගැනීමේ සටනක අපි ඒ කාලයේ නිරත වුණා. මේ නිසා තියටර් එකේම තමයි කාලය ගත වුණේ. ඔපරේෂන්වලට අත ඉතාම හොඳට හුරු වුණා.

මේ අතර ජයසිකුරු මෙහෙයුම නිමාවට පත්වුණා. පී‍. කේ. හරිශ්චන්ද්‍ර වෛද්‍යතුමා මහනුවර රෝහලේ වකුගඩු හා අක්මා බද්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා ලෙස පත්ව යනවා. ඔහු මට නිතරම කිවූ දෙයක් තමයි ශල්‍ය වෛද්‍ය අංශයෙන් පශ්චාත් උපාධිය කරන්න කියලා. ඉන්පසුව මට 2002 දි කොළඹ මහ රෝහලට පත්වීමක් ලැබෙනවා. එහිදී සේවය කරන්න සිදුවන්නේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් යටතේ. මේ අතර මම ඇමෙරිකාවට යන්න අදහස් කරනවා. මොකද මගේ සහෝදරයන් එහේ සිටිය නිසා.

ඒ අතර මම ඇමෙරිකාවේ USMLE විභාගයට පෙනී සිටීමට ලියාපදිංචි වෙනවා. මේ අතරම ලංකාවේ ශල්‍ය වෛද්‍ය පශ්චාත් උපාධියට මම ලියනවා. සමත් වෙනවා. ඇමෙරිකා යන අදහස අත්හැර දමනවා. එම්. එම්. ජනප්‍රිය විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා යටතේ තවදුරටත් පුහුණු වෙලා දෙවන විභාගය සමත් වුණාට පසුව මම ‍තෝරා ගන්නවා හෘදය හා උරස් ශල්‍ය වෛද්‍ය අංශය. එහිදී උරස් හා හෘදය විශේෂඥ ශල්‍ය වෛද්‍ය පී. එස්. රාජපක්ෂ යටතේ සේවය කරනවා. එහි පුහුණුව ලබලා මම එංගලන්තයේ වෛද්‍යවරයකු ලෙස සේවය කරන්න ඕන විභාගය සමත් වෙනවා. ඉන්පසු එංගලන්තයට යනවා. ඒ එහි තිබෙන ‘Liverpool Heart & Chest’ රෝහලට.

එහිදී ඔබට ලැබුණු අත්දැකීම් මොනවාද?

එම රෝහලේ දී මට සිදුකරන්නට වුණේ මුලින් ම මහා ධමනියේ ශල්‍යකර්ම. ඒ හෘදය රෝග හා ශල්‍ය වෛද්‍ය අංශයේ සේවය කරමින්. එය එංගලන්තයේ තිබෙන ප්‍රධාන රෝහලක්. එරට තිබෙන ප්‍රධාන පෙළේ රෝහල්වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරු එහි සේවය කළා. මේ අතර වාරයේ මම එරටේ ම New castle freeman රෝහලෙත් වැඩ කරනවා. එය හෘද හා පෙණහලු බද්ධ කිරීමේ රෝහලක්. වැඩිම හෘදය හා පෙණහළු බද්ධ කිරීමක් සිදු වන්නේ එම රෝහලේ ම යි. මම හැම සති අන්තයකම ඒ රෝහලේ සේවය කරන්නට එක්කාසු වෙනවා. පසුව මම එතැනම ස්ථිර ලෙස සේවය කරන්නට පටන් ගත්තා.

එංගලන්තෙ තිබෙනවා ලෝක හෘදය හා පෙණහලු බද්ධ කිරීමේ ජාත්‍යන්තර ආයතනය (I S H L T) දැනට එහි සභාපති ලෙස සේවය කරන්නේ ලෝක පූජිත හෘද හා පෙණහලු බද්ධ කිරීමේ වෛද්‍ය මහාචාර්ය ස්ටීව් ක්ලාක්. ඔහු මාව සම්මුඛ පරීක්ෂණයට භාජනය කරමින් ඇසුවේ මොකටද ඔබ මේ පිළිබඳ හදාරන්නෙ කියලයි.

