පළකල දිනය : Wed, Oct 31st, 2018

රූමත් විවාහක විධායක නිලධාරිනියගේන් මුදල් ගැරූ රියෑදුරුට වෙච්ච දේ !

මීගමුවේ ප්‍රධාන පෙළේ ආයතනයක රූමත් විවාහක විධායක නිලධාරිනියක්‌ සමඟ අනියම් සබඳතාවක්‌ ඇති කරගත් එම ආයතනයේ රියෑදුරකු එම නිලධාරිනිය සමඟ සමීප සබඳතා පැවැත්වූ අවස්‌ථාවලදී ලබාගත් ඡායාරූප ඇගේ සැමියාට සහ අන්තර්ජාලයට මුදාහරින බවට බියපත් කොට එම විධායක නිලධාරිනියගෙන් රුපියල් ලක්‍ෂ ගණනාවක්‌ වටිනා රන් අභරණ සහ මුදල් කප්පම් වශයෙන් ලබාගත් රියෑදුරු මීගමුව කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා ඇතුළු එම ඒකකයේ නිලධාරීන් විසින් 29 දා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධියේ පැමිණිල්ල අනුව අදාළ ආයතනය මීගමුවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයකි. එහි සේවය කරන රූමත් විවාහක විධායක නිලධාරිනියකි. දරුවන් නොමැත. එම ආයතනයේ රියෑදුරකු එම නිලධාරිනිය සමඟ අනියම් පෙම් සබඳතාවක්‌ ගොඩනගාගෙන විනෝද වී ඇත.

කෙසේ වෙතත් රියෑදුරු ඇය සමඟ විවිධ අවස්‌ථාවල විවිධ අන්දමේ ඡායාරූප ගෙන ඇත. පසුව එම ඡායාරූප ඇගේ සැමියාට සහ අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කර වරින්වර කප්පම් ලබාගෙන තිබේ. එක්‌ අවස්‌ථාවක ඇගෙන් රුපියල් පනස්‌ දහසක්‌ බලෙන් ලබාගෙන ඇත. පසුව ඇගේ එක්‌ ලක්‍ෂ තිස්‌ හතර දහසක්‌ වටිනා රන් මාලය සහ රුපියල් හතළිස්‌ පන්දහසක්‌ වටිනා රන් මුදුව ද බලෙන් ලබාගෙන ඇත.

මෙලෙස රියෑදුරු (සැකකරු) ඇගෙන් මුදල් සහ අනිකුත් දැ වරින්වර ඉල්ලීම ඇයට බලවත් හිසරදයක්‌ බවට පත්ව ඇත. ඇය දිවි හානි කර ගැනීමට උත්සාහ දරා තිබේ. අවසානයේ රුපියල් ලක්‍ෂ 5 ක්‌ ලබාදෙන ලෙසට සැකකරු (රියෑදුරු) ඇයට බල කර ඇත. එම මුදල රැගෙන මාරවිල කුරුස පල්ලිය අසළ මුහුදු වෙරළට එන ලෙසට ඇයට දන්වා ඇත.

පසුව ඉතා අසරණ තත්ත්වයට පත්වූ පැමිණිලිකාරිය (විධායක නිලධාරිනිය) පොලිසියේ පිහිට පතා තිබේ. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ මීගමුව කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සූක්‍ෂ්ම ලෙස කුරුස පල්ලිය අසල මුහුදු තීරයේ රැඳෙමින් මුදල් ගැනීමට පැමිණි සැකකරු වහා අත්අඩංගුවට ගෙන ඇත. පසුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාර රියෑදුරු මේ අන්දමින් කාන්තාවන් විශාල පිරිසක්‌ රවටා ඔවුන්ගේ ඡායාරූප ගෙන ඒවා අන්තර්ජාලයට මුදා හරින බවට බියපත් කොට වරින්වර මුදල් ලබාගන්නා බවය.

අත්අඩංගුවට ගත් මාරවිල පහළ කොට්‌ටරාමුල්ල පදිංචි 29 හැවිරිදි රන්කොත් පේඩිගේ ශ්‍රීමාල් විඡේවර්ධන (29) නමැති සැකකරු මීට පෙර කාන්තාවකට අතවර කිරීම සම්බන්ධයෙන් අත්හිටුවූ සිරදඬුවම් ලැබූ අයකු බවට අනාවරණය වී ඇත. සැකකරු අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු යොදා ඇත.

බස්‌නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්‌පති දේශබන්දු තෙන්නකෝන්, මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි චන්දන අතුකෝරළ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය මත පොලිස්‌ පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා වැටලීම මෙහෙයවීය.

වැටලීමට පො. සැ. (25582) ගුණසේකර, පො. සැ. (34064) හේරත්, කොස්‌තාපල්වරුන් වන (31877) චතුරංග, (37928) වන්නිනායක, (78142) ප්‍රභාත්, (78941) පුෂ්පකුමාර, (82442) පෙරේරා, පො. කො. (82756) ගයාන්, පො. කො.(88441) හපුවිට, (85438) ජයකොඩි යන නිලධාරීහු පරීක්‍ෂණ සිදු කළහ.

– විමල් කීර්ති

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button