පළකල දිනය : Thu, Dec 27th, 2018

2019 නව වසර රටට සහ ඔබේ ලග්නයට කෙසේ බලපාවිද?

‘සුබයි’ කීවට කිසිම දෙයක් වුණේ නම් නෑ. ඔන්න දන්නෙම නැතුව මේ අවුරුද්දත් ගෙවිල ගියා කියල සමහරවිට ඔබටත් හිතෙන්න ඇති. අවුරුද්ද ලබන කොට ලග්න පලාපල බලන්න එන කවුරුත් වගේ කියන දෙයක්. සමහර ලග්න වලට ධන ලාභ, මංගල යෝග, රැකියා උසස්වීම් වගේ සුබපල තියෙනවනේ. හැබැයි එහෙමම සුබපල උදාවෙන්නේ නම් නෑ. හරියටම 2019 උදාවන වසර සුබම සුබ වසරක් කරගන්නේ කොහොමද කියල සාකච්ඡා කරන්නයි මේ ලිපියෙන් උත්සාහ කරන්නෙ.

ඇත්තටම ලබන අවුරුද්දේ ඔබට වුවමනා කරන්නේ මොකක් කරන්නද? ඔබට වුවමනා කුමක්ද? මේ ප‍්‍රශ්නය හරියටම තේරුම් ගන්නේ නැත්නම් ඔබ සාර්ථක වන්නේ කුමකින්ද? ලබන අවුරුද්දත් ඔහෙ ගෙවිල යාවි.

මේ නිසා පළමුවෙන්ම බලාපොරොත්තුව, ඉලක්කය තීරණය කර ගැනීම තමයි වැදගත්ම දේ.ඔබ තවමත් අවිවාහකද, එහෙමනම් ඔබ විවාහයක් කරගන්න හිතනවා වෙන්න පුලූවන්, ව්‍යාපාරයක් ආරම්භ කිරීම, උපාධිය සම්පූර්ණ කරගැනීම, නව පාඨමාලාවක් ඉගෙනීමට ඇරඹීම, විදේශ සංචාරයක් යෑම, දඹදිව වන්දනාවේ යෑම, නිවසක් තනා ගැනීම, වාහනයක් මිලදී ගැනීම, මේ වගේ බලාපොරොත්තු තියෙනවාද? එහෙමත් නැතිනම් බලාපොරොත්තු ඇතිකරගන්න බැරිද?

සමහරුන්ට බලාපොරොත්තු ඇති කරගන්න බැරි හිතේ බය නිසා. අනේ මේ වයසට මොන උපාධිද? මොන විදේශ සංචාරද? මේ ඉන්න විධිය හො`දයි කියල පැත්තට වෙලා හැකිළිලා ඉන්න අයත් නැත්තේ නෑ. හැබැයි එහෙම බයවෙලා බෑ. බය නැතුව ප‍්‍රාර්ථනා කරන්න. බලාපොරොත්තු වෙන්න. ඉලක්කයක් ඇති කර ගන්න. ඉලක්කයක් නැතිනම් යන්න තැනක් නෑ. ඉතිං ඉන්න තැනම ඉඳීවි. ඒක හරිම කනගාටුදායකයි. ඉලක්කයක් නැති අයෙකුට ජ්‍යොතිෂයෙන් පිහිට ලබන්නත් අමාරුයි.

සමහර අයගේ උනන්දුව ටික ටික අඩුවෙලා යනව. ඒ වගේ අය මේ අවුරුද්දේ මැදදී පටන් ගන්න කටයුත්තත් දැන්මම හෙම්බත් වෙලා පසුබට වෙලා වැඬේ අල්ලල දාන්න තමයි හිත හිතා ඉන්නේ. හරියට සෝඩා බෝතලේ වගේ මහ ලොකුවට පටන් ගන්නවා. ඊට පස්සේ හුලං බහිනවා. මේ වසරේ පටන් ගත්ත ව්‍යාපාරය වඩාත් ලස්සනට ලබන වසරේත් දියුණු කර ගන්නව කියල ඉලක්කයක් ඇති කරගන්නත් පුලූවනි. මේ වගේ හිතන්න. ගෙයක් හදන එක,විවාහය වුණත් එහෙමයි. පළමුවෙන්ම ඔබේ ආශාව විශ්ලේෂණය කරන්න. කොළයක ලියල බලන එකත් හො`දයි.

