පළකල දිනය : Mon, Oct 15th, 2018

ලෝකයේ ලොකුම සල්ලි කාරයාටත් ගණන් ඉගැන් වූ ලංකාවේ කොල්ලා !

“හැමවිටම පාහේ මං විශ්වාස කරන්නේ නිදහසේ කල්පනා කරලා තීන්දු ගැනීම කියන කාරණය ප්‍රබලයි කියලයි. මගෙ ව්‍යාපාර ගැන කියද්දිත් මං විශ්වාස කරන්නේ ඒකයි. මගෙ ව්‍යාපාරික ජීවිතයේ වැදගත්ම සහ හොඳම තීන්දු මං අරගත්තේ හදවතින්, ඉවෙන්. ඒ වගෙම ඒ වෙලාවට හොඳයි කියලා හිතුණු විදිහටයි. එහෙම නැතිව මේ සියල්ල මං කළේ පරිපූර්ණ විශ්‍ලේෂණයකින් පස්සේ එහෙම නොවෙයි

මේ අපූරු ප්‍රකාශය සිදු කළේ Amazon හි ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසෝස්ය. වොෂින්ටනයේදී the Economic Club සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ හෙතෙම සිය ව්‍යාපාර අත්දැකීම් ගැන පමණක් නොව අනාගත සැලසුම් ගැනද කාරණා ගණනාවක් හෙළිදරව් කළේය. බොහෝ දෙනා කල්පනා කළේ සමාගමේ මීළඟ මූලස්ථානය පිළිබඳව හෙළි දරව් කිරීමද මෙහිදී ඔහු අතින් සිදුවිය හැකි බවය. එහෙත් මේ ජනවාරියේදී අවසාන නගර විස්ස නම් කෙරුණු මේ මත විමසුමට අනුව ඇමසන් හි මීළඟ මූලස්ථානය ලෙස තෝරාගන්්නේ් කවර නගරයක් දැයි හෙළිදරව් කිරීම මේ වසර අවසානය දක්වා කල් දමන බව ඔහු පැවැසීය.

පසුගිය සැප්තැම්බරයේ ෆෝබ්ස් සඟරාව පවසන අන්දමට බෙසෝස් වත්මනෙහි මිහිපිට සිටින ධනවත්ම පුද්ගලයාය. ඔහුගේ වත්කම සැලකෙන්නේ ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන එකක් වශයෙනි.

ජෙෆ්රි පේ‍රස්ටන් බෙසෝස් හැඳින්වෙන්නේ ප්‍රමුඛ පෙළේ තාක්ෂණ ව්‍යවසායකයකු වශයෙනි. නවීන තාක්ෂණය වෙත යොමු වෙමින් ඒ හරහා ව්‍යාපාර කටයුතු ඇරඹූ ඔහු අද වන විට ලොව පුරා ජනප්‍රියව ඇත්තේ Amazon හි හිමිකරුවා ලෙසය. තවත් ව්‍යාපාර ගණනාවක් ද පවත්වාගෙන යන බොසෝස්ගේ නම මීට වසර ගණනාවක සිටම විටින් විට ව්‍යාපාරික ලෝකය තුළ කතාබහට ලක් විය.

1987 ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් පිට වෙද්දීම ඉන්ටෙල් ආදී වූ ප්‍රධාන පෙළේ ආයතන ගණනාවකින් ඔහුට ඇරයුම් ලැබිණ. ආයතන කිහිපයකින්ම සිය හැකියාව ඔප්පු කර පෙන්වූ බෙසෝස් 1993 දී ස්වාධීනව ව්‍යාපාරික ලෝකයට පය තබන්නට කල්පනා කළේ අන්තර්ජාලය හරහා ‍පොත් විකිණීමේ ව්‍යාපාරයක් අරඹමිණි. ඉනික්බිති එතෙක් තමා සේවය කරමින් සිටි D.E. Shaw සමාගමට සමුදුන් හේ Amazon ආරම්භ කළේ 1994 වර්ෂයේදීය. එවක් පටන් ඔහු ව්‍යාපාරික ලෝකය ජයගත් ආකාරය ගැන අප අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

වොෂින්ටනයේදී ද ඉකොනොමික් ක්ලබ් සංවාදයට එක් වෙමින් හේ ඒ අතීතය සිහි කළේය.

