පළකල දිනය : Sun, Oct 28th, 2018

දොළොස් වසරකට පසු මාරුවූ ගුරු ඔබට සහ රටට කුමක් කරයිද ?

ගුරු හෙවත් බ‍්‍රහස්පති ග‍්‍රහයා පසුගිය ඔක්තෝබර් 11 වැනිදා රාති‍්‍ර 7.21 ට කුජට අයත් වෘශ්චික රාශියට මාරු විය. සුබපල දීමේ ප‍්‍රමුඛයා හැටියටයි ගුරු ගැන කියවෙන්නේ. ගුරු ග‍්‍රහ රාජ්‍යයේ පුරෝහිත හැටියටයි සැලකෙන්නේ. රවි රජුත්, සඳු බිසවත්, කුජ සෙන්පතිත්, බුධ රාජ්‍ය ලේකම් තනතුරෙත් සිටින විට ඒ හැමෝටම උපදෙස් දෙන පුරෝහිත නැත්නම් උපදේශක වන්නේ බ‍්‍රහස්පතියි.

මේ අනුවම රටක ගුරුවරුන්, පූජ්‍ය පක්ෂයේ උතුමන් ප‍්‍රඥාවන්තයින්, වෛද්‍යවරුන්, අධිකරණ නායකයින්, ධනවතුන් වැනි අයට ගුරු අධිපති වෙනවා. ඉතින් මේ ගුරු මාරුව රටේ විශේෂ පරිවර්තනයක් ඇති කරන බව කියන්න ඕනෑ. පුනාවස, විසා, පුවපුටුප යන නැකැත්වලට අධිපති වන මෙම ග‍්‍රහයාගේ විංශෝත්තිර් දශාව වසර දහසයක් වෙනවා.

උපතින් ගුරු බලවත් අය ප‍්‍රඥාවන්තයි. ප‍්‍රඥාව කියන්නේ බුද්ධිය නොවේ. ලෝකය විනවිද දැකීමේ හැකියාවයි. නිවැරදි දැකීමයි. ඉතින් ගුරු ඔබේ කේන්ද්‍රයේ කටක රාශියේ නම් උච්ච බලයත්, ධනු, මීන රාශි යන නම් ස්වක්‍ෂෙත‍්‍ර බලයත් ලග්න භාවයේ නම් දිග් බලයත් ලබනවා. එවැනි අයගේ ගුරු බලවත් වෙනවා. මකර රාශියේ හෝ කේන්ද්‍රයේ හය, අට, දොළහ වගේ තැනක නම් දුර්වල වෙනවා. ගුරු දුර්වල අයට අධික වියදම, වැරදි අවබෝධය, ශරීරයේ ස්ථුල බව අක්මාව හෝ හෘදය වස්තුව ආශි‍්‍රත රෝග දියවැඩියාව වැනි සෞඛ්‍ය ගැටලූ ඇති වෙනවා.

කේන්ද්‍රයක පලා පල කීමේදී ගුරු ගමන් කරමින් ඉන්න තැන විශේෂයෙන් සැලකිය යුතු වෙනවා. රවි, සඳු හා ගුරු ගමන් කරමින් සිටින තැන් පලාපලවලට විශේෂයෙන් බලපානවා. ඒ වුණත් රවි මාසයකිනුත් සඳු දින දෙකහමාරකිනුත් මාරු වෙන අතර ගුරු එක රාශියක අවුරුද්දක්ම ගත කරන නිසා ගුරුගේ බලපෑම වැඩියි.

ගුරු වෘශ්චික රාශි ගත වෙන්නේ වසර දොළහකට පසුවයි. මීට පෙර 1948, 1958, 1970, 1982, 1994, 2006 යන වසරවල මේ ග‍්‍රහ මාරුව සිදු වෙලා තියනවා. මේ අතර 2018 ඔක්තෝබර් 11 සිට 2019 නොවැම්බර් 3 දක්වා ගුරු වෘශ්චික රාශියේ ගමන් කරනවා. ශී‍්‍ර ලංකාව හිමි කුම්භ ලග්නයේ දහවැන්නටත් ජනරජය හිමි සිංහ ලග්නයේ හතරවැන්නටත් ගුරු මාරු වෙනවා.

