පළකල දිනය : Sun, Nov 25th, 2018

කුවේණියගෙන් බැට කෑ – මැහුම් ශිල්පිනියගේ කතාව !

මානෑව හෙවත් මානාකන්ද ප්‍රදේශය බොහෝ දෙනකු අතර ප්‍රසිද්ධව ඇත්තේ අතීතයේ මෙරට විසූ යක්ෂ ග්‍රෝතිකයන් ගේ වාස භූමියක් ලෙසිනි. අනුරාධපුර දිස්ත්‍රික්කයට, කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉපලෝගම සමීපයේ පිහිටි එය කුවේණිය ගේ උපන් ගම හෝ රජදහන බවට ද ජනවිශ්වාසයක් පවතී. එහෙත් අනුරාධපුර රාජධානි සමයේ එය භාවනානුයෝගී භික්ෂූන් වැඩ සිටි පධානඝරයක් ලෙස ප්‍රකට වී ඇත. මානකන්ද අද පුරාවිද්‍යා රක්ෂිතයක් ද වෙයි.

නමුදු නීලගිරි දේශය නමින් හැඳින්වුණු බව පැවසෙන මෙම මානෑව ප්‍රදේශයේ අදටත් යම් යම් අද්භූත ජනක සිදුවීම් වන බවට විවිධ සාක්ෂි තිබේ.

හතලිස් තුන් හැවිරිදි තක්ෂිලා මධුරාණි රත්වත්තේ මානෑව ගම්මානයේ පදිංචි කාරියකි. එමෙන්ම ඇය දක්ෂ මැහුම් ශිල්පිනියක හා මැහුම් උපදේශිකාවක ද වන්නීය. කන්ද උඩරට ප්‍රභූ පරපුරකට අයත් ඇගේ සම්පූර්ණ පෙළපත් නාමය ලෙස සඳහන් වන්නේ ‘ශ්‍රී රාම රාම බ්‍රාහ්මණ රාජගුරු පණ්ඩිත වාසල මුදියන්සේලාගේ‘ යනුවෙනි. රත්වත්ත යනු තම මුතුන් මිත්තන්ට කන්ද උඩරට රාජ්‍යයෙන් හිමි වූ ගම්වරය බවත් එනිසා එය ද තම පෙළපත් නමට එක් ව ඇති බවත් ඇය කියයි.

මීට මාස හයකට පමණ පෙර දිනයෙක මධුරාණි තම ස්කූටරයෙන් මානෑවේ සිට ඉපලෝගම දෙසට යමින් සිටියාය. ඒ මානාකන්ද ඉතා පැහැදිලිව දිස්වන මච්චාගම ප්‍රදේශයයි.

වේලාව සවස පහට පමණ ඇත. බටහිර දෙසින් පෙනෙන කුවේණිය ගේ මාලිගය තිබු බව පැවසෙන මානාකන්ද රාස්සිගේ අව්වෙන් නැහැවී ගොස් ඇති අයුරු මෝටර් සයිකලය පදින අතරේ ඇයට පෙනිණ. ස්ථානය මච්චාගොඩ හන්දියයි. ඊට මඳක් නොදුරින් කඩියන්ගල්ල පොදු සුසාන භූමිය ද පිහිටා තිබේ. තමන්ට සිතා ගත නොහැකි වේගයකින් අද්දර වූ වන ලැහැබක සිට බොර පැහැයේ සුනඛයකු තමන් ඉදිරියට පනිනු මධුරාණිට යන්තමින් පෙනුණි. ඒ සමඟම ඒ සුනඛයා ස්කූටරයේ ඉදිරිපස රෝදයේ ගැටීමත් සමඟ තමන්ට එය පාලනය කර ගත නොහැකි වු බව ද ඇය මතකය. ඉන්පසු ස්කූටරය ද සමඟ මහ මඟ ඇද වැටුණු මධුරානි සිහිසුන් වූවාය. නැවත සිහිය ලබා හිස ඔසවන විට ඇයට දරාගත නොහැකි වේදනාවක් දැනිණ. එමෙන්ම තම මෝටර් සයිකලයේ හැපුණු සුනඛයා සොහොන් පළ දෙසට වැටෙන මාවත අද්දර සිට තමන් දෙස බලා හිඳිනු ද මධුරානිට මතකය. එහෙත් එහි විස්මයට කරුණ එය නොවේ. ඒ සුනඛයා මිනිස් මුහුණකින් යුතු අද්භූත සත්වයකු වීමය. කෙසේ හෝ එම අනතුරින් මධුරානිගේ වම් බාහු අස්ථියේ උඩු කොටස (Hemurus) කුඩු පට්ටම් වී ඇගේ කලවා පෙදෙසට සහ මුහුණට ද අලාභ හානි සිදු වී තිබිණ.

සැමියා ගෙන් වෙන්ව මැහුම් ශිල්පය වැනි දැහැමි ස්වයං රැකියාවකින් දිවි ගෙවු ඇය සිය වම් අත මුළුමනින්ම අක්‍රිය වීම නිසා තම දරු දෙදෙනා ද සමඟ මහත් අසරණ බවකට පත් ව තිබේ. ඒ අස්ථි බිඳීම කෘත්‍රිම සැකසීම පිණිස රුපියල් තුන් ලක්ෂ හැත්තෑපන් දහසන් පමණ වැය වන බව ඇය කියයි.

