පළකල දිනය : Sat, Oct 13th, 2018

“පොලිස් නිලධාරියෙක් ඇතුළෙ සුන්දර මනුස්සයෙක් ඉන්නවා”

රංගන ශිල්පිනී නෙතූ ප‍්‍රියංගිකා ඇයගෙ ජීවිතේ සුවිශේෂී කඩඉමක් පසු කිරීමට සූදානමින් ඉන්න බව ආරංචි වුණා. ඒ ඇයගෙ විවාහය. ඒ නිසාම ඇයගෙ ආදර කතාව ගැන කතා කරන්න ඉඩක් වෙන් කරන්න හිතුවා. මේ ඒ සුන්දර ආදර කතාව.

මම විවාහවෙන්නෙ, මීට අවුරුදු 4කට පෙර මගෙ ජීවිතේට හමුවුණු කෙනෙක් එක්ක. ඔහු නුවන් ජීවන්ත. ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙක් විදියට සේවය කරන්නෙ. නුවන් මට මුණගැහෙන්නෙත් රාජකාරියෙ නිරතවෙලා ඉද්දි තමයි. ඒ මුණගැහීම සිදුවුණේ නුවරදී. හරිම අහඹු සිදුවීමක්.

මගෙ ගම පුස්සැල්ලාව. මම ඉතින් යාළුවෙක් එක්ක නුවර ගියා පොඩි වැඩකටයුත්තකට. ඒ ගිහින් මම මගෙ වාහනේ පාර්ක් කරලා තියෙන්නෙ පාර්ක් කරන්න ඕනැ තැනක නෙමෙයි. ඒක දැකලා ඔහු ඇවිල්ලා මට දඩයක් ගැහුවා. ඒ මාර්ග නීති උල්ලංඝනය කිරීමේ වරදට.

ඒ දඩ කොළේ ලියලා අතට දුන්නම මම ඇහුවා මොනවත්ම කරගන්න බැරිද කියලා? නමුත් ඒ වෙද්දිත් ඔහු දඩ කොළේ ලියලා ඉවරයි.

ඒ වෙලාවෙ හොඳට හිනාවෙලා කතා කරලා මට කිව්වා වාහනේ නවත්තන්න බැරි තැනකනෙ ඔයා නවත්තලා තියෙන්නෙ. දැන් කරන්න දෙයක් නෑ. ඔයා ගිහින් දඬේ ගෙවන්න කිව්වා. එයා සාධාරණව රැුකියාව ඇතුළෙ රැුකියාව කරන කෙනෙක් කියලා මට ඒ මොහොතෙම හිතුණා. ඉතින් මොකද්දෝ ලොකු විශේෂත්වයක් මම ඒ තුළ දැක්කා. ඉතින් මම හිතුවෙ නෑ මේ දඩය ජීවිත කාලෙම ගෙවන්න වෙයි කියලා.

අපි දෙන්නා ජීවිතේ හමුවෙන්නට තියෙන දෙන්නෙක්ම කියලා මට හිතෙනවා. මොකද මේ දඩය ගෙවන්න කලින් දවසෙත් මට ඔහු මුණගැහෙනවා. මම එදාත් පාරෙ ගියා ඒ ගියේ ෆෝන් එක කනේ ගහගෙන. ඒ ගියේ නුවර හොස්පිට්ල් එකට. ඒ යද්දි මෙයා පාරෙ ඩියුටි. ඒ මොහොතෙත් මාත් එක්ක හිනාවෙලා ගියා. මම කොහොමත් වාහනේ යන පුරුද්දට පාරෙ යද්දි ෆෝන් එක කනේ ගහගෙන ගියත් ට‍්‍රැෆික් කෙනෙක් දැකපු ගමන් ෆෝන් එක අතට ගන්නවා.

ඉතින් මම ඔහු දැකපු ගමන්ම ෆෝන් එක අතට ගත්තා. ඒ දවසෙ ඒ විදියෙ හමුවීමකින් පස්සෙ තමයි දෙවැනි දවසෙ මට දඩයක් ගහන්නෙ. ඒත් එයා දඩය ගහලා ළඟට එනකම්ම දැනගෙන හිටියෙ නෑ ඒ මගෙ වාහනේ කියලා. ඇත්තටම ඒකත් ටෙලිනාට්‍යයක හමුවීමක් වගේ.

ඒ හමුවීමෙන් පස්සෙ ත්‍ඊ හරහා ඔහු මට මැසේජ් එකක් දාලා තිබුණා කොහොමද? කියලා. මමත් ඉතින් ඒවට උත්තර දුන්නා.

ඒ විදියට කතාව දවසින් දවස දුර ගියා. ත්‍ඊ කතා කරලා ෆෝන් නම්බර්ස් මාරු කරගෙන ෆෝන් එකෙන් කතා කරන්න ගත්තා. මගේ ප‍්‍රශ්න එයාට කියනවා. එයාගෙ දේවල් මට කියනවා. ඒ විදියට කතා කරනවා විතරයි. ඒ විදියට කතා කරද්දි එක තැනකදි මමයි ඇහුවෙ ඇයි ඔයා මට මෙහෙම හැමවෙලේම කතා කරන්නෙ කියලා? එයා කිව්වෙ අනේ දන්නෙ නෑ ඔයත් මගෙත් එක්ක කතා කරනවනෙ කියලා.

