පළකල දිනය : Fri, Nov 23rd, 2018

අතුරු තහනම අතරේ පාර්ලිමේන්තුව කැඳවීම වැරදියි !

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැදවීමට පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව බලයක් නොමැති බවට ප‍්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම දෙසැම්බර් මස 4 දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින ලබා දුන්නා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දහයද එදින කැදවීමට නියමිතයි. එබැවින් මෙම පෙත්සම ද ඒ හා සම්බන්ධ බැවින් එම දිනට කල් තැබීමට අගවිනිසුරු නලින් පෙරේරා ප‍්‍රමුඛ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල අද තීරණය කළා.

මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් වීරසේකර විසින්. එම පෙත්සමෙන් කථානායකවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙසට නම් කර තිබෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැදවීමට ගත් තීරණයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ප‍්‍රකාශයට පත් කරන ලෙසටයි පෙත්සම්කරු ඉල්ලා ඇත්තේ.

ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව නොකැදවා පවතින තත්ත්වයෙන්ම පාර්ලිමේන්තුව තිබිය යුතු බවට පෙත්සම්කරු පවසා තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත‍්‍රය ක‍්‍රියාත්මක වීම තාවකාලිකව වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත්දා අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළා. එම අතුරු තහනම් නියෝගය දෙසැම්බර් මස 7 දා තෙක් බලපැවැත්වෙනු ඇති

ඒ අනුව එම ගැසට් පත‍්‍රයේ සදහන් ආකාරයට ඉදිරි කටයුතු සිදු කිරීම වළකාලමින් මැතිවරණ කොමිෂන් සභාවට ද ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. එම නියෝගය ද දෙසැම්බර් මස 7 දා තෙක් බලපැවැත්වෙනු ඇති.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button