පළකල දිනය : Mon, Oct 29th, 2018

මට ඒ ආරංචිය රටක් රාජ්ජයක් ලැබුණා වගේ !

අපේ ජීවිතවල දී අපි කොයිතරම් නම් මංසන්ධි පසු කරනවාද, ඒ වගේම ඉදිරි අනාගතය ගැන කොයි තරම් නම් හීන මවනවාද? ඒත් සමහර වෙලාවට ඒ හීන සිඳී බිදී යන්නට ගත වෙන්නේ සුළු මොහොතක් විතරයි. ඒ වගේ වෙලාවට අපිට කිසිදා නොසිතපු තැනකින් ජීවිතය ආයෙමත් අලුතින් පටන් ගන්න සිදුවනවා.

පුංචි කා‍ලේ ඉඳලාම මම කලාවට ගොඩාක් කැමතියි. රඟපාන්න, ගී ගයන්න වගේම ලියන්නත් විවිධාකාර දක්ෂතා මා තුළ තිබුණා. කලාව තුළ මම මගේ ගමන පටන් ගත්තේ මාධ්‍යවේදියෙකු විදියට බවත්, වසර 15ක් පුවත්පත් කලාවේ රැඳිලා ඉන්න අතරේ රංගනයටත් යොමු වූ බවත්, නළුවකු විදියට කාර්ය බහුල වෙද්දී පුවත්පත් කලාවෙන් දුරස් වූ බවත්් මේ වෙනකොට හුඟ දෙනෙක් දන්නවා. ඒත් ඇත්තටම මම පුංචි කා‍ලේ ඉඳලාම හීන මවමින් හිටියේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙන්නයි. මේ නිසා පුංචි කා‍ලේ ඉඳලාම මම ක්‍රිකට් ලෝලියෙක්. ඒ දවස්වල අපි දෙවිවරු විදියට සලකපු ක්‍රිකට් ක්‍රීඩකයෝ හුඟ දෙනෙක් හිටියා. මැච් එකක් තියෙන දාට නොකා නොබි එය නැරඹුවා. ඒ වගේම මමත් ක්‍රිකට්වලට ගොඩාක් දක්ෂයි. පුංචි කා‍ලේ ඉඳන් මොරටුව පළාතේ තියෙන මැච් වල මම නැතුවම බැරි චරිතයක් වුණා. මොරටුව වේල්ස් කුමර විදුහ‍ලේදීත් මම ක්‍රිකට් ක්‍රීඩාවටයි ජනප්‍රිය වෙලා හිටියේ. ඔය වයසෙදී අපේ හිත්වල හීන කොයිතරම් මැවෙනවාද? මගේ හිත්වලත් තිබුණේ ක්‍රිකට්. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න, දවසක ජාතික කණ්ඩායමට එකතු වෙලා හැමෝගෙම අවධානය දිනාගත්තු ක්‍රීඩකයෙක් වෙන්න මමත් අනන්තවත් හීන මැව්වා.

ඔය අතරේ මගේ හීන ඉටුවන මුලිකම ලකුණු පහළ වුණා. මාව පාස‍ලේ ක්‍රිකට් කණ්ඩායමට තෝරාගත්තා. මම ඒ ආරංචියත් අරගෙන ගෙදර ගියේ රටක් රාජ්ජයක් ලැබුණා වගේ හැඟීමෙන්.

ඒත් ඒ හීන ඉටු කරගන්න එක හිතන තරම් ‍ලේසි නැති බව මම පසුව තේරුම් ගත්තා. පාසල් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු විදියට දිගටම රැඳෙන්න මට ගොඩාක් දේවල් අවශ්‍ය වුණා. බැට් එකක් ඇතුළුව ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අවශ්‍ය කරන ආම්පන්න ගොඩාක් තියෙනවනේ. ඒ සියල්ල ගන්න ලොකු මුදලක් අවශ්‍ය වුණා. මම මගේ අවශ්‍යතාවය කිව්වම තාත්තා ඔළුවේ අත ගහගත්තා. අපි ඒ තරම් ධනවත් අය ‍නෙවෙයි. පවු‍ලේ සහෝදර සහෝදරියන් 5 දෙනෙක් ඉන්නවා. මා වෙනුවෙන් ඒ තරම් ලොකු මුදලක් වැය කරන්න තාත්තාට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ හේතුව හින්දා මට පාසල් ක්‍රිකට් කණ්ඩායමට එකතු වෙලා දක්ෂතා පෙන්වන්න තිබුනු අවස්ථාව ගිලිහී ගියා. මොරටුව පළාතේ ජනප්‍රිය ක්‍රීඩා සමාජ වල ක්‍රිකට් ගහලා දස්කම් දැක්වූ මට අන්තිමට සිද්ධ වුණේ පාස‍ලේ මගේ යාළුවෝ ක්‍රිකට් ගහනවා එළියට වෙලා බලාගෙන ඉන්නයි. මේ වගේ හේතු නිසා ක්‍රිකට් ගහන එක පවා මට එපා වුණා.

ඒ මොනවා වුණත් ක්‍රිකට් වලට තිබු උනන්දුව මගෙන් ගිලිහුණේ නැහැ. ක්‍රිකට් මැච් බලන්න, යාළු මිත්‍රයෝ එක්ක එකතු වෙලා ක්‍රිකට් ගහන්න ලැබෙන හැම නිවඩුවක්ම මම වෙන් කළා. ඔය අතරේ 88-89 භිෂණය උදා වුණා. දේශපාලන කටයුතුවලට එකතු වෙලා මටත් මගේ ජීවිතය බේරාගන්න හැංගෙන්න සිද්ධ වුණා. ඔය විදියට විවිධාකාර හැල හැප්පීම් මැද ජීවිතය ගෙවී යද්දී ක්‍රිකට් මතකයෙන් ඈතටම ගියා. අද කලාකරුවෙකු ලෙස මම අද වෙනත් මාවතක ඇවිද ගෙන ගියත් මගේ හිත ඇතු‍ලේ හැංගිලා ඉන්න “ක්‍රිකට් පිස්සා” නොහිතපු වෙලාවක එළියට ඇවිත් එක එක විදියේ බලා‍පොරොත්තු තවමත් මට නොදෙනවාම නෙමෙයි.

– ආරියවංශ කුලතිලක

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button