පළකල දිනය : Sat, Dec 8th, 2018

පොඩි සාදුට තනි රකින අපූරු නාග මිත්‍රයකුගේ සංවේදී කතාව !

බුදුන් වහන්සේ සත් සතිය ගත කරන අවස්ථාවේදී ධාරානිපාත වර්ෂාව, හෙණ පිපිරීම් සහ සැඩ සුළං ආදී පාරිසරික වෙනස්කම් රැසක් සිදු වන්නේ හයවැනි සතියේදීය. එම අවස්ථාවේ ඒ සියලු තාඩන පීඩනවලින් උන්වහන්සේ ආරක්ෂා කර ගැනීමට මුචලින්ද නාග රාජයා පැමිණියේය. ඒ උන්වහන්සේගේ “නොනිමි කරුණාව” හා මෛත්‍රිය නිසාය. එම දහම් කාරණාව සිහිපත් කරවන එවන් සිදුවීමක් බුද්ධ පුත්‍රයකු වැඩවාසය කරන විහාරස්ථානයක නොබෝදා සිදු විය. එම විස්මිත කතාව අසන්නටත් දකින්නටත් “ඉරිදා මව්බිම”ට හැකි විය. ඒ අනුව අප වැලිඔය දකුණ නිකවැව ශ්‍රී ධර්මවර්ධනාරාමයට ගියෙමු.

වර්ෂ 1998 අවුරුද්දේ එම්.එම්. සෝමපාල (60) හා ආර්.එම්. ශි්‍රයානි (51) යන මවුපිය දෙපළට දාව උපන් එම්.එම්. කසුන් කුමාර පුතණුවන් පැවිදි දිවියට ඇතුළත් වන්නේ 2008 අවුරුද්දේය. සහෝදරියන් තුන්දෙනකු හා සහෝදරයන් දෙදෙනකුගෙන් සමන්විත මේ පවුලේ පස්වැනි දරුවා කසුන් කුමාරය. පැවිදි දිවියට ඇතුළත්ව “කෝකිලාවේ පියරතනාලංකාර” යනුවෙන් උන්වහන්සේ හැඳින්වූහ.

එතැන් පටන් වැලිඔය, නිකවැව (දකුණ) ශ්‍රී ධර්මවර්ධනාරාමයේ වැඩ වාසය කරමින් පිරිවෙන් අධ්‍යාපනය අවසන් කොට උපසම්පදා විනය කර්මය ලැබීමට නියමිතව සිටිති.

උන්වහන්සේගේ වයස අවුරුදු විස්සකි. භද්‍ර යොවුන් වියේ පසු වන පියරතනාලංකාර පොඩි හාමුදුරුවෝ ශ්‍රී ධර්මවර්ධනාරාමයේ ලොකු හාමුදුරුවෝය.

මේ පොඩි හාමුදුරුවෝ කිසි කලෙක මස් මාංස වළඳන්නේ නැත. ඉතාමත් අවිහිංසාවාදීව ධාර්මික සිතුවිලිවලින් උන්වහන්සේ පොහොසත්ය.

දහසක් අඩුපාඩුකම්වලින් වැසී ගිය පන්සල් වත්තට හතර මායිමට වැටක් නැත. ආවාස ගෙය අබලන් වී ඇත. ගෙවත්ත වල් බිහිවී තිබේ. ගමයි පන්සලයි අතර ඇති සබැඳියාව එතරම් යහපත් නැතැයි කෙනකුට සිතෙන්නට පුළුවනි.

අපි පියරතනාලංකාර හිමියන්ගේ අවසරය ලබාගෙන උන්වහන්සේ සැතපෙන ආවාස ගෙට ගියෙමු. පුදුමයකි. අඩි පහක් පමණ දිග සුදු පැහැති ඉතා නිරෝගී නාග රාජයකු උන්වහන්සේගේ සිරුරෙහි දැවටෙමින් මුහුණ සිප ගනිමින් සිටියේය. මේ නාගයා දුටු සැණින් කිසිම බියක් හෝ චකිතයක් ඇති නොවේ. මේ සතා හාමුදුරුවන් සමඟ සුරතල් වන අයුරු පුදුමාකාරය.

අප එහි යන විටත් දායකයන් කීපදෙනෙක්ම සිටියහ. කුඩා දරුවන්ද නාගයාගේ පෙනය අතගාන බව ඔවුහු පැවැසූහ. මේ අරුම පුදුම හමුවීම පිළිබඳව අප පියරතනාලංකාර හිමියන්ගෙන් විමසුවෙමු.

