පළකල දිනය : Sun, Nov 11th, 2018

අමිත් වීරසිංහ නුවර සිදුවීම ගැන සැගවුණු කතා හෙළිකරයි !

මහසොහොන් බලකාය සංඝයා වහන්සේලා දොළොස් නමක ගෙන් සහ ගිහි පිරිස් දෙසියදෙනකුගෙන් සමන්විතව දෙදහස් දහසයේ ජුනි මස විසි හය වැනි දින මහනුවර බෝගම්බර බෝධිමලූ විහාරයේදී ආරම්භ විණි. බුදු බණට හීලෑවුණු යක්කු බොලව් අපි යන තේමා පාඨය ඔස්සේ, ශාසනය ජාතිය රට ආරක්ෂා කිරීමට බිහිවූ බලකායක් බව කියැවේ මහසොහොන් බලකාය. රට ජාතිය ආගම වෙනුවෙන් පණ වුවත් පුද දෙමි යන මතයේ ද ප‍්‍රබලව රැඳී සිටින බව කියමින් රට පුරා විවිධ ජන කණ්ඩායම් දැනුවත් කරමින්, අනාගතයේදී මහජන මතය හා ජනතා කැමැත්ත මත ඉදිරියට එමින් ප‍්‍රබල සිංහල බලවේගයක් ලෙස ඉදිරියට පැමිණීමට අපේක්ෂිත මහසොහොන් බලකායේ නිර්මාතෘ විදානපතිරණලාගේ අමිත් වීරසිංහ ය.

ඒ අතරවාරයේ, ජාතික ව්‍යාපාර බිහිකරමින් රට පුරා දේශන පවත්වමින්, සිංහල ජාතිය වෙනුවෙන්, හඬ නගා දේශපාලන අතකොලූවක්ව, නඩු විසිතුනක විත්තිකරු වීමටත්, ජාත්‍යන්තර දේශපාලන හා සම්මුතිවාදී පනත යටතේ ජාතීන් අතර අසමගිය ඇති කිරීම යන චෝදනාව ත‍්‍රස්ත විමර්ශන ඒකකය මගින් අධිකරණයේ ගොණු කොට තැබීම ඔස්සේ මාස හතක් හා දින විස්සක් අනුරපුරේ මහඋළු ගෙදර සිරබත් කන්නට සිදු වූ අන්දමත් අපි අමිත් වීරසිංහයන් ගෙන්ම අසමු. අදාළ චෝදනා මුඛයෙන් බන්ධනාගාර රැඳවියකුව සිට ඔක්තෝබර් විස්ස විසිදෙක විසිපහ විසිනවය තිස්එක යන දිනයන්හි දී මහනුවර පළාත්බද මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය මූලිකව නඩුව කැඳවීමෙන්, නොවැම්බර් දෙවැනි දා තෙල්දෙණිය දිසා විනිසුරු ශානක කලංසූරිය මහතා විසින් ඇප මත මුදා හරිනු ලැබීය.

ඒ අනුව, මහනුවර මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය විසින් පසුගිය 29 දින මෙම සැකකරුවන්ට ඇප නියම කළ අතර එම ඇප නියෝගය සැලකිල්ලට ගනිමින් තෙල්දෙණිය දිසා විනිසුරුවරයා ඔවුන් ඇප මත මුදා හැරීමට පියවර ගත්තේය. මහාධිකරණ විනිසුරුවරිය අමිත් වීරසිංහ නමැති අයට රුපියල් 25000.00 ක මුදල් හා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ අතර ඔහුට සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස ද නියම කරනු ලැබ තිබේ.

ඔහු වරින් වර තම සංවිධානයේ ශක්තිය තහවුරු කරනු වස් පොලිස් අවසර මත නීත්‍යානුකූලව රැස්වීම් සංවිධානය කර තිබිණි. එම රැස්වීම් සඳහා සහභාගි වූ බව කියන ජන කොටස් වෙත සිය දැක්ම අරමුණ සහිත ජාතිමාමක හැඟීම් ඇති කොට සාමාජිකත්වය ලබා දුන් බවද සැලය. මෙයට මාස දෙකකට කලියෙන් අමිත් වීරසිංහ ඇතුළු මහසොහොන් බලකා ප‍්‍රබලයින් දිවයිනේ විහාරස්ථාන සම්බන්ධ කර ගනිමින් සංවිධාන දහසක් ස්ථාපිත කළ බව ද සැලය. එම සංවිධානයක සාමාජිකයින් පස් දෙනෙකු වේ නම් මේ වන විට දිවයින පුරා මහසොහොන් බලකායේ සාමාජිකත්වය පන්දහසක් වනු ඇත. එය හුදෙක් අනුමානයකි.

