පළකල දිනය : Thu, Oct 25th, 2018

කපා දමන්නට සැරසුනු එරාවුර් බෝධීන් වහන්සේ රැකගත් සුමනරතන හිමියන් (video)

ඉඩම් බෙදීමක් සඳහා එරාවුර් මයිලන්බාවලි බෝධින් වහන්සේ කපා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ප්‍රාදේශීය ලේකම් විසින් එම බෝධීන් වහන්සේ කපා ඉවත් කිරීමට ලබාදුන් අනුමැතිය අනුව බෝධින් වහන්සේ කපා ඉවත් කිරීමට සූදානම් වී තිබෙනවා. කෙසේ නමුත් අම්පිටියේ සුමනරතන හිමියන් මෙම සිදුවීම දැනගත් වහාම අම්පාර කෙවිලියාමඩුව ප්‍රදේශයේ සිට අදාල ස්ථානයට වැඩමකර මේ සම්බන්ධයෙන් බළධාරීන් සමඟ සාකච්ඡා කර තිබෙනවා.

වසර 17 ක් පුරාවට මෙම බෝධීන් වහන්සේ අභියස බෝධි පූජා සිදුකර ඇති අතර, කිසිවෙකුටත් හානියක් නොවන ආකාරයක පවතින මෙම බෝධීන් වහන්සේ මෙලෙස කපා දැමීමට තීරණය කර ඉමහත් අපරාධයක් බව පෙන්වාදෙන උන්වහන්සේ සඳහන් කළේ තමන් එම ස්ථානයට පැමිණෙන විටත් බෝධින් වහන්සේගේ විශාල ප්‍රමාණයක් කපා දමා ඇති බවයි.

කෙසේ වෙතත් එරාවුර් පොලිස් ස්ථානාධිපතිතුමන් විසින් මෙම ක්‍රියාව තාවකාලිකව නතර කර ඇති අතර මේ සම්බන්ධයෙන්අම්පිටියේ සුමනරතන හිමියන්ගෙන් කළ විමසීමකදී උන්වහන්සේ සඳහන් කලේ (24) මේ පිළිබඳව ජනාධිපතිවරයාටද ලිඛිතව දැනුම්දුන් බවයි.

මේ අතර බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගනිමින් බෞද්ධ දර්ශනය ප‍්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් ස්ථාපිත කිරීම පිණිස ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබෙනවා. ඒ අනුව ශ‍්‍රී ලංකාව බෞද්ධ දර්ශනය ප‍්‍රචාරය කිරීමේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට අපේක්ෂා කෙරෙන බවයි සඳහන් වන්නේ.

එවන් තත්වයත් තුල ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමයන් මෙලෙස විනාශකර දැමීම කණගාටුවට කරුණක්.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button