පළකල දිනය : Sun, Dec 9th, 2018

පුතාගේ මගුල අමතක කර අම්මා කාපු දවසේ මගුල !

අද අප කතාකරන්නට යන්නේ මේ වනවිට ඉහත කී අවස්ථාවන්ට මුහුණ දී සිටින අම්මා කෙනෙකු පිළිබඳවය. අප ඇයව පේ‍්‍රමා යනුවෙන් හඳුන්වමු. මිනිස් දියණියක ලෙස මෙලොව එළිය දුටු ඕ දැරියක යුවතියක ලෙස උස් මහත් වී විවාහ දිවියට එළඹෙන වයසට පත්වූවාය.

සුදුසු වයසේදී විවාහ දිවියට ඇතුළත් වූ පේ‍්‍රමා තම ස්වාමියාට දාව මෙලොවට පුත් රුවනක් බිහි කරමින් උතුම් වූ මාතෘත්වයෙන් ද පිදුම් ලැබුවාය. කිරි සිනා මැද පුතුගේ දගකාරකම් දකින පේ‍්‍රමා ඔහු රජෙක් කරන්නට දිනෙන් දින පෙරුම් පිරුවාය.

තම සැමියා සහ පුතු සමග යහපත් පවුල් දිවියක් ගත කරන්නට පෙරුම් පිරූ පේ‍්‍රමාට එලෙස දිවි ගෙවන්නට සිදු වුයේ ඉතාමත් කෙටි කාලයකි. ඒ ඇගේ සැමියා ඇය මෙන්ම ඇගේ පුතණුවන්ද තනිකර දැමීම හේතුවෙනි.

ඉතාමත් තරුණ වියේදී දරුවකු සමග මෙලොව තනි වූ ඇය සිතේ දුක තුනී වනතුරු හැඬුවාය. එහෙත් අවසන දැඩි තීරණයකට ආවාය. කමක් නැහැ කොහොම හරි මම මගේ කොල්ල රජෙක් කරනවා.

ඇය තරුණ වියේ පසුවූවද සියලූ ආශාවන් මෙන්ම බලාපොරොත්තු යටපත් කර ගනිමින් තම පුතුගේ අනාගතය වෙනුවෙන් කැප වූවාය. එලෙස කැප වූ ඇය දිනෙන් දින තම පුතු තමා සතු එකම බලාපොරොත්තුව ඉටුකරමින් සමාජයේ යහපත් පුරවැසියකු වනු දැක අපමණ ලෙස සතුටට පත් වූවාය.

අධ්‍යාපන කටයුතු හමාර කරන නව යොවුන් මේ තරුණයා රැකියාවක් ලබා එහි නිරත වෙමින් තම මව හා දිවි ගෙවූ අතර ඔහුගේ ද එකම බලාපොරොත්තුව වූයේ කුඩා කල සිට පිය සෙනෙහස අහිමි වූ තමාට මවත් පියාත් වූ තම මෑණියන්ට තමාගෙන් සිදුවිය යුතු යුතුකම් සියල්ල නිසි ලෙස ඉටුකරමින් ඇය රැකබලා ගැනීමය.

මේ වනවිට තම පුතු විවාහ දිවියට ඇතුළත් වන වයසේ පසු වූයෙන් පසුගිය කාලයේ එම කටයුත්ත ඉටුකිරීමට පේ‍්‍රමා බොහෝ වෙහෙස මහන්සි වූවාය. පිය සෙනෙහස අහිමිව හැදී වැඩුණ තම පුතු තමන්ගේ බසට කීකරුව අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කර සමාජයේ වැරදි වැඩට නොපෙළඹව  රැකියාවකට යොමු වී යහපත් ගතිගුණවලින් පිරිපුන් තරුණයකු ලෙස චාරිත‍්‍රානුකූල විවාහයකට සැරසෙන අයුරු දකිමින් පේ‍්‍රමා සතුටු කඳුළු වැගිරුවාය.

තව නොබෝ දිනකින් ලේලිය කැන්දාගෙන ආ පසු තමන්ගේ නිවසට එක්වන ආලෝකයක් තමා මෙපමණ දුක්විඳ හැදූ වැඩූ පුතුගේ සතුට පිරුණ මුහුණ මතක් කරමින්ද මෙතෙක් තමන් විඳි දුක් ගැහැට නිම වී ඉදිරියේදී සැනසිල්ලේ දිවි ගෙවිය හැකි බවද සිතා ඕ වඩ වඩාත් සතුටු වූවාය.

තම පුතුගේ විවාහ මංගල්‍යයේ වැඩ කටයුතුවල අවසන් අදියරේ සිටි පේ‍්‍රමාට තව ඉතිරිව තිබුණේ උත්සවය සඳහා ඥාති හිතමිත‍්‍රාදීන්ට ආරාධනා කිරීමට යෑම පමණක් වූ බැවින් ඇය පසුගිය දිනෙක ඒ සඳහා තම ඥාතිවරියකගේ නිවසට යෑමට සූදානම් වූවාය.

ඒ සඳහා බසයකට නැගුණ පෙ‍්‍රමා සමග බසයේ සිටි මැදිවියේ පුද්ගලයකු කථාවට වැටුණාය. මුලින් මුලින් වාසෙ දේසේ සොයා බැලූ මේ පුද්ගලයාට පේ‍්‍රමා ඇයගේ ජීවිත කතාව කියන්නේ සැමියකු නැතිව දරුවකු හදා වඩා අද වනවිට ඔහුගේ විවාහ උත්සවය තෙක් පැමිණි ගමන්මගේ උජාරුවද සමගය.

