පළකල දිනය : Sun, Oct 7th, 2018

රඟපෑම නිසා පියුමි නිරූපණය අතහැරලාද ?

ලාංකීය රංගන ක්ෂේත‍්‍රය වර්තමානය වන විට රංගන ශිල්පීන්ගෙන් ඉතිරී ගිය එකක් බව හදුනාගත හැකියි. වෙනදා මෙන් රංගනයට ප‍්‍රවේශ වීමට අවහිරතා බාධක නොමැත. ඒ හේතුවෙන්ම ලාංකීය කලා ක්ෂේත‍්‍රයට දිනෙන් දින නවකයන් ප‍්‍රවේශය ලබාගනු දැකගත හැකිය. එයින් බහුතරය දක්ෂයින් වීම සතුටට කාරණාවකි. ඇයත් එවන් දක්ෂ නවක රංගන ශිල්පිණියක්. මේ දිනවල ටෙලිනාට්‍ය දෙකකම ඇයගේ රංගන දක්ෂතාවයන් ඔබට මට දැකගත හැකියි. නිරූපිකාවක් ලෙසින් මුලින් කටයුතු කළත් ඇය දැන් රංගනය තුල වැඩි වශයෙන් කාර්යබහුල වී ඇති බවයි පවසන්නේ. ඇය වෙන කවුරුවත් නෙවෙයි. පියුමි ශ‍්‍රීනායක. මේ දිගහැරෙන්නේ මේ දිනවල ඇගේ වගතුග.

පියුම් මේ දිනවල වැඩි වශයෙන් කාර්යබහුලයි වගේ ?

ඔව්” ටිකක් කාර්යබහුලයි. මේ දවස්වල විකාශනය වන නීල පබළු සහ වෙස් නාට්‍යය දෙකේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම දෙරණ නාළිකාවේ නවතම ටෙලිනාට්‍ය වන රාවණා නාට්‍යයෙත් වැඩ කරගෙන යනවා. ඒ වැඩත් එක්ක තමයි.

ඔබ නිරූපිකාවක්. කොහොමද රංගනයට ප‍්‍රවේශය ලබා ගන්නේ ?

මම නිරූපිකාවක් විදියට තමයි මුලින් කටයුතු කරගෙන යන්නේ. ඊට පස්සේ මම එෆ්. බී. එකෙන් හදුනාගන්නවා සුදාර ද සිල්වා. ඔහු වැඩ කරන්නේ සුසිල නිෂ්පාදන ආයතනයේ. මම ඔහුට කිව්වා රඟපාන්න කැමැතියි” අවස්ථාවක් තිබුණොත් කියන්න කියලා. ඉන් පස්සේ දවසකදී ඔහු මට කතාකරලා කිව්වා අරුමවන්ති කියන නාට්‍යයට සම්මුඛ පරීක්ෂණයට එන්න කියලා. ඒකට ගියාම මම ඒ නාට්‍යයට තෝරාගන්නවා. එහෙම තමයි මට රංගනයට එන්න අවස්ථාව උදාවෙන්නේ.

ඔබ දැන් නිරූපණය අතහැරලාද?

සම්පූර්ණයෙන්ම අතහැරලා නැහැ. වැඩක් ආවොත් භාරගෙන කරනවා. නමුත් දැන් ගොඩක්ම කාර්යබහුලවෙලා ඉන්නේ රංගනය පැත්තෙන් තමයි. රංගනය කරන්න ගත්ත නිසා වෙන වැඩක් කරන්න වෙලාවක් නැති තරම්.

දවසක රංගනය සහ මෝස්තර නිරූපණය දෙකෙන් එකක් විතරක් තෝරගන්න වුණොත් ?

මං ආස රංගනයට නිසා ඒක තෝරාගනීවි.

ඔබේ පවුල ගැන යමක් කිව්වොත් ?

මගේ පවුලෙ ඉන්නේ අම්මා” තාත්තා” මල්ලී” මම සහ මගේ මහත්තයා.

චරිත තෝරගැනීමේදී සැමියාගෙන් යම් යම් සීමාවන් එක්කද ඔබ චරිත තෝරාගන්නේ ?

