පළකල දිනය : Sun, Nov 4th, 2018

මහින්ද අගමැති බව රනිල් දැනගත් හැටි !

මුලු රටේම කතාබහට ලක්වූ දේශපාලන බල පෙරළියක් පසුගිය සතියේ සිදු විය. ඒ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එක්ව සෑදු නව රජයයි. මෙම බල පෙරළියේ පසුපස කතාව පිළිබඳ ලිපියක් සතිඅන්ත පුවත්පතක පළව තිබුනි.

එම ලිපිය පහතින්,

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පසුගිය දිනවල පාර්ශ්ව කිහිපයක් සමඟ නිරන්තරයෙන් කරන ලද සාකච්ඡා වට කිහිපයකට පසුව එක්තරා දැඩි තිීන්දුවක් ගන්නට කල්පනා කළේය. ඒ අනුව පසුගිය 26 වැනි සිකුරාදා උදේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන තම සහෝදරයා වන ඩඞ්ලි සිරිසේනට පණිවිඩයක් යැව්වේය.

මට පවුලේ කට්ටියත් එක්ක ඉතාම වැදගත් කාරණාවක් ගැන කතාබහ කරන්න ඕන. ඔක්කොටම අද හවස අපේ ගෙදරට එන්න කියන්න. මේ අනුව සිකුරාදා සවස් වරුවේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන දැනුම් දුන් වේලාවට සිරිසේන පවුලේ සෙසු සාමාජිකයන් ජනාධිපති නිල නිවසට පැමිණ සිටියෝය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන එහිදී මුලින්ම කතා කළේ තම බිරිඳ හා දරු තිදෙනා සමඟය.

‘‘මම ඔයගොල්ලන් එක්ක අද විශේෂ කාරණාවක් ගැන කතා කරන්නයි එන්න කිව්වේ. මට දැන් මගේ ජීවිතය සම්බන්ධයෙනුත්, දරු පවුල සම්බන්ධයෙනුත්, මේ රට බේරා ගැනීම සම්බන්ධයෙනුත් විශේෂ තීන්දුවක් ගන්න වෙලා තියෙනවා. මම මෙච්චර කලක් ඉවසුවා. බැරිම තැන තමයි මේ තීන්දුව ගන්නේ. මම තීරණය කළා මේ ආණ්ඩුව ඉවරයක් කරන්න. රනිල්ගෙන් ආණ්ඩුව අරන් මහින්ද රාජපක්‍ෂට ආණ්ඩුව බාර දෙන්න තීන්දුවක් ගත්තා. මොනවද මේ ගැන ඔයගොල්ලා කියන්නේ.’’

ජනාධිපති මෛත‍්‍රිපාල එකවරම තම පවුල වෙත ඉදිරිපත් කළ මේ උභතෝකෝටික ප‍්‍රශ්නය නිසා සැවොම නිරුත්තරව බලා සිටියා මිස උත්තරයක් එකවර දුන්නේ නැත. මෛත‍්‍රිපාල සිරිසේන මෙහිදී තමා මේ තීන්දුව ගන්නට ආසන්නතම හේතු විවරණය කරන්නට පටන් ගත්තේය. විශේෂයෙන්ම ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් පවත්වන ලද පරීක්‍ෂණවලදී හෙළිදරව් වී ඇති කරුණු ගැන පවුලේ සාමාජිකයන් දැනුවත් කළේය.

මෙහිදී පවුලේ සාමාජිකයෝ කතා කරන්නට පටන් ගත්හ. එදා 2014 නොවැම්බර් මාසයේදී මහින්ද රාජපක්‍ෂ රජයෙන් සමුගෙන පොදු අපේක්‍ෂකයා ලෙස විපක්‍ෂයට එක්වන්නට තීන්දුව ගන්නට පෙරදීත් මේ අයුරින් පවුලේ අය සමඟ අවසන් වශයෙන් කරුණු දක්වා සාකච්ඡා කළ අයුරු ද පවුලේ සාමාජිකයන් මතක් කළහ.

ඔබතුමා රට වෙනුවෙන් කැමති තීන්දුවක් ගන්න. ඔබතුමා කවදාවත් වැරදි තීන්දුවක් ගන්නේ නැති බව අපි දන්නවා. බිරිඳ දරු තිදෙනා ඇතුළු පවුලේ සියලූම දෙනා මෙසේ විශ්වාසය පළ කරමින් එකාවන්ව පළ කළ අදහස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේනගේ චිත්ත ධෛර්යය වඩවන්නට හේතුවක් විය.

ඒ වන විට ජනාධිපතිවරයා සිකුරාදා හවස්වරුවේ සැලසුම් කරගත් දෙවන අංගය ලෙස ආණ්ඩු පක්‍ෂයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම රැස් කරන්නට තීරණයක් ගෙන තිබිණි. මන්ත‍්‍රී කණ්ඩායමේ බහුතරයක් මේ විශේෂ කථාව පවත්වන්නේ ඇයිදැයි හාංකවිසියක්වත් නොදැන සිටියත් මහින්ද අමරවීර ඇතුළු විශේෂ දෙතුන් දෙනකු පමණක් සිදුවන දේ දැන සිටින බව පෙනෙන්නට තිබිණි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන එදා සිකුරාදා දිනයේ උදේ පටන් ම යම් යම් තීරණාත්මක දේශපාලන බලවේග සමඟ සිදුකරන අලූත් වෙනස ගැන විශේෂ සාකච්ඡා වාර කිහිපයක් පවත්වා තිබුණත් ඒ කිසිවෙක් ඒවා පිළිබඳ ආරංචි වන සේ කෙළ බිඳක්වත් නොහෙළන්නට වගබලා ගෙන තිබීම ද විශේෂත්වයකි.

සිකුරාදා සවස දුමින්ද දිසානායක ගේ නිවස තුළ ද සුවිශේෂී පුද්ගලයන් සිව්දෙනකු සහභාගි වූ විශේෂ රැස්වීමක් පැවැත්වුණු බවට තොරතුරු වාර්තා වුවත් ඒ පිළිබඳ වැඩි විස්තර හෙළිදරව් නොවූයේ සහභාගි වූ 4 දෙනාම සාකච්ඡාවේ තතු කිසිවක් හෙළිදරව් නොකිරීම නිසාය. මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ, මහින්ද අමරවීර හා දුමින්ද මෙහිදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව පමණක් අප වෙත වාර්තා විය.

අලූත් වෙනස ඇති කරන්නට දුමින්ද එකඟ කරවා ගැනීම තරමක් අසීරු කාරණාවක් විය. එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අනාගතය හා යම් යම් පුද්ගලයන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගත් එකඟතා කිහිපයකට පසුව ජනාධිපතිවරයාගේ තීරණයට එකඟ වන්නටත් ඒ පිළිබඳව තතු කිසිවක් කිසිවකුටත් නොකියන්නට හතරදෙනාම තීන්දු කර ගත්හ.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ හැසිරීම සම්බන්ධයෙන් ද එදින විශේෂත්වයක් දකින්නට තිබිණි. ඔහු එදා ලබා ගන්නා දුරකථන ඇමතුම් මෙන්ම යන එන ගමන් බිමන් ගැන ද වෙනදාට වඩා සැලකිලිමත් වන බවක් සෙසු අයට දැනෙන්නට පටන් ගෙන තිබිණි. හිටපු ජනාධිපතිවරයා තම හිතෛෂීවන්තයන්ට පවසා තිබුණේ අපි අද හවස හමුවෙමු කියාය. ඒ හමුවන්නේ කොතැන, කුමක් සඳහා ද යන කාරණය ගැන කිසිවකුටත් ලොකු අවබෝධයක් ඇති වී නොතිබුණේ ඒ පිළිබඳව විශේෂයෙන් හොයන්නට කාරණාවක් ඒ වනවිට ආරංචි වී නොතිබුණ නිසාය.