ඒ සියල්ල අසා පේ‍්‍රමාගේ ක‍්‍රියා කලාපය බොරුවට අගය කරමින් මේ පුද්ගලයා ඔහුගේ යටි සිතේ පෙ‍්‍රමා ගැන ඇති කරගන්නේ පෙ‍්‍රමාන්විත කාමුක හැගීමක් බව මුලින් මුලින් පේ‍්‍රමාට නිනව්වක් නොවූවද තම ඥාතිවරියට මංගල ආරාධනය ලබා දී නැවත ඇය එනතෙක් තමා බලා සිටින බව ඔහු පැවසූ අවස්ථාවේ ඇය පැය කිහිපයකට පෙර බසයේදී හඳුනාගත් ඔහුගේ ආරාධනය පිළිගන්නා විට ඇගේ සිතද ඔහු හා බැඳී හමාරය.

අවසර කළ රහස් තැන ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන කියමන නැවත වතාවක් සත්‍යයක් බවට පත් කරමින් අහඹු ලෙස හමු වූ පුද්ගලයාගේ බහට නතු වු ඇය ඔහු සොයා කී තැනට ආවාය. පැය තුන හතරකට පෙර හඳුනාගත් මේ නන්නාඳුනන පුද්ගලයා සමග වසර තුන හතරක් ඇසුරු කළ අයෙකු මෙන් හිතවත් වූ පේ‍්‍රමා අවසානයේ ඔහුගේ ආරාධනය පිළිගෙන එදින තම නිවසට නොගොස් ඔහු හා හෝටල් කාමරයක ලැගුම් ගත්තේ සැමියා වෙන් වූ දිනයේ සිට තම පුතු වෙනුවෙන් කැපවී පාලනය කරගත් සියලූ හැගීම් ආශාවන් ඔහුට පාවා දෙමිනි.

පසුදා පහන් විය. ඔවුන් රැය ගත කළ නවාතැනෙන් පිටව නිවෙස් බලා යන්නට පෙර උදේ ආහාරය ගැනීම සඳහා හෝටලයක් වෙත පැමිණෙන්නේ මේ අතරය. කතාබහ කරමින් උදෑසන ආහාරය ලබා ගැනීමෙන් පසු අදාළ ගාස්තුව ගෙවීමට තම අත්බෑගයෙන් මුදල් ලබාගන්නා ලෙස පේ‍්‍රමා අලූත් පෙම්වතාට අණ කරයි. එය අතට ගෙන විවර කරන ඔහුට ඇය පෙරදින රාත‍්‍රියේ හෝටල් කාමරයේදී ගලවා අත්බෑගයට දමන රන්මාලය දක්නට ලැබීමත් සමග පොඞ්ඩක් ඉන්න මම ඉක්මනින් වැසිකිළියට ගොස් එන්නම් යැයි පවසා නැගිට යන්නේද පේ‍්‍රමාගේ අත්බෑගයද අතැතිවය.

ඔහු ගැන විශ්වාසයෙන් සිටි පේ‍්‍රමාට තරු විසිවන්නට පටන් ගන්නේ වැසිකිළියට ගිය පෙම්වතා යළි නොපැමිණීමත් සමගය. හිඳගෙන සිටි පුටුවෙන් නැගිටින පේ‍්‍රමා ඔහු සොයා යනවිට තම අත්බෑගය රැගෙන හෙතෙම බසයකට ගොඩවනු දැකීමෙන් ඇයට කරකියාගත දෙයක් නොමැතිව ලත වූවාය.

දැන් මම මොකද කරන්නේ. පොලිසියට මේ ගැන කොහොම කියන්නද එවිට එම පැමිණිලි ඔස්සේ මේ සිදුවීම තම පුතාටත් ඥාතීන්ටත් අසල් වාසීන්ටත් හෙළිවනු ඇත. අන් සියලූ දෙනා කෙසේ වෙතත් තම පුතුගේ මුහුණ බලන්නේ කෙසේද? පෙ‍්‍රමා පණ පිටින් දැවුණාය.

ඇය මනුෂ්‍ය දුවණියක ලෙස හැගීම් දැනීම් සන්තර්පණය කර ගැනීමේ ආශාව ඇතිවීම සාධාරණය. එහෙත් තරුණ වියේදීම ඇයට දෙවන විවාහයකට යෑමට හොඳාකාරව ඉඩ තිබියදී තම පුතුට තිබූ ස්නේහය නිසාම ඒ සියලූ ආශාවන් යටපත් කර ගත් ආකාරයට බුද්ධියට ඉඩදී හැගීම් පාලනය කරගත්තේ නම් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට ගොදුරු වීමට ඇයට සිදු නොවනු ඇත.

තම දිවි දෙවැනි කොට මවු සෙනෙහස මෙන්ම පිය සෙනෙහසද පුදකරමින් හැදූ වැඩූ එකම පුතුට පේ‍්‍රමා වයස ගැන පවා නොසිතා සිදු කළ නොහොබිනා ක‍්‍රියාව හේතුවෙන් මුළුමහත් සමාජයට මුහුණ දීමට නොහැකිව අසරණ භාවයට පත්වීම මෙම සිද්ධියේ ඛේදජනකම අවස්ථාව වනු ඇත.

 – ධම්මික හේවාවසම්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button