අප රට සම්බන්ධයෙන් බලන විට රාජ්‍ය පාලනය පිළිබඳ තරමක බාධා ඇති වෙන්න පුළුවන්. රාජ්‍ය වියදම් බොහෝ දුරට ඉහළ යයි. විදේශ ණයත් වැඩි විය හැකියි. තැපැල්, දුරකථන හා උසස් අධ්‍යාපන අංශවල ගැටලූ ඇති වෙන්නත් රූපවාහිනි, ගුවන්විදුලි අංශවලත්, පුවත්පත් කලාවේදීන්ටත්් තරමක අහිතකර බලපෑම් ඇති විය හැකියි. රෝහල්, සාත්තු නිවාස, බන්ධනාගාර, පුනරුත්ථාපන අංශවල ගැටලූ ඉස්මතු වෙයි. රාජ්‍ය පාලනයේ යෙදෙන අය ඉතා දූරදර්ශීව කි‍්‍රයා කළ යුතුයි. ගුරු උතුරු දිශාව නියෝජනය කරන අතර උතුරේ විවිධ ගැටලූ ඉස්මතු වියහැකියි. ජ්‍යොතිර්වේදීන්, නීතිඥයින් හා පුවත්පත් කලාවේදීන්, ගුවන්විදුලි හා රූපවාහිනි ශිල්පීන්ට මෙන්ම පූජ්‍ය පක්ෂයටද බාධා ඇති වෙයි.

ඔක්තෝබර් 11 වැනිදා මාරු වන ගුරු ග‍්‍රහයා 2019 මාර්තු 29 වැනිදා නැවත ධනුවට පැමිණ අපේ‍්‍රල් 23 වෘශ්චික රාශිගත වෙනවා. වක‍්‍රවෙමින්, නිවෘත වෙමින් ගත කරන මේ ග‍්‍රහයාගේ බලපෑම වෙනදාට වඩා වැඩි වෙන බවයි පෙන්නේ. සමාජ පරිවර්තනයක් දකින්න ලැබෙයි.

උපන් ලග්න අනුව ලග්න පහකට සුබ පල දෙන බව පේනවා. ඔබ උපන් ලග්නය අනුව ගුරු මාරුව ගැන දැන් බලමු.

මේෂ

මේෂ ලග්න හිමියන්ගේ ලග්නයෙන් අටවැන්නට ගුරු පැමිණීම සිදු වෙනවා. පෙර පින, වාසනාව, දෙවි පිහිට ගැනීම නොසිතා දැඩි උත්සාහයෙන් කි‍්‍රයා කළ යුතු කාලයක බව පේනවා. උසස් අධ්‍යාපනයේ යෙදෙන අයට තරමක බාධා ඇති වෙයි. ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම අත්‍යාවශ්‍යයි. ඔබ කොලෙස්ටරෝල් , ලේ වල සීනි වැනි රෝගයකින් පෙළෙනවා නම් නිසි ලෙස වෛද්‍ය ප‍්‍රතිකාර ගන්න ඕනෑ. හරිම කාර්යබහුල අවුරුද්දක් උදා වේවි. ග‍්‍රහ ශාන්ති කර්ම කර ගැනීම හොඳයි.

වෘෂභ

අවිවාහක වෘෂභ ලග්න හිමියන්ට මංගල යෝග උදා වෙන බව පේනවා. හවුල් ව්‍යාපාරවලින් ලාබ ලැබෙයි. පහුගිය දවස්වල තිබුණ අසනීප තත්ත්වයන් සුව අතට හැරෙයි. විවාහ සහකරුට සුබයි. අලූත් යාළුවෝ හඳුනා ගන්න අවස්ථා උදා වෙයි. ආදායම් තත්ත්වයන් සතුටුදායක බව පේනවා. ඔබේ වැඩිමහල් සහෝදරයෙක් ගැන සතුටුදායක ආරංචියක් ලැබෙයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වෙයි. අධ්‍යාපන කටයුතුවලට තිබුණු බාධා ඉවත් වෙයි.

මිථුන

මිථුන ලග්න හිමියන්ගේ ලග්නයෙන් හයවැන්නටයි ගුරු මාරු වෙන්නේ. ඒක තරමක් බාධා සහිතයි. රහස් සතුරන් නිසා හිතට කරදර ඇති කාලයක් උදා වෙන බව පේනවා. සමහර අවස්ථාවල වියදම් ඉහළ යන නිසා ණය වෙන්නත් සිදු වේවි. බිරිඳ නැත්නම් සැමියා සමග කටයුතු කරන විට ඉවසීමෙන් කටයුතු කරන්න. අඹු – සැමි භේද ඇති වෙන්න ඉඩ තියෙනවා. මංගල යෝජනාවලටත් බාධා ඇති වෙයි. මේදය සහ සීනි අධික ආහාර පාලනය කර ගන්න. රහස් සතුරන්ගෙන් ප‍්‍රවේශම් වෙන්න.

