පළකල දිනය : Sun, Dec 9th, 2018

සූර්යයා ධනු රාශිගත වීම ඔබට සහ රටට බලපාන්නේ මෙහෙමයි !

සෞරග‍්‍රහ මණ්ඩලයේ ප‍්‍රධානතම ග‍්‍රහයා රවි හෙවත් සූර්යයා ය. කුජ, බුධ, ගුරු ආදි සියලූ ග‍්‍රහයන් රවිට ආකර්ෂණය වී ගමන් කරයි. රවිගෙන් ඈත් නොවෙයි. රවි වටාම ගමන් කරයි. රවිගෙන් ආකර්ෂණය ලබයි. රවිගෙන්ම එළිය ලබනවා හැර අනෙකුත් ග‍්‍රහයන්ට එළියක් ද නැත. රවි නිසාම පවතී. ‘‘ලොව ඇති සියලූ දේ උපදින්නේ රවිගේ ආලෝකයෙන් හා මවගේ කිරිවලිනි’’ යැයි පිළිගැනීමක් ද තිබේ. සියලූ ගස් කොළන් ලෝකයට උවමනා ආහාර නිපදවන්නේ හිරුගේ ආලෝකයෙනි.

මේ නිසා ග‍්‍රහලොවේ රජතුමා වශයෙන් හිරුට පිළිගැනීමක් තිබේ. ජ්‍යොතිෂයේදී මෙම ග‍්‍රහයා නායකත්වය, ප‍්‍රධානත්වය, ගෞරවය, ආරම්භක ශක්තිය, ශරීරයේ හෘදයවස්තුව නියෝජනය කරන අතර පාලක පක්ෂයට අධිපති වේ. රජවරු, පාලකවරු, අධ්‍යක්ෂවරු, අධිකරණ නායකයෝ, දිසාපතිවරු, පාරිපාලකයන් වැනි අය රවි විසින් නියෝජනය කරයි. මේ නිසා යම් කාලයක රවි බලවත් වේද ඒ කාලය පාලක පක්ෂය ඇතුළු රවි නියෝජනය කරන දේවල්වලට සුබදායක වනවා ඇත. 

දෙසැම්බර් මස 16 වැනිදා රවි ග‍්‍රහයා මෙතෙක් කල් ගමන් කළ වෘශ්චික රාශියේ සිට ධනු රාශියට මාරු වන්නේය. රවි ධනු රාශියේ මාසයක් පුරා ගමන් කරන අතර 16 වැනිදා සිට උදාවන මාසයක කාලය ‘‘ ධනු රවි මාසය’ ලෙසය ජ්‍යොතිර් විද්‍යාවේ හඳුන්වනු ලැබේ. ධනු රාශිය ගුරුට අයත් රාශියන් වන අතර එය රවිට සුබදායක මිත‍්‍ර රාශියකි. ප‍්‍රධාන වශයෙන් ලග්න හතරකට රවි මාරුව සුබපල උදා කරනවා ඇත.

එසේ නමුදු රවි ධනු රාශියේ ගමන් කරන මෙම කාලය කෝණ මාසයක් වශයෙන් ද හඳුන්වනු ලැබේ. කෝණ මාසයක් යනු කොන් කර ඇති මාසයකි. කොන් කර ඇත්තේ නැකැත් නොමැති නිසාය. විශේෂයෙන් මේ මාසය තුළ විවාහ මංගල නැකැත් සහ නිවාස නැකැත් යොදා ගනු නොලැබේ. මේ මාසයේ ආරම්භ කරන ගෘහ කටයුතු අතරමඟ නතර විය හැකි බවත් මඟුල් තුලා ද අසාර්ථක විය හැකි බවත් ඉසිවර මතයයි. එසේ වුවද මේ කාලය නිවාස සහ විවාහ නැකැත් හැර ඉතිරි සුබ කටයුතුවලට යොදාගත හැකි වේ. 
 

රවි මාරුව සිදු වන්නේ කුම්භ ලග්නය හිමි ශී‍්‍ර ලංකාවේ කේන්ද්‍රයේ එකොළොස් වැන්නටය. එකොළහ රවිට සුබ නැකැත් වන අතර ධනු රාශිය ද රවිට සුබ නිසා තරමක් දුරට සුබඵල බලාපොරොත්තු විය හැකි මාසයක් බව පෙනේ. මේ වනවිට ලග්නාධිපති ශනි ද එකොළහේ ගමන් කරමින් සිටී. මේ ග‍්‍රහ මාරුව රටට බලපාන්නේ මෙසේය. 

