පළකල දිනය : Wed, Oct 17th, 2018

කෝටි 25ක නාග මැණිකක් ගන්න එස්.අයි කරපු වැඩේ !

මාදම්පේ, මහගම පදිංචි කරුණාපාල දැඩි ආගම් භක්තිකයෙකි. දිනපතාම දෙවි දේවතාවුන් වඳින කරුණාපාලගේ එකම බලාපොරොත්තුව වූයේ යම්කිසි දවසක දෙවියන් ඔහුගේ ජීවිතයට යස ඉසුරු ලබාදෙන බවයි. ඒ සඳහා ඔහු දේවාල ගානේ ගොස් දෙවියන් ඉදිරියේ බාරහාර පවා විය.

කරුණාපාලගේ නිවස පිහිටා තිබුණේ තරමක් විශාල භූමි භාගයකයි. කලක සිට මෙම ගෙවත්තේ විශාල නාගයෙක් වාසය කළේය. කරුණාපාල අනේක වාරයක් එම නාගයා දැක තිබුණි. එහෙත් කිසි දිනක ඔහු එම නාගයාට කිසිදු හිරිහැරයක් නොකළේය. ඔහු සිතුවේ එම නාගයා තමා ආරක්‍ෂා කිරීමට දෙවියන් විසින් එවූ බවයි. එම නිසා ඔහු එම නාගයාට දේවත්වයෙන් සැලකුවේය. ප‍්‍රදේශවාසීහු ද එය දැන සිටියහ.

යම්කිසි දිනක එම නාගයා තමාගේ ජීවිතය වෙනස් කරනු ඇතැයි යන මිථ්‍යා මතයේ ඔහු තදින්ම ගැබ්ව සිටියේය. එම නිසා දිනපතාම පාහේ කරුණාපාල එම නාගයා ගැවසෙන ඉසව් පිළිබඳව විමසිල්ලෙන් සිටියේය. එම නාගයා වාසය කළේ ඔහුගේ වත්ත පහළ ඇති විශාල නුග ගස අසල තිබූ තුඹසකයි.

දැනට මාස හයකට පමණ ඉහත එක් සිකුරාදා දිනයක කරුණාපාල පුරුද්දට මෙන් එම හුඹස අසලට ගියේය. නාගයා පෙනෙන්නට නොසිටියේය. ඔහුගේ සිතට කවරදාවත් නොදැනුණු අමුත්තක් දැනුණි. එම නිසා දැඩි විමසිල්ලෙන් ඔහු තුඹස අසල වටපිටාව නිරීක්‍ෂණය කළේය.

මහත් පුදුමයකි. ඔහුගේ දෙනෙත් අදහා ගැනීමට නොහැකි විය. තුඹස අසල දිලිසෙන මැණික් ගලක් දක්නට ලැබුණි. එක්වරම කරන්නේ කුමක්ද කියා සිතා ගැනීමට නොහැකි විය. ඒ තරමටම ඔහු පී‍්‍රතියෙන් උද්දාමයට පත්වී තිබුණි. මෙය නම් තමන් ඇදහූ අහවල් දෙවියන්ගේ ත්‍යාගයක් බව ඔහු තදින්ම විශ්වාස කළේය.

කරුණාපාල වට පිට බැලූවේය. ඒ නාගයා හැර වෙන කවුරුන් හෝ අවට සිටීදැයි සැක හැර බලා ගැනීමටයි. කිසිවෙකුත් පෙනෙන්නට නැත. දෙදණ නමා තුන් පාරක් එම නාග මැණිකට වැන්දේය. ඉන්පසු ඔහු එය සියතට ගෙන නිවස වෙත රැගෙන ගිය නාග මාණික්‍යය ඔහු විශේෂිත ස්ථානයක තැන්පත් කළේය. උදේ සවස එම මැණිකට පුද පූජා තැබුවේය. ඔහු සිතුවේ එම මැණික සිතූ පැතූ සම්පත් ලබාදෙන එකක් කියාය.