ශ‍්‍රී පාද උඩුමලූවේ බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කොට බෞද්ධාගම අභිමානය ආරක්ෂා කිරීමට අමිත් ඇතුළු පිරිස උත්සාහ ගත් අයුරුත් එහිදී ඇතිවූ තත්ත්වයන් මත නීතිය ක‍්‍රියාත්මක වූ අයුරුත් කූරගල සිද්ධිය සහ මඩකලපුවේ මංගලාරාමය අවට සිදු වූ තත්ත්වයත් රටම දන්නේය. මහසොහොන් බලකාය බලමුළු ගැන්වෙන්නේ කා වෙනුවෙන් ද යන්න රටට ඒත්තු ගැන්වීමට බලකා සාමාජිකයෝ මැලි නොවූ බව ද සැලය.

එය එසේ වෙද්දීය දිගන තෙල්දෙණිය සිදුවීම සිද්ධ වූයේ. තමන් කිසිවිටෙකත් සාමාන්‍ය ජනයා පීඩාවට පත්කිරීමට හෝ දේපල හානි කිරීමට පෙරට නොඑන බවත් එදින සිදුවීමේදී දිගන ට ගියද මහා අර්බුදයක සේයාවක් ඇදි විට ආපසු ගිය බවද පොලිසියට කියා තිබිණි.

කෙසේ වුවද අමිත් වීරසිංහ සිය බිරිඳ වන ජයංගනී සිතුම් කුමාරි මහත්මියගේ නිවසේදී අත්අඩංගුවට පත් වූයේ දිගන සිද්ධියට අදාළවය. අත්අඩංගුවට ගනු ලැබ අනතුරුව දැනට හෙතෙම රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ඇත්තේය.

මේ අතර වාරයේ ඔහුගේ බිරිඳ මානව හිමිකම් කොමිසම වෙත ගොස් පැමිණිල්ලක් කළාය. ඒ තම ස්වාමිපුරුෂයා වන අමිත් වීරසිංහ කිසිවිට මෙවන් තත්ත්වයක් ඇති කිරීමට අනුබල නොදෙන බවටය.

ඩෑන් ප‍්‍රියසාද් හමුවීම සහ ගලගොඩඅත්තේ ඥානසාර හිමි හමුවීම

මේ වෙද්දි මම මගේ රස්සාවත් හොඳින් කරගෙන යනවා. අපේ කාර්යාලයක් පටන් ගත්තා නත්තරංපොතදී. දෙදහස් දහඅටේ ජනවාරි වෙද්දි රටේ ලොකු මතවාදයක් ඇති වුණා. මේ එක්කම ශ‍්‍රී පාද පුද බිම ආසන්නයේ කඳුකර ඉඩමක අරාබි මුස්ලිම් ජාතිකයෙක් හෝටලයක් හදන බවට රාවයක් ගියා. එය රාවයක් නොවී සාක්ෂි සහිතව සනාථ වන තැනට කටයුතු සිදු වුණා. මෙම සිද්ධියට ඩෑන් ප‍්‍රියසාද් කියන පුද්ගලයා පොලිස් භාරයට ගැනුනා. ඔහු මාධ්‍ය ඔස්සේ ඔහුගේ මතවාද ඉදිරිපත් කළා. එතනදි ඔහු කිව්වා මුස්ලිම් ජාතීන් අපේ රටේ සම්පත් අයුතු ලෙස පාවිච්චි කරනවා. මේවා අයිති කරගෙන සවුදි අරාබියේ ඉඳන් මෙහේ අයිතිය තබා ගන්නවා. ඒ වෙනුවෙන් අපේ බලධාරියෝ ඇයි නිහඬ ආදි වශයෙන්. ඔහුගේ මතය අපේ මතය සමග ගැලපෙන බව අපට දැණුනා. ඩෑන් ප‍්‍රියසාද් මුස්ලිම් විරෝධියෙක් විදිහට අත්අඩංගුවට ගන්නවා. අපි මේ වෙලාවේ ඔහු සමග සිටිය යුතුය කියන හැඟීම සමග අපි ඔහු බේරා ගන්න ඉදිරිපත් වෙනවා. වසර දෙදහස් දොළහේදි ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ හමුවුණෙත් එවන් සිදුවීමකින්. උන්වහන්සේ පළමුව අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ අපි උන්වහන්සේ වෙනුවෙන් කතා කළා. උන්වහන්සේ හොයාගෙන ගියා. බේරාගන්න කටයුතු කළා. මේ ශක්තිය නිසා ඩෑන් අත්අඩංගුවට පත් වුණු අවස්ථාවේ ඥානසාර හිමියොත් අපි සමග එකතු වුණා.