 රටේ ආර්ථික තත්ත්වය යම් තරමක් සුබදායක අතට හැරෙනවා ඇත. පාර්ලිමේන්තුවේ කටයුතුවල කලබලකාරී වාතාවරණය අඩු විය හැකි වේ. පාලක පක්ෂය හා සේවක පක්ෂය අතර සුහදතාව ඇති වේ. සේවක සුබ සිද්ධිය උදෙසා රජය මගින් වැදගත් පියවර ගනී. පාලක පක්ෂයට, දිසාපතිවරුන්ට, අධ්‍යක්ෂවරුන්ට, පරිපාලන නිලධාරීන්ට, සුපරීක්ෂකවරුන්ට, අධිනීතිඥයින්ට, විනිශ්චයකාරවරුන්ට, බලවතුන්ට සුබදායක වේ.

මේ අතර විදේශ රටවල ශී‍්‍ර ලංකාව පිළිබඳව පවතින ආකල්ප සුබ අතට හැරේ. විදේශ රැකියා අවස්ථා බහුල වේ. විදේශ රැුකියාවල යෙදෙන ශී‍්‍ර ලාංකිකයන්ට ද සුබදායක වේ. විදේශ තානාපති කාර්යාලවල කටයුතු ද කාර්යක්ෂම වේ. මේ දිනවල ජනතාවගේ විශේෂ අවධානය යොමු වී ඇත්තේ (මෙම ලිපිය ලියන්නේ දෙසැ. 3) පාර්ලිමේන්තුවේ අස්ථාවරත්වය සහ මැතිවරණයක් පිළිබඳවය. මේ පිළිබඳ අධිකරණ තීන්දුව දෙසැම්බර් 15 දා රවි මාරුවට පෙර සිදු වනවා ඇත.

මැතිවරණ හා ජය ලබන පක්ෂය මැතිවරණ දිනයක් නොදැන කිව හැකි නොවේ. තවද අහවලා බලයට පත් වෙනවා හෝ නොවෙනවා යැයි කීම ජ්‍යොතිෂය පිළිබඳව අතිධාවනය කිරීමකි. රවි මාරු වන්නේ රටට යහපතක් උදා කරමින් විය හැකි බව පෙනේ. එසේ වුව ද මේ තත්ත්වය වඩාත් ස්ථාවර හා සුබ අතට හැරෙන්නේ 2019 මාර්තු මාසයේදීය. 

 දෙසැම්බර් 16 වැනිදා සිදු වන රවි මාරුව උපන් ලග්න අනුව උදා කරන සුබාසුබ කවරේදැයි දැන් බලමු.

මේෂ 

 මේෂ ලග්න හිමියන්ගේ රවි මාරුව සිදුවන්නේ භාග්‍යස්ථානයට වන අතර බොහෝ දුරට පැවති තත්ත්වය සුබ අතට හැරෙනවා ඇත. පසුගිය මාසය තුළ පැවති අසනීප තත්ත්වයන් සුව අතට හැරේ. අධ්‍යාපන කටයුතුවල යෙදුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පැවති බාධා ඉවත් වේ. එහෙත් මේෂ ලග්න හිමියන්ගේ ලග්නයෙන් අටවැන්නේ ගුරු ගමන් කරන නිසා ඉතා කාර්ය බහුල බව සහ අවිවේකය තවදුරටත් පවතින බව පෙනේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. රැුකියා කටයුතුවලට මිශ‍්‍රඵල දායකයි. යහපත් මිතුරු මිතුරියන්ගේ උදව් උපකාර ලැබේ. වාසනාවට භාග්‍යයට කටයුතු භාර නොදී උත්සාහයෙන් කටයුතු කළොත් බාධා ජයගත හැකි වේ.
 