නාග මාණික්‍යය ලැබී දින පහකට පසු ඔහු එක්තරා හින්දු කෝවිලකට ගියේය. ඒ තමාගේ අනාගතය ගැන දැන ගැනීම සඳහාය. දෙවියන් නමැද ඇරඹවූ එම පූජකයා කරුණාපාලගේ අනාගතය ගැන පැවසුවේය. ඒ අතර මෙවන් වදනක්ද එම පූජකයාගේ මුවින් පිටවුණි. ‘‘ඔබට ඉතාම වටිනා යමක් දැනට ලැබී තිබෙන්න ඕන. නැතිනම් තව දින කිහිපයක් ඇතුළත ඔබේ නිවස අවටින්ම ලැබෙනවා. ඒක අනිවාර්යයි. දෙවියෝ ඒක මට පෙන්වනවා..’’

පූජකතුමාත් පැවසුවා. දෙවියෝ තමයි මට මේ නාග මාණික්‍යය දීලා තියෙන්නේ. මගේ දියුණුව යහපත සඳහා මේකට තව තවත් පුද පූජා පවත්වන්න ඕන. එතකොට තමයි බලය තවත් වැඩි වෙන්නේ යැයි නිවසට පැමිණි කරුණාපාල එලෙස සිතුවේය.

දින සති ගණන් පසුවිය. කරුණාපාල ළඟ තිබෙන නාග මාණික්‍යය ගැන නොයෙක් ආරංචි ගම පුරා ප‍්‍රචාරය විය. ඒ අතර කරුණාපාලද නාග මාණික්‍යය ගැන විවිධ කතා පැවසුවේය. නාග මාණික්‍යය අසලින් මල් පොහොට්ටුවක් තැබූ විට එය තත්පර ගණනක් ඇතුළත පිපෙන බවත්, සමහර අවස්ථාවලදී විවිධ වර්ණයන්ගෙන් මෙය දිස් වෙන බවත් ඔහු නිරතුරුවම පැවසුවේය. ඔය ආදි විවිධ කටකතා නිසා එම නාග මාණික්‍යය ඉතා බලසම්පන්න එකක් බව බොහෝ පිරිස් සිතූහ.

නාග මාණික්‍යය ලැබී මාස හයකට පමණ පසු කරුණාපාල එය විකිණීමට තීරණය කළේය. ඒ අනුව ඔහු එම මැණික පිළිබඳව තැරැව්කරුවන් කිහිප දෙනෙකුට පැවසුවේය. විටින් විට ඔවුහු පැමිණ එය පරීක්‍ෂා කළහ.

මීරිගම සිට එක් තැරැව්කරුවකු පැමිණියේය. ඔහු මැණික පරීක්‍ෂාකර පැවසුවේ මෙය ඉතා දුර්ලභ ගණයේ මැණිකක් බවත් රුපියල් කෝටි 25 ක් පමණ වටිනා බවත්ය. තවත් අවස්ථා කිහිපයකදී ඔහු පැමිණ මැණික පරික්‍ෂාකර බැලූවේය. අවසානයේ ඔහු පසුගිය 24 වැනිදා පැමිණ එම මැණික පසුදින මිලදී ගන්නා බව පැවසුවේය.

උප පොලිස් පරීක්‍ෂක සමන්ත පොලිස් සේවයට බැඳුණේ දැනට වසර කිහිපයකට පමණ පෙරයි. නීතිය හා සාමය රැකීමට ඔහු බැඳී සිටියත් කිසිදිනක ඔහු තම රාජකාරිය නිසියාකාරව සිදුකළේ නැත. සමහරු ඔහුව හැඳින්වූයේ පගා මරුවකු ලෙසින්ය. සල්ලි වෙනුවෙන් ඕනෑම දහජරා වැඩක් කිරීමට එම පොලිස් නිල ඇඳුම ඇඳගත් නිලධාරියා පසුබට වූයේ නැත.