මම වෙන තැනකට නොයා සියටල්වල ඇමසන් පටන්ගන්න ප්‍රධාන හේතුව වුණේ මයිකේ‍රාසොෆ්ට් කියල කිව්වොත් නිවැරදියි. ඒක මුළුමනින්ම අහඹු සිදුවීමක් නම් ‍නෙවෙයි.

සිය දෙමාපියන්ගෙන් ලබාගත් ඩොලර 300,000 මුදලක් ආයෝජනය කරමින් ඇමසන් ඇරඹූ බෙසෝස්ගේ වත්කම අද වන විට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයකි., නොඑසේම ලොව අංක එකේ සල්ලිකාරයා වී අවසන්ය. එහෙත් මේ මහා ධන සම්භාරය ලොවේ යහපත වෙනුවෙන් වැය කරන්නටද ඔහු පසුබට නොවන බව මෙම සාකච්ඡාවේදී ඔහු ප්‍රකාශ කළේය.

එහිදී ඔහු පවසා සිටියේ අන්‍යයන්ගේ යහපත වෙනුවෙන් අරමුදලක් ගොඩනගනු පිණිස ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක් වෙන් කර ඇති බවය. ඔහු පැවැසූයේ නිවාස අහිමි පවුල්වල සුබසාධනය වෙනුවෙන් සහ නව පෙර පාසල් ඇති කිරීම වෙනුවෙන්, මෙහිදී ප්‍රධාන වශයෙන් සලකා බලන බවය. ඒ වෙනුවෙන් කාර්ය මණ්ඩලයක් පත්කර ගැනීම නුදුරේදීම සිදු කරන බවද ඔහු පැවැසීය. තවදුරටත් ඔහු පැවැසූයේ මේ සියලු කටයුතු වෙත තමාගේ පෞද්ගලික අවධානය යොමු කරන බවය.

ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාඥයකු වීමේ අරමුණෙන් යුතුව අධ්‍යාපනයේ යෙදුණු බෙසොස් ව්‍යාපාර ලෝකයට ඒමේ කතාන්දරය ගැනද මේ සාකච්ඡාවේදී කතා බහට ලක් විය.

ඔහුගේ මේ මතකාවර්ජනය ලංකාව තුළද ඉතා ඉහළ අවධානයක් දිනාගෙන තිබේ. ඒ ඔහු සිය අදහස් දැක්වීම තුළදී ශ්‍රී ලාංකිකයකු පිළිබඳව සඳහන් කළ බැවිනි. භෞතික විද්‍යාව ක්වොන්ටබ් භෞතික විද්‍යාව වැනි විෂයයන් අහු අස්සේ සිටි ඔහුගේ ගමන වෙනස් වූ අයුරු ගැන පවසද්දී එහි එක් තීරණාත්මක සිදුවීමකට අදාළව මේ අපූරු ශ්‍රී ලාංකිකයා ගැන සඳහන් කළේය.

දිනක් එක්තරා ගණිත ගැටලුවක් විසඳන්නට ඔහුත් ඔහුගේ මිත්‍රයාත් උත්සාහ දරමින් සිටියේය. එහෙත් එය හිතූ තරම් පහසු එකක් වූයේ නැත. එබැවින් එයට පිළියමක් සොයා ගන්නට ඔවුන් ගියේ අසල්වැසි කාමරයක වූ ශ්‍රී ලාංකික ශිෂ්‍යා වෙතය. ඒ අපූරු දවස ජෙෆ් බෙසෝස් සිහි කරන්නේ සිනහවක් මුහුණෙහි රඳවාගෙනය.