ඉතින් ඔබේ පිළිතුර වුණේ?

මම කිව්වේ ජාත්‍යන්තරව සිදුවන මේ කර්තව්‍යය මම ලංකාවේදී ලංකාවේ ජනතාව වෙනුවෙන් දියත් කරන්න කැමැතියි කියලයි. ඒ අනුව හෘදය හා පෙණහළු බද්ධ කිරීමේ ඒ ජාත්‍යන්තර ආයතනයේ වසර දෙකක කාලයක් මම හැම අංශයක ම වැඩ කරමින් ඉගෙන ගත්තා. හෘදය හා පෙණහලු බද්ධ කිරීමට ලොකු කණ්ඩායමක් අවශ්‍යයි. ඒ සඳහා තනි වෛද්‍යවරයකුට මනා පුහුණුවක් තිබිය යුතුයි. ලංකාවෙන් හිටියේ මම පමණක් නිසා හැම අංශයක ම දැන ගැන්ම වැදගත් වුණා. ඒ අනුව ඒ ඒ අංශවල ප්‍රධානීන් සමඟ සාකච්ඡා කරලා සැලසුම් සකස් කරගෙන සියල්ල ඉගෙන ගෙන ලංකාවට එන්නට මට අවකාශ ලැබුණා.

හෘදය වස්තුවක් බද්ධ කිරීම ලෙහෙසි පහසු දෙයක් ද?

මෙහෙමයි. හෘදය වස්තුවක් බද්ධ කරත් දී පැය තුනක් ඇතුළත බද්ධ කර අවසන් කළ යුතු වෙනවා. එහිදී ගුවන් මඟින් තමයි හෘදයක් සහ පෙණහලු අරන් එන්නේ. එක මිනිත්තුවක්වත් තත්පරයක්වත් අපතේ යවන්නේ නැහැ.

ඔබ ඒ රෝහලේ කටයුතු කළේ කොහොමද?

එක සතියකට හෘදය වස්තු මොළය මිය ගිය රෝගීන්ගෙන් ගලවා ගැනීමත්, අනෙක් සතියේ හෘද වස්තු බද්ධ කිරීමත් මම මාරුවෙන් මාරුවට සිදුකළා. ඒ පුහුණුව ලැබීම අනිවාර්යයෙන් ම ලංකාවට පැමිණ මේ කටයුතු සිදු කිරීමට විශාල පහසුවක් වුණා.

හෘදය වස්තුවක් බද්ධ කළ යුතු ම වන්නේ කුමන වර්ගයේ ලෙඩුනට ද?

සාමාන්‍යයෙන් හෘද රෝගියකුගේ එකෝ පරීක්ෂණයකින් පසුව E / f අගය සියයට විස්සට වඩා අඩු වුණා ම ඒ රෝගියාගේ ආයු කාලය ඉදිරියට වසරක් වගේ තමයි තිබෙන්නේ. එම රෝගියාට මරණය නිශ්චිතයි. ඒ නිසා රෝගියාට කළ යුතු එකම ප්‍රතිකර්මය තමයි හෘදය වස්තුවක් බද්ධ කරන එක.

ලංකාවේදී හෘදය වස්තු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සිදුකිරීම ඔබට පහසු වුණාද?

