පළකල දිනය : Sat, Dec 1st, 2018

පොලිස්‌ කොස්‌තාපල් නිරෝෂන්ගේ කදුළු කතාව !

දිවිඅහිමි වූ ලක්‌වූ ඩබ්ලිව්. ජී. නිරෝෂන් ඉන්දික ප්‍රසන්න නමැති පොලිස්‌ කොස්‌තාපල්වරයාගේ දිවිතොර කිරීම සම්බන්ධව වහාම අපක්‌ෂපාතී පරීක්‌ෂණයක්‌ පවත්වන ලෙස සමුගත් කොස්‌තාපල්වරයාගේ දෙමවුපියන් හා පවුලේ ඥාතීන් රජයෙන් ඉල්ලීමක්‌ කරති.

මඩකළපුව වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරී කරමින් සිටියදී දිවිතොර වූ පොලිස්‌ කොස්‌තාපල්වරුන් දෙදෙනාගෙන් එක්‌ අයෙකු වන නිරෝෂන් ඉන්දික ප්‍රසන්න නමැති පොලිස්‌ කොස්‌තාපල්වරයා බැද්දේගෙදර හන්දිය, බංගමුව පාර ගාල්ල උඩුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සමුගත් කොස්‌තාපල්වරයාගේ තොරතුරු සොයා ඊයේ (30 දා) පස්‌වරුවේ ඔහුගේ නිවසට අප ගිය අවස්‌ථාවේ පවුලේ ඥාතීන් මේ බව ප්‍රකාශ කළහ.

මෙකී දිවිතොර කිරීම සම්බන්ධයෙන් වහාම පරීක්‌ෂණයක්‌ පවත්වා ඝාතනය ගැන අනාවරණය කරන්න යෑයි ද පවුලේ ඥාතීහු රජයෙන් ඉල්ලා සිටිති.

දිවිතොර කිරීමට ලක්‌වූ පොලිස්‌ කොස්‌තාපල්වරයාගේ බාල සහෝදරයා වන, මදුර සම්පත් (28) අප සමඟ මෙසේ කීවේය.

“අයියා ඉගෙන ගත්තේ උඩුගම මහා විද්‍යාලයෙන්. අයියා තමයි පවුලේ වැඩිමලා. අපේ පවුලේ සහෝදර සහෝදරයන් හතර දෙනෙකු ඉන්නවා. අයියා 2009 වර්ෂයේ දී තමයි පොලිසියට බැඳුණේ. අයියා කොළඹ ත්‍රස්‌ත විමර්ශන ඒකකයේ සේවය කළා. දැනට වසර එකක්‌ හා මාස 11ක සිට මඩකළපුව වව්නතිව් පොලිසියේ රාජකාරි කරනවා. දුෂ්කර සේවා කාලය අවසන්ව ඇති නිසා ලබන අවුරුද්දේ ජනවාරිවල ස්‌ථාන මාරුවක්‌ ලැබ මේ අවට පොලිසියකට එන්න හිටියේ. නිවාඩුවට ඇවිත් ගෙදර ඉඳලා දින හතරකට කලින් තමයි යළි රැකියාවට ගියේ. අයියාට කරදරයක්‌ වී ඇති ආරංචිය මගේ මිතුරකුගෙන් තමයි දැන ගත්තේ. පොලිසියෙන් ද පැමිණ මේ ගැන කිවා. අයියාගේ දිවි අහිමිවීම ගැන ඇත්ත තත්ත්වය අපි දැන ගන්න ඕනෑ. මේ ගැන වහාම පරීක්‌ෂණයක්‌ පවත්වා සාධාරණත්වය ඉෂ්ටකර දෙන ලෙස ඉල්ලා සිටිනවා” යෑයි ඔහු ඉතා හැඟුම්බරව කීවේය.

නිරෝෂන් ඉන්දිකගේ හදිසි වියෝවෙන් උඩුගම බැද්දෙගෙදර ප්‍රදේශය ශෝකයෙන් ඇළලී ගොස්‌ ඇත. නිරෝෂන්ගේ මව ඉකිබිඳිමින් හඬන්නීය. නිරෝෂන්ගේ එකම පුතු ඇයි ආත්තේ හඬන්නේ” යෑයි අසන්නේය. නිරෝෂන්ගේ මව වන එම්. ටී. රංජනී ට තම පුතුගේ හදිසි වියෝවය දරාගත නොහැකිව ඇය කඳුළු සළමින් මෙසේ කීවාය.

පුතා ඊයේ උදේ මාත් එක්‌ක දුරකථනයෙන් කථා කළා. මම කීවා මට සනීප නැහැ කියලා. අම්මා බෙහෙත් අරගෙන මල්ලිත් එක්‌ක පුතාලාගේ ගෙදර එන්න කියලා මට කීවා. එදින රාත්‍රි තාත්තාට කථා කරලත් අහලා තියෙනවා. අම්මා බෙහෙත් ගෙනාවා ද කියලා. අනේ මගේ පුතාට මොකක්‌ද මේ වුණේ ඇය හඬා වැළපෙන්නීය.

නිරෝෂන් ඉන්දිකගේ පියා ඩබ්ලිව්. ජී. උපසේන (55) ද තම පුතුගේ වියෝවය දරාගත නොහැකිව මෙසේ කීය.

“ඊයේ රාත්‍රි මට පුතා දුරකථනයෙන් කථා කළා. මම ඒ වේලාවේ කඩයේ හිටියේ. අම්මා බෙහෙත් ගෙනාවාද කියලා ඇසුවා. බෙහෙත් ගෙනාවා කඩයේ සෙනඟ ඉන්න නිසා පස්‌සේ කථා කරන්නම් කියා මා කීවා” යෑයි පියා කීවේය.

දිවිඅහිමි වූ නිරෝෂන් ඉන්දික ප්‍රසන්න (35) එක්‌ දරු පියෙකි. ඔහුගේ බිරිඳ නදීකා ලක්‌මාලි තිස්‌තුන් හැවිරිදි වියේ පසුවන්නීය. මෙකී යුවළගේ එකම පුතු තෙනුජගේ වයස අවුරුදු හතරහමාරකි. පුංචි පුතු පෙර පාසල් වියේ පසුවෙයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button