හවස ජනාධිපතිවරයාගේ විශේෂ හමුවක් පවත්වන්නට යොදාගෙන තිබෙන බවත්, ඒ සඳහා සහභාගි වන්නට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ටත් ආරාධනය කර තිබෙන බවත් ආරංචියක් පැතිර ගියේ මේ අතරය. මේ හමුව කුමක් අරබයා ද කියා හුඟ දෙනෙක් දැන සිටියේ නැත.

මේ අතර එදින සවස කොළඹ රාමාඩා හෝටලයේ විශේෂ කාමරයකට වී තවත් සුවිශේෂී පිරිසක් එක්තරා රහසිගත දේශපාලන මෙහෙයුමක නිරත වී සිටියහ. එතන දේශපාලනඥයෝ 15 දෙනෙක් එක් රැස් වී සිටියහ. එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා, අනුර ප‍්‍රියදර්ශන, ලක්‍ෂ්මන් යාපා, තිලංග සුමතිපාල, චන්දිම වීරක්කොඩි, සුසිල් පේ‍්‍රමජයන්ත ඇතුළු මේ කණ්ඩායම ඉතාමත්ම සතුටින් පසුවන බව ඔවුන්ගේ හැසිරීම්වලින් හා කතා බහෙන් පෙනෙන්නට තිබිණි. ඔවුන් ද සූදානම්ව සිටියේ කල්තියා යොදා ගන්නා ලද සැලසුමකට අනුව සවස 7.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන සුවිශේෂී කටයුත්තකට සහභාගි වන්නටය.

එක් පැත්තකින් මහින්ද රාජපක්‍ෂ ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු එක එක්කෙනා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියහ. අනෙක් පැත්තෙන් 16 දෙනාගේ කණ්ඩායමේ දේශපාලනඥයෝ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණෙමින් සිටියහ. දුමින්ද, මහින්ද අමරවීර ඇතුළු ආණ්ඩු පක්‍ෂයේ ඇමැතිවරු කිහිපදෙනෙක් ද මේ අවස්ථාවට පැමිණ සිටියහ. ත‍්‍රිවිධ හමුදාපතිවරු හා පොලිස්පති වරයා ද පැමිණ සිටියහ. මේ සිදුවන්නට යන්නේ කුමක් හෝ ආගන්තුක අලූත් විශේෂ සිදුවීමක් බවට ලක්‍ෂණ හැම තැනම පෙනෙන්නට තිබෙන බැවින් සැවොම පසුවුණේ කුතුහලයෙනි.

මේ වනවිට තවත් දෙයක් සිදු වී අවසන්ව තිබිණි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර ඒ වනවිට තම අත්සනින් කථානායකවරයා වෙත ලිපියක් යවා තිබිණි. එම ලිපියෙන් දන්වා යවා තිබුණේ වසර 3 1/2 ක කාලයක් තිස්සේ බලයේ පැවැති යහපාලන ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වය ඉවත් වන්නට තීරණය කරන ලද බවයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පැමිණියේ මේ අතරතුරය. සභාව තුළ අලූත් දිවුරුම්දීමකට සියලූ පරිසර සාධක මැනවින් සකස්ව තිබිණි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්‍ෂ රටේ ඊළඟ අග‍්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බව නිවේදනය කෙරිණි. ඒ සඳහා මහින්ද අමරවීර ගෙන ආ යෝජනාව දුමින්ද දිසානායක විසින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් ස්ථිර කරනු ලැබුවේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අලූත් ආණ්ඩුවේ අලූත් අගමැතිවරයා වූයේ ඒ අනුවය.

දිවුරුම් දීමෙන් පසුව බොහෝ දෙනකු මහින්දට කතා කරන තරමටම තවත් පුද්ගලයකු ළඟට ගොස් අතට අත දී සතුට පළ කර කතා කරන්නට වූහ. ඒ පුද්ගලයා එස්. බී. දිසානායකයි.

ඔක්කෝම ටික හිමින් සීරුවේ කරල කියල දැන් මෙතෙන්ට වෙලා හිමිජ්ජා වගේ සද්ද නැතුව ඉන්නවා නේද?

මම මොනවද කළේ. අර දෙන්නා තමයි කතා බහ කරගෙන ඔක්කොම කළේ. එස්. බී. පෙන්නුවේ මහින්ද හා මෛතී‍්‍රවය.

අන්න ඉන්නවා මේකේ තව වගඋත්තරකාරයෙක්. අපේ සටන මහින්ද අගමැති කිරීම කියලනේ හැම තැනකදීම කිව්වේ කියමින් තවත් සමහරු සුබ පතන්නට වූයේ ඩිලාන් පෙරේරාටය. දැන් ඉතින් ආයෙත් බලවත් ඇමැති කෙනෙක්, මන්ත‍්‍රීවරු ඩිලාන්ට කීය.

මගේ ඇමැතිකම තමයි මහින්ද මහත්තයාගේ අගමැතිකම. ඊට වඩා දෙයක් මට තවත් නෑ…. ඩිලාන් කීහ.

මේ අතර දම් පැහැති අත් දිග ෂර්ටයකින් සැරසුන කෙනෙක් පැමිණ ජනාධිපතිවරයාට සුබ පතනු දුටු සමහරු කීවේ, අන්න ඉන්නවා මේ මෙහෙයුමේ මහා මොළකරු කියාය. ඒ බැසිල් රාජපක්‍ෂය. බැසිල්ට පෙර ජනාධිපතිට සුබ පැතුවේ චමල් රාජපක්‍ෂය. ඒ සතුටුදායක මොහොත විහිළුවෙන්, තහළුවෙන් හා සතුටු කතාබහෙන් යුතුව එසේ ගෙවී යද්දී මේ පිළිබඳ ආරංචිය ද මාධ්‍ය ඔස්සේ රට පුරා පැතිර යන්නට විය.

ජනාධිපති කාර්යාලය, ජනාධිපති නිල නිවස, විජේරාම මාවතේ හිටපු ජනාධිපතිගේ නිල නිවස, එස්. බී. දිසානායකගේ බත්තරමුල්ල නිවස, මහින්ද අමරවීරගේ නිවස හා දුමින්දගේ නිල නිවස තුළ දින ගණනාවක් තිස්සේ සාකච්ඡාවට බඳුන් වෙමින් ක‍්‍රියාත්මක වූ මහින්ද අගමැති කර රනිල් ඉවත් කිරීමේ මෙහෙයුම මෙසේ ජයග‍්‍රහණයෙන් අවසන් වෙද්දී ඒ කිසිවක් දැන නොසිටි අගමැති රනිල් වික‍්‍රමසිංහ සිටියේ වජිර අබේවර්ධනගේ ආරාධනාවක් අනුව ගාල්ලේ පැවැති උත්සව කිිහිපයකට සහභාගි වන්නට ගාල්ල බලා ගොසිනි.

