පළකල දිනය : Thu, Oct 18th, 2018

ඉදිරි මාස දෙක තුළ රට තුළ වෙනසක් !

මෙතෙක් ශී‍්‍ර ලංකාවට අයත් කුම්භ ලග්න කේන්ද්‍ර සටහනේ ලග්න භාවයෙන් 9 වැන්නේ ගමන් ගත් ප‍්‍රධාන ග‍්‍රහ තාරකාව වන ගුරු හෙවත් බ‍්‍රහස්පති ග‍්‍රහයා පසුගිය ඔක්තෝබර් 11 වන දින කුම්භ ලග්නයේ ලග්න භාවයෙන් 10 වැන්නට හෙවත් කර්මස්ථානයට එසේත් නැතිනම් අඟහරුට අයත් වෘශ්චික රාශියට පිිවිසීම අප රටට මෙතෙක් අසුභව පැවති යම් යම් කාරණා අරභයා යහපත් හා සුබදායක තත්ත්වයන් උදාවීමක් ලෙස දැක්විය හැකිය. විශේෂයෙන් මේ ආකාරයට බ‍්‍රහස්පති වෘශ්චිකයට පැමිණෙන්නේ 12 වසරකට පසුවය. ගුරුටම අයත් විසා නැකතේ 4 වන පාදයට පැමිණෙන ගුරු ග‍්‍රහයා වෘශ්චිකයේ හෙවත් කුම්භයේ 10 වැන්න තුළ වසරකට අඩු කාලයක් ගමන් කරයි.

එසේම ඔක්තෝබර් මස 29 වන සඳු දින සවස 4:34 ට පමණ බුධ හා ගුරු අතර ග‍්‍රහ යුද්ධයක් සිදුවන අතර මෙහිදී බුධ පරදා ගුරු ජයගන්නේය. පසුගිය ඔක්තෝබර් 11 වන දින ගුරු හෙවත් බ‍්‍රහස්පති වෘශ්චික රාශියට පිවිසි අතර මෙම ග‍්‍රහ යුද්ධයෙන් එම ගුරු ජය ගැනීමත් සමගින් ගුරුගේ බලය තවත් සුබවාදී වනු ඇත.

කෙසේ නමුත් ගුරුගේ මේ ග‍්‍රහ ගමන නිසා ලෝකයේ වගේම ලංකාවේත් විවිධ වෙනස්කම් නැතිනම් කැපී පෙනෙන සිදුවීම් රැුසක් ඇති කරාවි. ජනතාවට දැනට වඩා යම් සහනයක් ලැබේවි. රට තුළ ආගමික ප‍්‍රබෝධයක් ඇති වේවි. ජ්‍යොතිෂයේද වර්ධනයක් වේවි. අධ්‍යාපනයේ ප‍්‍රශ්න යම් පමණකට විසඳේවි. දැනට රට තුළ පවතින ව්‍යාකූල තත්ත්වයන් පහව ගොස් නව ප‍්‍රබෝධයක් අප රට තුළ ඇති වේවි. විශේෂයෙන් දේශපාලනය තව තවත් උණුසුම් වේවි. වාද විවාද පවතින කාලයක් වනු ඇත. නායකයන් තව තවත් උද්යෝගිමත් වේවි. මෙතෙක් පැවති අසහනකාරී, ව්‍යාකූල දේශපාලන ගමන් මග වෙනුවට නව දේශපාලන ගමන් මගක් මෙම කාලය තුළ රට තුළ ගොඩනැගෙනු ඇත. එසේම මැතිවරණයක් ද පැවැත් වේවි. නව දේශපාලන පක්ෂ ද මෙම කාලය තුල බිහි වේවි. භික්ෂුන් වහන්සේලා රට ගැන සිතා ඉදිරියට පැමිණේවි.

මෙම ග‍්‍රහ මාරුව අපේ රටේ දේශපාලන හා ආර්ථීක අංශ කෙරෙහි සෘජුව බලපානු ඇත. විශේෂයෙන් කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයට අනුව පාලකයා ගැන කියවෙන 10 වැන්නට හෙවත් වෘශ්චික රාශියට ගුරු පැමිණීම රටේ පාලක පක්ෂ කෙරෙහි යම් ආකාරයකට යහපත් අයුරින් බලපානු ඇත. පාලක පක්ෂ දුරදක්ෂි හා සෘජු තීරණ අනුව රටට යහපත් කටයුතු කිරීමට පෙළඹීමක් මේ තුළින් උදා වනු ඇත. දැනට සිදුවන බොහෝ වැරදි කි‍්‍රයා හා වැරදි ගමන් මග නිවැරදි දිශාවකට යොමු වන කාලයක් ලෙස මෙම ඉදිරි කාල සීමාව හඳුන්වා දිය හැකිය. පාලක පක්ෂය යහපත් ආකාරයට කි‍්‍රයා කිරීමට ජනතාවගෙන් ප‍්‍රබල හඬක් නැගෙනු ඇත. මේ සමගින් විපක්ෂ කණ්ඩායම්වල නව පිබිදීමක් සිදුවනු ඇත. කෙසේ වෙතත් මෙම ගුරු මාරුව සමගින් රටේ අභිවෘද්ධිය තකා ආගමික නායකයින් හා උගත් බුද්ධිමත් අයගේ නව පෙරට ඒමක් දැක ගත හැකි වනු ඇත.

විශේෂයෙන් ගුරු මාරුවට සති 2 ක් පෙර හා පසු කාලය තුළ රට තුළ දේශගුණ විපර්යාස රැුසක් ඇතිවේවි. විශේෂයෙන් ජලගැලීම්, නාය යෑම්, සුළි සුළං, වැනි දේ ඇති විය හැකිය. මේ තුළින් ජනතාවට ක්ෂණික බාධාවන් රැසක් ඇති වනු ඇත. රට තුළ නැවුම් බවකින් යුතු වටපිටාවක් නිර්මාණය වේවි. රට තුළ දැනට පවතින අසහනකාරී තත්ත්වය, පාතාල කි‍්‍රයාකාරකම්, මනුෂ්‍ය ඝාතන, ආර්ථික ගැටලූ, ළමුන්ගේ ප‍්‍රශ්න මෙම ගුරු මාරුවත් සමගින් යම් පමණකට පහව යනු ඇත. එය සුබදායක තත්ත්වයකි.

– ජ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක,
– පුවත්පත් ලේඛක, බණ්ඩාරගම,
– සම්පත් එස්. කල්පගේ ”තසුනි’’ සෙත්කවි හා ජ්‍යොතිෂ සේවය. නො. 53/ඒ 1, විහාර මාවත,
– ගම්මන්පිල, බණ්ඩාරගම. 0382256020 / 0772753100

  • 850
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button