උප පොලිස් පරීක්‍ෂක සමන්ත මෙම නාග මාණික්‍යය ගැන දැන ගත්තේ දැනට මාස කිහිපයකට පෙරයි. ඔහු කෙලෙස හෝ මෙම නාග මාණික්‍යය සොරකම් කිරීමට සිතා ගත්තේය. ඔහු තම ගෝල බාලයන් යොදවා නාග මාණික්‍යය ගැන සියලූ තොරතුරු සොයා ගත්තේය. ඒ අනුව මැණික ගැනීමට පැමිණෙන මීරිගම තැරැව්කරුවකු ගැනද ඔහු විස්තර සොයා ගත්තේය.

පසුගිය 24 වැනිදා උප පොලිස් පරීක්‍ෂක සමන්ත තම ගෝලබාලයන් කැඳවා ඔවුන් සමඟ සාකච්ඡාවක නිරත වූහ. ඒ ඉතා රහසිගත ස්ථානයක මත්පැන් පානය කරමින්ය. එහිදී සමන්ත මෙලෙස කතා බහ ආරම්භ කළේය.

‘‘හෙට මීරිගම තැරැව්කාරයා යනවලූ අර මැණික බලන්න. ඌ අනිවාර්යයෙන් ඒක ගන්නවා තව දවස් දෙක තුනක් යන්න ඉස්සෙල්ලා. අපි හෙටම ගේමක් දෙන්න ඕන. නැත්නම් මැණික මිස් වෙන්න පුළුවන්..’’

‘‘ඒකනම් ඇත්ත තමයි බොසා. ඉතින් මොකක්ද අපි කරන්නේ?’’

‘‘මෙහෙමයි. හෙටම ගේම් එක ගහමු.’’

‘‘එච්චර ඉක්මනට’’

‘‘ඉක්මන් නොවුණොත් අපිට හුළං තමයි.’’

‘‘කොහොමද බොසා එකපාරට ඒක කරන්නෙ.’’

‘‘කරන්න ඕන විදිහ මම ප්ලෑන් කරලා තියෙන්නේ. උඹලට තියෙන්නේ මම කියන විදිහට වැඩ කරන එක විතරයි.’’

‘‘එහෙනම් මොකක්ද බොසා කියන්න ඕන දෙයක් අපි හෙටම වැඬේ කරන්නම්’’

‘‘මේකයි මගේ ප්ලෑන් එක. හොඳට අහගනිල්ලා.’’

උප පොලිස් පරීක්‍ෂක සමන්ත පසුදින නාග මාණික්‍යය මංකොල්ල කන ආකාරය ගැන තම ගෝලයන්ට විස්තර කළේ මෙලෙසින්ය.

‘‘හෙට මීරිගම තැරැව්කාරයා එනවා මැණික බලන්න. ඌ මැණික බලලා එනකොට අපි මග රැකලා ඉඳලා ඌව උස්සනවා. ඊට පස්සේ ඌව එක්කන් අපි මැණික අයිතිකාරයා ළඟට යනවා. මූට කියනවා මැණික ගන්න ආවා කියලා. එහෙම කියලා මැණික පෙන්නපු ගමන් අපි අරන් මාරුවෙනවා. ඕක තමයි අපේ සැලැස්ම. හැබැයි හරියට කරන්න ඕන. මේක ගහගත්තොත් පරම්පරාවම ගොඩ.’’

නියමිත දින උදාවිය. පෙරදින කතා කරගත් සැලැස්ම අනුව උප පොලිස් පරීක්‍ෂක සමන්ත ඇතුළු ගෝල බාලයන් පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම්වලින් සැරසී මහගම ප‍්‍රදේශයට යමින් සිටියහ. ඒ වෑන් රථයකිනි.