ඇත්තට ම එංගලන්තයේ මා සමඟ සේවය කළ වෛද්‍යවරුනගේ මතය වුණේ ලංකාවෙදි මේ කටයුතු පටන් ගන්න ඔවුන් පූර්ණ සහයෝගය ලබා දෙන්නම් කියන එකයි. ඒ වගේ ම ඔවුන් ඒ නොමසුරු ස‍හයෝගය ලබා දුන්නා. මම ලංකාවට ඇවිත් ඒ සඳහා අවශ්‍ය නීතිමය රාමුව, සදාචාරාත්මක හා සෞඛ්‍යමය අවශ්‍යතා සූදානම් කළා. ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා වගේම නීතිපතිතුමා විශාල සහයෝගයක් ලබා දුන්නා. ඉන්පසුව මගේ සහෝදර වෛද්‍යවරුන් බොහෝ දෙනෙක් මේ කාර්යය සාර්ථක කර ගන්නට විශාල සහයෝගයක් ලබා දුන්නා. සාකච්ඡා වට ගණනාවක් පවත්වා ‍හෘදය වස්තු බද්ධ කිරීමට අවශ්‍ය සියල්ල සම්පාදනය කරගෙන තමයි මේ කාර්යය සාර්ථක කර ගත්තේ.

එංගලන්තයේ ගෙවුණු ජීවිතය ඔබට දැනුණේ කොහොමද?

එහෙ හරිම සරල ජීවිතයක් තමයි ගෙන ගියේ. මා සමඟ වැඩ කළ වෛද්‍යවරු පවා ඉතාම සරලයි. ඔවුන් සේවයට එන්නේ ෆුට් සයිකලය පැදගෙන. හරිම මානුෂික සේවාවක් ඔවුන්ගෙන් සිදු වෙනවා. වාණිජමය පැත්ත ගැන නෙමෙයි ඔවුන් තමාගේ අතින් අනෙක් පුරවැසියනට සිදු කළ යුතු සේවය ගැනයි නිතර හිතන්නේ. හරිම අව්‍යාජව ඔවුන් ඒ දේ කරනවා. මමත් ඒ හොඳ දේ මගේ ජීවිතයට ලබා ගත්තා. මං පාවිච්චි කරන්නේ පරණ වාහනයක්. දවසින් දවස අලුතින් එන වාහන ගන්න මට අවශ්‍ය නෑ. මොකද මගේ වාහනය ගැන මට සතුටුයි.

ඔබ ලක්ෂ 20 ක පමණ වැට­ුපක් අහිමි කරගෙනයි මෙරටට එන්නේ?

වෛද්‍ය වෘත්තිය කියන්නේ ආත්ම ගණනකින් පසුව ලැබෙන උතුම්ම වරමක්. එයින් ලෝකයට සේවයක් කරලා හැමදේම අතහැරලා යන දවසට නමක් තියලා යන්න අවශ්‍යයි. එය අපි කවුරුත් හිතට ගත යුතුයි. ලෙඩෙක් සුවපත් කරලා ඔවුනට අලුත් ජීවිතයක්, අලුත් බලාපොරොත්තුවක් ලබා දීලා අත්කර ගන්න පින තරම් දෙයක් මිහිපිට තිබෙනවා ද?

ඔබ ගෙවන්නේ ඉතාම සරල ජීවිතයක්?

ඇත්තටම. එහෙම වුණාම ජීවත් වෙන්න පහසුයි. ජීවිතේ කිසිම‍ දෙයක් සඟවාගෙන කටයුතු කරන්න අවශ්‍ය නැහැ. එය ජීවිතය ආතතියට පත් කරනවා. මනස සරල වුණාම ජීවිතේ හරිම සැහැල්ලුයි.

අනාගත බලාපොරොත්තු?

ඉතාම නොබෝ දිනකදී මහනුවර රෝහලේ පෙණහලු බද්ධ කිරීමේ සැත්කම් පටන් ගන්නවා. ඒ වෙනුවෙන් තමයි මමත් මගේ සහෝදර වෛද්‍යවරු හැමදෙනාමත් වෙහෙසෙන්නේ.

– තුෂාරි නේරංජා වික්‍රමසිංහ,/ගාමිණී රණසිංහ

  • 4.7K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button