කෝකිලාවේ පියරතනාලංකාර පොඩි හාමුදුරුවෝ
“දැන් සති දෙකකට විතර උඩදී මේ නයා පිඹුරකු වෙළාගෙන හිටියා මම දැක්කා. මම ගිහින් පිඹුරව ඇදලා වීසි කරලා නයා බේරාගත්තා. ඊට සතියකට විතර පස්සේ දවසක් මගේ කාමරේට ඇවිත් හිටියා. කිසිම කලබලයක් කළේ නැහැ. මට ලොකු අනුකම්පාවක් ඇති වුණා. ඇඟ හැම තැනම මඩ ගෑවිලා තිබුණා. මම නයා අල්ලගෙන අතගෑවා. හරිම කීකරුව හිටියා. වතුර බේසමක් අරගෙන නෑව්වා. ඊට පස්සේ බිත්තර ගෙඩි 2ක් කඩලා තේ හැන්දෙන් පෙව්වා. දැන් මේ සතා හරි හුරතල්. ඒ වගේම කීකරුයි. මම එක්ක ඇඳේ නිදාගන්නවා. මගේ හිස වටා රවුමක් ඔතාගෙන තමයි රෑට නිදන්නේ.

“දැන් සති දෙකකට විතර උඩදී මේ නයා පිඹුරකු වෙළාගෙන හිටියා මම දැක්කා. මම ගිහින් පිඹුරව ඇදලා වීසි කරලා නයා බේරාගත්තා. ඊට සතියකට විතර පස්සේ දවසක් මගේ කාමරේට ඇවිත් හිටියා. කිසිම කලබලයක් කළේ නැහැ. මට ලොකු අනුකම්පාවක් ඇති වුණා. ඇඟ හැම තැනම මඩ ගෑවිලා තිබුණා. මම නයා අල්ලගෙන අතගෑවා. හරිම කීකරුව හිටියා. වතුර බේසමක් අරගෙන නෑව්වා. ඊට පස්සේ බිත්තර ගෙඩි 2ක් කඩලා තේ හැන්දෙන් පෙව්වා. දැන් මේ සතා හරි හුරතල්. ඒ වගේම කීකරුයි. මම එක්ක ඇඳේ නිදාගන්නවා. මගේ හිස වටා රවුමක් ඔතාගෙන තමයි රෑට නිදන්නේ.

මම හැමදාම මෙයාව නාවනවා. තුන් වේලටම කන්න දෙනවා. මේ සතා උදේට කාමරෙන් පිටවෙලා ගිහිල්ලා එළියේ ඇවිදලා එනවා. මම කොහේ හරි ගියොත් මම එනතුරු ඇඳට වෙලා ඉන්නවා. මම ආපු ගමන්ම මගේ ඇඟ පුරාම එති එතී මුහුණ ඉඹිනවා.”

බුදුන් දවස සිටි මුචලින්ද නාග රාජයා සේම මේ සුදු නාගයා අපේ පොඩි හාමුදුරුවන්ගේ ඇසුරෙහි සිටීම සංසාරගත ක්‍රියාදාමයන්හි ප්‍රතිඵලයක්දැයි කෙනකුට සිතන්නට ඉඩහසර සපයයි.

එම්.එම්. සෝමපාල හා ආර්.එම්. ශි්‍රයානි යන මවුපියන් තම පුත්‍රරත්නයව සිටි, දැන් පැවිදි වී සිටින පියරතනාලංකාර හිමියන් පිළිබඳ අපමණ සතුටට පත්වී සිටිති.

අවසාන වශයෙන් මේ පොඩි හාමුදුරුවෝ අපට මෙවැන්නක් සිහිපත් කළහ.

“මේ නයා මාත් එක්ක ඉන්නේ හාස්කමකින් නොවේ. කොහොම හරි මෙයා මට ආදරෙයි. මමත් මෙයාට ආදරෙයි. මේ සිදුවීම නිසා ගමයි පන්සලයි අතර දුරස්ව තිබුණු බැඳීම නැති වුණා. මිනිසුන් යළිත් වැඩි වැඩියෙන් පන්සලට එන්න පටන් ගත්තා. මම හදපු පොකුණ ළඟ ගල් වැටියේ තමයි මෙයා ඉස්සරලා හිටියේ. මේ නයා කිසිම දවසක සතුන්ව අල්ලාගෙන කන්නේ නෑ. වර්තමාන සමාජය දිහා බැලුවාම දරුණු භයංකර විෂඝෝර විශ්වාස කළ නොහැකි ඉතාම නින්දිත තත්ත්වයට මිනිසුන් ඇදවැටිලා. මේ නාග රාජයා අපට බොහෝ පාඩම් කියා දෙනවා.”

හේමන්ත රණසූරිය
-By mawbima

  • 491
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button