පළකල දිනය : Wed, Nov 7th, 2018

අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ?

ජනපති ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව නීති විරෝධි ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ “කුමන්ත්‍රණ අංක 02” දියත්කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.

සිය නිළ ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝ පටයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වන මන්ත්‍රීවරයා පවසන්නේ ඇතැම් විට අද (07) රාත්‍රියේ හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩකඩක් ඇති බවයි.

කෙසේ වෙතත් 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වන පරිදි පාර්ලිමෙන්තුව විසුරුවා හැරිය හැක්කේ,

පාර්ලිමේන්තු ධූර කාලයෙන් වසර හතර හමාරක් ගතවුණු පසුව බව මන්ත්‍රීවරයා සඳහන් කරයි. එම කාලය උදාවන්නේ 2020 පෙබරවාරි මසයේ බවද ඔහු පවසයි.
එම කාලයට පෙර විසුරුවා හැරිය යුතු නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ජන්දයක් අවශ්‍ය බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මෙය 14 පාර්ලිමේන්තුව රැස්වූ විට අත්වන පරාජයේ අපකීර්තියෙන් වැළකීමට ජනපති ඇතුළු ආණ්ඩුව සිදූකිරිමට යන තවත් කුමන්ත්‍රණයක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර,

පාර්ලිමේන්තුවේ අවශ්‍ය බහුතරය තිබෙන බවත්, පාර්ලිමේන්තුව මේ අවස්ථාවේදී විසුරුවා නොහරින බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ට දන්වා තිබෙනවා.

අගමැතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 113ක බහුතර බලය පෙන්විය යුතුයැයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කිසිම තැනක සඳහන් නොවන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  අද (07) බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි අමාත්‍යංශයේදී වැඩබාර ගැනීමෙන් අනතුරුව ප්‍රකාශ කළා.

එහිදී පාර්ලිමේන්තුව කල්දැමූ පළමු අවස්ථාව මෙය නොවන බවත් සෑම ජනාධිපතිවරයකුම පාර්ලිමේන්තුව කල් දැමූ බවත් සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙලෙසද ප්‍රකාශ කළා.

‘‘බහුතර බලය නැතිව 1960 දී ඩඞ්ලි සේනානායක මහතාත් අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නා. අද පාර්ලිමේන්තුවේ බහුතර බලය ගැන කාතාකරන කවුරුත් ඒ ඉතිහාසය නැවත කියවිය යුතුයි. කවුරුන් කුමක් කීවත් මේ මොහොතේදී පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන්නේ අපිටයි. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා.

අගමැතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 113 ක බහුතර බලය පෙන්විය යුතු යැයි ව්‍යවස්තාවේ කිසිම තැනක සඳහන් වෙලා නැහැ. වර්තමාන කතානායකවරයා ගණන් දන්නේ නැහැ‘‘

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button