වජිරගේ ආරාධනයෙන් ගාල්ලට ගිය රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැඟිල්ලක් විවෘත කළේය. ඒ සමගම තවත් විවෘත කිරීම් කිහිපයකට සහභාගි වී හවස ගාල්ලේ ලයිට් හවුස් හෝටලයේ දී ප‍්‍රදේශයේ දේශපාලනඥයන් හමුවන්නටද ඔහු කල්තියා සැලසුම් කරගෙන තිබිණි.

රනිල් ලයිට් හවුස් හෝටලයට බොහෝ සේ කැමැතිය. ඔහු එදා රාති‍්‍රය එහි නිදහසේ ගත කරන්නට සිතා සිටියේය.

එහෙත් හවස 7 ට පමණ සමාජ වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වන්නට වූ යම් යම් ආරංචිත් ඊට සමගාමීව ප‍්‍රදේශයේ ලවක් දෙවක් නැතිව පත්තු වෙන්නට වූ රතිඤ්ඤා හඬත් නිසා රනිල් කලබලයට පත්විය.

නොසිතූ දෙයක් කොළඹ සිදුවී ඇති බව දැනගත් රනිල් දුරකථන ඇමතුම් කිහිපයක් අරගත්තේය. 2015 ජනවාරි 09 වැනිදා දි.මු. ජයරත්න අගමැතිවරයාට අත්වූ ඉරණම ඊට වසර 3 කුත් මාස 8 කට පසු තමන්ටද අත්වී ඇති බව රනිල් සැකහැර දැනගත්තේ ඒ අනුවය.

ගාල්ලේ නතර වීම අතහැර දැමූ අගමැති රනිල් යළි කොළඹ බලා එන්නට සූදානම් විය. එනකොට මහ වැස්සය. හෙළිකොප්ටරයක් ගෙන්වා ගත නෙහැක. මේ නිසා ඔහු යළි කොළඹ ආවේ අධිවේගී මාර්ගය ඔස්සේය.

මේ සිදුවී ඇති දේ ගැන කනගාටුවකට වඩා විමතියකට පත්වූ රනිල් තම හිතවතුන්ට අරලියගහ මන්දිරයට එන මෙන් පණිවිඩ හැරියේය. රනිල් ගාල්ලේ සිට අරලියගහ මන්දිරයට එනවිට අරලියගහ මැඳුරම එජාප ආධාරකරුවන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබිණි. කිරිඇල්ල, කබීර්, රවි, හරීන්, වජිර, ගයන්ත, දයා ගමගේ ඇතුළු විශාල පිරිසක් සමග ටික වේලාවක් සාකච්ඡාවක නිරත වූ රනිල් නැඟී සිටියේ තම මාධ්‍ය ලේකම් සමන් අතාවුදහෙට්ටි සොයමිනි.

‘‘බලන්න මේ මනුස්සයා කොහේ ගිහිල්ලද කියලා. මට අපේ ජාතිය අමතා කතා කරන්න ඕන. මෙයා ඒක සූදානම් කරන්න ඉන්න එපායැ…’’

එහෙත් සමන් කිසි තැනක සිටියේ නැත. ඔහුගේ දුරකථනයෙන් පෙන්නුම් කළේ ඔහු විදේශගත වී සිටින බවකි. ඔහු ජපානයේ සංගීත සංදර්ශනයක නිවේදකයකු ලෙස කටයුතු කරන බව පසුව ආරංචි විය.

ඉන්පසුව මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ අගමැති රනිල් මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක් කළේය. කවුරු කෙසේ කීවත් මේ රටේ නීත්‍යනුකූල එකම අගමැති තමන් පමණක් වන බව රනිල් වික‍්‍රමසිංහ මාධ්‍ය වෙත කියා සිටියේය.

විපක්‍ෂය විශ්වාසභංගයක් ගෙනැල්ලා වැඩි ඈතක් නෑ. එහිදී පාර්ලිමේන්තුවේ වැඩි කැමැත්ත මට තිබෙන බව ඔප්පු වුණා. එදා ව්‍යවස්ථානුකූලව රටේ බහුතරයක් කැමැති පුද්ගලයාට මිස වෙනත් අයෙකුට රටේ අගමැති වෙන්න ඉඩක් නෑ. වහාම පාර්ලිමේන්තුව කැඳවලා බහුතර කැමැත්ත විමසා බලන්න ඕනෑ… රනිල් යෝජනා කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමත් සමගම රටේ ලොකු පිබිදීමක් ඇති විය. පසුවදා උදයේ රටපුරා තැන් තැන්වල උත්සව පවත්වමින් ජනතාව එම ජයග‍්‍රහණය සමරන්නට වුණේ බොහෝ කලක් විවිධ පීඩාවන්වලින් පීඩිත වූ කණ්ඩායම් ඒවායින් ලද අහඹු නිදහසක් බුක්ති විඳින්නා සේය.

ජනතාවට කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුවේ ලොකු කුඩා තනතුරු හා මැති ඇමැතිකම් දැරූ බොහෝ දෙනකුට මේ පත්වීමත සමග බරපතළ ප‍්‍රශ්න මතුවිය. බොහෝ දෙනෙක් තම කාර්යාල හා නිල කාමර සිකුරාදා හවස වසා දමා පැමිණියේ සඳුදා යළි සේවයට වාර්තා කරන මානසිකත්වයකින් යුතුව ය. එහෙත් මේ අහඹු සිදුවීම් නිසා සියල්ල උඩු යටිකුරු වී ගියේය. තම තමන්ගේ කාර්යාල හා නිල කාමරවල බඩු බාහිරාදිය දමා පැමිණි මැති ඇමැතිවරු සභාපතිවරු හා ආයතන ප‍්‍රධානීන් බලවත් සේ අපහසුතාවයට පත් වූයේ ඒවා යළි කෙසේ ලබා ගන්නේ ද කියා කල්පනා කරමිනි. සෙනසුරාදා හා ඉරිදා දිනවල සමහර ආයතන ප‍්‍රධානීන් හා මැති ඇමැතිවරු තම තමන්ගේ ආයතනවලට ගොස් බඩු බාහිරාදිය හැකි පමණින් අස් කරගන්නට වූහ. එහෙත් සමහර කලබලකාරී ආයතනවල එය ඉටුකර ගත නොහැකි විය.

මෙම ඉරණමට මුහුණ දී ඉතාමත් කනගාටුදායක සිද්ධියකට මුහුණ පාන්නට සිදු වූ ඇමැතිවරයකු ලෙස පසුගිය සතියේ අර්ජුන රණතුංග ඇමැතිවරයා කැපී පෙනුණි. අර්ජුන රණතුංග පසුගිය සති අන්තයේ ආරක්ෂකයින් පිරිසක් හා තවත් කණ්ඩායමක් සමග දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා භූමියට ගියේ ඔහුගේ කාර්යාලයේ තිබූ එබඳු අත්‍යවශ්‍ය ලිපිගොනු හා බඩු බාහිරාදිය කීපයක් ඉවත් කර ගැනීම සඳහාය. එහෙත් ඒ සඳහා වෘත්තීය සමිති සේවක සේවිකාවන්ගෙන් බරපතල විරෝධයක් පැන නැගිණි. මෙහිදී ඇති වූ සිද්ධියක් නිසා සිදු වූ කලබලයක දී අර්ජුනගේ ආරක්ෂක අංශයේ වෙඩි තැබීමකින් තුවාල ලැබූ සේවකයෙක් අවාසනාවන්ත ලෙස මිය ගියේය.

