පළකල දිනය : Thu, Oct 18th, 2018

කව්රුත් දන්නා සුපිරි නළුවාගේ කව්රුත් නොදන්න කතාව මෙන්න !

කුමාර ළඟදී “මගේ ජීවිතේ” නමින් පොතක් එළිදැක්වූවා. කොහොමද පොත් කියවන්න යොමු වුණේ…?

ඔව්… මෙහෙමයි… 1991 අවුරුද්දේ දිවයින පුවත්පතේ සෝදුපත් කියවන්නෙකු විදිහට මම පත්තර කන්තෝරුවක රැකියාවට බැඳුණා. කවුරු හරි කෙනෙක් පත්තරයක් අතට ගනිද්දී මුලින්ම පත්තර සිරස්තල කියවලා තමන් කැමති කරන ආටිකල් ටික කියවනවනේ. හැබැයි මට එහෙම වුණේ නැහැ. මට සෝදුපත් කියවන්නෙකු වීම නිසා මම අකමැති දේශපාලඥනයින්ගේ බොරු කතා, විනිමය අනුපාතය, ගුවන් ගමන්, ලොතරුයි ප්‍රතිඵල, ලග්න පලාපල පවා මට කියවන්න සිද්ධ වුණා. මම අකමැති දේවල් පවා මම මගේ රස්සාව නිසා කියෙව්වා. ඒ නිසා සොදුපත් කියවන්නෙකු විදිහට මගේ රස්සාව කියවීම වුණා. ඒ හරහා විවිධ විෂයන් හරහා මම මහා දැනුමක් ලබාගත්තා.

ඒ ලැබුණු දැණුමත් එක්කද කරළිය රස කතා කියලා කුමාර පොතක් ලිව්වේ…?

ඔව්… කරළිය රසකතා කියන පොතෙන් කලාකරුවන්ගේ රසවත් තොරතුරු අලලා පොතක් ලිව්වා. ඊට පස්සේ 2005 අවුරුද්දේ පත්තර කන්තෝරුවෙන් අයින් වෙලා පෑන විසිකරලා දාලා මම රංගනයට එකතු වුණා. ඒ අතරේ මට මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ම වරින් වර පත්තර ලිපි ලියන්න කියලා කතා කළා. හැබැයි ඒ හැම වෙලාවකම මම ඒ වගේ කාර්යබහුලත්වය නිසාම ඒ ආරාධනා හැම එකක්ම ප්‍රතික්ෂේප කළා. මීට වසර දෙකකට පමණ පෙර තවත් පුවත්පතකට ලියන්න කියලා මට ආරාධනා කළා. කොහොමෙන් කොහොම හරි ඔන්න ඉතින් ඒ අවසානයේදී මම ලංකා පුවත්පතට කොලම් එකක් සතිපතා ලියන්න පටන් ගත්තා. ඒක තමයි අවසානයේදී “මගේ ජීවිතේ” කියලා පොතක් විදිහට දොරට වැඩියේ.

ඒ කියන්නේ “මගේ ජීවිතේ” කියන්නේ කුමාරගේ සැබෑ ජීවිතයයි…?

ඔව්… මේ හැම එකකම ලියවිලා තියෙන්නේ මගේ ජීවිතේ කියලා තමයි. මේ පොතේ ලියවුණු සියල්ලම ඇත්තක්. පොඩි කාලේ ඉඳන් මේ දක්වා මම දැකපු, මම අත්විඳපු අත්දැකීම් තමයි පෑනෙන් මේ ලියවිලා තියෙන්නේ. ගොනු පසු පසු එන ගැල සේ මගෙන් මේ කොලම ලියාගන්න මගේ පසු පසු ආපු භාතිය ගුණසේන කියන තරුණයාව මම මේ වෙලාවේ මතක් කරන්නම ඕනේ. මම ඒකගෙන් කළේ එකම එක ඉල්ලීමයි. “මල්ලී මට මේ කොලම ලියනවාට සත පහක්වත් එපා. හැබැයි මල්ලී මම ලියන එක අකුරක්වත් කපන්න එපා.” කියලයි. ඒකා ඒ ඉල්ලීම අකුරටම ඉෂ්ඨ කළා. “ඔය ජීවිතේ” තියෙන්නේ කපලා කොටලා නැති මගේම කතාවයි. මේ පොත කර්තෘ ප්‍රකාශනයක්.

අද ප්‍රවීණ කලාකරුවෙක් වුණාට කුමාර ජීවිතේ පටන් ගත්තේ වේටර් කෙනෙකුගෙන් නේද…?

ඔව්… ඒ මගේ යාළුවෙක් වුණු බොබීගේ මාර්ගයෙන්… ඒකාගේ මාමා කෙනෙක්ට ඒ කාලේ බේස්ලයින් පාරට මුහුණලා ඔරුගොඩවත්ත හෝටලයක් තිබුණා. ඒකේ නම උපුල් හෝටලය. මට ඒ කාලේ ඒ හෝටලයේ වේටර් වැඩ කරනවාට දවසකට රුපියල් විසිපහක් ලැබුණා. සතියකට එකතු වෙන රුපියල් එකසිය හැත්තෑ පහත් අරගෙන ඔරුගොඩවත්තේ ඉඳන් මහ රූ මොරටුවට ගිහින් මගේ අම්මට ඒ සල්ලි දීලා ආයෙමත් මම ඔරුගොඩවත්තට ආවා. ඇත්තටම ඒ කාලය කොහොම අමතක කරන්නද. උපුල් හෝටලයේ ඉඳන් අපි මහ රූ චිත්‍රපට බැලුවා.