ඊළ`ගට මේ ඉලක්කය ඒ කියන්නේ ඔබේ සිහිනය වඩාත් පැහැදිලි කරගන්න ඕනෑ. ඉලක්කයන් ඇති කර ගත යුත්තේ තවත් කෙනෙකු කරන නිසා නොවෙයි. සමහරුන්ට අලූත් දෙයක් හිතල කරන්න බෑ. අනිත් කෙනා කරන දේම කරන්න යනවා. ඔබේ ඉලක්කය පැහැදිලිව හිතාමතා සටහන් කරගන්න. මොකක්ද? කව්ද? කොහොමද? කොහේද? වගේ ප‍්‍රශ්නවලට උත්තරදීල පැහැදිලි ඉලක්කයක් ඇතිකර ගැනීම වැදගත් වෙනවා.

අපි හිතමු ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕන කියල. ඉතිං ව්‍යාපාර ගණනාවක් හිතන්න පුලූවන්. එතකොට හේතු සහිතව ඔබ කරන ව්‍යාපාරය තීරණය කරන්න ඕන. ව්‍යාපාරය මොකක්ද? කරන්නේ කා සම`ගද? ආරම්භ කරන්නේ කොහෙද? මේ වගේ දේවල් හිතන්න, විවාහයක් වුණත් එහෙමයි.

ඔබ අලූත් අවුරුද්දේ 2019 ලග්නෙට කොහොමද කියල හොයල බලන්න ඕන ඊට පස්සෙයි. ඔබේ ඉලක්කය නැත්තම් ඔබේ බලාපොරොත්තුව සාර්ථක කර ගන්න ග‍්‍රහචාරය බලපාන විධිය දැනගැනීමෙන් ඔබට ඉදිරි කටයුතු සැලසුම් කරගන්න පුලූවන් වෙනව. ඔබේ සැලසුම බාධාවකින් තොරව කරගෙන යාමට අවශ්‍ය ප‍්‍රබල නැකත් සාදා ගැනීමටත් ග‍්‍රහ අපල දුරු කර ගැනීමටත් කේන්ද්‍රය අනුව කටයුතු කිරීම හොඳයි. හැබැයි ඉතිං ඔබට පැහැදිලි ඉලක්කයක් නැත්තම් කේන්ද්‍රය නැත්නම් ග‍්‍රහයෝ මොනවා කරන්නද? ඉලක්කය පැහැදිලි නම් සුදුසු කාලය ජ්‍යෝතිෂය අනුව දැනගත හැකියි. දැන් අපි ඔබේ ඉලක්කය සාර්ථක කර ගැනීමට 2019 වසරේ ග‍්‍රහචාරය බලපාන හැටි සාකච්ඡා කරමු.

මේෂ

මේෂ ලග්න හිමි ඔබ තවමත් අවිවාහක නම් ඔබේ විවාහයට ජුනි 4-29 අතරත් ඔක්තෝබර් 4- 28 අතරත් මංගල යෝග උදාවෙනවා. ඉතිං මගුල් ගේ ගන්න හිතාගෙන ඉන්නව නම් මේ කාලය හොදයි. මෙයට අමතරව ගුරු බලවත් නම් මාර්තු 29- අපේ‍්‍රල් 23 අතරත් අධ්‍යාපන කටයුතු, විදේශ ගමන් වලට වගේ හොදයි ගෙවල් හදන්නත්- විවාහ වෙන්නත් අසුබ කෝණ මාස 4 අතහරින්න. මේෂ ලග්න හිමි දරුවන්ට අකුරු කියවීමට ජුනි 11-29 අතරත් හොදයි. වසර අවුරුදු 3 පිරෙන්න ඉස්සර අකුරු කියවීම මැනවි.

වෘෂභ

වෘෂභ ලග්න හිමි හැමෝටම ශනි අට වැන්නේ ගමන් කරන නිසා පළමුවෙන්ම අපල දුරු කර ගැනීම වැදගත් වෙනවා. ශනි ඒරාෂ්ටක අපලයට අදාළ ග‍්‍රහ ශාන්ති නම් කර ගන්න. ආගමික ජීවිතයක් ගත කරන්න. විවාහය වගේ දේවල් හොදම නැකත් බලා කරගැනීම වැදගත්. සෙනසුරු මාරු වන්නේ 2020 ජනවාරිවලයි කොහොම වුණත් අපේ‍්‍රල් 16 මැයි 10 අතරේ සිකුරු උච්ච වන කාලය ඔබේ ව්‍යාපාර වලට හොදයි. ජුනි 4- 29 අතරත් සුබ කටයුතු යොදා ගන්න පුලූවනි. වෘෂභ ලග්න හිමි දරුවන්ට අකුරු කියවීමට ජුනි 2 -21 අතරත් සැප්තැම්බර් 11 – 29 අතරත් නැකත් යෙදෙනවා.