මෙම අවාසනාවන්ත සිද්ධියත් සමඟම රට පුරා තෙල් වැඩවර්ජනයක් පටන් ගන්නා ලද්දේ ය. මෙම සිද්ධිය නිසා ජනාධිපතිවරයාටත් අලූත පත්වූ අගමැතිවරයාටත් කප්පරක් ගැටලූ තිබියදී විසඳන්නට අලූත් ගැටලූවක් ලැබුණි.

කුමන දේශපාලන මතිමතාන්තර තිබුණත් රණතුංග පවුලේ සහෝදරයන් අතර ඇත්තේ එක්තරා අන්දමක වෙන් කළ නොහැකි බැඳීමකි. අර්ජුනත් ප‍්‍රසන්න රණතුංගත් දේශපාලනඥයින් ලෙස දෙපැත්තක කටයුතු කළත් අර්ජුනගේ මෙම සිදුවීම නිසා ප‍්‍රසන්න ද යම් කම්පනයකට පත් විය.

අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ දිවුරුම් දෙද්දී ප‍්‍රසන්න රණතුංග සිටියේ විදේශගතවය. ප‍්‍රසන්න යළි ලංකාවට පැමිණියේ සෙනසුරාදා උදේ පාන්දරය.

ප‍්‍රසන්න පිළිගැනීමට ගම්පහ දිස්ත‍්‍රික්කයේ විශාල ජනකායක් සමග ඉන්දික සහ රණවීර ගුවන්තොට වෙත පැමිණ සිටියහ. රණවීර සහ ඉන්දික දෙදෙනා ප‍්‍රසන්නට වාතාවරණය පැහැදිලි කරන්නට තැත් කළ ද ප‍්‍රසන්න කීවේ තමන් සියල්ල දැන සිටි බවය. මහින්ද මෙන්ම බැසිල් ද වරින් වර දුරකථනයෙන් තමා ඇමැතූ බව ප‍්‍රසන්න ඔවුන්ට කීවේය.

”අපි මුල ඉඳලම හිටියේ මහින්ද මහත්තයා අගමැති කරවන සටනේ. අද ඒ සටන ජයග‍්‍රහණය කරලා තියෙනවා. ඒක කොහොම වුණාද කියන එක දැන් ගැටලූවක් නෙමෙයි. පහුගිය අවුරුදු තුනේම රට අගාධයට යමින් තිබුණා. දැන් තියෙන්නේ මහින්ද මහත්තයාගේ නායකත්වය යටතේ මේ රට ගොඩනැගීමයි. අපි සියලූදෙනාම එකතු වෙලා ඒකට සහයෝගය දෙමු’ ප‍්‍රසන්න පැවසීය.

ප‍්‍රසන්න තවදුරටත් ගුවන්තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ රැඳී සිටියේ සිය බිරිය එනතුරුය. ඒ අතරතුර එහි ආවේ රාවුෆ් හකීම්ය. ”මොකක්ද මේ වෙන්නේ? මම යනකොට ඇමැති එනකොට මන්ත‍්‍රී’ හකීම් කීවේය.

”වෙන්න තිබ්බ හොඳම දේ තමයි වෙන්නේ’’ ප‍්‍රසන්න පැවසීය.

”ඔයාට නම් ඉතින් ලොකු ඇමැතිකමක් හම්බ වෙයි. මේ සටනේ මුල ඉඳන් හිටපු කෙනා ඔයානේ’’ හකීම් කීවේය.

”අපි ඒවා ගැන බලාපොරොත්තුවක් නැහැ. අපි ඇමැතිකම් තියාගෙන ඉන්නේ ඔයාලට දෙන්නයි’’ ප‍්‍රසන්න පැවසීය.

”අපිත් මේ පාර ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ’’ කී හකීම් පිටත්ව ගියේය.

ප‍්‍රසන්නට උදෑසනම මහින්දත් බැසිලූත් කතා කළේ ලංකාවට ආවේදැයි බලන්නටය. අනතුරුව ඔවුන් දෙදෙනාම කීවේ එදින උදෑසන පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට අනිවාර්යෙන්ම සහභාගි වන ලෙසය. ඒ අනුව ප‍්‍රසන්න එදින උදෑසන එම සාකච්ඡාවට ගියේය. එතැනදී මහින්ද මන්ත‍්‍රීවරුන්ට

අගමැති ධුරය භාරගැනීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.

”අපිට සරල බහුතරයත් ඉක්මවලා මන්ත‍්‍රීවරුන් ඉන්නවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා’’ මහින්ද කීවේය.

ඒ අතරතුර දැනගන්නට ලැබුණේ රනිල් අරලියගහ මන්දිරයෙන් පිටත්ව යෑමට සූදානමක් නැති බවය. ”එදා ජනාධිපතිවරණය පැරදුණාම සර් හිනාවෙවී අරලියගහ මන්දිරයෙන් එළියට යනකොට මිනිස්සු ඇඬුවා. අද රනිල් අරලියගහ මන්දිරයට වෙලා අඬ අඬා ඉන්නකොට මිනිස්සු හිනාවෙවී ඉන්නවා. ඔන්න ඕක තමයි සර් වෙනස’’ ප‍්‍රසන්න මහින්දට පැවසීය.

සඳුදා උදෑසන නව අගමැතිවරයා වැඩ භාර ගැනීමේ උත්සවයට සහභාගි වන්නට ප‍්‍රසන්න ගියේය. එතැනදී ප‍්‍රසන්නත් තිලංගත් ලන්සාත් අගමැතිවරයා මුණගැසුණේ වැඩ භාර ගැනීමට පෙරය. මහින්ද ඔවුන්ට කීවේ තමන්ට සහය පළ කළ වඩිවේල් සුරේෂ් හට ගැටලූවක් පැන නැගී ඇති බැවින් වහාම ගොස් එය විසඳන ලෙසය. උත්සවය පසෙක තබා ප‍්‍රසන්නලා වහා වඩිවේල් බේරා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළහ.

එදින උදෑසන මන්ත‍්‍රීවරුන් පිරිසක් වඩිවේල් අරලියගහ මන්දිරයට කැඳවාගෙන ගොස් තිබුණි. ප‍්‍රසන්නලා වඩිවේල් හමුවී තත්ත්වය සමනය කළ වහාම නැවත වරක්

බැසිල්ගෙන් දැනගන්නට ලැබුණේ වසන්ත සේනානායක හට ද ගැටලූවක් ඇති බවය. ඒ අනුව වසන්ත බේරා ගැනීමේ මෙහෙයුම ද ආරම්භ කෙරිණි.