ඊට පස්සෙ මම ඇහුවා ඔයාට මගෙත් එක්ක කතා නොකර ඉන්න බැරිද කියලා? ඒ විදියට කතා කළාම එයා තමයි මුලින්ම ආදරේ ප‍්‍රකාශ කළේ. ඒ වෙද්දි මමත් ඒ හිතට ආදරේ කරන්න පටන් අරන් ඉවරයි.

මුලදි නම් අපි දෙන්නගෙ ආදරේට ප‍්‍රශ්න ගොඩක් ඇතිවුණා. ඒ අපි දෙන්නා ක්‍ෂේත‍්‍ර දෙකක නිසා. ඒ ක්‍ෂේත‍්‍ර දෙකේ නොගැළපීම මත. ඒ ගැටලූ මතුවුණත් අපි ඒවා විසඳගෙන ඉදිරියට ආවා.

මම විශ්වාස කරන දෙයක් තමයි විවාහයකට යන්න කලින් දෙදෙනාගේ තේරුම් ගැනීම තියෙන්න ඕනෑ. එතැනදී අපේ හමුවීම තේරුම් ගැනීම හරිම විශේෂයි.

මම නුවන්ට ගොඩක් ආදරේ කළේ ඒ කතාවට. එයා කතාවට හරිම දක්ෂයි. මම හිතන්නෙ පොලිස් නිලධාරියෙක් නිසාම ද කොහෙද සමාජය ගැන හොඳ දැනුමක් තියෙනවා. මගෙ ක්‍ෂේත‍්‍රය ගැන වුණත් හොඳ අවබෝධයක් තියෙනවා. මුලදි නම් මගෙ ක්‍ෂේත‍්‍රයට අකමැත්තක් තිබුණා. ඒ අකමැත්ත මත මට ආපු හොඳ නිර්මාණ කීපයකුත් අතඅරින්න වුණා. නමුත් මම ඒ පිළිබඳ තේරුම් කරලා දෙද්දි මේ විදියට මගෙ ගමන මට යන්න ඕනෑ කියද්දි ඒ හැමදේම ඔහු තේරුම් ගත්තා. දැන් මට ඒ හැමදේටම උදව් කරනවා.

අපි රණ්ඩු වෙනකොටත් කෙළවරක් නැතිව රණ්ඩු වෙනවා. ඒත් ඒ හැමදේම හරිම ආදරණීයයි. ඒ වෙලාවට විතරයි. මගෙ හිතකවත් තිබුණෙ නෑ ආරක්ෂක අංශයේ කෙනෙක් එක්ක විවාහ වෙන්න. මොකද පොලිස් නිලධාරීන්ට මගේ හිතේ තිබුණෙ රාජකාරි මට්ටමේ හැඟීමක්. මට නුවන්ව මුණගැහුණට පස්සෙ තමයි දැනුණෙ පොලිස් නිලධාරියෙක් ඇතුළෙ සුන්දර මනුස්සයෙක් ඉන්නවා කියලා.

අපි සම්බන්ධතාවය පටන් අරගෙන මුලින්ම නුවර මාළිගාවට ගියා. එහිදී මට මල් ගොඩක් පිරුණු මල් වට්ටියක් අරගෙන දුන්නා. ඒ මල් වට්ටිය මගෙ ළඟ තවම තියෙනවා. ඒක මතක සටහනක්නෙ. ඉතින් ගොඩක් වටිනවා. මම එයාට මුලින්ම දුන්නෙ කේක් එකක්. පස්සෙ නම් ඉතින් තෑගි ගොඩක් හුවමාරු කරගෙන තියෙනවා. එයා මට පොඩි දෙයක් අරන් දුන්නත් ඒ හැමදේම මට මාරම වටිනවා.

ඉතින් ඒ විදියෙ හමුවීමත් එක්ක ටිකින් ටික අපේ ආදරේ දුර ගමනක් ඇවිල්ලා අපේ විවාහ උත්සවයටත් ළංවෙලා තියෙනවා. ඒ වෙනුවෙන් අපේ ගෙවල්වලිනුත් ආශිර්වාදය ගත්තා. අපි හඳහන් විශ්වාස කරනවා. විශේෂයෙන්ම මට ඉතින් ඒ දේවල්වල ප‍්‍රශ්නයක් වුණෙත් නෑ. අපේ හඳහන් ගැළපුණා. ඒවත් එක්ක අපි තීරණය කළා අපි දෙන්නම ගමේ හැදුණු අය නිසා අපේ විවාහ උත්සවය මගෙ ගමේ පුස්සැල්ලාවෙ කරන්න. මොකද මගෙ ගමේ මිනිස්සු මට ගොඩක් ආදරෙයි. ඒ හැමෝටම කියන්නත් අවශ්‍යයි. මේ වෙද්දි විවාහ උත්සවයෙ සැලසුම් බොහෝ දුරට අවසන්. මගෙ යාළුවොත් ගොඩක් දෙනෙක් උදව් කරනවා. විශේෂයෙන්ම සමුද්‍රා රණතුංග මතක් කරන්න ඕනෑ. ඇය මේ පිළිබඳ නිතරම හොයලා බලලා අවශ්‍ය දේවල් කතා කරනවා.

ඉතින් ඒ හැමෝගෙම උදව් ඇතිව ලස්සන විවාහ උත්සවයක් ගන්නවා එන අයට ගොඩක් විනෝදවෙන්න පුළුවන් විදියෙ.

– උපුටාගැනීම ලංකාදීප පුවත්පත

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button