පළකල දිනය : Wed, Oct 17th, 2018

පැල්පොල විපස්සි හිමි පවසන දේශපාලන රස රහස් !

ඉන්දියාවේ කල්කටා නුවර මහා බෝධි විහාරාධිපති ලෙස කටයුතු කළ නෙළුවේ ජිනරතන හිමියෝ 1973 වසරේදී පැල්පොල විපස්සි හිමියන්ව බොම්බායේ බහුජන විහාරයේ සහ නයර් රෝහලේ පිහිටි ආනන්ද විහාරයේ නියෝජ්‍ය අධිපති ධුරයට පත් කළහ. එවිට පැල්පොල විපස්සි හිමියන් සාමණේර භික්‍ෂුවකි.

එවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කළ ආර්. පේ‍්‍රමදාස මහතා අජන්තා විජේ සේන මහතා සමඟ බොම්බායට පැමිණි අවස්ථාවේදී සිදුවූ රසවත් සිද්ධියක් පැල්පොල විපස්සි හිමියෝ පැවසූහ.

වාර්තා චිත‍්‍රපටයක් සඳහා තොරතුරු ලබාගැනීමට පැමිණ සිටි ඔවුන් දෙදෙනාට නවාතැන් ගැනීම සඳහා අඩු මිලට හෝටලයක් සොයා ගැනීමේ දුෂ්කරතාවක් මතුව තිබුණා.

දින දෙකක් පමණ නවාතැන් ගැනීම සඳහා පහසුකම් තිබේදැයි කියා දැනගන්න පේ‍්‍රමදාස මහත්තයාත් අජන්තා විජේසේන මහතාත් බහුජන විහාරයට ආවා. ඇවිත් ඉල්ලීමක් කළා, පොඩි හාමුදුරුවනේ අපිට දවස් දෙක තුනක් නවාතැන් ගන්න තැනක් හොයලා දෙන්න පුළුවන් ද කියලා.

එවකට රට පාලනය කළේ බණ්ඩාරනායක මැතිනියයි. දැන් වගේ මන්ත‍්‍රීවරු විදේශගත වන විට ගමන් වියදම් ලෙස එදා විදේශ මුදල් දීමක් සිදු වූයේ නැහැ.

පේ‍්‍රමදාස මහත්තයා මට කිව්වා අනේ පොඩි හාමුදුරුවනේ අපිට මැතිනියගේ ආණ්ඩුවෙන් ඩොලර් හම්බවුණේ නැහැ. අපේ අතින් තමයි වියදම් කරන් ආවේ කියලා.

අපේ රටෙන් ආව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුට නවාතැන් දීම ගැන මට දැන් ගැටලූවක් මතුවුණා. මොකද පන්සලටම තියෙන්නෙ එක කාමරයයි. ඒකෙ ඉන්නෙ මම. ඉතිං මගේ ආවාස ගෙය ඒ දෙන්නට දෙන්න මම තීරණය කළා. හැබැයි මේ බවක් නොකියා දෙන්නාට මගේ ආවාස ගෙය සකස් කර ලබාදුන්නා.

පේ‍්‍රමදාස මහත්තයා කාමරය ඇතුළට ඇවිත් හරිම ෂෝක්…මේ හොඳටම ඇති…හෝටල් කාමරයක් වගෙයිනෙ. පොඩි හාමුදුරුවන්ට බොහෝම පිං කියා දෙන්නා මගේ කුටියේ රාත‍්‍රියෙ නවාතැන් ගත්තා.

පහුවැනිදා උදේ පාන්දරින්ම පේ‍්‍රමදාස මහත්තයා නැගිටලා කාමරයෙන් එළියට එනකොට මම පන්සලේ කෑම මේසය උඩ නිදාගෙන ඉන්නවා දැක්කා.

ඇයි පොඩි හාමුදුරුවනේ…මෙතන සැතපිලා…ඔබ වහන්සේගේ කාමරය කෝ කියලා ඇහැව්වා.

මගේ කාමරය තමයි ඔබතුමාලට දුන්නෙ…කියලා මම කිව්වහම එතුමා බොහෝම කම්පා වුණා.