නමුත් මම කොන්ත‍්‍රාත් වැඩ කරන කාලේ, හයිවේ හදද්දි මම රාජගිරියේ පන්සලට ගිහින් තියෙනවා. හොඳටම හිතවත් වුණේ ඥානසාර හිමියෝ අත්අඩංගුවට ගත්තාට පස්සේ අපි මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට අත්සන් දසලක්ෂයේ වැඩසටහනක් දියත් කළා. ඥානසාර හිමියෝ නිදහස් වෙලා ආ පසුව මට කතා කළා. අපි එකතුවෙලා වැඩ කරමු කියලා කිව්වා. බොදු බල සේනාව ඒ ඒ අවස්ථාවට උචිත පරිදි කාලීනව සටන් පාඨ සකස් කරමින් රටේ හඬක් නගනවා. සිංහල ජාතිය වෙනුවෙන් කටයුතු කරනවා. අපි මහසොහොන් බලකාය හැමදාම එකම ප‍්‍රතිපත්තියේ සිට මුස්ලිම් විරෝධී ආකල්ප වර්ධනය කරමින් අදටත් ඉදිරියට යනවා. ඒ මේ රට කවදා හරි මුස්ලිම් අන්තවාදයට යට වෙයි කියන, සාධක සමග ගැලපෙන දත්ත අපි සතුව තියෙන නිසා. මා ළඟ තිබෙනවා ලංකාවේ රෝහල් කිහිපයකම දෛනික මුස්ලිම් උපත් සංඛ්‍යාවන් ට අදාළ දත්ත, සිංහල උපත් දත්ත.., ලංකාවේ හදපු අරාබි විද්‍යාල ගණන. ලංකාවේ බැංකුවලින් මුස්ලිම් ජනතාවට ණය දෙන ශරියා නීතිය යටතේ පොලි රහිත ණය දීම්. සම්පත් බැංකුව හැර සෙසු බැංකු සියල්ල අදටත් එම ක‍්‍රමවේදය ක‍්‍රියාත්මක කරනවා. මේ වගේ දේවල්වලට අදාළ සැබෑ දත්ත මා සතුව තිබෙනවා.

ඔබට මතක ඇති සිංහලේ කියලා රැල්ලක් ආවා. ඒ කතාව හරිම අපූරුයි. අපට උවමනා වුණා ජනතාව රැල්ලකට හසු කරගන්න. ඕනෑම තැනක සටන් පාඨයක් අවශ්‍ය වෙනවා ඉදිරියට යන්න. ඒ ඔස්සේ සිංහලේ කියලා වෙනම පිරිසක් රැස් කරගන්න අපි සංවිධානාත්මකව සිංහලේ කියලා පාඨයක් රට පුරා ව්‍යාප්ත කළා. පුදුමය එයට අයිතිකාරයෝ හත් අට පොළක්ම බිහිවෙන්න ගත්තා. ඒ වෙද්දි අපේ ගෙදර තිබුණා සිංහලේ කියලා හදපු ස්ටිකර් විසිදහසක් විතර. මෙය දරුණු ප‍්‍රශ්නයක් කරා පැතිර යාවි කියන සැකය අපට මතු වූ නිසා අපි ස්ටිකර් ටික බෙදලා දාලා… නිහඬ වුණා.

පළමු බාධකය

අපේ කටයුතු සාර්ථක බවට හොඳම සාක්ෂිය තමයි රටපුරා මුස්ලිම් නායකයෝ අපේ කටයුතුවලට බාධා එල්ල කිරීමේ අවස්ථා උදා වීම. වසර දෙදහස් දහහතේ දෙසැම්බර් මුල වගේ, පාර්ලිමේන්තුවේ සිටින මුස්ලිම් මන්ත‍්‍රීවරු විසි එක් දෙනා එක්වෙලා ජනාධිපතිටත් අගමැතිටත් ඉල්ලීමක් කරනවා ලිඛිතව. මහසොහොන් බලකාය වහාම තහනම් කරලා අමිත් වීරසිංහ අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලනවා. එම ලිපි දෙක දැනටත් මා සතුව තිබෙනවා. ඔවුන්ගේ එම ඉල්ලීමෙන් පසුව මාව කැඳවනවා සංවිධානාත්මක අපරාධ විමර්ෂණ ඒකකයට කටඋත්තර ලබා ගැනීම සඳහා. මා කතා කරන දේවල් අහලා ඒ අය නිරුත්තර වුණා. ඉහත කී දත්ත සහිතව මම ඔවුන්ගේ ප‍්‍රශ්න වලට උත්තර දුන්නා. මා කියනා කාරණාවල අසත්‍ය බවක් ඇත්නම් මාව අත්අඩංගුවට ගන්නා ලෙස ද මා ඔවුනට ප‍්‍රකාශ කළා.

ශාසනාරක්ෂක සභාව

මහනුවර ගැටඹේ හන්දියේ සිට දළදා මාළිගාවට පාගමනක් ආවා දෙදහස් දහහතේ දි. එහිදී ජාතිය වෙනුවෙන් සිය මතවාද අදහස් ක‍්‍රියාකාරකම් ඉටුකරන ග‍්‍රාමීය, පළාත් සහ දිස්ත‍්‍රික් මට්ටමේ සංවිධාන විසි එකක් පමණ සහභාගි වුණා. මෙම සංවිධාන සියල්ල ශාසනාරක්ෂක සභාව ලෙස නම් කරගනිමින්, අපි රජයට බල කළා සෑම පවුලකටම දරුවන් සීමා කරන ජනගහන පනතක් ගෙන එන්න, අරාබි කෝටි ප‍්‍රකෝටි ගණන් මුදල් එන්නේ ඇයි මොනවාටද කියා සොයා බලන්න, ආදි කරුණු කිහිපයක් සම්බන්ධයෙන්.