කටක

කටක ලග්නය හිමි අයට ගුරු මාරුව සුබපල දායකයි. භාග්‍යස්ථානයට අධිපති ගුරු පස්වැන්නට මාරු වීම නිසා කටක හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. ආදායම් ඉහළ යයි. ව්‍යාපාරවලටත් සුබයි. තරුණ තරුණියන්ට මංගල යෝග උදා වෙයි. කටක හිමි ගුරුවරුන්ට යහපත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් බිහි වෙයි. දරුවන් වෙනුවෙන් කරන කටයුතුත් සාර්ථක වෙයි. දරුවන් ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් වෙයි. ආගම දහමට වැඩියෙන් හිත යොමු වෙයි. දියුණුවට කරන අලූත් දෙයක් ආරම්භ කරන්න හොඳ වසරක් වෙන බව පේනවා.

සිංහ

සිංහ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ හතරවැන්නට ගුරු මාරුව සිදු වෙනවා. දරුවන් වෙනුවෙන් කරන වියදම් ඉහළ යන බව පේනවා. ඒ වගේම ඔබ ව්‍යාපාරයක යෙදනවා නම් ව්‍යාපාරයේ වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් විය යුතු කාලයක්. ඒ වගේම ගෘහ ජීවිතය හරිම කාර්ය බහුල, කරදරකාරී බවක් පෙන්වයි. ස්ථිර දේපළ ඉඩකඩම්වල දියුණුවට බාධා ඇති වෙන්න වුණත් ඉඩ තියෙනවා. නිවාස ඉදිකිරීම්, ගොවිතැන් කටයුතුවලදීත් හොඳින් සැලසුම් කරලා කරන්න.

කන්‍යා

කන්‍යා ලග්න හිමියන්ගේ ලග්නයේ තුන්වැන්නට ගුරු මාරුව සිදු වෙනවා. හතර සහ හත අධිපති ගුරු තුන්වැන්නේ ගමන් කරන මෙම වසරක කාලය ටිකක් බාධා ඇති කරන බව පේනවා. උත්සාහය තරමට ප‍්‍රතිඵල ලැබෙන්නෙ නෑ කියලා හිතෙයි. නිශ්ඵල ගමන් යෙදෙයි. ගෘහ ජීවිතයේ තිබුණු සැනසීම වෙනුවට කාර්ය බහුල බවක් ඇති වෙයි. හැබැයි අවිවාහක කන්‍යා ලග්න හිමි තරුණ තරුණියන්ට මංගල යෝග උදා වෙන්න පුළුවනි. උත්සාහයෙන් කටයුතු කළොත් මේ බාධා ජය ගන්න අමාරු වෙන එකක් නෑ.

තුලා

ගුරු මාරුව සිද්ධ වෙන්නේ තුලා ලග්න හිමියන්ගේ දෙවැන්න වූ ධනස්ථානයටයි. ඒක සුබපල දායකයි. ඉස්සර තිබුණු අවිවේකය අඩු වෙයි. හිතේ සතුට, සැනසීම ඇති වෙයි. පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වෙයි. ව්‍යාපාරවල යෙදෙන තුලා ලග්න හිමියන්ගේ ආදායම ඉහළ යයි. ධනය පිළිබඳව සතුටු දායක තත්ත්වයන් ඇති වෙයි. උත්සාහයේ තරමටම ප‍්‍රතිඵල ලැබෙයි. රැකියා ව්‍යාපාර ස්ථානවල සේවක පක්ෂයේ සහයෝගය වැඩියෙන් ලැබෙන කාලයක් බව පේනවා. ණය මුදලක් ලබා ගන්න බලාපොරොත්තු වුණා නම් එකත් හරියයි.

වෘශ්චික

වෘශ්චික ලග්න හිමියන්ගේ ගුරු මාරුව සිදු වන්නේ ලග්නයටයි. දෙවැන්න සහ පස්වැන්නට අධිපති ගුරු ලග්නයේ ගමන් කරමින් උදා වන වසරක කාලය තරමක් කාර්ය බහුල අවිවේකී කාලයක් බවයි පේන්නේ. දරුවන් හා ශිෂ්‍යයන් පිළිබඳ කළ යුතු යුතුකම් වැඩි වෙයි. හිතේ සැනසීම, විවේකය බෙහෝ දුරට අඩු වෙන්න පුළුවනි. ඒ වගේම රුධිරගත කොලෙස්ටරෝල් සීනි වගේ රෝගාබාධ ඇත්නම් වැඩියෙන් ප‍්‍රවේශම් වෙන්න. අධ්‍යාපන කටයුතු කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වුණත් ඒ කටයුතුවලට බාධා ඇති වෙන විදිහට සෞඛ්‍ය ගැටලූ මතු වෙන්න පුළුවනි. අදාළ ශාන්ති කර්ම කර ගැනීම හොඳයි.