මට රංගනයෙන් මේ තැනට එන්න ගොඩක්ම අතහිත දෙන්නේ මගේ මහත්තයා. එයා නිසයි මම අද මෙතැන ඉන්නේ. චරිත තෝරාගනිද්දී එයා මට ගොඩක් උපදෙස් දෙනවා. මම නිරූපිකාවක් නිසාම කලින් මට ඒ ගැන සීමා තිබුණේ නැහැ. නමුත් ලංකාවේ සංස්කෘතියත් එක්ක මිනිස්සු අපි ප‍්‍රතිකේෂ්ප නොකරන විදියට දේවල් තෝරගන්න ඔහු මට උදව් උපදෙස් දෙනවා. නම කැත නොකෙරෙන විදියට වැඩ කරගන්නේ කොහොමද කියන එක ඔහු මට හැමවෙලේම කියලා දෙනවා.

කොහොමද මේ දවස්වල වෙස් නාට්‍යයේ ඔබේ චරිතයට තිබෙනෙ ප‍්‍රතිචාර ?

ඇත්තටම ගොඩක් හොඳ ප‍්‍රතිචාර තියෙනවා. ඒක ගොඩක් වෙනස් චරිතයක්. මොකද නීල පබළු එකේ මම කරන්නෙත් සෙකටි‍්‍ර කෙනෙක්ගේ චරිතයක්. වෙස් එකේ කරන්නෙත් සෙකටි‍්‍ර කෙනෙක් ගේ චරිතයක්. නමුත් මේ දෙක වෙනස්ම විදි දෙකකටයි කරන්න ඕනේ. ඒක මට ලොකු අභියෝගයක්. ඒ වගේම මහන්සිවෙන තරමටම ප‍්‍රතිචාර ලැබෙන නිසා ගොඩක්ම සතුටුයි.

නවකයෙක් විදියට ප‍්‍රවීණයන් ගැන මොනවගේ අදහසක්ද තියෙන්නේ ?

ඔවුන්ගෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. මගේ චරිතය ගොඩනැගෙන්න ඕනෑ කොහොමද” අඩුපාඩු මොනවාද කියලා මට පුළුවන් හැමවෙලාවකම ඔවුන් එක්ක කතාකරලා හදාගන්නවා. රාවණා එකේ මම ගොඩක් ප‍්‍රවීණයෝ එක්ක වැඩ කළා. ප‍්‍රවීණයන්ගෙන් අපිට ලොකු සහයක් ලැබෙනවා. අපේ චරිත වලට අවශ්‍ය උපදෙස් ගන්න. මමත් ඔවුන්ගෙන් උපරිම සහයෝගය අරගෙන චරිතයට සාධාරණයක් කරන්න තමයි හැමවෙලාවෙම උත්සාහ කරන්නේ.

ඔබේ ඉදිරි සැලසුම් ?

බලාපොරොත්තුව නම් රංගනයෙන් සාර්ථකව ඉදිරියට යන්න. දක්ෂ රංගන ශිල්පිණියක් වෙන්න අවශ්‍ය හැදෑරීම් කරමින් ඒ අරමුණු ඉටුකරගන්න උත්සාහ කරනවා.

දවසක සැමියා කිව්වොත් රංගනය නතර කරන්න කියලා ?

මට මේ හැමදේකටම වඩා වටිනවා මගේ පවුල් ජීවිතය. ඒ නිසා ඔහු ගේ සතුට වෙනුවෙන් මම ඒ දේ කරනවා. මොකද දවසක මේ හැමදේකින්ම මට ඉතිරිවෙන්නෙ මගේ මහත්තයා විතරයි. ඒ නිසා මම ඔහුගේ සතුට වෙනුවෙන් මම ඒ දේ කරන්න සූදානම්.

සිනමාවට ආරාධනා ලැබුණේ නැද්ද ?

ආරාධනා ලැබුණා. නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඒකෙ රූපගතකිරීම් කල් ගියා. ඉදිරියේදි මාව සිනමාවෙනුත් දැකගන්න පුළුවන්.

– ප‍්‍රසංග මාභරණ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button