නාමල් කුමාර හමුවීම

රට දැය සමය සුරකින, කාටත් ගැති නොවන සිංහල ජාතියක් වෙනුවෙන් වන මාගේ දේශන දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් රටපුරා ම පවත්වලා මේ වටා මහා පිරිසක් රොද බැඳ ගෙන සිටින මේ අවස්ථාව වන විට මා සමග රට පුරා බොහෝ තරුණ පිරිස් ඒකාබද්ධ වෙලා කටයුතු කරමින් සිටියා. මාගේ දේශන බොහොමයකදී ඉදිරි පෙළක සිට දේශනයට සවන්දෙන අවසන විවිධ ප‍්‍රශ්න අසන චරිත කිහිපයක්ම මගේ මතකයේ තිබුණා. ඉන් එක ප‍්‍රධාන චරිතයක් තමයි නාමල් කුමාර. ඔහු අපේ වැඩපිළිවෙළත් එක්ක ඒකාබද්ධ වෙනවා. අපේ මතය පතුරුවාලන දැන්වීම් ප‍්‍රචාරණ කටයුතු සඳහා ඔහු සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා.

මාත් ඔහුත් අතර ඉතා හොඳ මිත‍්‍රත්වයක් ගොඩ නැගෙනවා. අපි අතර සම්බන්ධය ඉතා හොඳින් පවත්වාගෙන යනවා. වැඩ කරනවා. ළඟින් ඇසුරු කරනවා. මේ අතරේ තහුද්දීන් ජමාත් සංවිධානය මගින් හජ්ජි උත්සවයක් සංවිධානය කරලා තිබුණා කෙංගල්ල ගනිසභ ක‍්‍රීඩාංගණයේදී. එතන තිබුණ බුදු පිළිමය රෙදිවලින් වහලා උත්සවය තියන්න සූදානම් වීමට මම විරෝධය දැක්වූවා. ඕනෑම ආගමකට පුළුවන් වෙන්න ඕනෑ සෙසු ආගම්වලට හානි නොකර ආගම අදහන්න. මේ ගැන මම තෙල්දෙණිය පොලිසියට දැනුම් දුන්නා. පොලිසිය මොකද කළේ උසාවි ගිහින් උසාවි නියෝගයක් ගත්තා අමිත් විරසිංහ ජාතිවාදය අවුස්සන්න කටයුතු කරන්න සූදානමක් තියෙනවා ඔහුට එතනට පැමිණීම වළක්වා ලන්න කියලා. මේ ගැන ආරංචි වුණ තරුණයින් හයසියයක් හත්සියයක් පමණ දෙනා මේ වෙලාවේ ආවා. නාමල් කුමාරත් ආවා. කට්ටියම පිට්ටනියට යන්න කතා කරන්න ලැහැස්තියි. ඒ වගේ සෑම වැඩකටම නාමල් ආවා.

දිගන තෙල්දෙණි සිදුවීම

ඒ වගේ කටයුතු කරමින් සිටියදී දිගන තෙල්දෙණිය සිදුවීම සිද්ධ වෙනවා. පෙබරවාරි විසිතුන් වැනිදා ? තමයි ලොරි රියදුරෙකුට ත‍්‍රිරෝද රථක ආ තරුණයින් තිදෙනෙක් පහර දෙන්නේ. පසුදා අලූයම මහනුවර නියෝජ්‍ය පොලිස්පතිවරයා මට දුරකතනයෙන් කතා කර මේ සිදුවීම කියනවා. මේ සිද්ධිය නිසා මිනිස්සු අතර ගැටුමක් ඇති වුණොත් ඒක පාලනය කරන්න කියා ඔහු මට කියනවා. අපි අතරේ හොඳ සම්බන්ධතාවයක් තිබුණා. මම මේ වෙද්දි අනුරාධපුරේ දේශනයකට සහභාගි වෙලා හිටියේ. මම ආපහු ගෙදර ආ වෙලාවේ කතා කරලා කිව්වා හරි වැඬේනේ අර ලොරියේ ළමයා මැරුණා කියලා.