වෘෂභ 

 වෘෂභ ලග්න හිමියන්ගේ ලග්නයෙන් අටවැන්නට රවි මාරු වන අතර සෙනසුරු ඒරාෂ්ටක අපල තත්ත්වයන් ද ගත වෙමින් පවතින නිසා තරමක් බාධා ඇති වන බව පෙනේ. ගෘහ ජීවිතයේ දියුණුවට කරගෙන ආ කටයුතුවලට නොසිතූ බාධා ඇති විය හැකි වේ. නීතිමය කටයුතුවලදී බොහෝ දුරදිග බලා කටයුතු කිරීමට සැලකිලිමත් වෙන්න. නීති විරෝධී කටයුතුවලින් කරදරයට පත් විය හැකි වේ. ගෙදර වැඩිහිටියකුට ද අපලදායකයි. උෂ්ණාධික රෝග, රුධිර ධාවනය පිළිබඳ ගැටලූ හෘදයාබාධ වැනි රෝග ඇති අය කලට වේලාවට ඖෂධ ආදිය ගැනීම අත්‍යවශ්‍ය වේ. පදිංචිය පිළිබඳව බාධා, උසස් අය අමනාප වීම වැනි අපල ද පෙන්වන නිසා අදාළ ග‍්‍රහ ශාන්ති කර්ම කර ගන්න.
 

මිථුන 

 මිථුන ලග්නයෙන් හත්වැන්නට රවි මාරුවීම මිශ‍්‍රඵල දායකයි. උත්සාහය, ධෛර්යය ඉහළ යයි. දියුණුවට කරන කටයුතුවලට අසල්වාසීන්ගේ හා සහෝදරයින්ගේ උදව් උපකාර ලැබෙන අතර හවුල් ව්‍යාපාරවලින් ජය ලබාගත හැකි වේ. ලාභ අලාභ නොබලා අපක්ෂපාතීව තීරණ ගැනීමට පෙළඹෙන කාලයකි. මේ අතර බිරිඳ හෝ සැමියා සමඟ අමනාපකම් ඇති වීමට ද ඉඩ තිබේ. විවාහ සහකරුට තරමක් අපලයි. නීතිමය 

 ගැටලූවකට මැදිහත් වීමට සිදුවිය හැකියි. තමන්ට වඩා උසස් කෙනෙකු අමනාප වීම නිසා සිත්තැවුලක් ඇති විය හැකියි. නමුත් සිකුරු බලවත්ව ගමන් කරන නිසා ඉගෙනීමේ කටයුතු සාර්ථක කරගත හැකි වේ. ආයෝජනවලින් ලාබ ලැබේ. 

 කටක 

 ලග්නයෙන් හයවැන්නට රවි මාරුවීම කටක ලග්න හිමියන්ට සුබඵල උදා කරනවා ඇත. සෙනසුරු ද හයේ ගමන් කරන නිසා සේවක පක්ෂයේ සහයෝගය ලැබේ. සේවක පාලනයේ යෙදෙන අයට පරිපාලන නිලධාරීන්ට විශේෂ සුබඵල ඇති වේ. අසනීපවලින් සුවය ලැබේ. ණය මුදලක් ලබා ගැනීමට තිබූ බලාපොරොත්තුවක් ඉටු කර ගැනීමට අවශ්‍ය ආයතනවලිින් සහයෝගය ලැබේ. සතුරු කරදර ජයගත හැකි වේ. සතුරන් පරාජයට පත් කළ හැකි වේ. උත්සාහය හා උනන්දුව ඉහළ යයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. දරුවන් ගැන සිතා සතුටු විය හැකි කාලයක් ද වේ. ආයෝජනවලින් ලාභ ලැබේ. 
 

සිංහ 

 සිංහ ලග්න හිමියන්ගේ ලග්නයෙන් පස්වැන්නට රවි මාරුව සිදු වේ. මෙය මිශ‍්‍රඵල දායක බව පෙන්වයි. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපනය ගැන ඇති උනන්දුව වැඩි වේ. විභාගවලින් සමර්ථ වේ. පෙම් සබඳතා හෝ මංගල යෝජනා ස්ථිර කර ගැනීමට කරුණු යෙදේ. ව්‍යාපාරවලට ආයෝජනය කරන මුදල්වලින් ලාභ ලබාගත හැකි වේ. අසල්වාසීන් සමඟ තිබූ සබඳතා අලූත් වේ. උත්සාහය උනන්දුව වැඩි වේ. ප‍්‍රයෝජනවත් ගමන් බිමන් යෙදේ. විදේශ ගමනක් පිළිබඳව තිබුණු බලාපොරොත්තුවක් ඉටු වේ. රාහු කේතු දශාගත කරන අය තම සෞඛ්‍ය තත්ත්වය රැුක ගැනීමට උනන්දු වීම වැදගත්ය.
 