මීරිගම සිට පැමිණ තැරැව්කරු කරුණාපාලගේ නිවසින් පිටවූයේ පසුදින නාග මාණික්‍ය ලබා ගැනීමට පැමිණෙන බව පවසමින්ය. තැරැව්කරු තම මෝටර් රථයේ විලත්තාව ප‍්‍රදේශය හරහා ගමන් කළේය. ඒ මීරිගම තම නිවස වෙත යෑම සඳහාය. එම තැරැව්කරු විලත්තව හන්දිය පසුකළා පමණි. පවනට බඳු වේගයෙන් පැමිණි වෑන් රථයක් ඔහුගේ මෝටර් රථය හරස් කරමින් නැවැත්තුවේය. සිදුවන්නේ කුමක්දැයි ඔහුට සිතා ගැනීමට නොහැකි විය.

හරස් කර නැවැත්වූ වෑන් රථයෙන් පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් කිහිප දෙනෙක් බිමට බැස ගත්හ. ඔවුන් අත පිස්තෝල සහ මාංචු කුට්ටම්ද තිබුණි. ඉන් එක් අයෙක් තැරැව්කරුට දඟලන්නේ නැතිව අපි කියන විදිහට වැඩ කරපන් කියා පැවසුවේය. ඒ සමගම ඔහුගේ මෝටර් රථයට ඔවුන් කිහිප දෙනෙක් නැග ගත්තේය. එලෙස නැඟගත් ඔහුත් තැරැව්කරුට පැවසුවේ යළි මැණික අයිතිකාරයාගේ නිවසට යන ලෙසයි. ඒ යන අතර කරන දේ අකුරක් නෑර ඔවුහු තැරැව්කරුට පැවසූහ.

තැරැව්කරු උප පොලිස් පරීක්‍ෂක ඇතුළු එම පිරිස සමඟ යළි කරුණාපාලගේ නිවසට පැමිණියහ. පසුදින පැමිණෙනවායි කියූ තැරැව්කරු යළි එලෙස පැමිණීම ගැන ඔහුට සැකයක් ඇතිවුණි. මෙතන කුමක් හෝ දෙයක් සිදුවන බව ඔහුට ඉවෙන් මෙන් දැනුණි. එම නිසා ඔහු සිටියේ සූදානම් ශරීරයෙන්ය. නිවසට පැමිණි තැරැව්කරු කරුණාපාලගෙන් මෙලෙස විමසුවේය.

‘‘අපි මැණික අදම ගන්න තීරණය කළා.’’

‘‘මහත්තයා කීවේ හෙට ගන්නවා කියලනේ..’’

‘‘නැහැ ඒක වෙනස් වුණා. අපේ බොසා කිව්වා අදම ඒක ගමු කියලා’’

‘‘අයියෝ හරි වැඬේනේ මහත්තයා. මේ දැන් ටිකකට ඉස්සෙල්ලා මගේ යාළුවෙක් ඇවිල්ලා මැණික අරන් ගියා. තව කෙනෙකුට පෙන්නන්න ඕන කියලා. මොකද කරන්නේ?’’

කරුණාපාල තැනට සුදුසු නුවණ භාවිත කරමින් එලෙස පැවසුවේය. උප පොලිස් පරීක්‍ෂක ඇතුළු පිරිසට එය පිළිගැනීමට සිදුවූහ. තව මොහොතක්වත් එම ස්ථානයේ රැඳී සිටීම නුසුදුසු බව ඔවුනට හැඟුණි. ඒ අනුව ඔවුහු වහාම එම ස්ථානයෙන් පිටවූහ.

උප පොලිස් පරීක්‍ෂක සමන්ත සිටියේ අධික කෝපයකිනි. ඒ තම සැලසුම අසාර්ථක වීම නිසාය. කේන්තියෙන්ම ඔහු ‘‘දැන් කරන්න දෙයක් නැහැ. මෙන්න මූ ළඟ තියෙන දේවල්වත් මංකොල්ල කමු කියා’’ පැවසුවේය. ඒ අනුව තැරැව්කරු ළග තිබූ ලක්‍ෂ දෙකකට අධික මුදලක් සහ දේපළ ඔවුහු කොල්ලකෑහ. පසුව කොල්ලකරැවෝ තැරැව්කරු සහ ඔහු ළඟ සිටි දෙදෙනෙකුට පහරදී දුම්මලසූරිය ප‍්‍රදේශයේ දමා පලා ගියහ.