මිථුන

අපේ‍්‍රල් 15 මැයි 15 අතරේ ඔබේ දියුණුවට අදාළ වැඩ කටයුතු ආරම්භයට සුබපල දායකයි. මිථුන ලග්න හිමි අයගේ අධ්‍යාපන කටයුතු ආරම්භයට ජුනි 2-21 අතරත් සැප්තැම්බර් 11-29 අතරත් සුබයි. අකුරු කියවීමට, අලූත් පාඨමාලා වලට මේ කාලය සුබයි. ඒ වගේම මිථුන ලග්නයේ අයට අපේ‍්‍රල් 16- මැයි 10 අතරේ සිකුරු උච්ච වන කාලයත් ඔක්තෝබර් 14-28 අතරත් විවාහයට සුබ නැකත් යෙදෙනව. මේ කාලය ව්‍යාපාර ආරම්භයටත් සුබපල දායකයි.

කටක

කටක ලග්න හිමියන්ගේ භාග්‍යයට අයිති ගුරු බලවත්ව ගමන් කරන නිසා මේ කාලය සුබපල දායකයි. විශේෂ ගමන් වගේම උසස් අධ්‍යාපනය වෙනුවෙන් කරන දේවල් වලින් ජය ලබන්න පුලූවනි. මාර්තු 29 අපේ‍්‍රල් 23 අතරේ විතරක් අතහරින්න බලන්න. විවාහ මංගල කටයුතු වලට අපේ‍්‍රල් 16 මැයි 10 අතරෙත් ඔක්තෝබර් 4-28 අතරෙත් සුබයි. රාහු දශා ගත කරන කටක ලග්න හිමියන් වැදගත් තීරණ ගන්නකොට විශේෂඥ උපදෙස් ගන්න අමතක කරන්න එපා. කේතු දශා ගතකරන අය මාර්තු 7 න් පසුව ශරීරයේ පෝෂණය ගැන සැලකිලිිමත් වන්න.

සිංහ

සිංහ ලග්න හිමියන්ගේ ලග්නාධිපතිි රවි බලවත් වන අපේ‍්‍රල් 15 සිට ජූලි 15 දක්වා කාලය සුබ කටයුතු ආරම්භයට යහපත් වෙනවා. අධ්‍යාපන කටයුතු අකුරු කියවීම වගේ දේවල්වලට ජුනි 2 -21 අතරෙත් සැප්තැම්බර් 11-29 අතරෙත් බුධ බලවත් වන කාලය සුබදායකයි. විවාහ කටයුතුවලට අපේ‍්‍රල් 15-23 ත් අතර ගුරු බලවත්වන කාලයත් ජුනි-ඔක්තෝබර් මාසවලත් නැකත් යෙදෙනවා. මාර්තු 15 අපේ‍්‍රල් 15 අතර සුබ කටයුතු ආරම්භ කරන එක බාධා සහිතයි.

කන්‍යා

කන්‍යා ලග්න හිමි දරුවන්ට අකුරු කියවීමටත් වෙනත් සුබ කටයුතුවලටත් ජුනි 2-21 අතරත්, සැප්තැම්බර් 11-29 අතරත් සුබ නැකත් යෙදෙනවා. බුධ බලවත් වන මේ කාල වකවානුවල අධ්‍යාපන කටයුතුවලට විශේෂයි. අපේ‍්‍රල් 16ත් මැයි 10ත් අතර හවුල් ව්‍යාපාරවලට හොදයි. ඔබ 2019 වසරේ විවාහ මංගල උත්සවයක් ගන්න බලාපොරොත්තු වෙනව නම් ජුනි මාසය වඩාත් සුබපල දායකයි. ගෙයක් හදන්න බලාපොරොත්තු වෙනව නම් මාර්තු 7 ඉස්සර වෙලා ආරම්භ කරනවානම් හොදයි.

තුලා

තුලා ලග්න හිමියන්ට ධනය, ව්‍යාපාර හා තම පවුලේ දියුණුවට කරන කටයුතු වලට ගුරු දෙවැන්නේ ගමන් කරන මෙම කාලය සුබපල දායකයි. අගෝස්තු 15 සැප්තැම්බර් 15 අතර කාලය විශේෂයෙන්ම රැකියා තනතුරුවලට සුබ කාලයක්. අපේ‍්‍රල් 16 මැයි 10 අතර කාලයත් ඔක්තෝබර් 4 සිට 28 දක්වා කාලයත් විවාහ මංගල කටයුතු වලට සුබයි. තුලා හිමි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ජුනි 2 සිට 21 දක්වා කාලය සුබයි.