මොරටුව සොයිසාපුර කුලි ගෙදරක කුමාර ඉපදුණු දවස කුමාරගේ අක්කාගේත් ජීවිතයට සුවිශේෂී දවසක් වුණා කියලයි ආරංචිය…?

ඔව්නේ… මට වඩා වැඩිමල් දරුවන් පස්දෙනෙකුට උප්පත්තිය දීපු අම්මට මම ලැබෙද්දී බොහෝ අත්දැකීම් තිබුණනේ. ඉතින් ශරීරයෙන් වෙනසක් දැනෙද්දී අම්මා අක්කාට කියලා “ඉක්මණට වින්නඹු අම්මා එක්ක එන්න කියලා.” ඔන්න ඉතින් අක්ක එක හුස්මට වින්නඹු ගෙදරට දුවලා ගිහින්. අක්කා දැකපු වින්නඹු අම්මා, නළලේ අත තියාගෙන “කොරේ පිටට මරේ” කියලා වින්නඹු අම්මා අක්කව සුදු රෙද්දකින් වහගෙන අපේ ගෙදරට අක්කත් එක්ක දුවගෙන ඇවිත් තියෙන්නේ අම්මාගේ කුසෙන් මාව හෑල්ලු කරන්නයි. අක්කා ලොකු ළමයෙක් වුණෙත් මම ඉපදුනෙත් එකම දවසෙයි.

කුමාරගේ ජීවිතේ සිදුවුණු සිදුවීම් ලියවුණු “මගේ ජීවිතේ” පොතට මේ වෙනකොට ලැබෙන ප්‍රතිචාර කොහොමද…?

අද වෙනකොට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන ගොඩාක් සතුටුයි. පසුගිය පොත් ප්‍රදර්ශනයෙන් මේ පොත ගොඩාක් විකිණිලා තියෙනවා. සරසවි ඕනෑම පොත් සලකින් මෙය මිළදී ගන්න පුළුවන්. මට සතුටුයි මෙහෙම මගේ ජීවිතේ ගැන කියවන්න මිනිස්සු ආසා වීම ගැන. අද වෙනකොට පොතක් විදිහට මෙය සාර්ථකයි කියලා බොහෝ දෙනා කියනවා. නළුවෙක්, ගායකයෙක්, ගීත රචකයෙක් වගේ විවිධ ක්ෂේත්‍රවල ඇවිදපු මට පොතක් ලියලා මේ තරම් සාර්ථක වෙන්න ලැබීම ගැන ගොඩාක් සතුටු වෙනවා.

“මගේ ජීවිතේ”න් පොත් ලියන එක නවතියිද…?

මම හැමවෙලේම කියන්නේ “මට ඇති” කියලයි. මගේ ජීවිතේදී මට අවශ්‍ය සියල්ලම මට දුන්නා… මම නළුවෙක් කළා. ගායකයෙක් කළා. ගීත රචකයෙක්, ජනප්‍රිය පුද්ගලයෙක් කළා. මට මුදල් ලැබුණා. ලංකාවේ විතරක් නෙවෙයි විවිධ රටවල්වල ගියා. ඉතින් මේ හැම තැනකදීම මාව ඔසවලා තැබුවා. ඉතින් අද මට බොහෝ දෙනා කියන්නේ “මගේ ජීවිතේ” දෙවැනි පොත ලියන්න කියලයි. මගේ ජීවිතේ තව ගොඩාක් තැන් ලියවෙන්න තියෙනවා. ඒ නිසා බොහෝ දෙනාගේ උනන්දු කිරීම නිසාම ආයෙමත් පෑන අතට අරගෙන ලියන්න පටන් ගන්න ඕනේ. ජීවිතේ වෙච්චි තව බොහෝ දේ තියෙනවා. මම ජීවිතේමේ අතිරික්තයක් ගෙවන්නේ. මම මැරෙන්න ඔන්න මෙන්න ඉඳලා ඒ මරණවලින් බේරුණු මිනිහෙක්. ඒ මැරෙන්න හිටපු මාව කලාකරුවෙක් කරලා පුදුමාකාර විදිහට ඔසවලා තැබුවා. ඉතින් ජීවිතේ වැඩිපුර කාලයක් තමයි මේ ගෙවෙන්නේ. ඒ කාලය මට ස්වභාවදහමට දීලා තියෙනවා. ඒ නිසා “මගේ ජීවිතේ” ඉතිරි ටිකත් මගෙන් ලියවේවී.

“The News Paper” චිත්‍රපටය හරහා ඔබ අද සිනමා අධ්‍යක්ෂකවරයෙක් වෙලා තිබෙනවා…?

ඔව්… The News Paper තිරරචනය, අධ්‍යක්ෂණය කරන්නේ මමයි සරත් කොතලාවලයි. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේත් අපි දෙන්නයි. අහිංසක පවුලකට පත්තරේක සිරස්තලයක පළවුණු ලිපියක් නිසා වෙච්චි මහ විනාශයක් අසාධාරණයක් ගැන ලියවුණු කතාවක් තමයි මේක. හැම මාධ්‍ය සඟයෙක්ගෙන්ම මම ඉල්ලන්නේ ඒ අහිංසක පවුලේ කට්ටිය ඉන්න පැත්තේ වාඩිවෙලා මේ චිත්‍රපටය නරඹන්න කියලයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button