කන්‍යා

 කන්‍යා ලග්නයෙන් හතරවැන්නට රවි මාරුවීම මිශ‍්‍රඵල දායක බවක් පෙන්වයි. පදිංචි ස්ථානය පිළිබඳව සිත්තැවුලක් හෝ නීතිමය ගැටලූ ඇති වීමට ඉඩ තිබේ. ගෙදර වැඩිහිටියකුට අපලදායක බවක් ද පෙනේ. ඉඩකඩම්වල අයිතිය පිළිබඳ සිත්තැවුල් හෝ ගෘහ ජීවිතයේ දියුණුවට බධා ඇති වීමට ඉඩ ඇත. එහෙත් ආදායම් තත්ත්වය සතුටුදායක වේ. ආයෝජනවලින් ලාභ ලැබේ. පිංකමකට හෝ සමාජ සේවාවකට සම්බන්ධ වීමට අවස්ථා උදා වේ. සමහරවිට විදේශ ගමනක් යෙදීමට ද ඉඩ තිබේ. විදේශගතව සිටි ඥාතියකු නිවසට පැමිණේ. කාර්ය බහුල බවක් ද පෙන්වයි.
 

තුලා 

 තුලා ලග්න හිමියන්ගේ ලග්නයෙන් තුන්වැන්නට රවි මාරුවීම සිදු වේ. මෙය සුබඵල උදා කරනවා ඇත. උත්සාහය, උනන්දුව, ධෛර්යය ඉහළ යයි. මේ නිසාම බොහෝ බාධා ජය ගැනීමට තරම් ශක්තිය ලැබේ. ප‍්‍රයෝජනවත් ගමන් බිමන් නිතර යෙදේ. ලිපි ලේඛන හෝ පොරොන්දු ගිවිසුම් අත්සන් කිරීමට සුබ කාලයකි. සහෝදරයකු පිළිබඳව සතුටුදායක ආරංචියක් ලැබේ. අසල්වාසීන් සමඟ තිබූ අමනාපකම් දුරු වේ. සුහදතාව වර්ධනය වේ. රැුකියා හෝ ව්‍යාපාරවලටද සුබදායක වේ. හිතේ සතුට ඇති වේ. අධ්‍යාපන කටයුතු ද සාර්ථක කරගත හැකි වේ. දරුවන්ට ද සුබඵල දායකයි.
 

වෘශ්චික

 ලග්නයෙන් දෙවැන්නට රවි මාරුවීම සිදු වේ. මෙය මිශ‍්‍රපලදායකයි. පවුලේ දියුණුව ගැන වෙනදාට වඩා හිත යොමු වේ. මේ නිසාම වියදම් ද ඉහළ යා හැක. පවුලේ දියුණුව වෙනුවෙන් අමතර වියදමක් ද දරන්නට සිදු වෙනවා ඇත. එමෙන්ම ගෙදර දියුණුවට කරන කටයුතුවලට උසස් කෙනෙකුගේ උදව් උපකාර ද ලැබේ. සමහරවිට ඉක්මනින් කෝපවීම හා කලබල වීම නිසා පවුලේ අය අතර අමනාපකම් ඇති විය හැකිය. කලකෝලාහලවලට පවා මැදිහත් විය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. වැදගත් කටයුතු ආරම්භයට නම් මාසයක් කල්දැමීම සුදුසුය.
 