අපි දෙපැත්තටම කතා කරලා සාධාරණ විසඳුමක් අරන් දෙමු. මළගෙදර ළඟ පන්සලට අපි යනවා ඔයත් එන්න කියලා කිව්වා. මමත් ගියා. එතනට සිංහල මුස්ලිම් පාර්ශ්ව දෙකෙන්ම ආවා. මුස්ලිම් නායකයෝ කිව්වා රාවුෆ් හකීම් ඇමැතිතුමාට කියලා බිරිඳට රැකියාවක් අරන් දෙන්නම් පවුලට ලක්ෂ දෙකක් දෙන්නම් කියලා කිව්වා. මම කිව්වා එහෙම බැහැ. මේ ලොකු ළමයා ආබාධිතයි. දෙවැනි දරුවා දියණියක්. ගෙදර හිටපු අම්මා රස්සාවකට යවන එක හරිම අසාධාරණයි. ඒ නිසා අපි රුපියල් ලක්ෂ දහයක් දෙමු. මේ පවුලට මාසෙකට මුදලක් ලැබෙන ක‍්‍රමවේදයක් සකසමු කියා කිව්වාම හැමෝම ඒකට එකඟ වෙලා අපි එතනින් ආවා.

පහුවදා හතර වැනිදා නැවත හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා මට කතා කරලා කිව්වා… අමිත් තෙල්දෙණිය පොලිසිය ළඟ මහා සෙනගක් ඇවිත් ඉන්නවා ටිකක් ඇවිත් එතන සමථයකට පත් කරන්න බලන්න කියලා. එතකොට මම ගෙදර හිටියේ මම පොලිසිය ළඟට ගියා. යද්දි එතන හිටපු පිරිස මා ළඟට ඇවිත් කිව්වා තරුණයෝ විසි හතර දෙනෙක් අත්අඩංගුවට ගත්තා මේක අසාධාරණයි කියලා. හේතුව විදිහට කිව්වේ… මළගෙදර ළඟ මුස්ලිම් කඬේකට කවුදෝ ගල් ගහලා ඒ ළඟපාත හිටපු හැමෝම අත්අඩංගුවට අරගෙන කියන කාරණය. මේ හිටපු සෙනග විසිහතර දෙනාගේ පවුල්වල උදවිය. නිරපරාදේ අත්අඩංගුවට ගත් අය නිදහස් කරන්න කියලා ඒ අය ඉල්ලනවා.

ඒ ගමන් මම නියෝජ්‍ය පොලිස්පතිවරයාට මේ බව කිව්වා. ඒ වෙද්දි නියෝජ්‍ය පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්ට කතා කරලා මේ තරුණයින් දින දහහතරකට ඇතුළට දාලා ඉවරයි. දැන් මම කිව්වාට පස්සේ නැවත මෝසමක් දාලා තරුණයින් නිදහස් කරන්න අවශ්‍ය බව ආරක්ෂක ලේකම්ට අගමැතිට ඇතුළු වගකිව යුතු උදවියට කතා කරලා නිදහස් කරන්න කටයුතු කර දෙන්නම් කියා කියා සිටියා. ඒ අතරේ ආයෙත් නියෝජ්‍ය පොලිස්පතිවරයා මට කිව්වා අන්න විශාල සෙනඟක් දිගනට යන්න යනවා එතනට ගිහින් බලන්න කියලා. මම යනකොට සෙනඟ දෙදහසක් විතර මහා පාරේ. මට එතන මොනවත් කරන්න බැහැ. හැමෝම මුහුණු වහගෙන හිටියේ.

මම නැවත හිටපු ඞීඅයිජී මහත්තයාට කතා කරලා කිව්වා මොනවත් කරන්න බැහැ. මේ මිනිස්සු මී මැසි පොදියක් වගේ ඉදිරියට යනවා. මට ඒ අයව පාලනය කරන්න බැහැ පොලිසිය කැමති දෙයක් කරන්න කියලා. ඔය වෙද්දි නුවර පොලිසිවලින්, බලගොල්ල තෙල්දෙණිය පොලිසිවලින් සීඅයිඞී එකෙන්, එන්අයිබී එකෙන් මට කතා කරනවා විස්තර අහනවා. මම ඒ හැමෝටම කිව්වා මට යන්න ක‍්‍රමයක් නැහැ මහා සෙනඟක් ඉන්නවා කියලා. ඒ අතරේ මට ආරංචි වුණා දිගන ලොකු කලබලයක් කියලා. මම බිරිඳගේ අම්මලාගේ ගෙදර ගිහින් බිරිඳයි දරුවෝ දෙන්නයි අරං අපේ අම්මලාගේ ගෙදර ගියා. හතර, පහ, හය, හත කියන දවස්වල ඇඳිරි නීතිය දාලා තිබුණා. කලබල ආරංචි වුණා. දිගන තෙල්දෙණිය ඔය අවට හැමෝම මාව දන්නවා. අපේ ව්‍යාපාරය කටයුතු කළේ කුමන අරමුණකින්ද කියා මිනිස්සු දන්නවා. මේ අහඹු සිද්ධියේදි මම පාරට ආවොත් නැති ප‍්‍රශ්න ඇති වන බව මම දැනගෙන හිටියා… අපි කවදාවත් ගැටුම් ඇති කරගෙන ප‍්‍රශ්න විසඳන්න හිතුවේ නැහැ.