ඔහු එහි සඳහන් කරන්නේ ‘යසන්ත’ නමැති ශ්‍රී ලාංකික ශිෂ්‍යයකු පිළිබඳවය. ඔවුන් මේ ගණිත ගැටලුව විසඳන්නට ගියේ පේලි දෙක තුනක් තරම් දිග නමකින් යුතු යසන්ත ළඟට යයි අද ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටින ඇමසන් හි විධායක අධ්‍යක්ෂවරයා පැවැසූයේ එය ඔහුගේ වෘත්තිමය ජීවිතයේ තීරණාත්මක මොහොතක් බවට ද ඉඟි කරමිනි.

පිටු තුනක් පුරා අපූරුවට ඒ ගැටලුව විසඳමින් පැහැදිලි කළ අයුරු දෙස විශ්මයෙන් බලා සිටි බෙසෝස් එහිදී එක් පැනයක් නැගීය. ඔහු එවක ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ සිටි දක්ෂතම සිසුවා යැයි සැලකුණු යසන්තගෙන් ඇසුවේ මේක ඔයාගෙ ඔළුවෙන්මද විසඳුවේ කියාය. එයට පිළිතුර ලැබිණ. ඉකොනොමික් ක්ලබ් හි ප්‍රේක්ෂකාගාරයද සිනා සයුරේ ගිල්වමින් බෙසෝස් පැවැසූයේ ඒ විෂයය තමාට කරන්නට පුළුවන් හෙයියම්මාරුවක් නොවන බව තේරුම් ගත්තේ එදා බවයි.

මේ සිදුවීමෙන් පසු මේ අපූරු සුපර් ලෝං සර්නේම් ශිෂ්‍යයා ගැන තොරතුරු සොයන්නට ලාංකිකයෝ මෙන්ම විදේශියයන්ද උනන්දු වූ බවක් පෙනුනි. බොහෝ මාධ්‍යවල සටහන් වන අන්දමට ඔහු යසන්ත රාජකරුණානායක නම් වූ විශිෂ්ටයෙකි. අනෙක් අතට මේ අපූරු ගණන්කාරයා බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේත් කොළඹ රාජකීය විද්‍යාලයේත් ආදි ශිෂ්‍යයකු බව පැවැසෙයි. ඉනික්බිති ශිෂ්‍යත්වයක් ලබා ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයට ගිය යසන්ත කරුණානායකයන් අද ඉංජිනේරු ක්ෂේත්‍රයේ අඩ ශතකයකට එහා ගිය පේටන්ට් බලපත්‍ර හිමිකරුවෙකි. තවත් එවැනිම සංඛ්‍යාවක් අවසර ලබනු පිණිස ලැයිස්තුගතව තිබෙන බව කියැවේ. බෙසෝස්ගේ කතාන්දරය තරම්ම ලස්සන අත්දැකීම් ගොන්නකින් අලංකාර වූ දිවි සැරියක් හිමි යසන්ත රාජකරුණානායකයන් හා බෙසෝස් අතර මිතු දමද මේ අපූරු අතීතාවර්ජනය හේතුවෙන් අලුත් වී ගිය බවක්ද අසන්නට ලැබෙයි.

ලෝකයේ අංක එකේ ධනපතියා බවට පත් වුවද ජෙෆ් බෙසෝස් සිහින දැකීම අතහැර නැත. ඔහුගේ අලුත්ම සිහිනය වන්නේ Blue origin ය. එනම් අභ්‍යවකාශ ගවේෂණය පිළිබඳ වූ සමාගමකි. බොහෝ දෙනා පවසන්නේ එවැනි දෙයකට ආයෝජනය කිරීම නිෂ්ඵල ක්‍රියාවක් බවය. එහෙත් ජෙෆ් බෙසෝස් ඒ දෙස බලන්නේ ලාබ පාඩුවලින් එහා ගිය කර්තව්‍යයක් ලෙසය. එය කවදා හෝ ලෝකයට එකතු වන වැදගත් ව්‍යාපෘතියක් බවට පත් වනු ඇතැයි ඔහු සිහින මවයි.

– පාලිත ජයකොඩි

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button