ධනු 

 ධනු ලග්න හිමියන්ගේ ලග්නයට රවි මාරුව සිදුවන අතර දැනටම සෙනසුරු ලග්නයේ ගමන් කරමින් ලග්න ඒරාෂ්ටක තත්ත්වයක් ද ඇති කර තිබේ. මේ නිසා රවි මාරුව එතරම් සුබඵල උදා කරන්නේ නැත. සේවක පාලනය පිළිබඳ ගැටලූ ඇති විය හැකියි. බිරිඳ හෝ සැමියා සමඟ මත ගැටුම් ඇති විය හැකි වේ. විවාහ මංගල යෝජනාවලට හෝ මංගල උත්සව, නිවාස ඉදිකිරීම්වලට බලාපොරොත්තු නොවූ බාධා ඇති විය හැකිය. කාර්ය බහුල වේ. හිසේ රෝග, ඇස්වල රෝග ඇති වීමට ද ඉඩ තිබේ. කෙසේ නමුත් උත්සාහය, ධෛර්යය පවතින නිසා බාධා ජයගත හැකි වේ. අදාළ ග‍්‍රහ ශාන්ති කර්ම කර ගන්න.
 

මකර

 මකර ලග්න හිමියන්ගේ ලග්නයෙන් දොළොස්වැන්නට රවි මාරුව සිදු වන්නේය. සෙනසුරු දොළහේ ගමන් කරන නිසා පසුගිය මාසයට වඩා තරමක බාධා ඇති වීමට ඉඩ තිබේ. සාර්ථකව කරගෙන ආ කටයුතුවලට අනපේක්ෂිත කරදර බාධා ඇති විය හැකි කාලයක් බව පෙනේ. විදේශ ගමන් පිළිබඳ තිබූ බලාපොරොත්තු කල්දැමීමට සිදු වේ. මේ අතර වියදම් ද ඉහළ යනවා ඇත. පවුලේ වියදම් පාලනය කර ගැනීමට උනන්දු වෙන්න. තැන්පත් මුදලක් වැය වීමට පවා ඉඩ තිබේ. මේ අතර ආදායම් තත්ත්වය ද සතුටුදායක බව පෙන්වයි. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබේ. රැුකියා හා ව්‍යාපාර සතුටුදායකයි.
 

කුම්භ

 කුම්භ ලග්න හිමියන්ගේ ලග්නයෙන් එකොළොස් වැන්නට රවි මාරු වීම බොහෝදුරට සුබඵල දායකයි. උසස් අයගේ උදව් උපකාර ලැබේ. උසස් මිතුරන් හඳුනා ගැනීමට ද අවස්ථා උදා වේ. රැුකියාවේ හෝ තත්ත්වයේ උසස්වීමක් ලැබීමට ඉඩ තිබේ. රැුකියා බලාපොරොත්තු සාර්ථක වේ. සහෝදරයකුගේ රැුකියා ප‍්‍රශ්නයක් විසඳේ. නීතිමය අංශවල පිහිට ලැබේ. නඩුවකින් ජය අත් වේ. සේවක පක්ෂයේ සහයෝගය ලැබෙන නිසා ව්‍යාපාර හෝ රැුකියාවලින් ජය ලැබේ. ආදායම් ඉහළ යනවා ඇත. ආගම දහමට හිත යොමු වේ. දුර වන්දනා ගමනක් හෝ විදේශ ගමනක් යෙදෙන්නට ද ඉඩ තිබේ.
 

මීන 

 මීන ලග්න හිමියන්ගේ ලග්නයෙන් දහවැන්නට රවි මාරුවීම මිශ‍්‍රඵල ගෙන දෙනවා ඇත. කෙසේ නමුත් පසුගිය මාසය තුළ තිබූ ගැටලූවකට විසඳුම් ලැබේ. නායකත්ව ගතිගුණ ඉස්මතු වේ. අන් අය අතර කැපී පෙනේ. රැුකියා තනතුරුවල කැපී පෙනෙන තත්ත්වයන් ඇති වේ. තනතුරේ හෝ තත්ත්වයේ උසස්වීමක් ලැබිය හැකි වේ. අසනීපවලින් සුවය ලැබේ. කරන කියන බොහෝ කටයුතු සාර්ථක කරගත හැකි වේ. සතුරු කරදරවලින් නිදහස් වේ. රාජ්‍ය අංශයේ මෙන්ම නීතියේ ද පිහිට ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විභාගවලින් හෝ සම්මුඛ පරීක්ෂණවලින් සමර්ථ වේ. යහපත් ගුරුවරුන්ගේ ඇසුර ලැබේ. බිරිඳ හෝ සැමියාට ද සුබඵල දායක වේ.

 කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
 ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් සිට

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button