ඔය අතරේ නාමල් කුමාර මට හත්වැනිදා හවස කතා කළා. මේ දිගන සිද්ධි අතරේ එයත් නුවර ඉන්නේ කිව්වා. පොලිසියට අහුවුණොත් නැති ප‍්‍රශ්න ඇති වෙනවා කිව්වාම මම කිව්වා මම ඉන්නේ අපේ අම්මලාගෙ ගෙදර මෙහෙට එන්න කියලා. ඔහු අපේ ගෙදර ආවා. ආවේ හොඳටම හෙම්බත් වෙලා දාඩිය දාගෙන. මම ඒ ගමන්ම නාගන්න තුවායක් දුන්නා. කන්න දුන්නා. අපි ගොඩක් වෙලා කතා කර කර හිටියා. අටවැනිදා ? අපි මහන්සියට නිදා ගත්තා. ඔය වෙද්දි අපි එක්ක වැඩ කරපු තරුණයින් හතර දෙනෙක් හාමුදුරුවෝ මගේ සහෝදරයා නෝනාගේ සහෝදරයා මගේ අම්මා තාත්තා බිරිඳ දරුවෝ සහ නාමල් කුමාර අපේ ගෙදර හිටියේ.

අපිට නින්ද ගියා නාමල් ඇහැරලා හිටියා. ? මැද කුණුහරුප කියලා කෑ ගහන හඬින් මම ඇහැරුණා. කාමරෙන් එළියට ඇවිත් බලද්දි ටීෂර්ට් බොටම් ඇඳගත්ත නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙස් ගත් පිරිසක් අපේ ගේ ඇතුලේ පිරිලා. මගේ පැත්තට ටී. 56 දික් කරගෙන හිටපු නිසා මං හිතුවේ පාතාල කල්ලියක් ඇවිත් කියලා. අපේ ගෙදර ඉස්සරහා පාරේ පොලිසියේ එස්ටීඑෆ් එකේ අය ඉන්නවා දැකලා මම හිතුවා මේ පොලිසියෙන් කියලා. මාව සුදුපාට ඩොල්ෆින් වෑන් එකක දාගෙන ගියා. අපේ ගෙදර හිටපු සෙසු තරුණයින් සියලූදෙනාත් දාගෙන ගිහින්. පහුවදා උදේ මාව වෙනම තියාගෙන හිටියා. අනිත් අය වෙනම හිටියේ. එතන වැඩ කරන පොඩි කොල්ලෙක්ගෙන් මං ඇහුවා මේ කොහෙද කියලා. එතකොට තමයි දන්නේ ත‍්‍රස්ත විමර්ශණ ඒකකය කියලා.

අපිව අරං ගිහින් දින හයකට විතර පස්සේ මම දැක්කා ඈතින් අපේ තරුණයෝ පොලිසියේ අයගේ උදව් ඇතුව ඇවිදිනවා අමාරුවෙන්. ඒ වෙනකල් මට කිසිම හිරිහැරයක් කළේ නැහැ. වෙලාවට කෑම බීම ලැබුණා. මං එතනින් පස්සේ කෑම කෑවෙ නෑ උපවාස කළා. නාලක සිල්වා, රුවන් ගුණසේකර ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීන් හුඟක් ඇවිත් මගෙන් ඇහුවා ඇයි කෑම කන්නේ නැත්තේ කියලා. ඔයත් එක්ක ආපු අනිත් අය කතා කළේ නැහැ ඒ නිසා අපට සිද්ද වුණා ඒ අයට ගහන්න කියලා නාලක සිල්වා නියෝජ්‍ය පොලිස්පතිවරයා කිව්වා. මං කිව්වා ඒ අයට හිංසා කරන තුරු මම කෑම වර්ජනය කරනවා කියලා.

මේ අයට හොඳටම පහර දීලා තිබුණා. නලින් සිල්වා ළඟ හිටපු සාජන් තෙන්නකෝන් තමයි යකඩ සපත්තු දාගෙන හාමුදුරුවෝ ඇතුළු පිරිසට ගහලා තිබුණේ. දහඅටවැනිදා පාන්දර ඇවිත් ගමනක් යන්න එන්න කිව්වා. තෙල්දෙණියට අරගෙන ආවා. උසාවි දැම්මා. දින දහහතරක් බන්ධනාගාර ගත කළා. තෙල්දෙණිය පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා අමිත්ට දුම්බර බන්ධනාගාරයේ ආරක්ෂාව මදි. බුද්ධි අංශ තොරතුරු අනුව ආරක්ෂාව දෙන්න ඕනෑ කියලා . ඒ නිසා එවකට සිටි මහෙස්ත‍්‍රාත්වරයා මාව අනුරාධපුර බන්ධනාගාරයට නියම කළා. එතැන් සිට මාස හතක් දින විස්සක් එහේ ගත කළා.