ධනු

ගුරු මාරුව ධනු ලග්න හිමියන්ගේ දොළොස් වැන්නට සිදු වෙනවා. ගුරු එකොළොස් වැන්නේ ගත කරපු ගත වූ වසරට වඩා ඔක්තෝබර් 11 සිට උදා වන වසර තරමක බාධා කරදර ඇති කරන බවක් පේනවා. පසුගිය කාලයේ ගනු ලැබූ තීරණ ගැන පසුතැවිල්ලක් ඇති වෙන්නත් සාර්ථකව කරගෙන ආපු කටයුතුවලට බලාපොරොත්තු නොවුණු බාධා ඇති වෙන්නත් පුළුවනි. ධනු ලග්න හිමියන්ගේ ලග්නයේ සෙනසුරු ගමන් කරන නිසා ශරීර සනීපය ගැන විශේෂයෙන් හිතන්න ඕනෑ. අදාළ ග‍්‍රහ ශාන්ති කර්ම කරගන්න. සෞඛ්‍ය රැක ගන්න.

මකර

මකර ලග්න හිමියන්ට ගුරු මාරුව සුබපල දායකයි. උදාවන වසරක කාලය ගත වූ කාලයට වඩා සාර්ථක වෙන්න පුළුවනි. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබෙයි. උත්සාහයේ තරමටම ප‍්‍රතිඵල ලැබෙයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නම් අධ්‍යාපන කටයුතුවලට තිබුණු බාධා ඉවත් වෙයි. අසනීපවලින් සුවය ලැබෙයි. අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝජනා පේ‍්‍රම සබඳතා ස්ථිර කරගන්නත් අවස්ථා උදා වෙයි. බිරිඳ නැත්නම් සැමියාටත් සුබ පල දායකයි. අඹු – සැමි සමගිය වැඩි වෙයි. දරුවන්ටත් සුබයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වෙයි.

කුම්භ

ලග්නයෙන් දහවැන්නට කුම්භ ලග්න හිමියන්ගේ ගුරු මාරුව සිදු වෙනවා. තරමක මිශ‍්‍රපල දායක කාලයක් වෙගයි පේන්නේ. ඔක්තෝබර් සිට උදා වන වර්ෂයක කාලය ඇතුළත ආදායම් මාර්ගවලට බාධා ඇති වෙන්න ඉඩ තියෙනවා. ව්‍යාපාරවල නම් ලාබ ප‍්‍රයෝජන ලබන්න අමාරු වෙන්න පුළුවන්. මේ නිසා උත්සාහයෙන් කටයුතු කරන්න. ඒ වගේම වියදම් පැත්තෙන් ඉහළ යන බව පේනවා. සහෝදරයකුට අපල දායකයි. විවේකයක් නැති තරමට කාර්ය බහුල වෙයි. පවුලේ වියදම් ඉහළ යන නිසා වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් වන්න.

මීන

මීන ලග්න හිමියන්ට ගුරු මාරුව සුබපල දායකයි. කේන්ද්‍රයේ දහය සහ ලග්නය අධිපති වන ගුරු පසුගිය කාලයේ දුර්වලව ගමන් කළ නිසා සෞඛ්‍ය ගැටලූ, අපල, කරදර තිබූ බව පේනවා. ඒ වුණත් ඔක්තෝබර් සිට උදා වන වසරක කාලය සුබ පල දායකයි. පෙර පින, වාසනාව උදා වෙයි. උසස් අධ්‍යාපන කටයුතුත් සාර්ථක වෙයි. දරුවන්ටත් සුබ කාලයක්, දුර වන්දනා ගමනක්, විදේශ ගමනක් යන්න තිබුණු බලාපොරොත්තුවක් සාර්ථක වෙන බව පේනවා. අසනීපවලින් සුවය ලැබෙයි. හිතේ සතුට සැනසීම ඇති වෙන කාලයක් බව පේනවා. දියුණුවට කරන කටයුතු ආරම්භ කරන්න සුබ කාලයක් නිසා ඒවා සැලසුම් කරන්න.

– කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button