පළකල දිනය : Mon, Nov 12th, 2018

එජාප නායකත්වය සජිත්ට ?

පාර්ලිමේන්තුව විසුරුවා දැමීමත් සමග එළඹීමට නියමිත මහ මැතිවරණය සඳහා එජාප නායකත්වයේ වෙනසක් ඇති විය යුතු බවට සංවාදයක් ඇතිව තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසන්නේ මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා අගමැති අපේක්‍ෂක ලෙස නම් කරන ලෙස යෝජනා හා අදහස් රැසක් ඉදිරිපත්වී ඇති බවයි.

මේ අතර එම පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේද එජාප නායකත්වයේ වෙනසක් සිදු විය යුතු බව බහුතර මන්ත්‍රීන්ගේ අදහස වී තිබෙන බව වාර්තා වෙනවා. පාර්ලිමේන්තුව විසුරුවීමට විරෝධය පා එජාපය විසින් සංවිධානය කළ රැස්වීම් කිහිපයක්ද ඊයේ දින (11) පැවැත්වුනා.

එහිදි එම රැස්වීම් සංවිධානය කළ එජාප හිටපු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර සහ අජිත් පී පෙරේරා එජාප නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බවටත් නව නායකයා ලෙසින් සජිත් ප්‍රේමදාස මහතා පත්විය යුතු බවටත් ප්‍රකාශ කළා. මේ අතර අරලියගහ මැදුරේ අයිතිය එජාපයෙන් ගිලිහීමට නොදි අරලියගහ මැදුර ආරක්ෂා කිරීමට රැස්ව සිටිනා එජාප පාක්ෂිකයන්ද නායකත්වයෙ වෙනසක් වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරමින් සිටින බවද සඳහන්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක්‌ එක්‌සත් ජාතික පක්‍ෂය නිල වශයෙන් තීරණයක්‌ ගෙන නැතැයි පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

කෙසේ වෙතත් පක්‍ෂ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා රැඳී සිටිමින් මැතිවරණයේ සියලු කටයුතු සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ සිදුකිරීමට මේ වන විට සාකච්ඡා කර තිබෙන බවත්, ඒ අනුව ඔහු විසින් මැතිවරණයට අදාළ සියලු කටයුතු සංවිධානය කරනු ඇති බවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ තවත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක්‌ මාධ්‍යයට පවසනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button