එතැනදී සිදුව තිබුණේ අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් කිසිවකු වසන්තට අමතා නොතිබීම නිසා ඔහු දෙගිඩියාවකින් සිටීමය. වහා වසන්තගේ නිවසට ගිය ප‍්‍රසන්න, තිලංග සහ ලන්සා කරුණු සාකච්ඡා කළහ. ප‍්‍රසන්න සිය දුරකථනයෙන් මහින්ද, බැසිල් මෙන්ම

ගෝඨාභය ද අමතා වසන්තට කතා කරන්නට සලස්වා ගැටලූව හමාර කළහ. මෙහෙයුම් නිමාවී ඔවුන් එන විට අගමැතිවරයාගේ උත්සවය ද අවසන්ව තිබුණේය.

මේ අතර බොහෝදෙනාගේ කතාවට ලක්ව තිබුණේ මහින්ද අගමැති වුව ද ප‍්‍රසන්න පෙනෙන්නට නොසිටීම ගැනය. ඇතැම් පිරිස් අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගනිමින් ප‍්‍රසන්න සම්බන්ධයෙන් විවිධ ප‍්‍රචාර ගෙනියන්නට කටයුතු කර තිබුණ ද සිදුව තිබුණේ තිරයෙන් එළියේ වැඩවලට වඩා තිරය පිටුපස වැඩවලට දුවන්නට සිදුව තිබීම නිසා ප‍්‍රසන්නගේ කාර්යභාරය ජනතාවට නොපෙනීමය.

ප‍්‍රසන්නට එහිදී බොහෝ දෙනකු සමඟ කතාබහ කරන්නට වූයේ අර්ජුනට අත්වූ ඉරණම ගැනය. ප‍්‍රසන්න ඒ සම්බන්ධයෙන් විවෘතව සාකච්ඡා කරන්නට නොගොස් නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ වන විට නීතිමය පියවර ගන්නට කරුණු කාරණා සිදු ව තිබුණු නිසාය.

අග‍්‍රාමාත්‍යවරයාගේ නිල නිවස ලෙස සලකන අරලියගහ මන්දිරය පසුගිය සතිය පුරාම තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ භාරයේය. ඊට හේතුව අලූත පත්වී පැමිණි අගමැතිවරයාට එම නිවස බාර නොදී අග‍්‍රාමාත්‍යවරයා සමග එහි රැඳෙමින් විරෝධතාවන්හි නිරත වන්නට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබීමයි.

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ඇමැති මණ්ඩලයේ සිටි කිහිපදෙනකුත් දෙමටගොඩ ප‍්‍රදේශයෙන් පැමිණි මුස්ලිම්වරු පිරිසකුත් දිවයිනේ විවිධ ප‍්‍රදේශ වලින් පැමිණි ආධාරකරුවන් පිරිසකුත් ඒ වන විට අරලියගහ මන්දිරය තම යටතට ගෙන එහි රිසි ලෙස හැසිරෙමින් සිටියහ. අරලියගහ මන්දිරයේ ආරක්ෂක නිලධාරීන් හා රාජකාරිවල නිරත වී සිටි රජයේ නිලධාරීන් සියල්ලෝම පාහේ ඉන් පිටත්ව ගියත් එක්සත් ජාතික පක්ෂයේ පිරිස් දිගින් දිගටම එහි රැඳෙමින් උද්ඝෝෂණ මෙහෙය වන්නට වූයේ විටින් විට පුවත්පත් සාකච්ඡා ද තබමින් පුවත්පත්වලට ද කරුණු අනාවරණය කරමිනි.

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පසුගිය සති අන්තයේ කළ තවත් විශේෂ කටයුත්තක් වූයේ තෝරාගත් විදේශ තානාපතිවරුන් ගෙන්වා ඔවුන් වෙත ලංකාවේ වර්තමාන තත්ත්වය හා ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනතුරට ලක්වූ ආකාරය පිළිබඳ පුවත්පත් සාකච්ඡා පැවැත්වීමය. එහිදී හිටපු අග‍්‍රාමාත්‍යවරයා තානාපතිවරුන්ගේ අවධානය යොමු කළේ ලංකාවේ දේශපාලනමය ව්‍යසනයක් ඇති බව ඒත්තු ගන්වන්නට ය.

ඒ අතර අග‍්‍රාමාත්‍යවරයෙක් සිටියදී තවත් අග‍්‍රාමාත්‍යවරයෙක් නීත්‍යානුකූල නොවන වන මගකින් පත්කර රටේ ඇති කරන ලද ව්‍යාකූල තත්ත්වයට විරෝධය පාමින් දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් පටන් ගන්නට ද එක්සත් ජාතික පක්ෂය සැලසුම් කළේ අරලියගහ මන්දිරයේ සිට ය. ඒ අයුරින් දවසින් දවස අග‍්‍රාමාත්‍ය මන්දිරය වන අරලියගහ මන්දිරය කොළඹ සිටින එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ විවේකාගාරයක් හා නවාතැන් පොළක් බවට පත් විය.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක සම්බන්ධයෙන් ද පසුගිය සතියේ බරපතළ ගැටලූවක් නිර්මාණය විය. අග‍්‍රාමාත්‍යකමට මහින්ද රාජපක්ෂගේ නම යෝජනා කරන්නේ මහින්ද අමරවීර ය. එම නම ස්ථිර කරනු ලබන්නේ දුමින්ද දිසානායකයි. එහෙත් ඉන්පසුව පසුගිය සතිඅන්තයේ ඔහුව හමු වන්නට හා පාක්ෂිකයන් හා නායක නායිකාවන් නිසා තත්ත්වය නරක අතට හැරී යන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත.

අගමැතිවරයා අග‍්‍රාමාත්‍ය කාර්යාලයට ගොස් වැඩ භාර ගෙන සිය මන්ත‍්‍රී කණ්ඩායම හා පක්ෂ නායකයින් හමු වූ පසුගිය සඳුදා දිනයේ උදේ 5.00 ට ජනාධිපති නිල නිවාසයේ දී ද විශේෂ කණ්ඩායම් රැස්වීමක් පැවැත්විණි. ඊට සහභාගි වන්නට පැමිණි දුමින්ද දේශපාලනමය වශයෙන් යම් පරිවර්තනයකට හසු වී තිබෙන බව සමහර අය තේරුම් ගත්හ.

එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා තම මන්ත‍්‍රී කණ්ඩායමට අවධාරණය කළේ ඊළඟට හදන ආණ්ඩුව ගැනය. තම කණ්ඩායම මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සමඟ එක්වී එක්සත් ජාතික පක්ෂයේ බලපෑම්වලට යටත් නොවන බහුතර ආණ්ඩුවක් සාදා ගත යුතු බව ජනාධිපතිවරයා යෝජනා කළේය. එහිදී දුමින්ද දිසානායක තම මතය ප‍්‍රකාශ කළේ ඒ වෙනුවෙන් හේතුකාරණා සාධක රාශියක් ද ඉදිරිපත් කරමිනි.