මේ අතරේ ඩෑන් ආවා මාව බලන්න. උදය ගම්මන්පිල මහත්තයා ආවා. තවත් දේශපාලන නායකයෝ ප‍්‍රාදේශීය මට්ටමේ උදවිය ආවා. මෙතන ඉන්න අතරෙ මම බිරිඳ හා දෙමව්පියෝ හරහා මානව හිමිකම් කොමිසමට නීතිපතිට පොලිස් කොමිසමට අගමැතිට ජනාධිපතිට ඉල්ලීම් කළා. මාව ඇප මත මුදා හරින්න නැත්නම් අධි චෝදනා ගොණු කරලා නඩුව කතා කරන්න හෝ කටයුතු කරන්න කියලා.

මොකද ඔය කාලේ විජයකලා සිද්ධිය වෙනවා. විජයකලා ජාතීන් අතර අසමගිය ඇති කරන ප‍්‍රකාශයක් සිදු කරනවා. නමුත් ඇයට ඇපමත නිදහස ලැබෙනවා. මටත් තියෙන්නේ එම චෝදනාවමයි ජාතීන් අතර අසමගිය ඇති කිරීම…. මට ඇප නැහැ. මොකද ජාත්‍යන්තර දේශපාලන හා සම්මුතිවාදි පනත යටතේ, තමයි මට චෝදනා ගොණු කරන්නේ එතකොට මට ගැලවිල්ලක් නැහැ.

මහින්ද රාජපක්ෂ අගමැති වීම හා අමිත් වීරසිංහ නිදහස් වීම

මගේ නඩුව අගෝස්තු මාසයේ දහසය වැනිදා කැඳවනවා. රජයේ නීතිඥවරයා ඇප විරෝධයක් දක්වනවා. ආයෙත් කල් දානවා. මෙහෙම ගිහින් ඔක්තොම්බර් විසි දෙවැනි දා යළි කැඳවනවා. නැවත විසිපස්වැනිදාට කල් යනවා. රජයේ නීතිඥවරයාට මහාධිකරණ විනිසුරුවරිය නියෝග කරනවා අමිත්ට අධිචෝදනා ගොණු කරන්න කියලා. නැවත විසි නවවැනි දිනට කල් යනවා. ඒ එක්කම මම රෙදි ටික පොත් ටික ගෙදර යවනවා. ඒ එක්කම මහා පුදුම සිදුවීමක් සිදු වෙනවා විසි හයවැනිදා අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ පත්වෙනවා. ඒ වෙනකොට මගේ ඇප ලැබෙන්න තීරණය වෙලා ඉවරයි. මොකද අධිචෝදනා ගොණු කරන්න නියෝග කළාට අධිචෝදනා ගොණු කරගන්න බැරි වෙනවා. නැත්නම් ප‍්‍රබල සාක්ෂියක් ගේන්න කියනවා. ඒ කිසිවක් නැති වුවහොත් ඇප ලබා දෙන්න සිදුවෙනවා කියලා. ඒ හැමදේම වෙලා අවසානයේ ඇප දෙනකොට මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්වෙලා ඉවරයි. අපේ සංවිධානයේ අපි ළඟම හිටපු අයත් අහනවා මේ දෙකේ සම්බන්ධයක් තියෙනවාද කියලා. ඇත්තෙන්ම කිසිම සම්බන්ධයක් නැහැ. ඒ එක්ක කතාව ලොකුවට පැතිර ගියා මහින්ද රාජපක්ෂ මහත්තයා මට උදව් කරනවා කියලා. එහෙම දෙයක් නැහැ.

නාලක සිල්වා නාමල් කුමාර ගැටුමේ ඇරඹුම

ඔය වගේම අරුම පුදුම කතාවක් තවත් සිද්ධ වුණා. ඒක තමයි මේ ලෝකයක්ම හෙලෙව්වේ. මම අනුරාධපුරේ ඉන්නකොට දවසක් ඩෑන් ඇවිත් කියනවා. ත‍්‍රස්ත විමර්ශණ ඒකකයෙන් ප‍්‍රකාශයක් ගන්න එන්න කියලා තියෙනවා කියලා. දිගන සිද්ධිය දිනවල ඩෑනුත් මමත් දුරකතනයෙන් කතා කළ නිසයි ඔහුට එන්න කියා තිබුණේ. මම කිව්වා ඔයා ගිහින් දන්න දේ කියන්න හංගන්න දේකුත් නැහැ, අලූතින් කියන්න දේකුත් නැහැ. හැබැයි පුළුවන් නම්, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මුණ ගැහිලා නාමල් කුමාර ගැන මොනවා හරි බොරුවක් කියලා දෙන්නා හප්පලා එන්න. මොකද අපිට කරපු වැඬේ කැතයි දෙන්නා හප්පමු කියලා මං කිව්වා. චුල්ලසෙට්ටි ජාතකයේ බෝසතාණෝ ව්‍යාපාරිකයෝ දෙන්නාට කිව්වා වගේ සිද්දියක් තමයි අපි කළේ. ඒ එක්ක ඩෑන් ප‍්‍රකාශය කරලා එද්දි නාලක සිල්වා නි. පොලිස්පති කතාකරලා ඩෑන්ට කියලා තියෙනවා ‘උඹේ මහා එකා තාම ඇතුලේ උඹලත් දානවා තව ටික දවසකින්. කියලා.