“මේක මට කුවේණි අම්මා ගෙන් ලැබුණු දඬුවමක්“ එම අනතුර පිළිබඳව විමසූ විට එලෙස පිළිතුරු දුන් මධුරාණි අහිංසක ලෙස සිනාසුණාය. එහි දී ඇය එ සම්බන්ධයෙන් වැඩිදුරටත් විස්තර කරන ලද්දේ මෙලෙසිනි.

“අපි ජීවත් වෙන්නේ කුවේණි අම්මාගේ රාජධානියේ. කුවේණි අම්මා අයිති කාලි අම්මාගේ දේව මණ්ඩලයටම තමයි. හැබැයි ඉතින් කුවේණි අම්මා හොඳට හොඳ වගේම තමයි නරකටත්; මගේ අප්පච්චි එල්.බී. රත්වත්තේ විශ්‍රාමික ග්‍රාම නිලධාරියෙක්; එයාටත් ඉස්සර දේව වරම් තිබුණා ; නමුත් රාජකාරියයි, දේව කාරියයි එක සැරේ කරන්න බැහැ කියලා පස්සේ අප්පච්චි ඒ වරම් අතහැරියා. කොහොම හරි වයස අවුරුදු දාසය දාහත වෙන කොට අපේ නංගිට ඒ වරම ලැබුණා; වරම කාලි අම්මගේ උනත් කුවේණි අම්මගේ බලයත් එතන ක්‍රියාත්මක වෙනවා; ඒ හින්දා කාලි අම්මාගේ වරම අරගෙන නංගී ගෙදර දේවාලයක් පටන් ගත්තා; අපි හීනෙකින් වත් නොහිතපු විදිහට කිලෝමීටර් සිය ගණන් දුර ඉඳලා හිටන් මිනිස්සු අපේ දේවාලෙ හොයා ගෙන ආවා; ඒ අය අපේ දේවාලෙට එන පාර දැනගෙන තියෙන්නේ නිමිති, අංජනම් වලින්“.

කෙසේ හෝ මධුරාණිගේ නැගෙණිය විවාහ වීමෙන් පසු වැල්ලවාය ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇත්තේ දේවාලය තාවකාලිකව වසා දැමීමට කාලි අම්මාගෙන් අවසර ගෙන බව මධුරාණි කියයි. ඉන්පසුව ඇය දරු සම්පතක් ද ලැබූ බැවින් යළි මානෑවට පැමිණ දේවාලය ඇරඹීමට නොහැකි වී තිබේ.

“කොහොම හරි ඔය අතරේ මට දිගින් දිගටම කුවෙණි අම්මාව හීනෙන් පටන් ගත්තා. කුවේණි අම්මා මට කිව්වා දරුවා උඹ ඔය දේවාලේ පටන් ගනින් මං උඹට පිහිට වෙන්නම් කියලා ; එතකොට මම කිව්වා අනේ මෑණියෝ පුරුෂයත් නැති මම මැහුම් පන්ති තියලා මගේ දරු දෙන්නට හොඳින් උගන්වන්න තමයි හිතාගෙන ඉන්නේ; ඒ හින්දා ඔය වගේ කැපවීමක් කරන්න අමාරු වෙයි කියලා; එහෙම කියපු මම ක්ෂද්‍ර මුල්‍ය ණය කිහිපයක්ම අරගෙන වැඩේ ආරම්භ කළත් දිගට හරහට පුදුම විදියේ බාධක එන්න පටන් ගත්තා, එතකොට තමයි මට තේරුණේ කුවේණි අම්මා තමයි මේවා කරන්නේ කියලා; තමන් ගේ කැමැත්ත ඉටු නොකළට. ඔය අතරේ මට කුවේණි අම්මා හීනෙන් පෙනිලා කීප සැරයක්ම තර්ජනය කරලා තියනවා. මම උඹට ලොකු පාඩමක් නැතත් පුංචි පාඩමක් හරි උගන්වනවා කියලා; කුවේණි අම්මා කියපු දේ ඒ විදිහටම කළා. දැන් මම දරුවෝ දෙන්නත් එකක් ජීවිතේ හරි මැද අසරණ වෙලා. මගේ ඔපරේෂන් එකටවත් සල්ලි නැහැ“ මධුරාණි දුක්මුසුව කීවාය.

එමෙන්ම කුවේණි අම්මා ගේ පිහිටෙන් සහ සත්ගුණවත් පරිත්‍යාගශීලීන්ගේ ආධාරවලින් තම බාහුවේ සැත්කම සාර්ථකව නිමවා ණය තුරුස්වලින් නිදහස් වු පසුව කුවේණි අම්මා ගේ අභිමතය පරිදි තම ජීවිතය යළි ගොඩ නඟා ගැනීමට තමන් අපේක්ෂා කරන බව ද මධුරාණි අවසන් වශයෙන් අප හා කීවාය.

ඒ අනුව ඇගේ සැත්කම වෙනුවෙන් සහ ණයබරින් නිදහස් වීම වෙනුවෙන් කරනු ලබන ආධාර ටී.එම්. රත්වත්තේ යන නමින් කැකිරාව මහජන බැංකු ශාඛාවේ අරඹා ඇති 239 – 2 – 001 – 23319606 අංකය ට හෝ ඉපලෝගම ලංකා බැංකු ශාඛාවේ අරඹා ඇති 82465381 යන අංක දරන ගිනුම්වලට බැර කළ හැක. මධුරාණිගේ දුරකතන අංකය – 0772 780 668

– හිරුණි ජාගොඩආරච්චි

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button