මෙපමණ දිනක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ ආසන සංවිධායකයින් ආයතන ප‍්‍රධානීන් හා අනිකුත් ආධාරකරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කවුදැයි ඔහු ප‍්‍රශ්න කළේය. ඔහු කීවේ කවුරු මහින්ද සමඟ ආණ්ඩු හැදුවත් තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවකි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ඉන් කලබලයට පත් වූයේ නැත. ඔහුට එදින වැඩ රාජකාරි බහුල විය. එදා ඔහු ඉතා ඉක්මනින් දකුණු පළාතේ තිස්සමහාරාමයට යා යුතුව තිබුණේ මහින්ද අමරවීර ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එහි සංවිධානය කර තිබූ වප්මගුල් උත්සවයට සහභාගි වීමට ද කල්තියා පොරොන්දු වී සිටි නිසාය.

හොඳයි… ඔයගොල්ලා එකතුවෙලා තීන්දුවක් ගන්න. මට ඕන බහුතරය පෙන්වන්න පුළුවන් ශක්තිමත් ආණ්ඩුවක්. ඒ සඳහා ඔයගොල්ලා ඇපකැප වෙලා කටයුතු කරන්න කියමින් තම කණ්ඩායමට උපදෙස් දුන් ජනාධිපතිවරයා දකුණ බලා පිටත්ව යන ගමනට සූදානම් වන්නට පටන් ගත්තේ ය.

එදින උදේ වරුවේ තිස්සමහාරාම වෙල්යායේ වප් මගුල් උත්සවය සූදානම් කර තිබුණේ මහින්ද අමරවීරගේ නායකත්වය යටතේය. වප්මගුල් උත්සවයට සහභාගී වන්නට පෙර ජනාධිපතිවරයා නව අගමැති මහින්ද රාජපක්ෂ ද සමඟ තිස්සමහාරාම රජමහා විහාරය ද වැඳපුදා ගන්නට ගියේය. විහාරය වැඳ පුදාගෙන නායක ස්වාමීන් වහන්සේලාගෙන් ආශිර්වාදය ද නොමදව ලබාගත් පිරිස යළි විසිර ගියේ ඊළඟ වැඩ රාජකාරි කටයුතු සඳහා ය. ජනාධිපතිවරයා වප්මගුලට ගිය අතර අගමැති මහින්ද යළි ඉතාමත් ඉක්මනින් කොළඹ බලා පිටත්ව ආවේ එදා උදේ 11.00 ට සුබ නැකතින් සූදානම් කර තිබූ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ වැඩභාර ගැනීමේ උත්සවයට සහභාගි වන්නටය.

උත්සවය එදින මනරම් ආකාරයට අග‍්‍රාමාත්‍ය කාර්යාලය තුළ සූදානම් කර තිබිණි. එහෙත් ප‍්‍රශ්නයකට තිබුණේ අතිවිශාල සෙනඟ කන්දරාවක් මහින්ද රාජපක්ෂ වැඩ භාර ගන්නා අවස්ථාව දැකගනු රිසියෙන් අග‍්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණ තිබීම ය. එම සෙනග අග‍්‍රාමාත්‍ය කාර්යාලයට උසුලා ගත නොහැකි අන්දමේ මහා සෙනගක් වූ නිසා උත්සවයට සහභාගි වන්නට ආ විශේෂ අමුත්තන්ට පවා සිදු වූයේ අග‍්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළට නොගොස් පිටත ගෙවත්තෙහි හා උයනෙහි සැරිසරමින් කාලය ගත කිරීමට ය.

දුමින්ද දිසානායක පසුගිය දිනවල සිටියේ දෙගිඩියාවෙනි. දුමින්ද සමග සාකච්ඡාවකට මහින්ද කෙනකු යැව්වද ඔහු කියා තිබුණේ තමන් ස්වාධීනව සිටින බවකි. වහා බැසිල් කැඳවූ මහින්ද උපදෙස් දුන්නේ දුමින්ද සමග සාකච්ඡා කරන ලෙසටය. ඒ අනුව බැසිල් බදාදා උදෑසන ගොස් දුමින්ද මුණගැසුණේය. දුමින්ද බැසිල්ට කීවේ තමන්ට ප‍්‍රශ්න තිබෙන බවය.

”මට සංවිධායකවරුන් දොස් කියනවා. අපේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගන්නයි මම වැඩ කළේ. ඒ හින්දා අපේ අයටත් සාධාරණයක් වෙන්න ඕනේ’’ දුමින්ද පැවසීය.

බැසිල් දුමින්ද අස්වැසුවේය. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දුවක් ගමු යැයි කී බැසිල් ආවේ දුමින්දගේ සහයෝගය අගමැතිවරයාට ලැබෙන බවට සහතිකයක් ද සමගය.

එදින උදෑසන වන විට ඉලක්කගත මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව ඉක්මවා ගොස් තිබුණු බැවින් මහින්දගේ පාර්ශ්වයට ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් ගැටලූවක් තිබුණේ නැත. එදින බැසිල්ට නඩුවක් තිබුණු බැවින් මෛත‍්‍රීගේ ප‍්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමට සහභාගී වන්නට පුළුවන්කමක් තිබුණේ නැත. බැසිල් ප‍්‍රසන්නට දැනුම් දුන්නේ තමන් වෙනුවට ගොස් පක්ෂ නායක හමුවට සහභාගි වන ලෙසය.

”අපිට ස්ථාවරත්වය ගැන කිසිම ගැටලූවක් නැහැ. අපේ මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව දැන් 113 ත් ඉක්මවලා ඉවරයි. දැන් තියෙන්නේ ආණ්ඩුවේ වැඩකටයුතු ටික ඉස්සරහට කරගෙන යන එකයි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් දිවුරුම් නොදෙන්නේ ඇයි කියන එකයි ප‍්‍රශ්නය” මෛත‍්‍රී කීවේය.

”අපි එන අයට ඉඩ දීලා ඒ ගැන පස්සේ බලමු’’ මහින්ද පැවසීය.

”එහෙම නම් කමක් නැහැ. ඔයාලත් ඇමැති ධුර භාර ගන්න ඕනේ. එහෙම නොවුණොත් ප‍්‍රශ්නයක් මතු වෙනවා. අපි එකතු වෙලා මේ ගමන යමු” මෛත‍්‍රී පැවසීය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් කථානායකවරයා හමුවීමට ගොස් තිබුණේ නව අගමැතිවරයාට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් කරුණු විමසීමටය. තිලංග සහ පියල් නිශාන්ත ඇතුළු කණ්ඩායම දුටු වහාම කථානායකවරයා ඇසුවේ මේ මොකද මෙච්චර කට්ටියක් කියලාය.

”මෙතැන ඉන්නේ ටික දෙනයි. අපේ තව කට්ටිය ඉන්නවා. ඕනේ නම් ඒ අයත් ගෙන්නන්න පුළුවන්. අපි ආවේ අගමැතිතුමාගේ පහසුමක් සැලසීම ගැන අහන්නයි’’ පියල් පැවසීය.

”නෑ නෑ ඕනේ නැහැ. මම කොහොමත් ඒ ගැන අපේ නිලධාරීන් එක්ක කතා කරලා අවශ්‍ය කටයුතු කරන්නම්’’ කථානායකවරයා පැවසීය.

කථානායකවරයා වඩාත් සැලකිලිමත් වූයේ හදිසි දේශපාලන වෙනස්කම නිසා ජනතාව අතර, යම් කැලඹීමක් ඇති වීම වලක්වා ගැනීමට උපරිමයෙන් මැදිහත් වීම කෙරෙහිය.