තැරැව්කරු මාදම්පේ පොලිසියට ගොස් සිද්ධිය පිළිබඳ පැමිණිල්ලක් දැමුවේය. ඔහු පැවසුවේ පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳගත් පිරිසක් පැමිණ තමන්ව මංකොල්ල කෑ බවයි.

හලාවත සහකාර පොලිස් අධිකාරී කීර්ති බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි මාදම්පේ පොලිස් ස්ථානාධිපති වසන්ත කුමාර මහතාගේ මෙහෙයවීම මත එම පොලිසියේ නිලධාරීහූ පරීක්‍ෂණ පැවැත්වූහ. එලෙස පැවැත්වූ පරීක්‍ෂණ අනුව සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා ඇතුළු සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට ඔවුනට හැකි විය. මෙම සැකකාර පොලිස් පරීක්‍ෂකවරයා මීට පෙර වාහන ජාවාරමකට සම්බන්ධව පානදුර පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයකු බවද අනාවරණය වී තිබේ. මෙම සිදුවීමට අදාළව තවත් සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

ගයාන් සමරසිංහ

——————————————————–

නාග මාණික්‍යයක් යනු කුමක්ද?

නාගයන්ගේ සංසාර පුරුද්දක් තිබේ. ඒ ඔවුන් විවිධ පාෂාණ වර්ගවලට ඇල්මක් දක්වයි. එම නිසා බොහෝ නාගයන් ජීවිත කාලය පුරාවට එක් පාෂාණයක් තම පණ දෙවැනිකොට සුරකී. කැලෑරොදවල්වලදී නාගයන් එක් පාෂාණයක් තෝරා ගනී. සමහර විට එය කළු ගලක්, තිරිවාණා කැටයක්, මැණික් ගලක් ආදිය වීමට පුළුවන. එලෙස තෝරා ගන්නා පාෂාණ වර්ගය එම නාගයා විසින් ජීවිත කාලය පුරාවට සුරකී. බොහෝ විට එම පාෂාණ වටිනාකමින් අඩු ඒවා ය. මැණික් ගලක් නාගයකුට හමුවීමේ ප‍්‍රවණතාවය ඉතා අඩුය.

නාගයා සතු එම පාෂාණය බොහෝ දුරට ඔහු තම බඩ තුළ සඟවා ගෙන තබා ගනී. ආහාර ගන්නා වේලාවට පමණක් ඔහු එය වමාරයි. නැතහොත් සමහර නාගයන් එය ආරක්‍ෂිත තැනක සඟවා නිතරම ඒ ගැන සෝදිසියෙන් සිටී. අවුරුදු ගණනක් එලෙස එම පාෂාණය සුරැකීම නිසා එහි රළු බව අඩුවී මෘදු ගතියක් ගනී.

සමහර නාගයන් සුරකින එවැනි පාෂාණ වර්ගයක් ගත හැක්කේ නාගයා මරා දමාය. නැතහොත් ඔහු එය වැමෑරූ පසු හෝ සඟවා ඇති තැන සොයා ගැනීමෙන් පමණි. එහෙත් බොහෝ අය නාගයකු දුටු පමණින් ඔහු මරා නාග මාණික්‍ය ගැනීමට සැරසෙති. එය අපරාධයකි. ඒ මන්ද යත් බොහෝ නාගයන් ළඟ නාග මාණික්‍ය නොමැත. ඇත්තේ නොවටිනා පාෂාණ වර්ගයක් පමණි. එලෙසම බොහෝ අය පවසන්නේ නාග මාණික්‍යය යනු සිතූ පැතූ සම්පත් ලබාදෙන දෙයක් බවයි. එය මිථ්‍යාවකි. එහෙත් පාෂාණ වර්ගයක් පමණි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button