අනේ… අපි දන්නේ… නැහැනෙ පොඩි හාමුදුරුවෝ අපට විශාල පරිත්‍යාගයක්නෙ කරල තියෙන්නේ කියා පවසමින් පසුතැවුණා.

මම එතුමාගේ පසුතැවීම අස්වසාලමින් ආගන්තුක සත්කාරයේ වටිනාකම පැහැදිලි කර දුන්නා.

ඒ මොහොතේ ඉඳන් පේ‍්‍රමදාස මහතා පන්සලේ නවාතැන් ගත් දින දෙකක කාලය තුළ උදේ පාන්දරින්ම නැගිටලා මට ගිලන්පස සාදා දුන්නා. රාත‍්‍රියේ සැතපීමට පෙර ගිලන්පස සාදා දුන්නා.

බොම්බායේ ඉඳන් මදුරාසියට යන්න පිටත් වෙන්න පෙර මට කිව්වා ”පොඩි හාමුදුරුවෝ ලංකාවට වැඩිය දවසක ඇවිත් මාව හමුවන්න මගේ ජීවිතය තියෙනකම් මම මේ උපකාරය අමතක කරන්නෙ නැහැ” කියලා.

ඒ කියපු විදියටම පේ‍්‍රමදාස මහතා අගමැති වූ පසුත්, පසුව ජනාධිපති වූ පසුත් මා සමඟ කුළුපග මිත‍්‍රත්වයක් පවත්වාගෙන ගියා.

මම යම් ඉල්ලීමක් කළොත් කවදාවත් මඟහැරියේ නැහැ. අපේ පොඩි හාමුදුරුවෝ කියලා අතීත අත්දැකීම සිහිපත් කරමින් උදව් උපකාර කළා.

ඒ හින්දා මටත් පේ‍්‍රමදාස මහත්තයාට කියලා බොහෝ අසරණ මිනිස්සුන්ට මහල් නිවාස අරන් දෙන්න පුළුවන් වුණා.

පේ‍්‍රමදාස මහතා අගමැති ලෙස කටයුතු කරන විට එංගලන්තයේ ලන්ඩන් විහාරය හදන්න විහාරාධිපතිව වැඩ විසූ හම්ලව සද්ධාතිස්ස නායක හාමුදුරුවන්ව අරලියගහ මන්දිරයට වැඩම කරවා අවශ්‍ය මුදල් උපකාර ලබා ගැනීමටත් මට හැකියාව ලැබුණේ එදා මා කළ පරිත්‍යාගය නිසා කියලා දැන් හිතෙනවා.

මම පේ‍්‍රමදාස අගමැතිතුමාට ලන්ඩන් විහාරය හදාගන්න එහි නායක හාමුදුරුවන්ට උදව් උපකාර අවශ්‍යයි කියූ විට වහාම අරලියගහ මන්දිරයට ව්‍යාපාරිකයන් කැඳවා විහාරස්ථානය සෑදීම සඳහා අරමුදලක් පිහිටුවූවා.

එම අරමුදලට මුල්ම පවුම් දාහ පරිත්‍යාග කළේ එවකට ඇමැතිවරයෙක්ව සිටි එම්. එච්. මොහොමඞ් මහතායි.

ඊට අමතරව නවලෝක මුදලාලි, රම්‍යා මුදලාලි, ජෝන් මුදලාලි, ඇලෝසියස් මුදලාලි, පියදාස මුදලාලි, ඇහැලියගොඩ විජේනායක මුදලාලි, ගුරුගේ මැණික් මුදලාලි ඇතුළු ව්‍යාපාරිකයෝ විශාල පිරිසක් එදා ලන්ඩන් විහාරය හදන්න මුදල් පරිත්‍යාග කළා.

ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතා කියන්නේ හොඳට කළගුණ දන්නා දේශපාලනඥයෙක් බව අදටත් මම කට පුරා කියන්නේ ඒ නිසා යැයි පැල්පොල විපස්සි හිමියෝ පැවසූහ.

– උපාලි ද සේරම්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button