වහාම නිවේදනයක් නිකුත් කළ ඔහු ආයාචනා කළේ පැනනැගී ඇති දේශපාලන ව්‍යාකූලභාවය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ උත්තරීතර මූලධර්මයන් ගරු කරමින් ව්‍යවස්ථානුකූලව විසඳා ගැනීමට ශිෂ්ට සම්පන්න සමාජයක් ලෙස හැකියාව ඇති බැවින්, සහෝදරත්වයෙන් යුතුව සාමකාමීව කටයුතු කරන ලෙසයි.

එමෙන්ම, ත‍්‍රිවිධ හමුදා සහ පොලිස් ප‍්‍රධානීන් ද ඇමතූ කථානායකවරයා නීතියට අනුකූලව අපක්ෂපාතීව ප‍්‍රශස්ත අන්දමින් උද්ගතවී ඇති තත්ත්වය හමුවේ රාජකාරී ඉටු කීරිමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

කථානායකවරයා ලෙස උපරිම මධ්‍යස්ථභාවයෙන් යුතුව කටයුතු කරන නමුත්, පාර්ලිමේන්තුව නොවැම්බර් මස 16 දින දක්වා කල් තැබීම මහජන නියෝජිතන්ගේ හඬ යටපත් කිරීමක් බව පෙන්වා දුන් කරු ජයසූරිය මහතා වහාම ජනාධිපතිවරයා අමතමින් ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව කැඳවා පවතින තත්ත්වය සමහන් කරන ලෙසය.

සඳුදා අලූයම මහනුවර බලා පිටත්ව ගිය කරු ජයසූරිය මහතා මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් දෙපළ ද මුණ ගැසුනේය.

ඉතිහාසය පුරාම මෙවැනි අවුල් සහගත තත්ත්වයන් ඇති වූ විට මහා සංඝරත්නය පෙරට විත් නිවැරදිව මඟ පෙන්වූ ලෙසට සියලූ පාර්ශ්වයන්ට අවවාද, අනුශාසනා කරන ලෙස මහා නා හිමිවරුන් හමුවේ ඉල්ලා සිටි කථානායකවරයා වාර්තා වී ඇති ගැටුම්කාරී සිද්ධි සහ ඇතැම් විදේශ රටවල් ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත සිය රටවැසියන්ට නිකුත් කළ අනතුරු හැඟවීමේ නිවේදන පිළිබඳව ද පෙන්වා දුන්නේ ඉතාමත් හැඟීම්බරවය.

දේශපාලන පක්ෂ සහ විවිධ අංශවල පුද්ගලයන් සහ කණ්ඩායම් රැසක් කථානායකවරයා හමු වී කරුණු දැක්වීමට අපේක්ෂා කළ නමුත් පක්ෂග‍්‍රාහී නොවන වෘත්තිමය නිපුනත්වයක් සහිත කිහිප දෙනෙකු හැර අන් කිසිවෙකු හමු නොවීමට හෙතෙම වග බලාගත්තේය.

පාර්ලිමේන්තුව කැඳවන ලෙස මොහොතින්, මොහොත තමන්ට කෙරෙන ඉල්ලීම් පිළිබඳව ද ජනපතිවරයා අමතා කරුණු දැක්වූ කථානායකවරයාට ජනාධිපතිවරයා පැවසුවේ හමුවී දිර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සුදුසු බවයි.

ඒ අනුව 2018.10.31 දින සාකච්ඡාවක් යොදා ගැණුනු අතර, එදින පස්වරුවේ පැවති සාකච්ඡාව පැය එක හමාරකට ආසන්න කාලයක් ඇදී ගියේය. පාර්ලිමේන්තුව කැඳවීමේ අවශ්‍යතාවය පිළිබඳව කථානායකවරයා දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ අතර, සියල්ල සාවධානව අසා සිටි ජනාධිපතිවරයා පළ කළේ ඉතා යහපත් ප‍්‍රතිචාරයකි.

ජනාධිපති මෛත‍්‍රිපාලගේ නායකත්වයෙන් අගමැති මහින්ද රාජපක්‍ෂ විසින් හදන මේ ආණ්ඩුව රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උරගා බලන මහ මැතිවරණයක් ලබා ගැනීම පිණිස සටන් කරන භාරකාර රජයක් විය යුතු බව ඒකාබද්ධ විපක්‍ෂයේ බොහෝ දෙනකුගේ මතය වූහ. ඔවුන් පෙන්වා දෙන්නේ මෙය රටට ආදර්ශයක් පෙන්වන සුළුතර කැබිනට් මණ්ඩලයක් සහිත ආණ්ඩුවක් විය යුතු බවයි.

ඒ වෙනුවෙන් කැබිනට් ඇමැතිකම් කිසිවක් භාර නොගෙන සියලූ ඇමැතිකම් රජයක් තැනීම සඳහා පිටින් පැමිණෙන මන්ත‍්‍රීවරුන්ට පරිත්‍යාග කර තම තමන් මන්ත‍්‍රී ධුරවල සිට වැඩ කරන්නට සූදානම් බව ඒකාබද්ධ විපක්‍ෂයේ ක‍්‍රියාකාරිකයෝ කීහ.

අපි කෙසේ හෝ ඉලක්ක දෙකක් ජයගත යුතුයි. කැබිනට් මණ්ඩලය 25 ත් 30 ත් අතර තබාගත යුතුයි. ඒ වගේම පිටින් කැපවීමක් කරලා රජයට එකතුවන මන්ත‍්‍රීවරුන්ට ඇමැතිකම් දෙන්නත් ඕන. මම හිටියේ මේ අභියෝගය කොහොම ජයගන්න ද කියන ප‍්‍රශ්නය තුළයි. මට ඒක ජයගන්න මාර්ගය හදලා දුන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු…ඒ ගැන මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. ඒක හොඳ තීරණයක්. නමුත් මට ඒ ගුණය මා එක්ක මේ වසර තුනහ මාර තුළ කටයුතු කළ අයගෙන් ඇත්තේ නෑ… ජනාධිපති මෛත‍්‍රී හැඟීම්බරව කී එම කතාව තුළ ලොකු හරයක් තිබිණ.

කෙසේ වෙතත් එම ස්ථාවරයේ ඒකාබද්ධ විපක්‍ෂයේ මහින්ද රාජපක්‍ෂගේ පාර්ශ්වය නියෝජනය කරන මන්ත‍්‍රීවරු සිටින්නට තීරණය කළේ ස්වෙච්ඡාවෙනි. මුලින්ම මේ පිළිබඳ මතයක් පළ කළේ ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීවරයා ය. ඔහු අනුව යමින් මහින්දානන්ද අලූත්ගමගේලා ද ඇමැති ධුර නොගන්නා බව කීවේය. ඒ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින පක්‍ෂ නායකවරු වෙත ඇමැති ධුර ලබාදිය යුතුයි කියා කුපිත කළ පිරිසක් ද සිටියහ. එනමුත් ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් අතර සිටි විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි නායකයෝත් ඇමැතිකම් භාර නොගන්නට තීරණය කළේ 113 හදා ගැනීමේ කටයුත්ත ජනාධිපතිවරයාට තව තවත් ලිහිල් කර දෙන්නටය.