වෘශ්චික

වෘෂභ ලග්න හිමියන්ගේ ලග්නයේ ගුරු ගමන් කරන මේ කාලය අතර කාලය තරමක් අවිවේකී කාර්ය බහුල බවක් පේනවා. ඒ වුණත් මාර්තු 29 අපේ‍්‍රල් 23 අතර ගුරු දෙවැන්නේ ගමන් කරන නිසා විශේෂ සුබ කටයුතු ආරම්භ කරන්න පුලූවනි. සැප්තැම්බර් 11-29 අතරේ බුධ බලවත් කාලය අකුරු කියවීමට නිසි වයස ලැබූ දරුවන්ට සුබයි. විවාහ මංගල උත්සවවලට නම් අපේ‍්‍රල් 16-මැයි 10 අතර කාලය සුබඵල දායකයි. ජුනි 4 සිට 29 අතර ව්‍යාපාර වලටත් විවාහයටත් නැකත් යෙදේ.

ධනු

ධනු ලග්න හිමියන්ගේ ලග්නයේ සෙනසුරු ගමන් කරන ඒරාෂ්ඨක අපල තත්වයක් පවතිනවා. ශරීර සනීපය ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න. ශනි දශා ගතකරන අය අපලයට අදාළ ග‍්‍රහ ශාන්තිකර්ම කර ගැනීමත් අදහස් වෙනවා. විශේෂ සුබ කටයුතු වලට රවි බලවත්ව ගමන් කරන අපේ‍්‍රල් 15 මැයි 15 අතර කාලය අගෝස්තු 15 නොවැම්බර් 15 අතර කාලය සුබදායකයි. විවාහය වැනි කටයුතු 2020 වසරට යොදා ගැනීම යෝග්‍යයි. සැප්තැම්බර් 11-29 අතර විද්‍යාර්ථීන්ට සුබයි .ගෘහ නිර්මාණ කටයුතු ආරම්භයට නම් ඉතා හො`ද නැකත් අවශ්‍යයි.

මකර

මකර ලග්න හිමි නිසි වයස ලැබූ දරුවන්ට අකුරු කියවීමට නම් බුධ බලවත් වන ජුනි 2-21 අතර කාලයත් සැප්තැම්බර් 11-29 අතර කාලයත් සුබයි. මේ කාලය විදේශ අධ්‍යාපනයට හෝ විදේශ ගමන්වලට හො`දයි. අපේ‍්‍රල් 23 පසුව ව්‍යාපාර ආරම්භයට සුබ නැකැත් යෙදෙනවා. මකර ලග්න හිමියන්ගේ විවාහ මංගල උත්සවවලටත් ජූනි 4 -29, ඔක්තෝබර් 4-28 අතර කාලය සුබපල දායකයි. කේතු දශා ගතකරන අය ශරීරයේ පෝෂණය ගැන සැලකිලිමත් වන්න.

කුම්භ

කුම්භ ලග්න හිමියන්ගේ ශනි එකොළහේ ගමන් කරන මේ වසර බොහෝ දුරට සුබපලදායකයි. ජූනි 2-21 අතර කාලය අකුරු කියවීමට, නව පාඨමාලා ඉගෙනීමට, ව්‍යාපාර ආරම්භයට සුබයි. අපේ‍්‍රල් 16 මැයි 10 අතරත් ව්‍යාපාරවලට වගේම පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක කර ගන්න හැකිවේවි. මාර්තු 29 අපේ‍්‍රල් 23 අතර කාලය තරමක් බාධා ඇතිවේ. කොහොමවුණත් අපේ‍්‍රල් 23 මැයි 10 අතර රවි සම`ග සිකුරු බලවත් කාලය සුබ නැකත් යෙදෙනවා. ගෘහ නිර්මාණ කටයුතු වලටත් මේ කාලයම යොදා ගන්න.

මීන

මීන ලග්න හිමි අයටත් උදාවෙලා තියෙන්නේ සුබපලදායක කාලයක්. ගුරු බලවත් නිසා අධ්‍යාපන කටයුතු, විදේශ ගමන්, දුර වන්දනා ගමන්වලට සුබයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වෙයි. මාර්තු 29 අපේ‍්‍රල් 23 අතර කාලය තරමක් බාධා ඇති බව පෙනේ. ජුනි 2-21 අතරෙත් සැප්තැම්බර් 11-29 අතරෙත් අකුරු කියවීමට සුබයි. අපේ‍්‍රල් 16 මැයි 10 අතර කාලය ජුනි 4-29 අතර කාලය විවාහ උත්සවවලට සුබයි.ව්‍යාපාර ආරම්භයටත් ඒ කාලය සුබදායකයි.

ඔබ සැමට උදාවන වසර සුබ නව වසරක් වේවා…
කෑගල්ලේ
සුනිල් කුමාර ගම්ලත්

  • 314
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button