ඒ වෙලාවේ ඩෑන් නි. පොලිස්පති නාලකට කියලා නාමල් කුමාර එක්ක ඔබතුමා කියපු දේවල් රෙකෝඞ් කරපු වොයිස් කට් එකක් නාමල් මට අහන්න දුන්නා පිටකොටුවෙදි කියලා. සැනින් කුපිත වුණ නාලක සිල්වා ඒ මොහොතෙම නාමල් කුමාරට ලූණු ඇඹුල් ඇතිව දුරකතනයෙන් බැණලා. නාමල් කුමාර හොඳහැටි දන්නවා නාලක සිල්වා කියන්නේ මොනවගේ පොලිස් නිලධාරියෙක් ද කියලා. ඔහු පාතාල නායකයෙක් වගේ කෙනෙක්. අනික ඒ වෙද්දි මාව අල්ලන්න පොරොන්දු වුණ ලක්ෂ පහ නාමල්ට දීලා තිබුණෙත් නැහැ. ඒ නිසා ඔහු මොකද කළේ ඇත්තටම වහාම මාධ්‍යයට තමන් ළඟ තිබුණ වොයිස් රෙකෝඩින් ටික දුන්නා. ප‍්‍රශ්නය අවුල් වියවුල් වෙලා නූල්බෝලය ගැටගැහුණේ එතනින්. තවම මේක ලිහිලා නැහැ. අපි හීනෙකින්වත් නොහිතා කරපු දෙයින් සිද්ධවුණ දෙයක් ඒ. මේ අයට අදටත් අවශ්‍යයි මම තමයි දිගන සිද්ධිය ඇවිළුවේ කියන්න. ඒ නිසා තමයි විවිධ හඬ පට ඉදිරිපත් කරන්නේ. ඒ දේවල් අවශ්‍ය විට මම කියන්නම්. මා ළඟ ඒ සියල්ලට පිළිතුරු තියෙනවා.

මම ජාතිවාදියෙක් තමයි….

මම මගේ රට ජාතිය වෙනුවෙන් කළ මෙහෙවර අවසන් කරලා නැහැ. මම බන්ධනාගාරයේ ඉන්න තුරු මාව මගේ පවුලේ උදවිය බලාගත්තේ මේ රටේ මිනිස්සු. අපි මහසොහොන් බලකාය කියන්නේ රිටිගල ජයසේන මූලික කරගත් කුතුහලයෙන් වැඩි නමක්. මේ නම හරියට පෙට්ටියක් ඇතුළට දාපු කෑමක් වගේ. නොකන කෙනත් ඇරලා බලනවා. අපි දිගටම මිනිස්සු වෙනුවෙන් මම ඉදිරියට දේශන තියෙනවා. ලබන සතියේ ඉරිදා මැණික්හින්නේ නාරම්පනාව දෙල්ගස්කන්දේ පිට්ටනියෙන් නැවත ආරම්භ කරන්න දැන් සූදානම්. මම ජාතිවාදියෙක් කියලා මේ රටේ සිංහල මිනිස්සුම මට හිනා වුණා. ඒකට කමක් නැහැ මම බලය පතුරවන්න ලැහැස්ති වුණේ සිංහල ජාතිය බේරා ගන්න.

මොකද ඉදිරියේදී අපි අන්‍ය ජාතියක ගැත්තො වෙනවා… අද සිංහලයො මුදලට කෑදර වෙලා. තමන්ගේ ජාතිය ආගම විතරක් නෙවෙයි තමන් වදාපු අම්මා තාත්තා වුණත් මුදලට විකුණන පහත් තැනකට වැටිලා. මේවා සිද්ධ වෙලා තියෙන්නේ රටේ දේශපාලනය බලකාමයෙන් මත්වෙලා ඉන්න නිසා. යහගුණ වඩන්නවත් තමන්ගේ ආගම ජාතිය රැකගන්නවත් මේ පිරිස්වලට උවමනාවක් නැහැ. මම ජාතිවාදියෙක් තමයි මම බය නැතුව ඒ ගැන කියනවා. හැබැයි මම අන්තවාදියෙක් නෙවෙයි…. මාව බැඳලා දාලා අවුරුදු ගණනක් හිරකරලා තිබුණත් එළියට එන්න ලැබෙන එක තත්පරයකදී හරි මම එඩිතරව කියන්න කැමතියි මම සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටිනවා සිංහල ජාතිය රැකගන්න මහා වීරියක් ගන්නවා. මගේ දර්ශනය ඒකයි….

– සමන්තී වීරසේකර

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button