මේ තත්ත්වය තුළ 16 කණ්ඩායමේ නායකයෝ ද ඇමැති ධුර භාර නොගන්නා ස්ථාවරයක පිහිටා කටයුතු කරන්නට සූදානම් වූහ.

මෙබදු තත්ත්වයක් අපේක්‍ෂා නොකළ ජනාධිපතිවරයා ඒකාබද්ධ විපක්‍ෂයෙන් විශේෂ ඉල්ලීමක් ද කළේය…

ජ්‍යෙෂ්ඨ නායකයෝ මේ වෙලාවේ ඇමැති ධුර කිහිපයක් භාරගන්න ඕන. එහෙම නොවුණොත් මේක මුළුමනින්ම අසාර්ථක ඇමැති මණ්ඩලයක් වේවි. එහෙම කරන්නේ නැතුව වැඩ කරන්න පුළුවන් කිහිප දෙනෙක් මේ මල් වට්ටියට අතගහන්න එකඟ වෙන්න…ඒ අනුව ඒකාබද්ධ විපක්‍ෂය තුළින් කිහිප දෙනෙක් පමණක් කිසිදු කේවල් කිරීමකින් තොරව ලැබෙන අවස්ථාවට අනුකූලව පමණක් ඇමැති ධුර දෙක තුනක් භාරගැනීමේ ස්ථාවරයකට පැමිණියේ පසුගිය සතියේ අවසාන දින දෙක තුළය.

මේ අනුව කුමාර වෙල්ගම, ප‍්‍රසන්න රණතුංග, එස්. බී. දිසානායක වැනි කිහිප දෙනෙක් පමණක් ඇමැතිකම් ඉදිරියේදී භාරගනු ඇතැයි කියා විශ්වාසයක් පළව තිබිණි.

ඒකාබද්ධ විපක්‍ෂයට සම්බන්ධ වෘත්තීයවේදීන් ද මේ අතර ඒකමතිකව කියන්නට වූයේ රජයේ තතුරු කිසිවක් තම කණ්ඩායම භාර නොගැනීමට අදහස් කළ බවය. සියලූම තනතුරු ඒ අනුව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනට අභිමත පරිදි ඔහුගේ තෝරාගැනීමට අනුව සුදුස්සන් වෙත බෙදා හදා දීමේ අවස්ථාව උදා වී තිබිණි.

සිකුරාදා රාත‍්‍රියේ සිට දිගින් දිගටම අරලියගහ මන්දිරයේ රැඳී සිටිමින් සටන් කළ එක්සත් ජාතික පක්‍ෂ ආධාරකරුවන්ට පසුගිය සතියේ කිසිදු විකල්පයක් නොවීය. සටන අතහැර යන්නට ද නොහැකිය සටන් කර තේරුමක් ද නොමැත. මේ නිසා ඉතා ඉක්මනින් හැකි විසඳුමකට එළඹ තම තමන්ගේ වැඩ රාජකාරීවලට පිටත්ව යන ස්ථාවරයකට එන්නැයි ආධාරකරුවෝ ඔවුන්ගේ නායකයන්ට පෙරැත්ත කරන්නට වූහ.

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ආරක්‍ෂාව අඩු කිරීම පිළිබඳ සානුකම්පිතව බලන්නැයි කියා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ වෙත එන ඉල්ලීම්වල වැඩිවීමක් පසුගිය සතියේ දක්නට ලැබිණි. යම්කිසි අවාසනාවන්ත සිදුවීමක් මඟින් හිටපු අගමැතිවරයාට යම් අනතුරක් සිදුවුවහොත් එහි නරක බලපෑම පැමිණෙන්නේ අගමැති මහින්ද රාජපක්‍ෂට බව බොහෝ දෙනෙක් කියන්නට වූහ.

ඊට අමතරව අරලියගහ මන්දිරය තුළ දිගින් දිගටම රැඳී සිටිමින් කරන විප්ලවය තුළින්ද දෙපැත්තටම ඇති හානිය සුළු පටු නොවන බව සමහර දුරදිග බලන පරිණත නායකයෝ මත පළ කරන්නට වූහ.

මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ බොහෝ දෙනෙක් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ වෙත පැමිණ අදහස් පාන්නට පටන් ගත්හ…

හිටපු අගමැතිතුමා එක්ක කතා කරල විසඳුමකට ආවොත් හොඳයි. ඒකට වෙන කෙනෙක් යවල හරියන්නේ නැහැ. මමම යන්න ඕන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය තීරණය කළේය.

ඒ අනුව ඉකුත් බ‍්‍රහස්පතින්දා සවස ආරක්‍ෂක පරිවාර රථ කිහිපයක් නොමැතිව ගෝඨාභය රාජපක්‍ෂ අරලියගහ මන්දිරය වෙත ගියේ රනිල් හමුවීමේ වුවමනාව ඇතිවය.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට අරලියගහ මන්දිරයේ දොරවල් විවෘත විය. ඔහුට හිටපු අගමැතිවරයාගෙන් හොඳ පිළිගැනීමක් ද ලැබිණි.

මම ආවේ ඔබතුමාත් එක්ක කතා කරල මේ ප‍්‍රශ්නය සමථයකට පත්කර ගන්න. ඔබතුමා අරලියගහ මන්දිරයේ රැඳිලා ඉන්න ඒකෙන් අපට කිසි ප‍්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකෙන් ඔබතුමාට ප‍්‍රශ්න දිග් ගැහෙන එකයි වෙන්නේ. හොඳම දේ තමයි ඔබතුමා මෙතනින් නික්මිලා යන එක. එහෙම නැත්නම් ඒක ඔබගේ මහත්මා ගුණයට හොඳ නෑ…ගෝඨාභය පැහැදිලි ඉංග‍්‍රීසියෙන් කීවේය.

රනිල් ඒ ගැන බැරුරුම් ලෙස ටික වේලාවක් කල්පනා කර උත්තරයක් දුන්නේය.

මම මේ ගැන ප‍්‍රකාශයක් නිකුත් කරන්න හිතාගෙන ඉන්නවා. ඒකට මට ටිකක් වෙලාව ඕන. මම ඒ ප‍්‍රකාශය නිකුත් කරලා පිටවෙලා යන්නම්…

රනිල් ඉතා විශ්වාසවන්ත ලෙස ඍජුව පිළිතුරු දුන්නේය. ඒ අනුව ගෝඨාභය ඉතා සුහඳව සමුගෙන ආපසු පැමිණියේය. ඔහුගේ මුළු ගමනටම විනාඩි 10 ක් ගතවන්නට ඇත.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්‍ෂයේ සමහර පිරිස් සටන අත හරින්නට කැමති වූයේ නැත. හිටපු අගමැති රනිල්ට ප‍්‍රශ්නය වුණේ තවදුරටත් අරලියගහ මන්දිරය අල්ලාගෙන සිටින්නට බලකරන එජාප මන්ත‍්‍රීවරු කිහිප දෙනාගෙන් මිදී මේ සටන අතහරින්නේ කෙසේ ද කියාය…

සටහන : බුලිත ප්‍රදීප් කුමාර/ දිවයින

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button